Home » මම හිතන්නෙ මගේ හොඳම ෆෑන් එයා

මම හිතන්නෙ මගේ හොඳම ෆෑන් එයා

by thanushika
January 6, 2024 12:30 am 0 comment
 අනූෂා රණසිංහ

මේ දිනවල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන මන්දාරම් කතාව. මන්දාරම් කතාව නරඹන ඔබට එහි ලොකු අක්කාව නම් අමතක වෙන්න බැහැ. මේ තරම් නපුරු අක්කලත් ඉන්නවද කියලා හිතෙන තරමට චරිතයට සාධාරණයක් කරන්නෙ නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නමින් දර්ශි විජේසුන්දර.

මුලින්ම දර්ශි ගැන කිව්වොත්?

මගෙ උපන් ගම නවදන්කුලම. දැන් පදිංචිය කොළඹ. මම පාසල් දෙකකින් අධ්‍යාපනය ලැබුවා. එක වසරේ ඉඳන් පහ වසර දක්වා නවදන්කුලම කනිටු විදුහල සහ හය වසරෙන් පස්සෙ හලාවත කාමේල් කොන්වන්ට් එකට ගියා. පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි. අම්මයි. මමයි.

කලාවට ආස කරන්නෙ කොයි කාලෙ ඉඳන් ද?

පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර සිංහල චිත්‍රපට බලනවා. මාලනි ෆොන්සේකා, සනත් ගුණතිලක, විජය කුමාරතුංග මහතාගේ ෆිල්ම්වලට හරි ආසයි. මම ඉස්කෝලේ පහ වසර වගේ කාලේ මාලනි ෆොන්සේකා මහත්මිය අපේ ගෙදර ආවා මගෙ අම්මා හමුවෙන්න. එදා එතුමිය බලන්න අපේ ගෙදරට සෑහෙන කට්ටිය ආවා. මට ඒ දේවල් ගැන හරි පුදුමයි. ඒකත් එක්ක මට ඇයගේ ඡායාරූප දකිද්දි හිතුණා මටත් මේ වගේ රඟපාන්න ඕනේ කියලා.

නිළියක් වෙන්න ඕනේ කියලම හිතුණේ ඇයි?

නිළියක් වෙනවා කියන එක හිත ඇතුළේ තිබ්බ දෙයක්. ගමේ අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගෙන තියෙනවා. පාසලේ නාට්‍යය කළා. නිවේදන කටයුතු කළා. පල්ලියේ නාට්‍යය කරනවා. ඒ දේවල්වලින් සහතික සහ ඇගයීම් ලැබුවා. වෘත්තිය විදිහට තෝරා ගන්නවා නම් මුලින්ම ලෝයර් කෙනෙක් වෙන්න හිතුවා. ආයේ එයාර් හොස්ටර් කෙනෙක් වෙනවා කියලත් හිතුණා. කොහොම හරි 10 -11 වසරවලදි හිතුවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා කියලා. ඒ ඔස්සෙ හැදැරීම් කරලා ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණා. ඊට පස්සෙ තමා නිළියක් වෙන්න ලැබුණේ.

මොකක් ද මුලින්ම සම්බන්ධ වුණා නිර්මාණය?

ඔඩිෂන් ගණනාවකට ගියා. ගොඩක් තැන් වලින් ප්‍රතික්ෂේප වුණා. උස මදි කිවුවා. සුදු මදි කියනවා. මම ළඟා වෙන්න හදන හීනය හරි අමාරුයි ඒ නිසා අතහැරලා දාන්න ඕනේ කියලා හිතුණා. 2019 අවුරුද්දේ මම ගිහාන් ෆර්නෑන්ඩු සර් සහ උමයංගනා වික්‍රමසිංහ අක්කා යටතේ රංගනය ගැන හැදෑරුවා. උමයංගනා අක්කා තමයි මට කතා කළේ සියත නාළිකාවේ විකාශය වුණ මෝදර බඹරු නාට්‍යයේ සුදීක්ෂා සමාධිගේ යාළුවගේ චරිතය කරන්න.

මේ වෙද්දි නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවා ද?

මේ වෙද්දි පුංචි පුංචි චරිතත් එක්ක නිර්මාණ අටකට වගේ සම්බන්ධ වෙන්න ලැබුණා. කියාදෙන්න ආදරේ, බන්ධනා වගේ නාට්‍යයවල රඟපෑවා. වැඩියෙන්ම කතාබහට ලක් වුණේ මෑතක සිට විකාශය වන ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරන මන්දාරම් කතාවෙ ලොකු අක්කාගෙ චරිතය. ඒ චරිතයෙන් තමයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. මේ දවස්වල විකාශය වන උන්මාදිනි නාට්‍යයේ ඉන්නවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකත් ඉන්නවා.

දර්ශි ඇයි මේ තරම් ම නපුරු?

මම ඇත්තටම නපුරු නැහැ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මට ඕනේ වුණේ ලොකු අක්කා කියන චරිතයට සාධාරණයක් කරන්න. මට කවදා හරි හොඳ රංගන ශිල්පිනියක් වෙලා සම්මානිත රංගන ශිල්පිනියක් වෙන හීනයක් තියෙනවා. යාළුවොත් මගෙන් අහන්නෙ ඔයා ඉස්කෝලේ යන කාලෙ ඔහොම නපුරු නැහැ නේ කියලා. මගේ නංගිට රඟපාන ඉසුරින්දි මම කලින් ඉඳන්ම දන්නවා. අපි වීණාවි ඇකඩමි එකේ රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අම්මාට ඉන්න නයනා හෙට්ටිආරච්චි මහත්මියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක වගේම නිෂ්පාදක අයේෂා අබේරත්න අක්කාට සහ තිර රචක තිලංක නිරංජන් බණ්ඩාරට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව මට ලබලා දුන්නාට.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

මිලින්ද සඳරුවන්ගෙ මියුසික් වීඩියෝ එකක් කළා. ඒක පසුගිය මාසේ 24 රිලීස් වුණා. තව ෂෝර්ට් ෆිල්ම් දෙකක් එන්න තියෙනවා.

ආදරේ ගැන මොකද හිතෙන්නෙ?

ආදරේ ගැන දැනෙන හැ‌ෙඟන දේ කෙනාගෙන් කෙනාට වෙනස්. මම ආදරේ විදිහට දකින්නෙ ආදරේ දකින්නෙ තේරුම් ගැනීම, විශ්වාසය, මානසික නිදහස එක්ක තියෙන දෙයක්. මට මොන දේ වුණත් ඒ ආදරේ මතක් වෙද්දි සහ එයා ගාවදි හිතට සැනසීමක් දැනෙන්න ඕනේ. මම ආදරේ ගැන හිතන්නෙ එහෙම.

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

මාව තේරුම් ගන්න පුළුවන්. දෙන්නම එකතුවෙලා ජීවිතේ ජය ගන්න කැමති, මට ආදරේ කරන මාව විශේෂ කෙනෙක් වෙන කෙනෙක්වයි මම හොයන්නෙ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් හැමදේටම හොඳ සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම මගෙ අම්මම්මා. එයා මගේ අම්මගේ අම්මා. මාව ටීවි එකේ දකිද්දි එයා තමා ගොඩක් ම සතුටු වෙන්නෙ. මම හිතන්නෙ මගේ හොඳම ෆෑන් එයා තමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division