Home » ණය ගෙවීමට හොඳ සූදානමක් තිබිය යුතුයි

ණය ගෙවීමට හොඳ සූදානමක් තිබිය යුතුයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ජයක ප්‍රධාන ආදායම් මාර්ගය පවත්වා ගෙන යාමට බදු අය කළ යුතුයි. පසුගිය කාලයේ අප රට තුළ පැවැතියේ දැඩි ආර්ථික අවපාතමය අවස්ථාවකි. ආර්ථික විද්‍යා දැනුමට අනුව එවන් අවස්ථාවකදි බදු පැනවීම සිදු කළ යුත්තේ විශේෂ අවධානයකින් යුතුවය. ඊට හේතු වන්නේ පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය නැති නොවන ආකාරයෙන් එය කළ යුුතු වීමයි. යම් භාණ්ඩයක් පාරිභෝගිකයන්ට මිලදී ගත නොහැකි නම් ඉල්ලුම අඩු වී ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වෙයි.

පසුගිය වසරේ සෘජු බදු 36% දක්වා උපරිමයෙන් වැඩි විය. එයින් රජය අපේක්ෂා කළේ විශාල බදු ආදායමක් උපයා ගැනීමටය. මෙය එක්තරා ආකාරයකින් ගැටලුවක් නොවී බදු ගෙවීමක් සිදු විය. 12% පැවැති වැට් බද්ද 15% දක්වාත් වර්තමානයේ 18% දක්වාත් වැඩි විය. නමුත් සෘජු බදු ගෙවන පිරිස් ඒ සමඟම වැට් බද්දත් ගෙවිය යුුතු වෙයි. බොහෝමයක් අයිතමවලට නවතම 18% වැට් බද්ද එකතු විය. ප්‍රශ්නය වන්නේ ආදායම් වැඩි නොවීම මත සෘජු බදු ගෙවන්නාට දෙගුණයක් සිය වියදම එකතු වීමය. ආර්ථික විද්‍යා න්‍යායන්ට අනුව ආර්ථික අවපාතයක් පැවැති විට බදු පැනවීමක් කරන්නේ නැත. ඒ වෙනුවට කළ යුත්තේ රාජ්‍ය වියදම් වැඩි කිරීමය.

අපේ රට මෑත කාලයේ මුහුණ දුන්නේ විශේෂිත අවස්ථාවන්ටය. රජය ප්‍රකාශ කළේ පසුගිය කාලයේ රජයට අපේක්ෂිත ආදායම ලැබී නොමැති බවය. මේ නිසා ඊට විකල්පයක් ලෙස රජය විසින් වැට් බදු වැඩි කිරීමට කටයුතු කළේය. මේ වන විට අපිට ඇති ප්‍රශ්නය වන්නේ වැට් බදු වැඩි කිරීම තුළ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ නැඟ තිබීමය. නමුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය ද ජනතාවගේ ආදායම ඉහළ ගොස් නොතිබිණි. එසේනම් ආදායම වැඩි නොවී බදු වැඩි කිරීම තුළ පාරිභෝගිකයා අධෛර්යයට පත්වීමට ඉඩ ඇත. දිනකට ආහාර වේල් දෙකක් ගත්ත ද වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය හමු වේ එක් ආහාර වේලකට පමණක් සිමා කරන්නට සිදුවී ඇත. තවත් පැත්තකින් වැට් බදු වැඩි වීම වැඩියෙන්ම බලපා ඇත්තේ මධ්‍යම හා නාගරික පන්තියටය. ග්‍රාමීය ජනතාවට වගා කටයුතු හරහා හෝ විකල්පයන්ට පිවිසීමේ හැකියාව තිබීම මෙන්ම රජයේ සහනාධාර වැඩපිළිවෙළ නිසා පහළම ජනතාවට ද එතරම් ගැටලුවක් මතු නොවන්නට ඇත. මේ තත්ත්වය මත භාණ්ඩ හා සේවා පරිභෝජනය අඩු කිරීම මත සිදුවන අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ කාහටද යන්න සොයා බැලිය යුතු වෙයි. උදාහරණයක් වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට මුහුණ දී ඇති තත්ත්වය වන්නේ මාළු මිල වැඩිවීම නිසා මාළු ග්‍රෑම් 500ක් හෝ අලෙවි කරගත නොහැකි තත්ත්වයට පත්වීමයි. මේ ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ඛේදවාචකය එම රැකියාවට වඩා ජීවත් වන සෘජු හා වක්‍ර විවිධ සේවා සපයන අති විශාල ප්‍රජාවකට ද ඊට මුහුණ දීමට සිදු වෙයි. එවිට සිදුවන්නේ මේ සියලු දෙනාගේම ආදායම් පහළට වැටීමය. මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අලෙවිය පහත වැටීම හා වැට් බද්ද යන දෙයාකාරයෙන්ම සිදුවන පීඩාවන්ට ජනතාවට මුහුණ දීමට සිදු වෙයි.

මෙවන් තත්ත්වයක් මත අපි අපේක්ෂා කරන ආර්ථික ඉලක්ක කරා ළඟා විය හැකි වෙයිද? ඇත්තටම ආර්ථික විද්‍යා දැනුම අනුව ආර්ථික ප්‍රසාරණයට වඩා සිදුවිය හැක්කේ ආර්ථිකය හැකිළීමකි. 2023ට වසරට වඩා මේ වසරේදි ආර්ථිකය හැකිළෙන්නට ඉඩ ඇති බව මාගේ අදහසයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට පිරිවැය වැඩි වීම නිසා භාණ්ඩවල මිල වැඩි කිරිමට සිදුවීම ස්වභාවිකය. තවත් පැත්තකින් විදේශ රටවලට අපේ භාණ්ඩ හා සේවා යැවීමට නොහැකි තත්ත්වයක් උදා වෙයි. එසේ අපේ අපනයන යැවීමට නොහැකි වූ පමණින් විදේශීය රටවලට විශේෂිත ගැටලුවලට මුහුණ දීමට සිදු නොවෙයි. මේ තත්ත්වය මත අපේ භාණ්ඩ සඳහා ඇති විදේශ ඉල්ලුම ද පහත වැටීමට ඉඩ ඇත. මන්ද වැඩි පිරිවැයකින් යුතු වැඩි මිලක් සහිත භාණ්ඩ ලබා ගැනීමට ඔවුන් අකමැති නිසාය. එවන් තත්ත්වයක් තුළ අප දැඩිව අවධානය යොමු කළ යුත්තේ අපේ ආර්ථිකය තව කොතෙක් දුරට පහතට වැටේවිද යන්න පිළිබඳවයි.

රටක නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කර ගැනීමට නොහැකි වේ නම් මුලින්ම සිදුවන්නේ දැනට සිටින සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමට කටයුතු කිරිම හෝ වැටුප් කප්පාදු කිරීමකට යාමය. පෞද්ගලික අංශයට පවා ඒ හැකියාව ඇත. අපේ රටේ 10-15%ක පමණ සේවා වියුක්තියක් ඇති අවස්ථාවක එක් සේවකයකු ඉවත් වූ විට තවත් දස දෙනකු ඊට සම්බන්ධ වීමට සූදානමින් සිටිති. ඇත්තෙන්ම සේවා වියුක්තිය වැඩිවීම රටකට අනිවාර්යයෙන්ම බරකි. විදේශයන්ට භාණ්ඩ අලෙවි කරගත නොහැකි වුවහොත් විදේශ විනිමය අඩු වෙයි. එවිට මහ බැංකුවේ සංචිත අඩු වෙයි. මේ වන විට අපි ණය නොගෙවීම නිසාවෙන් සංචිත මහ බැංකුවේ තිබෙන අතර බාහිරින් බලන්නෙකුට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව අවබෝධ විය හැකිය.

මෙවැනි තත්ත්වයකදී රජයට ඇති විකල්ප මොනවාද? 2019 වසර තෙක්ම අපේ රටට සංචාරක කර්මාන්තයෙන් ලැබුණේ අති විශාල ආදායමකි. කොවිඩ් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට ඇති වූයේ අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා අති විශාල ආදායමක් අහිමි විය. එසේම විදේශ ප්‍රේෂණ අහිමි විය. මගේ අදහස වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් පමණක් හොඳ ආදායම් තත්ත්වයක් ඇති කර ගැනීමට අපිට හැකියාව ඇත. රජයට පමණක් මේ තත්ත්වයට තනියම මුහුණ දිය නොහැකිය. ඒ සඳහා තානාපති සේවාවන් ද උදවු විය යුතුය. තානාපති සේවාවන් හරහා සාකච්ඡා කරමින් අපේ රටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට දායක විය යුතුය. සංචාරකයන් ඇද ගැනීමේ විශාල වැඩ සටහනක් මෙන්ම විදේශ රැකියා ළඟා කර ගැනීමේ වැඩ සටහන් දියත් විය යුතුය. විදේශ රැකියා වැඩසටහනේදී ඊශ්‍රායල් පලස්තීන යුද යම් බලපෑමක් සිදු වුව ද එවන් අවස්ථාවන්හිදි කළ යුත්තේ විකල්ප රටවල්වල සහය ලබා ගත යුතු වීමයි. මේ සඳහා තානාපති සේවාවන්ට ඇත්තේ ද විශාල කාර්ය භාරයකි. අපේ අලුත් අපනයන වෙළෙඳපොළ කරා විවර කිරීමේ මාර්ග ඇති කිරීමට තානාපති අංශයන්හි කැපවීම මේ අවස්ථාවේ දැඩි වගකීමක් වෙයි. අලුත් රටවල අලුත් වෙළෙඳ පොළ විවෘත කිරීමේ වගකීම මේ අය සතු කාර්යයකි.

සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ රැකියා දියුණු කිරීම හරහා රාජ්‍ය ආදායම යම් පමණකට දියුණු කිරීමේ හැකියාව අප සතුව ඇත. වර්තමානයේ සංචාරකයන් පැමිණීම සාර්ථක වුව ද වසරකට සංචාරකයන් දස ලක්ෂයක් පමණ ගෙන්වා ගත හැකි නම් එය අති විශාල ප්‍රගතියකි. එසේම මේ වන විට ලංකාවට පැමිණෙන බහුතරයන් සංචාරකයන් ඉන්දීය, චීන වැනි ආසියාතික රටවල අය වෙති. නමුත් බටහිර රටවල මෙන්ම යුරෝපා, කැනඩා, ඔස්ට්‍රේලියා වැනි රටවල සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගත හැකි නම් අපට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි වෙයි. මේ පියවර අනුගමනය කරන්නේ නම් ආර්ථිකය ගොඩනැංවීමට යම් දායකත්වයක් ලැබිය හැකිය.

ආර්ථික විග්‍රහයන්ට අනුව බද්ද අය කිරීම යනු තාවකාලික විසඳුමක් පමණි. ලැපර්ගේ වක්‍රයට අනුව බදු අය කිරීම රජයේ ආදායම පහළ වැටීමට හේතුවක් වන බව පෙන්වා දී ඇත. ඒ නිසා බදු අය කිරීමේදි යම් සීමාවන් තිබිය යුතුය. පරිභෝජනය සඳහා 40%ක සීමාවන් තිබිය යුතුය. නමුත් මේ වන විට අපේ ආදායමෙන් 40%ක් පමණ බදු ගැසීමට යටත් වෙයි. මගේ අපේක්ෂාව වන්නේ 2024 වසරේදි ආර්ථිකය හැකිළීමක් මිස ප්‍රසාරණයක් සිදු නොවන බවය. පසුගිය කාලයේ වැට් බද්දට ජනතාව හුරු වුව ද මේ අවස්ථාවේ අයිතිම අනූ ගණනකට ආසන්නව වැට් බදු වැඩි වීම දරාගත නොහැකිය. මේ තත්ත්වය මත සේවා වික්තිය වැඩිවිය හැකිය. නිෂ්පාදනය පහළ යාමට බොහෝ දුරට ඉඩ ඇත. ඉතුරුම් මෙන්ම පරිභෝජනය ද පහත වැටීමට ඉඩ ඇත. වැට් බදු වැඩි කිරීම හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එය ලබා ගැනීමේ සාර්ථක හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් තිබීම ද ඉතා අවශ්‍යයය.

සමහර ආර්ථික විශේෂඥයන් පවසන පරිදි 2027 වසර තෙක් අප යා යුත්තේ මේ ගමන් මාර්ගයේම පමණක් ද යන්නත් අවධානය යොමු කළ යුතු කරුණකි. මේ පිළිබඳ මාගේ අදහස වන්නේ ආණ්ඩු කරන්නේ කවුරුද යන්න නොව වැදගත් වන්නේ ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තියයි. විදේශ රැකියා පුහුණු සේවකයන් යැවීමට හොඳ වැඩපිළිවෙළක් ඇත්නම්, සංචාරකයන් ගෙන්වා ගැනීමට හොඳ වැඩපිළිවෙළක් ඇති නම්, අපනයන කර්මාන්ත සඳහා අලුත් වෙළෙඳපොළ සොයා ගැනීමේ හැකියාව අපට ඇති නම් මේ ගමන් මඟ යා හැකි වෙයි. එවිට වැඩිකල් නොගොස් මේ ආර්ථිකය ගොඩ නංවා ගැනීමේ හැකියාව ඇත.

වර්තමානයේ වැට් බදු වැඩි කිරීමේ ප්‍රධාන කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයි. දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා රජයේ බදු ආදායම වැඩි කර ගත යුතුව ඇත. නමුත් මුදල් පවතින ආර්ථිකයක බදු අය කර ගැනීමේ එතරම් ගැටලුවක් පැන නඟින්නේ නැත. නමුත් ආදායම අඩු අයගෙන් බදු ගැසීමෙන් වන්නේ ඊට විකල්පයක් සොයා යාමය. මේ විකල්පය වන්නේ පරිභෝජනය අඩු කිරීමය.

ආර්ථික විද්‍යාවට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු වූයේ මෙයට බොහෝ කලකට පෙරය. නමුත් අපි ඒ සඳහා යොමු වූයේ ආර්ථිකය සහමුලින්ම බංකොලොත් වූ පසුවය. රෝගය ආරම්භයේදීම ප්‍රතිකාර ආරම්භ කළේ නම් රෝගය මෙතරම් උත්සන්න නොවීමට ඉඩ තිබුණි. ඕනෑම රටකින් ණය ලබා ගැනීමේදි විවිධ කොන්දේසි පැනවීම් සිදු කෙරේ. නමුත් කුමන කොන්දේසි මත වුව ද එදා මේ ණය ලබාගත හැකි වූයේ නම් අද වන විට අපේ ආර්ථිකය යම් පමණකට ස්ථාවර වන්නට ඉඩ තිබුණි. එවිට කොවිඩ් අර්බුදයට පෙර අපේ ආර්ථිකය ශක්තිමත් විය හැකිව තිබුණි.

රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලබාගෙන ඇත. ඉදිරියට ඇත්තේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමය. පළමු වාරිකය ලබා ගෙන අප කළ ආයෝජන මොනවා ද යන්න අපි අවධානය යොමු කළ යුතුය. ඒ ආයෝජන හරහා ලැබූ පලදාව කුමක්ද? මුල් වාරිකය හරහා ඉන්දීය ණය ගෙවීම සිදු කිරීමෙන් ආයෝජනයක් සිදු නොවූ බව අදහසයි. දෙවැනි වාරිකය හරහා ද මේ ණය ගෙවීම සිදුකළහොත් ඒ ණය ගැනීම අසාර්ථක විය හැකිය. මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන මුදල අනාගතයේ ආදායම් ලැබෙන නිශ්චිත වැඩපිළිවෙළකට ආයෝජනය කළ යුතුයි. මේ හරහා විදෙස් රටවල පවතින කර්මාන්ත ශාලාවල අනු කොටස් ලෙස ආයෝජන මෙහි ආරම්භ කළ හැකිය. අපේ අවශ්‍යතාවන් මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්වත් කළ යුතුව තිබුණි. ඒ අනුව අපේ සැලසුමට අනුව ණය ගත යුතුව ඇත. ඊට ක්‍රමවේද සකසා ගත යුතුය. ණයෙන් ණය දීම සිදුනොවී ඒ ණය ගෙවීමට ව්‍යාපාර හරහා ආයෝජනය කළ යුතුව ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි සහන ලබා ගත්ත ද මේ ණය තවත් කාලයකින් හෝ ගෙවිය යුතුයි.

ණය ගෙවීමේ හොඳ සූදානමක් අපිට තිබිය යුතු වන්නේ ඉදිරිය ගැන ඇති අවිනිශ්චිත තත්ත්වය නිසාය. ඉදිරියේදි අපේ රටට පමණක් නොව ලෝක ආර්ථිකයට ද කුමන බලපෑමක් ඇතිවේ ද යන්න අවිනිශ්චිතය. යම් ස්වභාවික සංසිද්ධීන් පමණක් නොව කොවිඩ් වැනි තත්ත්වයන් පවා මතුවීමේ අවදානම ඇත. යම් හෙයකින් එවැනි තත්ත්ව මත ලෝක ආර්ථිකය කඩා වැටුණහොත් අපේ ආර්ථිකය ද මීට වඩා දරුණු තත්ත්වයකට පත්විය හැකිය. එමනිසා මේ කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල හරහා යම් ව්‍යාපෘති කිහිපයක් හෝ ආරම්භ කරන්නේ නම් සේවා වියුක්තිය හෝ අඩු කර ගැනීමේ හැකියාව අපට ඇත.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division