Home » නව වසරේ අභියෝග ජයගන්න මේ වතාවත් අනිවාර්යයෙන් ඉටු කරන්න

නව වසරේ අභියෝග ජයගන්න මේ වතාවත් අනිවාර්යයෙන් ඉටු කරන්න

by thanushika
January 13, 2024 12:35 am 0 comment

නව වසර සාර්ථක කරගැනීම වෙනුවෙන් සරල වත්පිළිවෙත් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙවර බලාපොරොත්තු වෙමු. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුළ ඇස් වහ, කට වහ සහ සිත් වහ වැනි දෝෂ නිසා අපට සහ අපගේ දරුවන්ට දියුණු වීම සඳහා බාධාවන් ඇති විය හැකිය. ඇස් වහ, කට වහ, සිත් වහ දුරු කරගැනීම වෙනුවෙන් කළ හැකි සරල පිළියමක් ලෙස ‘අබ’ පිපිරවීම සිදු කරමින් අදාළ පුද්ගලයාගේ ඇස් වහ කට වහ දුරු වන ලෙස ප්‍රාර්ථනා කිරීම දැක්විය හැකිය.

නව වසරේදී බොහෝ දෙනකු ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත්ව ඇති බැවින් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම පිළිබඳව ද යම් අදහසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. ඈත අතීතයේදී බොහෝ විට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූයේ එක් ආදායම් මාර්ගයක් තුළ ඉතිරි කිරීම් වැඩි කිරීමෙනි. එනම් වර්තමානයේදී ඉතිරි කිරීම් සිදු කිරීමෙන් පමණක් ආර්ථික වශයෙන් ශක්තිමත් විය නොහැකි අතර ආදායම් මාර්ග වැඩි කිරීමෙන් පමණක් ආර්ථික වශයෙන් ශක්තිමත් විය හැකිය.

ඒ නිසා නව වසර තුළ සෑම පුද්ගලයකුම සුළු හෝ අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය කරගැනීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම ‘රතු’ පැහැති මුදල් පසුම්බි භාවිත කිරීම තුළින් මුදල් වාසනාව වැඩිපුර ළඟා වනු ඇත. නිවස තුළ ‘කරාම’ තුළින් සුළු වශයෙන් හෝ ජලය කාන්දු වන්නේ නම් එම නිවසෙහි සාමාජිකයන්ට අසීමිත ලෙස ධන හානි ඇති වනු ඇත. එම නිසා ජලය බින්දුවක්වත් කාන්දු නොවන පරිදි එම කරාම පිළිසකර කිරීම නුවණට හුරු වේ. එමෙන්ම නිවස තුළ ක්‍රියාවිරහිත වූ ‘බිත්ති’ ඔරලෝසු ආදිය ඇත්නම් නිවසට ජලය ගලා ඒම අඩු වනු ඇත. එම නිසා එම ඔරලෝසු පිළිසකර කිරීම හැකි ඉක්මනින් කළ යුතු අතර එසේ පිළිසකර කළ නොහැකි නම් එම ඔරලෝසු ආදිය හැකි ඉක්මනින් ඉවත් කළ යුතුය. නිවසෙහි ඉදිරිපස මිදුලටත් වඩා පිටුපස මිදුල පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීම තුළින් ද නිවසේ සාමාජිකයන්ගේ ධන වාසනාව ඉහළ යනු ඇත.

එමෙන්ම සමහර බෞද්ධ ග්‍රන්ථවල දැක්වෙන ආකාරයට ජනතාව ‘දීමෙහි’ ආනිශංස සැබවින්ම දන්නේ නම් ඔවුන් අන් සියලු දේවල් අතහැර තමන් සතු දේවල්වලින් කොටසක් සැම විටම අන් අයට දන් දෙනු ඇත. එනම් දානයෙහි ආනිශංස සැබෑ ලෙසම දන්නේ නම් රැකියාවල් කිරීම, ව්‍යාපාර කිරීම පවා නවත්වා සැම විමට තමන් සතු දේවල්වලින් කොටසක් දන් දීම පමණක් සිදු කරනු ඇත. ඒ අනුව 2024 නව වසර තුළ පරිත්‍යාග වැඩි කිරීම මඟින් මුදල් ලැබීම් වැඩි කරගැනීමට වාසනාව උදා වනු ඇත.

නව වසර සාර්ථක කරගැනීම සඳහා කළ හැකි තවත් වත්පිළිවෙතක් ලෙස මවුපියන්ට දැනටත් වඩා සැලකීම ද දැක්විය හැකිය. එනම් මවුපියන්ට දැනටත් වඩා බලන්නට යාම තුළින් ද, ඔවුන්ට දැනටත් වඩා උපකාර කිරීම තුළින් ද, ඔවුන්ට දැනටත් වඩා දුරකතන ඇමතුම් ආදිය ලබාදීම තුළින් ද, ඔවුන්ගේ දෑස්වල සතුටු කඳුළු උනන දේවල් සිදුකිරීමෙන් ද මෙම වසර වඩාත් සාර්ථක කර ගත හැකි වනු ඇත.

මෙම වසර තුළ දක්ෂ ජ්‍යොතිර්වේදියකු ලවා තම පෞද්ගලික කේන්දර සටහන පරීක්ෂා කරගැනීම ද සුදුසු වේ. විශේෂයෙන් මෙම වසර තුළ වඩාත් ප්‍රවේශම් විය යුතු කාරණා පිළිබඳව, කේන්දරය ඇසුරින් යම් තීක්ෂණ අදහසක් ඒ තුළින් ලබා ගත හැකි වනු ඇත. ඒ අනුව එම පරිස්සම් විය යුතු කාරණා පිළිබඳව පරිස්සම් විය යුතු කාල වකවානුව තුළ ප්‍රවේශම් වීම මඟින් ඇති විය හැකි අනවශ්‍ය ගැටලු අවම කර ගත හැකි වනු ඇත. තවද මෙම වසර තුළ සාර්ථක විය හැකි දේවල් පිළිබඳව සහ එම කාල වකවානු පිළිබඳව කල් ඇතිව, කේන්දරය ඇසුරින් දැනගැනීම තුළින් එම කටයුතු සැලසුමක් සහිතව සිදු කිරීමෙන් අදාළ ඉලක්කවලට පහසුවෙන් ළඟා විය හැකි වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division