Home » මේෂ ලග්න කේන්දරේ පස්වැන්නාධිපති භාව 12දී ලබා දෙන පලාපල

මේෂ ලග්න කේන්දරේ පස්වැන්නාධිපති භාව 12දී ලබා දෙන පලාපල

by thanushika
January 13, 2024 12:30 am 0 comment

ඔබගේ කේන්ද්‍ර සටහනේ පස්වැන්න වන සිංහ රාශියට අයත් රවි අධිපතිත්වය දරන මෙම ස්ථානය ඔබගේ ජීවිතයේ ඉගෙනීම, ආලය, ආදරය, දරුවන් විද්‍යාත්මක දේ මෙන්ම විනෝදය සංගීතය පිළිබඳ කටයුතු ද ශරීරයේ වැදගත් වන හෘදය පපුව, පපුව සහ බඩ අතර ප්‍රදේශය යන කරුණු කාරණා ගැන මෙම ස්ථානයෙන් ඔබ දැනුම්වත් විය යුතු වනවා ඇත. මෙහි අධිපතිත්වය දරන රවි ග්‍රහයා සමඟ සිංහ ලග්නයේ තේජෝ ගුණයත් අනුව රාජෝ ගුණ අධික ස්ථිර ගතිපැවතුම් ඇති රාශියකි. එනිසාම ශරීර ශක්තිය, තමාගේ කීර්තිය, නම්බුව, ප්‍රසිද්ධිය, බලවත්කම මෙන්ම දෙයකට ඇති උද්‍යෝගිමත් භාවයත් මේ හේතුකොට ගෙන ගෙදර නායකයා වන පීතෘ ග්‍රහයා වන රවිගේ තේජස දක්නට ඇත.

මෙහිදී පස්වැන්න අධිපතියා එහිම ඇත්නම් කොතැන ගියද ප්‍රධානත්වය ලබා ගුණනුවණින් කටයුතු කාරණා සිදු කරයි. තම ආත්ම ගරුත්වය ප්‍රධානකොට සලකාගෙන සමාජයේ උසස් යයි සම්මත අය සමඟ ආශ්‍රයට කැමති තමාගේ බලවත් බව තමා බලවතා යයි සිතමින් අනෙක් අයට කරදර හිරිහැර විපත් සිදු නොකරන කාගේත් විශ්වාසය දිනාගෙන සියලු දෙනාටම සමාන සැලකිලි දක්වමින් තමාගේ දියුණුවට වැඩකටයුතු සිදු කරනා අතරම තම පියාගේ දේවලට ද වගකීමක් ඇතිව ආධාර උපකාර කරමින් ඕනෑම කටයුත්තකට අත ගැසීමට හැකියාවක් ඇත.

රාශි චක්‍රයේ බුධ ග්‍රහයාට අයත් ස්ථානයක් වන කන්‍යාවට අයත් හයවැන්න ගැන විස්තර සඳහන් කර ඇතත් මෙම රාශියේ බුධ ග්‍රහයා ඥානකාරක ග්‍රහයා මෙන්ම විශාල බලයක් සහිතව සිටිය ද එයට අනෙක් ග්‍රහ පිහිටීම්වලින් වෙනස් අයුරින් ප්‍රතිඵල උදා කරයි. එබැවින් එම ස්ථානයට පස්වැන්න අධිපති රවි මෙම ස්ථානයට ඇති කරනු ලබන්නාවූ යහපත අයහපත ගැන විමසා බැලීමේදී තමාට කොපමණ විරුද්ධවාදිකම් බාධක පැමිණිය ද ඒවා එතරම් ගණන් නොගෙන යම් ප්‍රධානියකු යටතේ තමාගේ කටයුතු කාරණා සිදු කරයි.

හත්වැන්න ගත් විට එය තුලාවට අයත් බවත් එහි අධිපතිත්වය සිකුරුට හිමි වන බවත් ඔබ දන්නවා ඇත. මෙම ස්ථානය ජීවිතයේ විවාහය, ප්‍රසිද්ධිය තමාගේ පවුලේ කටයුතු පාලනය පිළිබඳ තමාට ඇති හැකියාව මෙන්ම කාම ආශාවද ශරීරයේ උකුළ ආශ්‍රිත ප්‍රදේශය පිළිබඳව ද යටිබඩ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වන ක්‍රියාකාරකම් ද පාලනය කරන ස්ථානය වශයෙන් මෙයට පෙර දැනුම්වත් කර ඇත. එබැවින් මෙම ස්ථානයට පස්වැන්නේ අධිපති රවිගේ පිහිටීම ගැන විමසා බැලීමේදී නිතැතින්ම තේජවන්ත සිතක් ඇතිව උසස් ලෙස දේශපාලනයේ නියැළීම සමාජයේ කටයුතුවලදී ද උසස් ලෙස සහභාගිත්ව දරයි.

අටවැන්න ගැන විමසා බැලීමේදී එය වෘශ්චිකයට අයත් කුජ අධිපතිත්වය දරන ඔබගේ ජීවිත ගමනේ එක් පැතිකඩක් පෙන්නුම් කරන ස්ථානයක් වන අතර එය දුක දොම්නස සිතේ ඇතිවන ආකාරයත් ඔබගේ අධ්‍යාපනය මෙන්ම එය සිදු වන ආකාරයත් මෙන්ම නොසිතූ නොපැතූ මොහොතක සිදු වන වාසි මෙන්ම අවාසි ගැන ද ඔබට දැනගත හැකි ස්ථානයකි. විවාහයද ඥාති සම්බන්ධතා මතම සිදු වන ජීවිතයේ මධ්‍ය කාලයේදී අනවශ්‍ය කරදරවලට මුහුණ දීමටත් පරම්පරාගත අසනීප තත්ත්වයන් ද මතුවිය හැකි බැවින් සියලු දේ ගැන සුපරීක්ෂාකාරිව කටයුතු සිදු කරන්න.

ධනුවට අයත් නවවැන්න ගුරුගේ අධිපතිත්වය දරන තේජෝබල පෙරදැරි කරගෙන වාසනාව, ආත්මගරුත්වය, අාධ්‍යාත්මික බලය ආගම ධර්මයට උසස් අධ්‍යාපනය ආදිය පිළිබඳව දක්වන මෙම ස්ථානයට පස්වැන්න අධිපති රවි කුමන ආකාරයකින් යහපත අයහපත ගෙන දෙන්නේදැයි විමසා බලන විට උද්‍යෝගිවන්ත භාවයත්, උසස් ඉගෙනීමකට ඇති වාසනාවත්, උසස් ගුණවත් යහපතින් යුක්තව සියලු දෙනා සමඟ උස්පහත් බේදයකින් තොරව සාමයෙන් සමාදානයෙන් කොයි කාගේත් සිත් දිනා ආගම ධර්මයට ළැදිව කටයුතු කරයි.

දසවැන්න ගැන සලකා බැලීමේදී ශනි අධිපතිත්වය දරන මකරයට අයත් මෙම ස්ථානය ඔබ කෙතරම් දක්ෂයෙක් ද නැද්ද යන කරුණ එම ස්ථානයේ ඇති ග්‍රහයාගේ බලපෑම මත වෙනස් වන බැවින් පස්වැන්න අධිපතියා මෙම ස්ථානය කෙසේ හසුරු වන්නේ ද යන්න විමසීමේදී මහන්සියෙන් කටයුතු කාරණා සිදු කර හරිහම්බ කරගෙන තමාගේ මෙලොව දියුණුව සඳහා අනුන්ගෙන් ලැබෙන හොඳ නොහොඳ ගැන පවා තැකීමක් නොකර තමාගේ හැකියාවට වඩා දක්ෂයෙක් බව සමාජයට පෙන්නුම් කරයි.

කේන්ද්‍ර සටහනේ එකොළොස්වැන්න එනම් කුම්භයට අයත් ශනිගේ ආධිපත්‍ය ඇති මෙම ස්ථානය උසස් ජන සමාජයක ජීවත්වීමට හේතු වාසනා ලබා බලවත් ප්‍රබල අය සමඟ මිත්‍ර සම්බන්ධතා ගොඩනඟාගෙන ඔවුන්ගේ ආධාර උපකාර ලබමින් සියලු දෙනාගේම සිත් දිනාගෙන ප්‍රබල සමාජ ආශ්‍රයක් ගොඩනඟා ඒ මත ඇතිවන ප්‍රේම සම්බන්ධතා හේතුකොටගෙන තම විවාහය ද සිදු කර ගනී.

දොළොස්වැන්න හෙවත් සමාජ තත්ත්වය විදෙස් සම්බන්ධතා වියදම, ලෙඩ දුක් පිරිහීම තම විවාහයෙන් පසු ඔහු හෝ ඇයගේ විස්තර දැනගැනීමට යන කරුණු කාරණා දක්වන මීනයට අයත් ගුරු අධිපතිභාවය දරන මෙම ස්ථානයට පස්වැන්න අධිපතිගේ බලපෑම කුමන අයුරකින් සිදු වන්නේ ද යන්න විමසා බැලීමේදී තමාගේ දියුණුව තරමක් මන්දගාමී බවකින් යුක්තව තම දූ දරුවන් වෙනුවෙන් හෝ වෙනත් කටයුතු සඳහා වියදම් දැරීමට සිදු වෙමින් ගත කිරීමට සිදු වේ. අන් අයගේ විපතේදී දුක් කරදරවලදී කිසිම පැකිළීමක් නොමැතිව වියදම් දැරීමට ද මැළිවන්නේ නැත.

ඔබගේ ලග්නයට හෙවත් පළමුවැන්නට එනම් මේෂයට අයත් කුජගේ ආධිපත්‍යය දරන මෙම ස්ථානය තමාගේ මොළය සම්බන්ධව ද කටයුතු කාරණා සඳහා මැදිහත් වන බැවින් පස්වැන්න අධිපතිගේ බලපෑම කෙසේ සිදු වන්නේ දැයි විමසා බැලීමේදී රවිගේ තේජස හේතුකොටගෙන උදාර බල මහිමයක ගති පෙන්නුම් කරයි.

ඔබගේ දෙවැන්න වෘෂභයට අයත් වන අතර එහි අධිපතිත්වය දරනුයේ ශුක්‍ර හෙවත් සිකුරු වන බව ඔබ දැන් දන්නා නිසා මෙම ස්ථානය ගැන විස්තර වශයෙන් පෙර සඳහන් කර ඇති බැවින් මෙම ස්ථානයට පස්වැන්න අධිපතිගේ බලපෑම ගැන විමසා බැලීමේදී විනෝදයට, සංගීතයට ඇල්මක් දක්වන ප්‍රේමය ආදරය පිළිබඳ ස්ථිර අදහස් ඇති තමාගේ ආදායමට වඩා වුවමනා අවස්ථාවන්හිදී වියදම් කිරීමට පවා මැළි නොවේ.

මිථුනයට අයත් බුධගේ අධිපතිත්වය දරන තුන්වැන්න ගැනද සවිස්තරව කාරණා දක්වා ඇති බැවින් එම ස්ථානයට පස්වැන්න අධිපතිගේ බලපෑම ගැන විමසා බැලීමේදී නිතැතින්ම ඥානවන්තව කටයුතු කාරණා සිදු කර යි. ආත්ම ගෞරවය තම කීර්තිය උදෙසා කටයුතු කරයි.

මෙම පස්වැන්න අධිපතියාගේ ගමන්මඟේ අවසාන රාශිය වන සිවුවැන්න එනම් කටකයට අයත් සඳුගේ ආධිපත්‍ය දරන මෙම ස්ථානයට පස්වැන්න අධිපතියාගේ බලපෑම අනුව බලවත් ශක්තිමත් මවකගේ සෙවණ ලබමින් තම පවුලේ ප්‍රධානියකු වශයෙන් ඉදිරිපත් වෙමින් කොයි කාටත් ගුරුහරුකම් දෙමින් සිතේ චංචල ගතියක් පැවැතියද ගරුසරු ඇතිව ජීවිතය ගත කිරීම ඉතා ඉහළ කොට සලකයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division