Home » පවුල කියන්නෙ මගෙ රජදහන

පවුල කියන්නෙ මගෙ රජදහන

by thanushika
January 6, 2024 12:30 am 0 comment

ජයන්ත අතපත්තු කියන්නේ පුංචි තිරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස තම දස්කම් රටටම පෙන්වූ අයෙක්. නිවේදනයට මෙන්ම රංගනයට සහ නර්තනයට ද ජයන්ත හපනෙකි. ජනවාරි 17 සිට රිදී තිරයට දිගහැරෙන සදේශ් කුමාර්ගේ “සිහිනයකි ආදරේ” ඊට කදිම නිදසුනකි. ඒ ගැන වගේම තවත් බොහෝ දේ ජයන්ත සමඟින් කතා කරන්නට අපි හිතුවා. නිතරම සිනහමුසු මුහුණින් රූපවාහිනී නරඹන්නන් ආමන්ත්‍රණය කරපු ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ එංගලන්තයේ ලිවර්පූල් හි. රසඳුන සොඳුරු කතාබහට ඔහු එක් වුණා….

හුරුපුරුදු දේශයෙන් මිදිලා ගත කරන අලුත් ජීවිතේ කොහොමද දැනෙන්නේ

ඇත්තෙන්ම උපන් රටෙන් ගිහින් වෙන රටක ජීවත් වෙනවා කියන්නෙම වෙනම කතන්දරයක්. ඒ කතන්දරය ඇතුළේ හුඟක් දේවල් තියෙනවා. අපේ රට තරම් ලෝකයේ ලස්සන සුන්දර රටක් අපිට නැහැ. අපි උපන්න රටට අපි කවුරුත් ආදරෙයි. මම මගේ ජීවිතේ කවදාහරි ඊළඟ සිහින ක්‍රියාත්මක කරන්නෙ මගේ උපන් රටේ. මේක අලුත් ජීවිතයක්. මේ ජීවිතේ ට හුරු වෙන්න මට තව ටික කාලයක් යයි.

ලංකාවේ නම් ඔබ ජනප්‍රිය මාධ්‍ය සගයෙක්, එංගලන්ත රටේ ඔබ මොකද කරන්නෙ?

මම මෙහෙ දැන් ඉවෙන්ට් කම්පැනි එකක් පටන් ගෙන තියෙනවා. Zoom Out Events නමින්. ලංකාවේ ජනප්‍රිය තරු එක්ක සංගීත ප්‍රසංග අපි පවත්වනවා. කතාකරන මේ මොහොතේත් ඉන්නෙ ප්‍රසංගයක. උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් සහභාගි වුණා. මෙහෙ ඉන්න දක්ෂ සංගීත කණ්ඩායමක් වන හස්ති සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවන්නේ. අමුතුම විදියට අමුතුම ක්‍රමයකට මෙහෙ මේ දේවල් සිද්ධ වෙන්නෙ. ඒවා එක්ක අලුත් අත්දැකීම් ලබනවා. ජීවිතේ හැමදාම අපි ඉගෙන ගන්නවා. මේ දේවල් එක්ක ජීවිතේ රහ කරගෙන මෙහෙ ගමන ආරම්භ කරලා තියෙන්නේ. රැකියාව විදියට චෙෆ් කෙනෙක් හැටියට සහ මෙහෙ මැන්චෙස්ටර් එයාර් පෝර්ට් එකෙ පිළිගැනීමේ නිලධාරියෙක් විදියට වැඩ කරනවා.

ඔබ රංගන දායකත්වය ලබාදුන් සිහිනයකි ආදරේ ජනවාරි 17 ඉදන් රිදී තිරයට එනවා, ඒ මතකය අලුත් කරොත්?

රංගනය තුළ මට ලැබුණු මාර අවස්ථාවක්. සදේශ් කුමාර්ව ආදරෙන් මතක් කරනවා.මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ දැන් වුණාට, රූපගත කිරීම් කරලා අවුරුදු හතරක් පහක් වෙනවා. ඒ කාලේ සිද්ධ වුණු රසවත් සිදුවීම් නම් මාරයි. පුදුම රසවත් සිදුවීම් වුණේ. චිත්‍රපටය තුළ තියෙන්නේ අමුතු කතන්දරයක්. ඒ කතන්දරයට ලංකාවේ ගොඩක් අය කැමති වෙයි. චිත්‍රපටයක රඟපානවා කියන්නෙ අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න නම් හොඳ ටීම් එකක් ඉන්න ඕනේ. තේ හදන කෙනා පවා මට උපරිම සහයෝගය දුන්නා. ඒ හැමදෙනාම ආදරෙන් මතක් කරනවා. ප්‍රධාන චරිත රඟපෑ හේමාල් සහ පූජා එක්ක මට ගොඩක්ම රඟපාන්න තිබ්බෙ.

අමතක නොවන අත්දැකීම් ඇති

අමතක නොවන සිද්ධි නම් ගොඩක් තියෙනවා. එක දවසක් ලොකේෂන් එකට ගියාම හේමාල් බයිසිකලයේ යන සීන් එකක් තිබ්බා. බස් එකේ සහ බයිසිකලයේ තමා කැමරා තිබුණේ. කොහොම හරි බයිසිකලය නතර කර ගන්න බැරුව බස් එකේ වැදිලා ලොකු කතන්දරයක් වුණා. තව මෙහි තියෙන සින්දු රූ ගත කළේ රාත්‍රි කාලේ කොළඹ කොටුව අවට. ඒක අලුත් අත්දැකීමක් වුණා. නටනවා කියන්නෙ පිස්සු හැදෙන නැටිල්ලක් නටන්නෙ. අධ්‍යක්ෂවරු කැමරාව ඉස්සරහට ඇවිත් තමයි ඩාන්ස් එකේ ස්ටෙප් කියන්නෙ. ඒ ස්ටෙප් අල්ල ගන්න ලේසි නැහැ. ඉන්දීය අධ්‍යක්ෂවරු කළේ. මට පුළුවන් හැටියට මම කළා කියලා හිතෙනවා. අන්තිමට බලද්දි ඒ ඩාන්ස්වල තියෙන එනජි එක පුදුමයි. හේමාල්ට නම් ඩාන්සින් වලදි ප්‍රශ්න තිබ්බෙ නැහැ. මට නම් අතපය එහෙට මෙහෙට ගිහින් ලොක්වුණු තැන් අනන්තයි.

ඉදිරියට ඔබේ රංගන දායකත්වය දුන්න නිර්මාණ එන්න තියෙනවා ද?

ඉදිරියට එන්න නිර්මාණ නැහැ. මම ආසයි දුෂ්ටයාගෙ චරිතයක් කරන්න. දුෂ්ට චරිතයක් තියෙනවා නම් මට ආරාධනා කළොත් ගුවන් ටිකට්පත දීලා ලංකාවට ගෙන්න ගන්නවා නම් මම ඇවිත් රඟපාලා යනවා. මම විවෘත ආරාධනාවක් කරනවා ඕනෙම නිර්මාණකරුවෙක්ට දුෂ්ට චරිතයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම රඟපානවා.

ලංකාවෙන් ගියේ යම් කලකිරීමක් එක්කද?

ඔව් කියන එක සාධාරණයි. මම සේවය කළ ස්වර්ණවාහිනී ආයතනයේ මට සිද්ධි ගොඩක් වුණා. මට පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා. කවදා හරි මම පොතක් ලියනවා. මම අවුරුදු 20ක් ස්වර්ණවාහිනියේ වැඩ කළා. ඒ කාලය තුළ සිදුවුණ සිද්ධි මත ගැලපුනු මගේ ජීවිතේ රහකර ගත්තා. මම ප්‍රශ්න මත ඇලි ඇලී ඉන්න කෙනෙක් නෙවෙයි. ජීවිතේ රහ කරගන්න හොඳ කර ගන්න තමන් දැන ගන්න ඕනේ. මට මාව තමා අභියෝගය. වෙන කිසි කෙනෙක් නෙවෙයි. කලකිරීම් මට විතරක් නෙවෙයි. මාධ්‍යයේ ඉන්න ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් කලකිරීමෙන් ද ඉන්නේ කියලා ඔව් කියයි. ඒ හේතු මොනවද කියලා අහන්න එපා. හේතු කියන්න ගියොත් ගොඩක් අය අපහසුතාවට පත්වෙයි.

කොහේ ගියත් නිවේදනය නම් මඟ හැරෙන්න දෙන්නෙ නැහැ වගේ, කොහොමද ප්‍රසංග සංවිධාන කටයුතු වගේ දේවල් සිද්ධ වෙන්නෙ

ප්‍රසංගය ඉතාම සාර්ථකයි. මෙහෙ ඕඩියන්ස් එක වෙනස්. ඒක අපි දැනගෙන තමයි හරියාකාරව වැඩේ කරන්න ඕනේ. ලංකාවේ වගේ දැවැන්ත ප්‍රසංග කරන්න අමාරුයි. තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සිහින වලට අරන් යන්න මහන්සි වෙනවා. මෙහෙ තියෙන එකම ප්‍රශ්නය සීතල. භාෂාවත් අපි කතා කරපු භාෂාවක් වුණත් මෙහෙ අයගෙ ඇක්සන්ට් එක වෙනස්. Zoom out මගේ ඉවෙන්ට් කම්පැනි එක වගේම, දිනේෂ් රීඩ් මගේ අනිත් සගයත් මතක් කරන්න ඕනේ.

2024 ළගා කර ගන්න ඉන්න අනාගත බලාපොරොත්තු මොනවද?

2024 කියන්නෙ තවත් එක් අවුරුද්දක්. මම උත්සාහ කරනවා මේ රටේ මගේ ස්ථාවරත්වය හදා ගන්න. පවුලේ සාමාජිකයනුත් බොහොම ආසාවෙන් ඉන්නවා. දරු දෙන්නත් බොහොම හොඳින් අධ්‍යාපනය ලබනවා. බිරිඳත් ගුරුවරියක් හැටියට වැඩ කරනවා. ඇය මනෝ උපදේශකවරියක්. පවුලෙන් ලැබෙන සහයෝගය මත තමයි ඕනේම කෙනෙක් තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්නෙ. බිරිඳ දුශාන්ති වගේම දරුවෝ දෙන්නා මනුති සහ ශනිදු ආදරෙන් මතක් කරනවා. පවුල කියන්නෙ මගෙ රජදහන.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division