Home » කේන්දරේ 8 වැන්න ඔබට ගෙන දෙන ධන යෝග

කේන්දරේ 8 වැන්න ඔබට ගෙන දෙන ධන යෝග

by thanushika
January 13, 2024 12:30 am 0 comment

කේන්දරයේ 8 වැන්න මාරක ස්ථානය ලෙස සැලැකේ. මෙම මාරක ස්ථානය මෘත්‍යුස්ථානය මෙන් ම දුෂ්ටස්ථානය ලෙස ද හඳුන්වයි. 8 වැන්නෙන් ආයුෂ, දීර්ඝායුෂ, මරණය, නඩුහබ, අන්තිම කැමැති පත්‍රය, ලිංගික ජීවිතය, දෝෂාරෝපණ, සියදිවි නසාගැනීම, අන්තිම කැමැති පත්‍රයෙන් ලැබෙන දේවල්, ලොතරැයි ජය සහ ගුප්ත ධනය ගැන තොරතුරු කියැවේ.

මෙය ‘නිධාන ස්ථානයක්’ ලෙස ද හඳුන්වයි. 8 වැන්නෙන් ගුප්ත ධනය ලබා දෙන නිසා ග්‍රහ යෝග බලයක් තිබේ නම් අනිවාර්යයෙන්ම ලොකු මුදලක් හිමි වේ. 8 වැන්න අධිපතියා 11 වැන්නේ සිටීම සහ 11 වැන්න අධිපතියා 8 වැන්නේ නම් මෙම පරිවර්තන යෝගය මත ධන ලාභයක් තමන්ට හිමි වේ. මෙම පරිවර්තන යෝගය හැර 8 වැන්නේ තිබෙන ග්‍රහ යෝග බලය මත ධනය ලබා දීමේ වාසනා බලයක් පෙන්නුම් කරයි. මෙම ස්ථානයෙන් ධනය ලබා දීමේ වාසනාවක් තිබේ නම් අහඹු අවස්ථාවකින් හෝ ගුප්ත බලපෑමකින් ධනය ලබා දීමට පුළුවන. මෙම 8 වැන්නට ග්‍රහ යෝග බලය තිබේ නම් එම බලය මත ධනය ලබා දීම ඉක්මන් කරයි.

ධන ලාභයකට මුල් වන්නේ පෙර කළ කුසල කර්ම අනුවය. එය ලැබීමේ වාසනාව හඳහනේ පෙන්නුම් කරයි. ග්‍රහ යෝග බලය බලවත් නම් අතිවිශාල ධනයක් විවිධ ආකාරයෙන් ලබා දීමට වාසනාව ගෙන දෙයි. ලග්න 12ට 8 වැන්නේ තිබෙන ග්‍රහ යෝග මත ධනය ලබා දෙන අයුරු පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

මේෂ – මේෂ ලග්න හිමියාගේ 8 වැන්න වෘශ්චික රාශිය නිසා එහි අධිපතියා මෙන් ම ලග්නාධිපතියාද කුජ ග්‍රහයා වේ. කුජ ග්‍රහයා 8 වැන්නේ සිටීම ස්වක්ෂේත්‍ර බලයකි. කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ සිටි නම් එයට ‘මහීපාල යෝගය’ ලෙස හඳුන්වයි. මහීපාල යෝගය මේෂ ලග්න හිමියාට 8 වැන්නේ තිබේ නම් එම යෝග බලය මත අධික ධන ලාභයක් ලැබීමේ වාසනාවක් ඇත. මැණික් ලාභ මෙන්ම නිධන් වස්තු ලැබීමේ වාසනාව තිබේ.

වෘෂභ – වෘෂභ ලග්න හිමියාගේ 8 වැන්න ධනු රාශීය නිසා එහි අධිපතියා ගුරු ග්‍රහයාය. ගුරු ග්‍රහයා ධනු රාශියට ස්වක්ෂේත්‍ර මෙන්ම මුල ත්‍රිකෝණ බලයක් ඇත. වෘෂභ ලග්න හිමියාගේ ගුරු ග්‍රහයා 8 වැන්නේ සිටී නම් එයට රණහංස යෝගය ලෙස හඳුන්වයි. වෘෂභ ලග්න හිමියාට එය ප්‍රබල ධන යෝගයකි. ලොතරැයි වාසනා මෙන්ම ගුප්ත ධනය ලැබේ.

මිථුන – මිථුන ලග්න හිමියාගේ 8 වැන්න මකර රාශිය නිසා එහි අධිපතියා සෙනසුරු ග්‍රහයාය. සෙනසුරු ග්‍රහයා 8 වැන්නට ස්වක්ෂේත්‍ර වේ. සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ සිටීමෙන් ශ්‍රී කාන්තා යෝගය ඇත. ඒ වගේම මකර රාශියට කුජ ග්‍රහයා උච්ච වීම නිසා ‘සතර දීප ජය’ යෝගය උදා කරයි. ශ්‍රී කාන්තා හා සතර දීප ජය යෝග දෙක මිථුන ලග්න හිමියාට 8 වැන්නේ තිබේ නම් අනිවාර්යයෙන්ම ධන සම්පත් මතු කරයි.

කටක – කටක ලග්න හිමියාගේ 8 වැන්න කුම්භ රාශිය නිසා එහි අධිපතියා සෙනසුරු ග්‍රහයාය. එහි දී ස්වක්ෂේත්‍ර බලය මෙන්ම මුල ත්‍රිකෝණ බලය ලැබන නිසා ජය යෝගය උදා වේ. කටක ලග්න හිමියාට සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ සිටීමෙන් ජය යෝගය බලය නිසා හදිසි ධන ලාභ ලැබේ. මියගිය අයගෙන් ගුප්ත ධනයක් හිමි වේ.

සිංහ – සිංහ ලග්න හිමියාගේ 8 වැන්න මීන රාශිය නිසා එහි අධිපතියා ගුරු ග්‍රහයාය. මීන රාශියට ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වේ. ගුරු ග්‍රහයා 8 වැන්නේ මීන රාශියේ සිටීමෙන් භුමිපාල යෝගය උදා කරයි. නිදන් වස්තු සහ මැණික් ලාභ ලබා දෙයි. සිංහ ලග්න හිමියාගේ 8 වැන්නේ සිකුරු ග්‍රහයා උච්ච වීමෙන් මහෞෂධ යෝගය උදා වේ. මෙම යෝග දෙකම සිංහ ලග්න හිමියාට අතිවිශාල ධනයක් ලබා දීමේ වාසනාව මතු කරයි.

කන්‍යා – කන්‍යා ලග්න හිමියාගේ 8 වැන්න මේෂ රාශිය නිසා එහි අධිපති කුජ ග්‍රහයා 8 වැන්නේ ස්වක්ෂේත්‍රව සිටීමෙන් ‘ගජකේසර’ යෝගය උදා වේ. නමුත් ගජකේසරී යෝගය නොවේ. ගජකේසර යෝගයද ප්‍රබල බලවත් යෝගයකි. මෙම ලග්න හිමියාගේ 8 වැන්නේ රවි ග්‍රහයා උච්ච වී සිටී නම් මයුර පාල යෝගය උදා වේ. කන්‍යා ලග්න හිමියාට ගජකේසර සහ මයුර පාල යෝග තිබේ නම් ලොතරැයි ජය මෙන්ම අශ්ව රේස්වලින්ද ලොකු මුදල් ලාභයක් හිමි වේ.

තුලා – තුලා ලග්න හිමියාගේ 8 වැන්න වෘෂභ රාශිය නිසා එහි අධිපති සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලය නිසා විෂ්ණු යෝගය ඇත. එමෙන්ම 8 වැන්නේ සඳු සිටී නම් සස යෝගයත් උදා වේ. මෙම යෝගවල තිබෙන බලයෙන් තුලා ලග්න හිමියාට හදිසි ධන ලාබ ලැබීමට වාසනාව ඇත.

වෘශ්චික – වෘශ්චික ලග්න හිමියාගේ 8 වැන්න මිථුන රාශිය නිසා එහි අධිපතියා බුධ ග්‍රහයා වේ. බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍ර නිසා ‘අත්පොත්’ යෝගය තිබේ. මෙම යෝගය නිසා ධනවතෙකු වීමේ වාසනාව ඇත. ලොතරැයි වාසනා සහ ලිපි ලේඛනවලින් ධනය හිමි වේ.

ධනු – ධනු ලග්න හිමියාගේ 8 වැන්න කටක රාශිය නිසා එහි අධිපති සඳු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වන නිසා කුලීර යෝගය ඇත. ගුරු ග්‍රහයා ධනු ලග්මියාගේ 8 වැන්න කටක රාශියේ උච්ච නිසා ජයසිඳු යෝගය උදා කරයි. මෙම යෝග ධනු ලග්න හිමියාගේ 8 වැන්නේ තිබේ නම් උතුරන ධනයක් ලැබීමේ වාසනාව ගෙන දෙයි.

මකර – මකර ලග්න හිමියාගේ 8 වැන්නේ සිංහ රාශිය නිසා එහි අධිපති රවි ග්‍රහයා වේ. රවි ග්‍රහයාට 8 වැන්නේ ස්වක්ෂේත්‍ර බලය තිබේ. මකර ලග්න හිමියාගේ 8 වැන්නේ රවි ග්‍රහයා සිටීමෙන් ‘උපේන්ද්‍ර යෝගය’ ඇත. මෙහිදී රජෙකු සමානව ධනයක් ලැබේ. ධන සම්පත් ලැබීමේ වාසනාව තිබේ.

කුම්භ – කුම්භ ලග්න හිමියාගේ 8 වැන්න කන්‍යා රාශිය නිසා එහි අධිපති බුධ ග්‍රහයා වේ. කන්‍යා රාශියේ සිටින බුධ ග්‍රහයා උච්ච, මුල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර බලය ලැබේ. මෙම ත්‍රි බලයෙන් යුක්ත නිසා කුම්භ ලග්න හිමියාගේ 8 වැන්නේ විදුරවි යෝගය උදා වේ. මේ නිසා ධනවත් වීමේ වාසනාව ගෙන දෙයි.

මීන – මීන ලග්න හිමියාගේ 8 වැන්න තුලා රාශිය නිසා එහි අධිපති සිකුරු ග්‍රහයාට මුල ත්‍රිකෝණ මෙන්ම ස්වක්ෂේත්‍ර බලය ලැබේ. මීන ලග්න හිමියාගේ 8 වැන්නේ සිකුරු ග්‍රහයා සිටි නම් පියුම්කාර යෝගය ඇත. සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ උච්ච නිසා සේනක යෝගයද බලවත් ය. සිකුරු ග්‍රහයා හෝ සෙනසුරු ග්‍රහයා මීන ලග්න හිමියාගේ 8 වැන්නේ සිටී නම් හදිසි ධනය ලැබීමේ වාසනාව ගෙන දෙයි.

කොතරම් ග්‍රහ බලයක් තිබු පමණින් අපට ධන වාසනා මතු වන්නේ නැත. ග්‍රහ යෝග බලය දෙන ග්‍රහයා බලවත් නම් පමණක් අපගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. ග්‍රහ යෝගය අනුව බලවත් ග්‍රහයා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපති හා බාධක ග්‍රහයා නම් ධන සම්පත් ඉලක්කය නොලැබේ. අවසන් තීරණය ගැනීමේදී ග්‍රහයාගේ බල දුබලතා මෙන්ම ග්‍රහ දෘෂ්ටි ගැනද විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

ජ්‍යොතීර්වේදී ග.මු. සුබසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division