Home » පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණේ චිත්‍රපටවල පසුබිම් ගායනය කරන්න

පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණේ චිත්‍රපටවල පසුබිම් ගායනය කරන්න

by thanushika
January 6, 2024 12:30 am 0 comment

සත්මානි පතිරණ කියන්නේ ඔබ අප වඩාත් ආදරේ කරන ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි පතිරණගේ ආදරණීය දියණියයි. සිය පියා මෙන්ම සංගීත ගමන් මඟේ යමින් කවදා හෝ තාත්තා වගේම හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක් වෙන්න තමයි සත්මානිට ඕනේ වෙන්නේ. ඒ නිසාම සංගීතය ගැන හදාරලා මේ වෙද්දී ගීත කිහිපයක්ම නිර්මාණය කරලත් තියෙනවා. ඒ හැම ගීතයක්ම ඕඩියෝ එකට පමණක් සිමා වූ නිසා 2024 අවුරුද්දේ අලුත්ම ගීතය මියුසික් වීඩියෝ එකක් එක්කම එළිදක්වන්නයි සූදානම. සියල්ල නිසි අයුරින් සිදු වෙලා මේ ජනවාරි මාසේ ප්‍රේක්ෂක රසික ඔබට ඒ අලුත්ම ගීතය තිළිණ වෙනවා. ඒ ගැන වගේම ඉදිරි කටයුතු ගැන රසඳුන සමඟ කළ කතා බහයි මේ….

“තරු නීල දෑසේ ආදරී කියා අමතා ඔයා මට හාදු දෙන්න ජීවිතේ පුරා..

හද ආකරයේ පිරී ඉතිරෙන්න හීන වසලා

නුඹ අහස වෙන්න සඳවතීනේ මා…”

අපි අලුත්ම ගීතෙන් කතාව පටන් ගමු. කොහොමද තරු නීල දෑසෙ (සඳවතී) ගීතය නිර්මාණය වුණේ?

මේ සින්දුවේ පද රචනය, සංගීතය ඔක්කොම කළේ මගේ අයියා සිනෙත් මාලක. මෙච්චර කාලයක් මගේ සින්දු ආවේ ඕඩියෝ එක විතරයි. ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මියුසික් වීඩියෝ එකක් එක්ක සින්දුවක් කරන්න. මම ඒ ගැන කිවුවම අයියා තමයි මුලික වෙලා ඔක්කොම කරලා දුන්නේ. මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ පවා මගේ අයියා. මේ විෂුවල් එකේ ඉන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන යෂ් වීරසිංහ. ඔහිය, හුලංගල වගේ ලංකාවේ සුන්දරම පැතිවල තමයි අපි සින්දුවේ රූප රචනාව ෂූට් කළේ. ඉතින් ලොකු බලාපොරොත්තුවක් එක්ක ජනවාරි මාසේම සින්දුව රිලීස් කරන්න හිතුවා.

කලින් කරපු සින්දු ගැනත් මතක් කළොත්?

දැනට සින්දු 5ක් විතර කරලා තියෙනවා. තාත්තගේ සින්දුවක් රීමේක් කළා “හද මාගේ” සින්දුවේ ෆීමේල් වර්ෂන් එක. ඊට පස්සේ අයියයි මායි කළා “නුඹේ ආලකම්” කියලා සින්දුවක්. මගේ තනි නිර්මාණ කිහිපයක්ම ආවා “කඳුරැල්ල” සහ “කාටවත් ඇයි වේදනා” කියලා සින්දුවක් ආවා.

ගෙදරම කලා පවුලක් වෙලත් මියුසික් වීඩියෝ එකක් කරන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

අයියා කාර්යබහුල වුණා. අයියා එක්කම සින්දුව කරන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියා. අයියගේ වීඩියෝ ටීම් එක දාලා. අයියාගේ කාර්යබහුලකම සහ කොරෝනා නිසා කාලය ගත වුණා.

තාත්තාගේ සංගීත ලෝකය දැක්ක නිසාද සත්මානිත් සංගීතයම තෝරා ගත්තේ?

අනිවාර්යෙන්ම. තාත්තිව දැකලා තමයි මට ඕනේ වුණේ ගායිකාවක් වෙන්න. ඒ එක්කම මගේ පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා චිත්‍රපටවල පසුබිම් ගායනය කරන්න. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වෙලා තිබ්බේ. මම මුලින්ම හිතුවේ රඟපාන කෙනාම තමයි සින්දුව කියන්නේ කියලා. ඒ නිසාම මම ඩාන්සින් ඉගෙන ගත්තා. කාටවත් මම කිවුවේ නැහැ ෆිල්ම්වල සින්දු කියන්න ආස නිසයි ඩාන්සින් ඉගෙන ගන්නේ කියලා. ඒ ඔක්කොම ඉගෙන ගත්තම තමයි දැන ගත්තේ ටිකක් ලොකු වෙද්දී පසුබිම් ගායනය කරන්නේ වෙනම ගායිකාවක් රඟපාන කෙනා කරන්නේ ඒ ගීතය මිමිණීම පමණයි කියලා. තාත්ති වගේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න සහ චිත්‍රපට පසුබිම් ගායනයට එන්න තමයි බලාපොරොත්තුව.

නර්තනයත් ඉගෙන ගත්ත නිසා රංගනයට ඇරයුමක් ආවොත් භාර ගන්නවද?

ඇරයුම් කිහිපයක්ම මේ වෙද්දීත් ඇවිත් තියෙනවා. මම දකින්නේ රංගනය කියන්නේ පුළුල් විෂයක්. ඒ නිසා රංගනය ගැනත් යම් හැදෑරීමක් කරන්න ලැබුණොත් මම ඒ හැදෑරීම කරලා ක්ෂේත්‍රයට එන්න අදහසක් තියෙනවා. බලමු ඉස්සරහට.

ගෙදරින් රංගනයට විරෝධයක් නැද්ද?

මම හිතන්නේ නැහැ ගෙදරින් එහෙම අකමැත්තක් හෝ බලපෑමක් කරයි කියලා. දැනට ලැබුණු චරිතවල‍ට නම් මගේ කැමැත්තක් තිබ්බේ නැහැ. මම ගොඩක්ම කැමති ගායනය පැත්තෙන් ඉදිරියට යන්න. ඒ අතර හොඳ නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් භාර ගන්න ඉඩ තියෙනවා.

සත්මානි මේ වෙද්දී මොකද කරන්නේ?

මම මානව සම්පත් කළමනාකරණ උපාධිය කළා. කාලයක් රැකියාවක් කළා. මම මේ වෙද්දී කැමති මියුසික් පැත්තෙන් ඉදිරියට යන්න. ඒ නිසා මේ වෙද්දී නම් රැකියාවක් කරන්නේ නැහැ. දැන් සංගීතය පැත්තෙන් විශාරද විභාගය කරනවා.

අයියා නංගිගේ සංගීත ගමනට ලොකු සහයෝගයක් දෙනවා, අයියා කැමති නැද්ද තාත්තා වගේ සින්දු කියන්න?

අයියා කරන්නේ ලංකාවේ චිත්‍රපට වල ප්‍රමෝෂන් පැත්ත. අපිට තියෙනවා ඇඩ්වටයිසින් කම්පැනි එකක්. එයාට එකේ වැඩත් එක්ක වෙලාව මදිකම තමයි තියෙන්නේ. නැත්නම් අයියටත් හොඳට සින්දු කියන්න පුළුවන්. එයත් මේ අවුරුද්දේ අලුත් වැඩක් කරයි. ඒ අලුත් වැඩෙත් එක්ක අයියාවත් බලාගන්න පුළුවන් වෙයි.

පවුලේ ප්‍රසංගයක් සංවිධානය වෙනවා නේද?

වසර 33යි – ගීත 33යි සැමදා ඔබ ළඟ ඉන්නම් ලයිව් ඉන් කොන්සර්ට් කියලා තාත්තගේ ප්‍රසංගයක් කරන්න සැලසුම් කළා. ඒ ප්‍රසංගය 2024 වසරේදී අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන් වෙයි. ඒ ප්‍රසංගයේ දී මමයි අයියයි දෙන්නම තාත්තා එක්ක ගීත ගායනා කරනවා.

ක්ෂේත්‍රයට එද්දී තාත්තා මොන වගේ උපදෙසක් ද දුන්නේ?

තාත්තා හැමවෙලාවෙම කියන්නේ හයියෙන් ගමනක් යන්න බලාපොරොත්තු වෙන්න එපා කියන එක. කුමාරසිරි පතිරණගේ දුව කියන එකට වඩා මගේම නිර්මාණවලින් මගේම අනන්‍යතාවක් හදාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඒ ගමන හිමින් ගමනක් වුණත් ශක්තිමත් කියන එක තමා කියන්නේ.

සත්මානි ආදරවන්තියක් ද?

තවම නම් ආදරවන්තියක් නෙවෙයි.

කොහොම කෙනෙක්ද හොයන්නේ?

හොයන්නේ නම් සංගීතයට කැමති මගේ පවුලේ අයට සහ මටත් ගොඩක් ආදරේ කරන කෙනෙක්. තාම එහෙම කෙනෙක් හම්බුණේ නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

ලොකුම බලාපොරොත්තුව සංගීත ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන එක.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division