Home » දූදරු මාපිය සබඳතා ගැන කේන්දරෙන් හෙළිවන තොරතුරු

දූදරු මාපිය සබඳතා ගැන කේන්දරෙන් හෙළිවන තොරතුරු

by thanushika
January 13, 2024 12:34 am 0 comment

රටකට ජාතියකට දරුවන් තරම් තවත් සම්පතක් නැති තරම්ය. ඒ ඔවුන් රටේ අනාගතය භාර ගැනීමට සිටින මතු පරපුර බැවිනි. ජ්‍යොතිෂය ඇසුරෙන් මේ පිළිබඳව විමර්ශනයේදී දරුවකුගේ අනාගතය පිළිබඳව කරුණු කීපයක් ගැන විමසා බැලීම වැදගත් වෙයි. එනම් අධ්‍යාපනය, රැකියාව, විවාහය මූලිකව ද, ධන සම්පත්, ශරීර සෞඛ්‍යය ප්‍රධාන වශයෙන් ගැනෙයි. එහි ඇති සුබවාදී හා අසුබවාදී ප්‍රවණතා ගැනද උනන්දු විය යුතු වේ. තවද එමඟින් පෙන්වන යහපත් පසුතලය අවබෝධ කොටගෙන ඒ පිළිබඳව විමසිලිමත් වීමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම දෙමාපියන් සතු වගකීමකි. තවද කේන්දරය තුළින් අසුබතා දැන පසුතැවිලි වීම ද නොකළ යුතු අතර ඒ පිළිබඳව උපේක්ෂාවෙන් යුතුව බැලීමට ද හැම විටම ක්‍රියා කළ යුතුය.

දරුවන්ගෙන් දෙමාපියන්ට මෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට වන අසුබතාවන්ද කේන්දරයේ මනාව සටහන් වෙයි. ජන්ම පත්‍රයක පියා 9 වැනි කොටුවෙන් සහ රවිගෙන් ද මව 4 කොටුව සහ සඳුගෙන් ද නියෝජනය වෙයි. දවල් උපදින අයට සිකුරු මවු වේ. මෙම කොටුවල ග්‍රහයන් බලවත් නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත්වෙයි. තවද එම භාවයන් පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියහොත් බොහෝ විට මවුපියන්ට පීඩා ගෙන දෙයි. කේන්දරයක ලග්නාධිපති බෙලහීනව පස්වැන්නේ සිටියහොත් දරුපල අඩුවන අතර තම දරුවන්ට ද ඉතා අපල ගෙන දෙයි.

තුන්වැන්න අධිපති 5 වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදවු උපකාර ලැබිය නොහැකිය. 4 අධිපති 5 වැන්නේ නම් දරුවා මවට ඉතා ආදරය කරයි. 5 අධිපති 5 වැන්නේ උච්ඡව හෝ ස්වක්ෂේත්‍ර වීම සහ යහපත් ග්‍රහයෙකු නීච නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර දරුවන්ගෙන් සැප ලැබීමට හැකි වේ. එමෙන්ම 8 අධිපති 5 වැන්නේ සිටීමෙන් බුද්ධිමත් දියණියන් ලැබීමට හැකි වේ.

තවද 9, 10, 11 අධිපතීන් 5 වැනි භාවයේ සිටීමෙන් ධනවත් මෙන්ම යහපත් දරුවන් 5 අධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝග වීමෙන් ද උගත් දරුවන් බිහි වේ. සිකුරු එහි සිටීමෙන් පියකරු ගුණවත් දරුවන් හිමි වෙයි.

5 අධිපති කුජ සමඟ යෝග වුවහොත් හිමි වන දරුපල පිරිමි දරුවන් වේ. ඔවුන් තේජවන්ත දරුවන් ද වේ. 5 වැන්නේ කුජ සිටින විට මවට ගර්භිණී අවස්ථාවේ සිට අපහසුතා මෙන්ම ගබ්සා වීම් ද ඇතිවිය හැක. දරුවෝ ද විරූපි හෝ අකීකරු වෙති. බුධ, ගුරු, සිකුරු වැන්නෙක් 5 වැන්නේ සිටීමෙන් වැදගත් උගත් රූමත් යහපත් දරුවන් ලබන අතර රාහු, ශනි, කේතු සිටීම රෝගී දරුවන් හෝ හිතුවක්කාර දරුවන් බිහිවීමෙන් දෙමාපියන්ට බොහෝ කරදරවලට මුහුණපෑමට සිදුවිය හැකිය.

ලග්නයන් පස්වැන්නට ද, සත්වැන්නට ද සුබ ග්‍රහයෝ පැමිණියේ ද, දර්ශනයවේද, පුර සඳුගේ බැල්ම ලැබීම ද යහපත් දරුවන් ලැබීමේ යෝගයන් වේ. තුලා රාශිය වී කේතු පස්වැන්නේ පතිත වී නම් එලෙස උපන් දරුවා දියණියක වේ. පුත්‍රයන් හිමිවීමට නම් බ්‍රහස්පතිගේ දර්ශනය මඳක්වත් හිමි විය යුතු වෙයි. තුලා රාශිගත සෙනසුරු හේතුකොටගෙන කලුඳුල් දරුවා ගැහැනු දරුවකු වී එයින් පසු ඉපදෙන දරුවා පිරිමි දරුවෙක් වෙයි. කෙසේ වුවද පස්වැන්න ස්ත්‍රී රාශියක් වූ විට එලෙස උපත ලබන කලුඳුල් දරුවා දියණියක වෙයි. ධනු ලග්නය වී ලග්නාධිපතියා එකොළහම වීද, පස්වැන්න අඟහරුගේ නිවහන වී සිකුරු අටවැන්නට පතිත වුවහොත් ලස්සන දූ සිඟිත්තියකගේ උප්පත්තිය වන්නීය. ඇය ලොව බබළන කුලඟනක වන්නීය. බ්‍රහස්පති පස්වැන්නේ වීද පුත්‍ර ලාභම වේ. රාහු පස්වැන්නේ නම් ප්‍රසිද්ධ දරුවන් ඉපදීමට හේතුවකි. එහෙත් එය සුබ ග්‍රහ දර්ශනයට ලක්වූ විට පමණි. පාප ග්‍රහ දර්ශනයට ලක්වුවහොත් විප්ලවවාදීහු වෙති.

සඳු, සිකුරු සම රාශිවල සිට බුධ, කුජ, ගුරු ලග්නගතවූ විට නිවුන් දරුවන්ගේ උපත වේ. බුධ ග්‍රහයා මිථුන නවාංශක ගත නම් එය පුරුෂ නවාංශකයක් නිසා එලෙස ඉපදෙන තුන් නිවුන් දරුවන්ගෙන් දෙදෙනෙකුම පුතුන්ය. බුධ කන්‍යා නවාංශක ගතනම් එය ස්ත්‍රී නවාංශකයක් නිසා ඉපදෙන දෙදෙනාම දියණියන් වේ.

පාප ග්‍රහයෝ කටක, වෘශ්චික, මීන රාශි තුනේ අවසන් නවාංශක ගතවී නම් සඳු උච්ඡව සිටියද ගොළු දරුවන් ඉපදේ. එහෙත් යෝගයන් ද සඳු ද සුබ ග්‍රහ නෙතට දර්ශනය වෙයි නම් කාලයක් යන විට කතා කිරීමට හැකිවේ. ශනි, අඟහරු, බුධගේ ස්ථානයේ සිට හෝ නවාංශක ගතවූ කල්හි කටක ලග්නය වී සඳු සිටි විට ශනි අඟහරුගේ බැල්මට ලක්වූ කල්හි එලෙස ඉපදෙන කුදු භාවයට පත්වන්නේය.

රවි, කුජ, ශනි තිදෙනාගෙන් ග්‍රහයෙකු කටක, වෘශ්චික, මීන යන රාශිවල අවසන් නවාංශකයේ පතිත වීද එලෙස උපන් අය බිහිරන් වන්නෝය.

අසුබ යෝගයන් මැද වුවද සුබ දර්ශන පතිතවෙයි ද එසේ ඉපදෙන දරුවන් නීරෝගී වන්නාහ. දරු සම්පත් හිමිවන්නට පෙර ආත්මවල කරන ලද පින් අවශ්‍යය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division