අප සැමගේ සිහිනය වන්නේ මීට වඩා යහපත් හෙටක් නිර්මාණය කර ගැනීමයි. ඇතැම් විට ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. සමහරුන් රැකියාවට අමතරව වෙනත් වෙළෙඳ ව්‍යාපාර, ස්වයං රැකියා ආදියෙහි නිරත වන අතර තවත් සමහරු විවිධ ආයෝජන ව්‍යාපෘතීන්හි තම මුදල් තැන්පත් කිරීමට කටයුතු කරයි. අන්තර්ජාල භාවිතයත් සමඟ පසුගිය කොවිඩ් සමයේ මෙම ආයෝජනයන් ඉහළ ගිය බවක් දැකිය හැකිය. ව්‍යසනකාරී තත්ත්වයක් හමුවේ වුවත් යහපත් අනාගතයක් වෙනුවෙන් සුබ සිහින දකිමින් සිදු කරන මෙවැනි ඇතැම් ආයෝජන නිසා තමන් හිටපු තත්ත්වයෙන් පවා පහළට ඇද වැටුණු අවස්ථා ද නැතුවා නොවේ. මේ කියන්නට යන්නේ ද එවන් ඉරණමක් පිළිබඳවය.
ෆොක්ස් ට්‍රේඩින්, ක්‍රිප්ටො ට්‍රේඩින් යනු නූතන ලෝකයේ එලෙස මුදල් ආයෝජනය කර විශාල මුදලක් ලැබිය හැකි ආයෝජන ක්‍රියාවලියකි. එය ලොව ප්‍රකට මූල්‍ය ආයෝජන ක්‍රියාවලියක් ද වේ. ශ්‍රී ලංකාව තුළ ද මෙකී ආයෝජන සඳහා ජනතාව පොලඹවන ආයතන ගණනාවක් ද වේ. නමුත් ගැටලුව වන්නේ ලංකාවේ බොහෝ දෙනකුට මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් හෝ අවබෝධයක් නොමැතිකමය. එනිසා මේ සඳහා ජනතාව පොලඹවමින් මැදිහත්කරුවන් ලෙස පෙනී ඉඳිමින් පිරිසක් කරළියට පැමිණියහ. අර්බුදය ආරම්භ වන්නේ මේ මැදිහත්කරුවන් ලෙස පෙනී සිටි අය විසින් සිදු කළ අයථා ක්‍රියා හේතුවෙනි. ඒ පසුගිය කාලය පුරා මෙරට ලක්ෂ ගණනක් වූ ජනතාව මේ මැදිහත්කරුවන් විශ්වාස කරමින් සිදු කළ මූල්‍ය ආයෝජන සඳහා ගෙවිය යුතු ප්‍රතිලාභ නැවත ඔවුන් වෙත නොලැබීම හේතුවෙනි. මේ නිසා අද ඔවුන් ඉතාම අසරණව සිය පවුල් ජීවිතය පවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට නොහැකිව විශාල ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින අතර මෙය සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් ඇත.
මේ නිසා ඔවුන් ඒකරාශිවී මේ ඛේදවාචකයෙන් ගොඩ ඒම සඳහා ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන්නේය.
මේ සම්බන්ධයෙන් ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති ආර්. සජීව අසංක සිළුමිණ සමඟ අදහස් දක්වමින් පවසා සිටියේ “ ධනංජය මල්වර, මෙම මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හඳුන්වා දෙමින් ෆොක්ස් ට්‍රේඩින්, ක්‍රිප්ටො ට්‍රේඩින් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා, ඒ වෙලාවේ මෙම ආයතනය හඳුන්වා දුන්නේ ආර්ටූඑෆ් (R2F) කියලා. ඒ අය අපට කිව්වේ යූඑස්ඩීටී (USDT යනු අමෙරිකානු ඩොලරයේ අගය සංකේතවත් කරන්නකි) 100 සිට -50,000 දක්වා පැකේජ ලෙස ඊට මුදල් ආයෝජනය කරන්න පුළුවන් කියලා. මෙම ආයෝජන පැකේජයට අනුව සියයට 01ක පොලී ප්‍රතිශතයක් ලැබෙනවා, ආයෝජනය කළ මුදල මාස පහක් තුළ ආවරණය වෙනවා. ඒ වගේම ආයෝජිත මුදල මෙන් පස් ගුණයක් ලබා දෙනවා කියලත් කිව්වා. ඒ අවස්ථාවේ මේ ක්‍රමය යටතේ මුදල් ආයෝජනය කිරීමෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද කියල අපි ඇහුවා. ඒ අය කිව්වා, මේ ආයතනය තියෙන්නේ පැනමා රටේ නිසා කිසිදු අවදානමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි ඇහුවා ක්‍රිප්ටෝ කරන්සිවලට අදාළව රට තුළ නීති ක්‍රියාත්මක වෙනවද? එහෙම නම් ඒ කොයි විදියට ද කියලා.
ලෝකයේ ගොඩක් රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වන බවත්, මීට අදාළ නීති තවමත් නොමැති බවත් මුළු ලෝකයේම බොහෝ රටවල් මෙහි ආයෝජනය කරන බැවින් ඒ පිළිබඳ ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පැවසුවා. අන්තර්ජාලයේ මේ ගැන හොයද්දී මේ ක්‍රමය යටතේ මුදල් ආයෝජනය කිරීම ගැටලුවක් නොමැති බව අපි දැක්කා. ඒත් අපට මේ පිළිබඳව වැඩි අවබෝධයක් නැති නිසා මේ මැදිහත්කරුවන් මාර්ගයෙන් ඒවාහි අයෝජනය කිරීමට අපි කැමති වුණා. මේ විදියට ලංකාව පුරාම ඉන්න මිනිස්සු 2000ට අධික පිරිසක් මේ ක්‍රමය තුළ ආයෝජනය කළා.
එහෙම කාලයක් යද්දී ආර්ටුඑෆ් (R2F) ආයතනය අක්‍රිය වන තත්ත්වයක් දැක්කා. එය මෘදුකාංග දෝෂයක් බව දැන ගන්නට ලැබුණා. එයට පිළියමක් ලෙස ඔන්මැක්ස් ඩීටී නමින් නව ආයතනයක් ආරම්භ කරන බව දැනුම් දුන්නා. මේ නව ආයතනයේ ප්‍රධාන ආයෝජකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සෑම් බස්නායක නැමැති අයෙක් හඳුන්වා දුන්නා. ආර්2එෆ් හි ආයෝජිත මුදල් ලබා ගැනීමට කැමති නම් මේ නව ඔන්මැක්ස් ඩීටී ආයතනය හා සම්බන්ධ වන ලෙස දැනුම්වත් කළා. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ධනංජය මල්වර, සම්පත් ධනංජය, අතුල, ගයාෂාන්, සාරංග යන අය හඳුන්වා දුන්නා. නව පැකේජ ලෙස 100, 250, 500, 1000, 2500, 5000, 10000, 25000, 50000, 100000 යූඑස්ඩීටී මඟින් දිනකට 0.75ත් 1ත් අතර අතර පොලී අනුපාතයකින් ලාභාංශ ගෙවන බවත්, ආයෝජිත මුදල මෙන් තුන් ගුණයක් ලබාදෙන බවත් පැවසුවා. මෙම පැකේජ සියල්ල යූඑස්ඩීටී වන බවත්, පැකේජ මිලදී ගැනීම ඔන්මැක්ස් ඩීටී ආයතනය මඟින් හඳුන්වා දුන් අන්තර්ජාල යෙදවුම හරහා සිදු කරන බවත්, ඊට බයිනෑන්ස් යෙදවුම හරහා යූඑස්ඩීටී මිලදී ගත යුතු බව පැවසුවා.
ඒ වගේම ලාභාංශ ලැබෙන විට ද යූඑස්ඩීටීවලින් ලැබෙන බවත්, ඒවා ද බයිනෑන්ස් යෙදවුම හරහා නැවත ශ්‍රී ලංකන් රුපියල්වලට මාරු කරගත් බවත් පැවසුවා. එමෙන්ම ලාභාංශ ගෙවීම ඔන්මැක්ස් ඩීටී ආයතනය මඟින් හඳුන්වා දුන් අන්තර්ජාල යෙදවුම හරහා පීටුපී ක්‍රමය හා ගිෆ්ට් කෝඩ් (Gift code) මඟින් ද හැකියාව තිබුණා. වඩාත් ජනප්‍රිය ක්‍රමය වුණේ පීටුපී ක්‍රමයයි. ඒකට හේතුව වුණේ අනික් ක්‍රම දෙක ක්‍රියාත්මක කර ගැනීමට ආයෝජකයන් තුළ තිබුණු දැනුම ප්‍රමාණවත් නොවීමයි. මේ ඔවුන් කළ ඉල්ලීම අනුව පෙර ආර් ටූ එෆ් හී සිටි ආයෝජකයින් 2000 ඇතුළුව ලංකාව පුරා ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් ඔන්මැක්ස් ඩීටී හී ආයෝජනය කළා. මෙහි වත්කම පමණක් කෝටි 3500ත් 5000ත් අතර ප්‍රමාණයක්.
මේ කාලයේ ආයෝජකයින් ඉතාමත් ප්‍රීතියෙන් කල්ගෙවූ අතර ආයතනයද ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණා . මේ අතරතුර ආයතනයේ ප්‍රධාන පෙළේ හමුවක් කිතුල්ගල බේස් කෑම්ප් හිදී පැවැත්තුවා. එහිදී ආයතනයේ ඉදිරිය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණා. මෙහි ප්‍රධානතම කරුණ වුණේ DT Coin නමින් ක්‍රිප්ටෝ ඒකකයක් හඳුන්වාදීමයි. E commerce වෙබ් අඩවිය සහ ජංගම දුරකතතන යෙදවුම ගැන ද වැඩි අවබෝධයක් ඇති කරවන දේශන ද ක්‍රියාත්මක වුණා. මේ කාලයේ ඉතා උද්‍යෝගයකින් ආයෝජකයන් කටයුතු කළ අතර දිවයිනේ තරු පන්තියේ හෝටල්වල සියලු රැස්වීම් පැවැත්වුණා. මෙහිදී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සම්පත් සඳරුවන් තම දිනක ආදායම රුපියල් කෝටියක් බව ද පවසා සිටියා. ආයතනයේ ප්‍රධාන පෙළේ නායකත්ව හමුවීම් තරු පන්තියේ හෝටල්වල සිදු වූ අතර, රජයකට කළ නොහැකි මට්ටමේ හාස්කමක් සිදුවන බව පෙනෙන්නට තිබුණා.
ඔන්මැක්ස් ඩීටී ආයතනයේ සම්පත් සඳරුවන් යටතේ ප්‍රධාන පෙළේ නායකයන් 21 දෙනෙක් සිටි අතර, ධනංජය මල්වර යටතේ ප්‍රධාන නායකයන් 20 ප්‍රමාණයක් සිටියා. මේ අතරතුර ආයතනයට විරුද්ධව නෙත් එෆ්එම් බැලුම්ගල මඟින් අනාවරණයක් කළා. ඉන්පසු ආයතනයේ ප්‍රධානියා ලෙස ඔස්ට්‍රෙලියාවේ පදිංචි සෑම් බස්නායක පැමිණ, මෙහෙයුම් කමිටුවක් ලෙස සම්පත් සඳරුවන්, ධනංජය මල්වර, අතුල ඉන්දික, ගයාෂාන් අබේරත්න, සාරංග දිසානායක යන අයව හඳුන්වාදීමක් සිදු කෙරුණා. නමුත් වැඩි කල් නොගොස් සම්පත් හා ධනංජය අතර, යම් මත ගැටුමක් ඇති බව කාටත් දැන ගන්න ලැබුණා. ඊට හේතු වූයේ සම්පත් විසින් බෙස්ලයිප් ලීඩස්ලාගෙන් සමහරක් සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීම ගැන ධනංජය මල්වර විරුද්ධ වීමයි. ඒ හේතුවෙන් මේ දෙදෙනා ආයතනයේ දිශානතිය දෙඅතකට යොමු කරවමින් තම තම රුචි අයුරින් ඉදිරි කටයුතු මෙහේය වූවා. මේ කාලෙදි සම්පත් ධනංජය අබිබවා යමින් විශාල දියුණුවක් පෙන්නුවා.
සම්පත් එයාගෙ කණ්ඩායමේ වඩාත් දක්ෂ අයට බීඑම්ඩබ්ලිව් රථ ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළා. ආයිත් බැලුම්ගල වැඩසටහනින් ඒ බව අනාවරණය කළා. මේ එක්කම රාජ්‍ය මූල්‍ය ආයතනවල අවධානය මේ දෙස යොමු වී තිබූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ආයතනය තහනම් පීරමීඩාකාර ගනුදෙනුවල නිරත වන බව ජනතාව දැනුම්වත් කළා.
ඒ වන විට ආයතනයේ ආයෝජකයන්ට ප්‍රතිලාභ ගෙවීම මන්දගාමී ස්වභාවයක් ගෙන තිබුණා, නව බඳවා ගැනීම් ද අඩපණ වුණා. ඉන්පසු ප්‍රධාන රැස්වීම් පවත්වා ප්‍රධාන ආයෝජකයන් සතු මුදල්වලින් පීටුපී ආකාරයට මුදල් ගෙවන ලෙස දැනුම්වත් කළා. විශාල ආයෝජනයන් කළ ආයෝජකයන්ට තමන්ට එකතු වූ ලාභාංශ වලින් ද නැවත පැකේජ මිලදී ගන්නා ලෙස දැනුම්වත් කළා. මේ අතරතුර කාලයේ දී ආයතන සතු වත්කම් වලින් ක්‍රිප්ටෝ හි ආයෝජිත මුදල් නැවත කැඳවා ආයෝජිත මුදල මෙන් තුන් ගුණයක් අනිවාර්යෙන්ම ගෙවනා බවට පොරොන්දු වෙමින් ClubQuera නමින් සංවිධානයක් ආරම්භ කළා. මෙයද ඔන්මැක්ස් ඩීටී හී පවතින ආයෝජන සැලැස්මක කොටසක් බව ද දැනුම්වත් කළා. සම්පත් පැවසූ ආකාරයට දිවයිනේ පවතින ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයකට ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවත් උදාහරණ ලෙස කහටගල මිනිරන් පතල පෙන්වා දුන්නා.
මේ විදියට බොරු ප්‍රචාරය කරමින් ආයෝජකයන් රවටමින් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළා. ඔන්මැක්ස් ඩීටී ආයතන කඩා වැටුණත් ClubQuera සංවිධානයට කිසිවක් නොවන බව ද දැනුම්වත් කළා. මෙම ClubQuera සංවිධානයට සාමාජිකත්වය ගැනීමට ලක්ෂ පහළොවක මුදලක් අවශ්‍ය වන බවත්, මෙමඟින් රුපියල් කෝටිය දක්වා ණය මුදලක් ලබා දීමට හැකියාව ඇති බවත් පැවසුවා. සමහර නායකයන් කෝටි සියයක් ලබා දීමට එකඟ බව පෙන්නුවා. එසේ නොහැකි අය අවම කෝටියක මුදලක් අනිවාර්යෙන්ම ආයෝජනය කළ යුතු බව තීරණයක් ගෙන තිබුණා. බොහෝ නායකයන් තමන් සතු මුදල්වලින් මේ වන විටත් පීටුපී ගෙවා ඇති නිසා තව අමතර රුපියල් කෝටියක් සෙවීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබුණා.
ඒ වන විට සම්පත් විසින් සිදු කළ සියලු රැවටිලි අසාර්ථක වී තිබූ නිසා, ජෝජියා හි බයිනෑන්ස් හබ් හි මිලියන ගණනාවක ආයෝජනයක් ලංකාවට ගෙන එන බව නැවත ප්‍රචාරය කළා. සතියකට පමණ පසු මහ බැංකුව නිවේදනයක් නිකුත් කළ අතර, ඒ ආයතනයේ නම ද එහි සඳහන් වී තිබුණා. ඉන් ආයතනයේ බලධාරීන් විසින් සිදු කරන වංචාව රටට හෙළි වුණා. සමහර නායකයන් තමන් සතු මුදලින් පහළ අයගේ මුදල් හැකි පමණින් ගෙවූ අතර, එය ද වැඩි කාලයක් කරගෙන යාමට නොහැකි වුණා. ප්‍රධාන නායකයන් 21 අතර සිටි වෙනුකා හරිනි ද සිල්වා හොර රහසේම විදේශගත වුණා.
ආයෝජනය කළ මුදල් කෙසේ හෝ නැවත ලබාදෙන බව පවසමින්, සම්පත් සඳරුවන් නැවතත් නිවෙස් කරා පැමිණියා. මුදල් ලැබිය යුතු අයගේ ලැයිස්තුවක්ම ඒ අවස්ථාවේදී සම්පත්ට ලබා දුන්න ද ඉන් කිහිප දෙනෙකුට පමණක් යම් සුළු මුදලක් ගෙවා තිබුණා. එනිසා ආයෝජනය කළ බොහෝ දෙනාගේ අදහස වූයේ නීතිමය ක්‍රියාමාර්ගයකින් යෙදවූ මුදල් නැවත අය කරගැනීමට කටයුතු කිරීම ඵලදායි වන බවයි. ආයෝජකයන් අතර බොහෝ දෙනා රාජ්‍ය සේවකයන්. ඒ අය වංචා සහගත ගනුදෙනුවකට මුදල් ආයෝජනය කළේ නැහැ. ඔවුන් නීතිය ඉදිරියට යන්න මැලි වුණා. ඒ තම රැකියාවට එය ගැටලුවක් වේය යන බිය නිසා. පසුව අගතියට පත් වූවන් කිහිප දෙනෙකු සාකච්ඡා කොට ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පිහිටුවා ගත්තේ මේ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. ජනතාව මුලාවට පත් කරන මෙවැනි ඕනෑම ආයතනයකට විරුද්ධව නීතිමය කටයුතු සඳහා මේ සංවිධානය පෙනී සිටිනවා.
මෙම සංවිධාන විසින් නෛතික උපදෙස් පතා දිවයිනේ ප්‍රමුඛ පෙළේ නීතිඥ මඬුල්ලක් මුණ ගැසී උපදෙස් ලබා ගත්තා. ඒ මේ කටයුත්ත සඳහා පමණක් නෙමෙයි සමස්ත මහජන අසාධාරණවලදී පෙනී සිටීම අරමුණු කරගෙන. මෙමඟින් ඉදිරියේදී මෙවැනි උදවිය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම, අසාධාරණයට ලක්වූවන් ඒකරාශී කිරීම සිදු කරනවා. මේ සඳහා සංවිධානයේ නමින් යූටියුබ් ගිණුමක් සහ ඊට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් ද ආරම්භ කළා. එය ආරම්භ කර සතියකට පමණ පසුව සම්පත් සඳරුවන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීම ද සිදු වූවා යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
අනතුරුව අප සමඟ අදහස් දැක්වූ ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම් කේ.ජී.ඉන්දික සමන්ත පවසා සිටියේ
“තම විසින් පැමිණිලි ඒකරාශී කර ගැනීමට අදාළ විස්තර කැඳවීම යූටියුබ් ගිණුම හරහා සිදු වූ බවත්, විශාල පිරිසක් ඒ හා සම්බන්ධ වූ බවයි. සියලුම විස්තර ගොනුකර 2023.09.04 වන දින පැමිණිල්ලක් ලෙස කොළඹ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත භාර දෙන්නට තම සංවිධානය පියවර ගත් බවයි. නමුත් සංවිධානයේ ලියාපදිංචිය ඒ වන විට ලැබී නොතිබීම හේතුවෙන් පැමිණිල්ල එදින භාර නොගත් අතර, අදාළ ලියාපදිංචිය අංක GA00287857 සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව 2023.11.14 වැනි දින සිරස, හිරු මාධ්‍ය සහාය ද සහිතව අදාළ පැමිණිල්ල භාරදීමට කටයුතු කළ බවයි.
මේ වන විට වංචාකරුවන්ට තම සංවිධානය විසින් සිදු කරන බලපෑම ඉතා තදින් දැනී ඇති බවත්, එනිසා සංවිධානයේ කටයුතුවලට බාධා වන ආකාරයේ ක්‍රියාකාරකම්වල ඔවුන් පෙලඹී ඇති බවත්, ව්‍යාජ යූටියුබ් නාළිකා මඟින් මුදල් ලබා දෙන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් නොමඟ යැවීමට කටයුතු කරන බව ද හේ පෙන්වා දෙයි.
වින්දිතයන් සම්බන්ධයෙන් පැමිණිලි සටහන් කර ගැනීම සඳහා සූරියවැව ප්‍රදේශයට පැමිණෙන ලෙස සංවිධානය විසින් එෆ්සීඅයිඩී නිලධාරීන්ට ආරාධනා කළ අතර ඒ අනුව නිලධාරීන් 14දෙනකු එහි පැමිණ 2023.12.11ත් 12ත් යන දෙදින තුළ වින්දිතයන් 130 දෙනකුගේ පමණ පැමිණිලි සටහන් කර ගත් බව ද හෙතෙම පැවසීය. එය අති සාර්ථකව කර ගැනීමට හැකි වූ බවත්, ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු ද සංවිධානය කරමින් පවතින බවත් හෙතෙම පවසයි.
මොවුන් විසින් උපයා ඇති වත්කම රුපියල් කෝටි 3500ත් 5000ත් අතර වන බවත් නමුත් රජය විසින් අවහිර කර රඳවාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු මුදලක් පමණක් බවත් එම මුදල් තවමත් ඔවුන් සතුව ඇති බවත් පැවසේ. මෙහි වින්දිතයන් ඉදිරියට පැමිණීමට මැළි වන්නේ මෙය පිරමීඩ ජාවාරමක් ලෙස ඔවුන් විසින්ම ප්‍රචාරය කරමින් ඔවුන් බිය ගන්වා ඇති නිසා බවත් පෙබරවාරි 15 වැනිදා සාමකාමී නිහඬ විරෝධතාවයක් කොළඹදී පැවැත්වීමට නියමිතය බවත් ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති ආර්. සජීව අසංක පෙන්වා දෙයි.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ක්‍රිප්ටෝ කරන්සි ආයෝජන ප්‍රතිලාභ ලබාදෙන මුවාවෙන් රවටා සොරා ගෙන මොවුන්ගේ ගිණුම්වල රඳවා තබාගෙන ඇති මුදල්වලින් ආයෝජකයින්ට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට කටයුතු සලසා දෙන ලෙසය.
රසික කොටුදුරගේ