Home » සුබ ගමන හරියටම හරියන දිව්‍යමය හෝරාව

සුබ ගමන හරියටම හරියන දිව්‍යමය හෝරාව

by thanushika
January 13, 2024 12:33 am 0 comment

සෑම පුද්ගලයෙකුටම නොයෙක් ආකාරයේ වැදගත් එසේම ඉතා ප්‍රයෝජනවත් අවස්ථා දෛනිකව එළැඹේ. සම්මුඛ පරීක්ෂණ, විභාග, තරග, එතෙර ගමන්, තනතුරු භාර ගැනීම, ව්‍යාපාර ආරම්භය ආදී වශයෙන් අවශ්‍යතා සෑම අයකුටම පැනනඟී. එවැනි අවස්ථා සඳහා දින, වේලාවන්, කල්යල් බලා දනී නම් පහසුය. එවිට ශුභ නැකත් බලා යා යුතු යැයි බොහෝ දෙනෙක් සිතති.

එවැනි අවස්ථාවලදී “ඕවා කවුද ගණන් ගන්නේ?” යැයි සිතා භෞතිකවාදීව සිතා හෝ හිතුවක්කාර ලෙස ගමන් යන්නෝ ද අල්ප වශයෙන් සිටිති. වැදගත් ගමනක් යෑම සඳහා නිවසෙන් පිටවීමට සුදුසුම වේලාවන් ඔබටම පහසුවෙන් සොයා ගැනීමේ ක්‍රමවේද කීපයක් මේ ලිපියෙන් හෙළිදරව් කරමි.

රාහු කාලය අත්හැරීම, ලග්නාධිපතියා මුල්කර ගැනීම, ශුභ ග්‍රහයෙකුගේ හෝරාවක් තෝරා ගැනීම, ශුභ දිසාව තෝරා ගැනීම, තම පක්ෂියා රජ භෝජන ගමන අවස්ථාවක් තෝරා ගැනීම, ශුභ තිථිය, දින ශුද්ධිය තෝරා ගැනීම ඊටත් වඩා යෝග්‍ය වන අවස්ථාවකි. එසේම අදාළ දිනට යෙදී ඇති නැකත ද ශුභ වීම හෙවත් සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී වීමද වැදගත් වන බව දත යුතුය.

මේ සියල්ලම තෝරා බේරාගෙන පිටත්වීමට අපහසු වූ විට ද දිනයට, අවස්ථාවට යෙදී ඇති දිව්‍යමය හෝරාවක් හෝ මානුෂ හෝරාවක් යෙදී ඇත්නම් නියමිත පය පෙරටුකොට තබා යාම යන කාර්යය ඉෂ්ට වීමට ප්‍රබල ලෙස බලපායි. මේ සඳහා විශේෂයෙන් ගෘහස්ථුට ලිතක් හෝ පඤචාංග ලිතක් හෝ භාවිත කර අවශ්‍ය කරුණු කාරණා සොයා ගැනීම අවශ්‍ය වේ.

දිව්‍යමය සහ මානුෂ හෝරාවක් තෝරා ගැන්මේදී භාවිත කළ යුතු ග්‍රන්ථ ද වේ. රාහු කාලය තුළ ගමන් යාම, කාර්ය ආරම්භය, කරදර බාධක, රස්තියාදු ගෙන දෙන බව පිළිගැනීමක් පවතී. එනිසා බිත්ති ලිත්වල ද, ගෘහස්ඵුට පොත්වලින් ද එය තෝරාගත හැකිය.

දින 7ට රාහු කාලය යෙදෙන අවස්ථා පල වේ. ඒ අතර දිනට යෙදෙන ඉර උදාව ද වෙනස් වන බැවින් කාලය සකස්කර ගත යුතුය.

රාහු කාලය යෙදෙන අන්දම මෙසේය.

ඉරිදා – 4.30 සිට 6.00 දක්වා

සඳුදා 7.30 සිට 9.00 දක්වා

අඟහරුවාදා 3.00 සිට 4.00 දක්වා

බදාදා 12.00 සිට 1.30 දක්වා

බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා

සිකුරාදා 10.30 සිට 12.00 දක්වා

සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා

උදාහරණ ලෙස ගතහොත්, දෙසැම්බර් මස 31 දින ඉර උදාව 6.22ටය.

එවිට දෙසැම්බර් ඉරිදා 4.30ට විනාඩි 22ක් එකතු කළ යුතුය. 4.30 + 22 = 4.52ට රාහු කාලය ආරම්භ වේ. රාහු කාලය අවසන් වීම 6.22ට වේ.

ජුනි මාසයේ 1 දා ඉර උදාව 5.53ටය. එවිට විනාඩි 7ක් අඩුකර ගත යුතුය. එවිට රාහු කාලය ආරම්භය හවස 1.23ටය. අවසන් වීම හවස 2.53 විය යුතුය.

සතියේ දිනයන්හි යෙදෙන කාල හෝරාව ද වැදගත් වේ. උදේ සවස සහ රාත්‍රි වශයෙන් යෙදෙන කාල හෝරාව ගැන බැලිය යුතුය. රවි, සිකුරු, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ වශයෙනි. ඉන් සඳු, බුධ, ගුරු, සිකුරු හෝරා ශුභ වැඩවලට යොදාගන්නා බැවින් එවැනි හෝරාවක් තෝරාගත යුතුය.

එපමණක් නොව තමාගේ පක්ෂියට අයත් රජ ගමන භෝජන අවස්ථා තෝරා ගැනීම ප්‍රයෝජනවත්ය. පක්ෂියා තෝරාගෙන වැඩ යොදා ගැනීමේදී පුර පක්ෂය සහ අව පක්ෂය යැයි කොටස් දෙකක් වේ. පුර පක්ෂය යෙදෙනුයේ මාස පෝය ගෙවුණ පසුව පුර පසළොස්වක දවස දක්වාය. අව පක්ෂය යෙදෙනුයේ පුර පසළොස්වක දවසින් පසුවය. ලිත් පොත්හි තමාගේ නැකතට අයත් පක්ෂියා සඳහන් වේ. එය භෙරුඬ, ජිංගල, කාක, කුක්කුට, මයුර වශයෙනි. මෙහිදී තමාගේ පක්ෂියාට අයත් යාමයක් තෝරා ගත යුතුය. ඉන් පක්ෂියාට මරණ, නිදි යන අවස්ථා නොගත යුතුය. පක්ෂියා රජ භෝජන ගමන යන අවස්ථා යෙදෙන යාමයක් තෝරාගෙන කටයුතු කිරීම වැඩකටයුතු සපල කරගැන්මට හේතු වේ.

එසේම සත් දිනට මරු සිටින දිසාව ද දැනගෙන සිටීම ද වැදගත්ය.

ඉරිදා – උතුර

සඳුදා – වයඹ

අඟහරුවාදා – බටහිර

බදාදා – නිරිත

බ්‍රහස්පතින්දා – දකුණ

සිකුරාදා – ගිනිකොන

සෙනසුරාදා – නැඟෙනහිර

අදාළ දිනවලදී මෙකී දිසාවන්ට පිටුපා ගමන් යා යුතුය. මේවායින් බොහෝ අවස්ථා තෝරා ගතහොත් ශුභ ප්‍රතිඵල අත්වේ. මානුෂ හෝරාවක් හෝ දිව්‍යමය හෝරාවක් හෝ තෝරාගෙන අදාළ පය තබා යාමද කාර්ය ඉෂ්ට වීමට හේතුවේ. පාතල හෝ සමසුන්‍ය වේලාවන්හිදී පිටත්වීම අශුභය.

ශුභ හෝරාවක් වූ දිව්‍යමය හෝරාවකින් හෝ මානුෂ හෝරාවකින් නියමිත පය පෙරට තබා යාමෙන් කාර්ය ඉෂ්ට වේ. වැදගත් ගමනක්, ව්‍යාපාරික කටයුත්තක්, අධ්‍යාපනික කටයුත්තක්, සම්මුඛ පරීක්ෂණයක් ආදියට යන විට කරදර බාධක දුරුවී ශුභ ප්‍රතිඵල අත්වේ. වර්ෂය පුරාවට ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා යා යුතු අතර සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා යා යුතුය.

සෑම දවසකටම හෝරා 27ක් වේ. මේ හෝරා 27 තුළ දිව්‍යමය හෝරා, මානුෂ හෝරා, යමසුන්‍ය, පාතාල වශයෙන් බෙදා ඇත. එවිට අදාළ ශුභ හෝරාව තෝරාගෙන නියමිත පය පෙරට තබා පිටත් විය යුතුය.

මේ අවස්ථාව රාහු කාලය මඟ හැරී, පක්ෂියා රජ භෝජන ගමන යන තුනෙන් එකක් වී නම් තවත් වැදගත්ය. තමාගේ ලග්නයට අයත් ග්‍රහයා ද ප්‍රධාන වී නම් ඉතාමත් යෝග්‍යය.

මේ සඳහා පඤඡාංග ලිතක් ද, දිව්‍යමය හෝරා අන්තර්ගත කෘතියක් ද පරිශීලනය කරන්නේ නම් ඉතා ප්‍රයෝජනවත්ය.

උදාහරණයක් ලෙස – ජනවාරි 16 සිට 31 දක්වා සඳුදා, බදාදා, සිකුරාදා යා යුත්තේ වම්පය පෙරට තබාය. පෙබරවාරි 1 සිට 29 දක්වා ඉරිදා, කුජදා, ගුරුදා, ශනිදා යා යුත්තේ දකුණු පය පෙරට තබාය. මෙකී දිනයන්හි මානුෂ හෝ දිව්‍යමය හෝරාවක් තෝරාගෙන පිටත්වේ නම් ශුභ ප්‍රතිඵල අත්වේ.

පිටත් වන වේලාව ශුභ වන නිසා ඉතා ඉක්මනින් බස්රථය පවා ලැබේ. වාඩිවීමට ආසන පහසුකම් ද ලැබේ. රිය ප්‍රමාදවීම් ද නොමැත. තමාගේ වාහනයකින් යන්නේ නම් බාධක අනතුරු පවා වැළකේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division