Home » බදු අඩුකර ගැනීමට ජනතාවත් කළ යුතු දෑ තිබෙනවා

බදු අඩුකර ගැනීමට ජනතාවත් කළ යුතු දෑ තිබෙනවා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment
“2024 සහ රටේ ආර්ථි­කය” මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ සහ මුදල් අමා­ත්‍යාං­ශයේ හා මහා භාණ්ඩා­ගා­රයේ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන සමඟ ජනා­ධි­පති මාධ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ධනුෂ්ක රාම­නා­යක සාකච්ඡා කර­මින්

“2024 සහ රටේ ආර්ථිකය” මැයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේ දී මතු කළ ප්‍රශ්න සහ ඒවාට ඔවුන් ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය

2022න් ආරම්භ වූ ආර්ථික අර්බුදය 2023 යම්තාක් මට්ටමකට පහව ගියාද? එසේ පහව ගියා නම් එය සිදු වුණේ කොහොමද? ඒ වගේම 2024 වසර සඳහා අපට අලුත් බලාපොරොත්තුවක්, අලුත් සිතුවිල්ලක් ඔබතුමන්ලාට ලබා දිය හැකිද?

මහ බැංකු අධිපති

අපේ රටේ ආර්ථික ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදය ඇතිවුණ වසර තමයි 2022 වර්ෂය. ආර්ථිකය 8%කින් සංකෝචනය වුණා. උද්ධමනය 70%ක් දක්වා වර්ධනය වුණා. සංචිත ප්‍රමාණය වසර අවසානය වන විට බිලියන 1.9ක වගේ ප්‍රමාණයකයි තිබුණේ. අපි ණය ගෙවීම අත්හිටුවලයි තිබුණේ. විදේශ විනිමය අර්බුදය විශාල වශයෙන් තිබුණා.

වේදනාකාරී ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අරගෙන ආර්ථිකය යම්කිසි ආකාරයකින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ ගමනේ අවශ්‍යම ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ වර්ෂයක් ලෙස 2023 වර්ෂය හඳුන්වන්න පුළුවන්.

ආපසු හැරී බලන විට එහි ප්‍රතිඵලත් අපට දැන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මහ බැංකුව පාර්ශ්වයෙන් කතා කළොත් 2023 වර්ෂයේදී අපට පුළුවන් වුණා 2022 සැප්තැම්බර් මාසයේ 70%ට ඉහළ ගිය උද්ධමනය, 95%කට ඉහළ ගිය ආහාර උද්ධමනය මේ වන විට සාමාන්‍ය උද්ධමනය 1%ටත්, ආහාර උද්ධමනය සෘණ මට්ටමට ගෙනවිත් 4% වැනි මට්ටමක ස්ථාවර වී තිබෙනවා. ඒ සමඟම සංචිත මට්ටම සඳහන් කළහොත් එය පසුගිය 2022 වසර අවසානයේ පැවතියේ බිලියන 1.9ක් (අමෙරිකානු ඩොලර් බිලියන 1897) ලෙසයි. එය 2023 වසර අවසානය වන විට බිලියන 4.3 මට්ටමකට වැඩි වී තිබෙනවා.

2022 වසරේ සියයට හතළිස් ගණනකින් රුපියලේ වටිනාකම අවප්‍රමාණය වුණා. 2023 වර්ෂය ඇතුළත රුපියලේ අගය 12%කින් අවප්‍රමාණය වූ මට්ටමේ සිට අධිප්‍රමාණය වී තිබෙනවා. එසේ වී තිබියදීත් මහ බැංකුවට හැකි වුණා සංචිත ගොඩනංවා ගැනීමට. විශේෂයෙන් වෙළෙඳපොළෙන් පමණක් බිලියන 1.9ක් විදේශ සංචිත බිහි කර ගෙන තිබෙනවා. ඒ සංඛ්‍යාව බැලුවොත් පසුගිය වසර අවසානයේ තිබූ මුළු සංචිත ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි වෙළෙඳපොළ තුළින් ශුද්ධ වශයෙන් අරගෙන සංචිත ගොඩනඟා තිබෙනවා. ඊට අමතරව තවත් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතනවලින් මුදල් එකතු කරගෙන බිලියන 4.3ක් දැන් සංචිතයේ තිබෙනවා.

ඒ අතරතුරම තමයි 12%කින් රුපියලේ අගය අධිප්‍රමාණය වුණේ. එය ස්ථාවර විනිමය අනුපාතයක්. සාපේක්ෂව අඩු උද්ධමන අනුපාතයක්. ඊට අමතරව ආර්ථික වර්ධනය 2022 පළවෙනි කාර්තුවේ සිට කාර්තු 06ක් එක දිගට සෘණ ආර්ථික වර්ධනයක් තිබූ තත්ත්වය, 2023 තුන්වෙනි කාර්තුවේ ධන ආර්ථිකයකට පරිවර්තනය වුණා. 2023 වර්ෂයේදී ආර්ථිකය යථාතත්ත්වයට පත් වීමේ ආරම්භය ගත් බව 2023 තුන්වෙනි කාර්තුවේ දත්ත තුළින් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ ප්‍රවණතාව 2023 හතරවෙනි කාර්තුවේ දත්තවලින් තවදුරටත් පැහැදිලිව පෙනෙනවා.

වේදනාකාරී සහ අමාරු ප්‍රතිපත්ති වුණත් මේ සියල්ල සිදු වන්නේ එසේ ගත් ක්‍රියාමාර්ග නිසයි. ඒ අනුව කටයුතු කළහොත් 2024 වර්ෂය ඊටත් වඩා හොඳ එනම්, මුළු වර්ෂය තුළ 3%ක පමණ ආර්ථික වර්ධනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. එයින් තමයි ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආදායම් මාර්ග ඉහළ යන්නේ. එයින් තමයි දුප්පත්කම යම්කිසි ආකාරයකින් අඩු කිරීමට හැකි වන්නේ. 2024 වර්ෂය තුළ උද්ධමනය 5% මට්ටමක තියා ගන්න හැකි වෙයි කියා අප හිතනවා.

ඒ වගේම විදේශ විනිමය තීරණය කිරීම තුළ වෙළෙඳපොළ මතින් තීරණය වන විදේශ විනිමය අනුපාතය යම්කිසි ස්ථාවර මට්ටමක සහ ඒ සමඟම තිබෙන සීමා තවදුරටත් ඉවත් කර, රටේ ව්‍යාපාර කර ගෙන යාමට අවශ්‍ය කරන ආනයන සීමා තවදුරටත් ලිහිල් කර, විදේශ විනිමය ආයෝජන සම්බන්ධ කටයුතු ලිහිල් කර මීටත් වඩා හොඳ ව්‍යාපාර ආර්ථික කටයුතු ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් 2024 වසර තුළ ඇති කරන වැඩපිළිවෙළක් තිබෙනවා.

2022 වසර තුළ විදේශ විනිමය අනුපාතය ශීඝ්‍ර අවප්‍රමාණය වීම වගේම පොලී අනුපාතය ශීඝ්‍ර ලෙස වැඩි කිරීමට සිදු වීම නිසා බැංකු පද්ධතියත් යම් ආකාරයක අවධානමට ලක් වී තිබුණා. ජනතාව තුළ විශාල බියක් මවලා තිබුණා බැංකු පද්ධතිය කඩා වැටෙයි කියලා. ඔවුන් තුළ තිබෙන අවිනිශ්චිතතාව තුරන් කර මේ වන විට බැංකු පද්ධතියේ පොලී අනුපාත අඩු වී ස්ථාවර කර බැංකුවල ණය දීම වැඩිකර ගෙන යනවා. එය ලබන අවුරුද්දේ තවදුරටත් වැඩිකර අඩු පොලී අනුපාතයකට ණය ලබා දෙමින් පුද්ගලික අංශයට සහ සියලු දෙනාට ව්‍යාපාර ‍කර ගෙන යාමේ පහසුව සකස් කෙරෙනවා.

මේ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් පියවරයන්හි සාධනීය ප්‍රතිඵල අපට පැහැදිලිව පෙනෙනවා. මේ වගේ තත්ත්වයකට පත් වූ රටවල් සමඟ සංසන්දනය කළහොත් පසුගිය කාලය තුළ මේ වගේ කෙටි කාලයක් තුළදී මේ තත්ත්වයට පත් වූ එකම රට තමයි ශ්‍රී ලංකාව.

ඊළඟට ගත් පියවර තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ. 2023 වසරේදී මුදල් අමාත්‍යාංශය, රජය සහ මහ බැංකුව එක්ව ඒ පිළිබඳ විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා. 2022 අප්‍රේල් මාසයේ ණය තාවකාලිකව ගෙවීම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමෙන් පසු මේ වන විට දේශීය ණය සම්පූර්ණ වශයෙන් ප්‍රශස්ථකරණය අවසන්. විශේෂයෙන් නිල වශයෙන් අපට ණය ලබා දුන් චීනය, ඉන්දියාව, ජපානය යන රටවල් සහ පැරිස් සමාජය එකඟ වී තිබෙනවා ඉදිරි වසර 10ක කාලයක් තුළ තිබෙන ණය දීර්ඝ කර, ණය සහන ලබා දීමට. ඉතාම කෙටි කාලයක් තුළ ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමත් ජයග්‍රහණයක්.

ප්‍රශ්නය

2022-2023 වර්ෂ දෙක සම්බන්ධයෙන් ගතහොත් මොනවගේ කාර්යසාධන මට්ටමකට ළඟා වුණාද?

මුදල් අමාත්‍යාංශ ලේකම්

2022 වර්ෂය ඉතාම අසීරු වර්ෂයක් වුණා. එය නැවතත් පැහැදිලි කළ යුතු නැහැ. 2022 වසර තුළ මුදල් අමාත්‍යාංශය දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නා. අපට වැටුප් ගෙවා ගන්න මුදල් තිබුණේ නැහැ. නැව් ඇවිල්ලා වරායේ තිබුණා ඩොලර් හොයා ගන්න නෑ. අපට රුපියල් හොයා ගන්නත් නැති අවස්ථා තිබුණා. ඒ වගේ දරුණු තැනක සිට රට ඉස්සරහට ගෙන යන වැඩපිළිවෙළ මොකක්ද කියන ප්‍රශ්නයයි අපට තිබුණේ. එතනදි අපට කටයුතු රැසක් කර ගන්න තිබුණා. එකක් තමයි රාජ්‍ය ආදායම් පිළිබඳ ගැටලුව. එය 8%ක වගේ මට්ටමක තිබුණේ. එය ලෝකයේ ඉතාම අඩු මට්ටමක්. රාජ්‍ය ආදායම 8%ක මට්ටමක තිබෙන කොට රාජ්‍ය වියදම 19%-20% මට්ටමක තිබුණේ. ඒ තුළ 12%ක් වැනි විශාල අය වැය හිඟයක් ඇති වෙනවා. පොදුවේ ගත් විට අපට තිබූ විශාලම ප්‍රශ්නය ආදායම වැඩි කර ගෙන, වියදම කළමනාකරණය කරගෙන, අය වැය හිඟය තිරසර මට්ටමෙන් පවත්වා ගන්නේ කොහොමද යන්නයි. ඒ අභියෝගයට මුහුණ දීමටයි ක්‍රියාමාර්ග ගත්තේ.

ආදායම් අංශය සම්බන්ධව 2023 වර්ෂයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් අප ආරම්භ කළා. ඒ සඳහා බදු ප්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් සිදු කළා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය තුළින් විශාල සංශෝධන ප්‍රමාණයක් අප ඉදිරිපත් කළා. එහි ප්‍රධාන අරමුණ වුණේ 8%ට තිබූ ආදායම යම්කිසි මට්ටමකින් වැඩි කර ගැනීමයි.

ඒ අතරම වියදම කළමනාකරණය කර ගැනීමටත් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. විශේෂයෙන් රාජ්‍ය වියදම් දැඩි සංයමයකින් යුතුව කළමනාකරණය කළ යුතු බව 2022 අප්‍රේල් මාසයේ චක්‍රලේඛ මඟින් අප දැනුම් දුන්නා.

ඒ හා සමානව බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කළා. ඒ වගේම වියදම් සම්බන්ධයෙන් ගත් කල රාජ්‍ය මූල්‍ය විනය රැකෙන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩා ශක්තිමත්ව හා විනයානුකූලව ඇති කිරීම සඳහා නිත්‍යානුකූල රාමුවක් ඇති කිරීමට කටයුතු කළා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ඒමට ද සූදානමක් තිබෙනවා.

ණය බර දරා ගන්න නොහැකි මට්ටමට පැමිණියේ අප ආදායමට වඩා වියදම් කළ රටක් වූ නිසයි. මෙරට විශාල අය වැය හිඟයක් තිබුණා. එක් පසෙකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන විට අනෙක් පසින් රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීමට නීති පද්ධතියක් ද තිබිය යුතුයි. ඒ සමඟම මෙම කටයුතු අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු කමිටු පිහිටුවනු ලැබුවා.

මෙවැනි කටයුතු රාශියක් කර ගෙන යන විට ආදායම වැඩි වන බව අප දුටුවා. ඒ වගේම තව බොහෝ දුර යාමට තිබුණත්, අපේක්ෂා කළ රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව යන ගමන ශක්තිමත් වන අයුරු දකින්න තිබෙනවා.

මේ අයුරින් ගත් ක්‍රියාමාර්ග තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ආදායම යම්කිසි මට්ටමකට වැඩි කර, දරා ගත හැකි මට්ටමට වියදම පවත්වා ගෙන යමින් අය වැය හිඟය තිරසර මට්ටමින් පවත්වා ගෙන යාමටයි. ඒ අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධන වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. මෙම අර්බුදය හමුවේ සමෘද්ධිය සඳහා ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයක් එනම් රුපියල් බිලියන 205ක පමණ මුදලක් අස්වැසුම සඳහා යොදවන්න සිදු වී තිබෙනවා. කොපමණ මූල්‍ය දුෂ්කරතා හමුවේ වුවත් ඒ සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් අප වෙන් කර තිබෙනවා.

මේ සියලු කරුණු සඳහා අපි 2022 වර්ෂයේ මැද සිට අඩිතාලම දැමුවා. 2023 වර්ෂයේ දී අඛණ්ඩව එම කටයුතු ක්‍රියාත්මක කළා. 2022 සිට 2023ට පැමිණි ගමනට වඩා 2023 සිට 2024ට අප යන්නේ ඉතාම හොඳ මට්ටමකින්. අප සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී තිබෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් රාජ්‍ය මූල්‍ය අංශය පැත්තෙන් වැඩිදියුණු වීමක් සිදු වී ඇති බව කියන්න පුළුවන්.

ඒ වගේම බදු වැඩි වීම සමහරුන්ට දරා ගන්න අමාරුයි. ඒ අප එක්තරා වියදම් හා ආදායම් මට්ටමකට හුරු වී සිටි නිසයි. බදු වැඩි වන විට එහි බලපෑම එනවා. නමුත් මේ අර්බුදයෙන් ගොඩ ඒමේදී අපි සියලු දෙනාටම යම්කිසි බරක් දරන්න වෙනවා. ඉතා දුෂ්කර ගමනක අඩිතාලම මේ වන විට යොදා තිබෙනවා. 2024 වර්ෂයේ දී අප බලාපොරොත්තු වන රට හදා ගන්න පුළුවන් වෙන්නේ දිගටම මේ ගමනේ ඉදිරියට යාම තුළින් පමණයි.

ප්‍රශ්නය

2024 වසරේදී අපට ණය ගෙවීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ණය නොගෙවා සිටින තත්ත්වයකත් රටේ සාමාන්‍ය ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ. ලබාගත් ණය ගෙවන්න සිදු වුවහොත් ජනතාවට තවත් අසීරු විය හැකිද?

මහ බැංකු අධිපති

මේ සම්බන්ධව සාමාන්‍ය ජනතාවට තිබෙන අවබෝධය අඩුයි. 2022 වසරේ අප්‍රේල් මාසයේ රටේ ණය ගෙවීම අත්හිටුවීම සම්බන්ධව අප නිවේදනයක් නිකුත් කළා. ඒක ඇතැමුන් හිතුවේ රටේ බංකොලොත්භාවය නිසා ණය ගෙවන්නේ නැහැ කියලයි. මගේ අදහසට අනුව නම් ඒක රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නෙමෙයි. ණය කොටසක් ගෙවීම අත්හිටුවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව වැඩි වෙනවා. බංකොලොත් රටවල් ණය ගෙවිය යුතු නැහැ. එහෙම වුණානම් කිසිදු රටකින් ණය ලබා ගන්නත් බැහැ. එවැනි තත්ත්වයක් තුළ රටේ ආදායම 8% නම් ඒ ආදායමෙන් ජීවත් විමට සිදු වෙනවා. වැටුප් ගෙවා ගන්න, සෞඛ්‍ය, අධ්‍යාපනයට මුදල් කපා හැරීමටත් සිදු වෙනවා. ඒ තුළින් සිදු වෙන්නේ රට තව තවත් ප්‍රපාතයකට ගමන් කිරීම පමණයි. වාසනාවකට අද රට එහෙම තැනක නැහැ.

ප්‍රශ්නය

පසුගිය දිනවල ආන්දෝලනාත්මක කාරණයක් වුණේ බදු සංශෝධනය කිරීමයි. මේ සෑම උපක්‍රමයක්ම කරන්නේ අය වැය හිඟය අවම කර ගැනීමට බවත් ප්‍රකාශ වුණා. එහි බලපෑම ජනතාවට දරාගැනීමට සිදුවන බවත් සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ විග්‍රහය කුමක්ද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

මෙහි ප්‍රධාන අරමුණ වුණේ රාජ්‍ය ආදායම වැඩි කරගෙන, අය වැය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. මේ වන විට බදු අය නොකරන භාණ්ඩ සංඛ්‍යාව 143ක් දක්වා වැඩි කර තිබෙනවා. එළවළු, පලතුරු, අධ්‍යාපනය, විදුලිබලය, සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ බදු ක්‍රමයට යටත් නැහැ. නමුත් ඇතැම් පිරිස් මේ සම්බන්ධව විවිධ අර්ථකතන ලබාදීම නිසා නව බදු ක්‍රමවේදය ගැන ජනතාව දැනුම්වත් කිරීමට මාධ්‍ය නිවේදනයක් අප නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගැන ජනතාව දැනුම්වත් කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වයට ප්‍රධාන හේතුවක් තමයි ආදායම අඩු වීම. අපි කළේ ණය අරගෙන වියදම් කිරීම පමණයි. ඇතැම් කාලවලදී දෛනික වියදම් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 900ක් පමණ අරගෙන තිබෙනවා.‍ ඒකට හේතුව අපට ආදායමක් නොමැති වීමයි. නමුත් අද එය රුපියල් බිලියන 70ක් දක්වා අඩු කර තිබෙනවා.

ප්‍රශ්නය

විශ්‍රාමික පාරිතෝෂික දීමනා සම්බන්ධවත් ගැටලු රැසක් පසුගිය කාලය පුරාම අසන්නට ලැබුණා. ඒ වගේම මාස 18ක් තිස්සේ පාරිතෝෂික දීමනා ගෙවීම නතර වී තිබූ බවත් දැන ගන්නට තිබෙනවා. අද වන විට එහි තත්ත්වය කෙසේද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

ඔව්. එහෙම ප්‍රශ්නයක් පසුගිය කාලයේ තිබුණා. විශ්‍රාමිකයන්ගේ දීමනා විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබුණා. කියන්නට සතුටුයි මේ වන විට ඒ සෑම දෙයක්ම අප ගෙවා අවසන් කර තිබෙනවා. එය නිලධාරීන්ගේ කැපවීම හා මහන්සිය නිසා ලබාගත් ජයග්‍රහණයක් බවත් කිව යුතුයි.

ප්‍රශ්නය

15%ක්ව පැවති භාණ්ඩ මත පනවා තිබූ බද්ද 18%ක් දක්වා වැඩි කිරීම මඟින් වෙළෙඳ ප්‍රජාවට අයුතු ලාබ ලැබීමට හැකියාවක් තිබෙනවා නේද? මේ සම්බන්ධව යම් නියාමනයක් තිබෙනවාද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

ඇතැම් අය මේ වැඩි කිරීම අවස්ථාවාදීව භාවිත කරන්න පුළුවන්. එවැනි අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙස මම වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ ජනතාව ඉන්නේ ඉතා අසීරු අවස්ථාවක නිසා බදුවලට යටත් නොවූ භාණ්ඩවල මිල ගණන් වැඩි කිරීමට උත්සාහ නොකරන ලෙසට ද වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීමට කටයුතු කරගෙන යනවා. මේ සම්බන්ධව රජයේ වෙනත් නියාමන ආයතන විසින් ද අවශ්‍ය නියාමන කටයුතු සිදු කරයි. පොදුවේ ගත් කල මේ අමාරු අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කළහොත් ඉදිරියේදී රටක් විදිහට නැඟී සිටීමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය

සමහරු බදු දැලෙන් වෙට්ටු දමා බදු නොගෙවමින් සිට ඇති බව ඉතිහාසයේ සිට වාර්තා වෙනවා. මෙවර පනවන බදු විධිමත්ව එකතු කර ගැනීමේ හැකියාවක් පවතිනවාද?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

විගණනය ශක්තිමත් කිරීම තුළින් ඉහළ ඵලදායීතාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. විගණන දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීන පන්නයේ ජාලගත කිරීමක් සිදු කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ දත්ත මෙහිදී යාවත්කාලීන කිරීම සිදු වෙනවා. අමාත්‍යාංශ සහ අදාළ ආයතන මේ සඳහා සක්‍රිය දායකත්වය සපයනවා.

මහ බැංකු අධිපති

තමන් ගෙවන බදු බර වැඩියි කියා ජනතාව චෝදනා කරනවා. ජනතාවගේ පැත්තෙන් සිදු කරන්න තිබෙන ප්‍රධාන වගකීම තමයි ඉදිරියේදී තමන්ට ගෙවන්න තිබෙන බදු බර අඩු කරගන්න අවශ්‍ය නම් තමන් බදු ගෙවන ගමන් බදු පැහැර හරින්නන් පිළිබඳ තොරතුරු ලබාදීම. එසේ නොමැති නම් ඒ අය බදු ගෙවන තැනට පෙලඹවීමයි. එසේම උපයන විට බදු ගෙවීමේදී ද ජනතාවට බදු පැහැර හරින්නන් පිළිබඳව තොරතුරු ලබා දිය හැකියි. එහෙම වුවහොත් ඉදිරියේදී පුද්ගල බදු බර අඩු වෙන්න පුළුවන්. එහෙම වුවහොත් වැට් බදු 15%ක් දක්වා ඉක්මනින්ම අඩු කළ හැකියි. අසාධාරණ ලෙස බදු පැහැර හරින කෙනා මෙම ක්‍රමවේදය යටතට ගෙන ඒමට ජනතාවගේ ද වගකීමක් වෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්

මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට තම තමන්ගේ දායකත්වය පුද්ගලිකවම ලබාදිය යුතුයි. පුද්ගලයා වෙනස් වුනාම ගම වෙනස් වෙනවා, ගම වෙනස් වුනාම රට වෙනස් වෙනවා. ආර්ථික අර්බුදයෙන් මිදීමට මෙම ක්‍රියාවලිය අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. මෙය අසීරු කරුණක් නොවෙයි. මෙය පුද්ගල ආකල්ප මත සිදුවන්නක්. අපේ ජනතාවම වෙනත් රටකට ගිය විට පිළිපදින විනය නීතිය බැලුවිට මෙය කළ නොහැක්කක් නොවෙයි.

ප්‍රශ්නය

ජනතාවට 2024 වසර සඳහා ආර්ථික සැලසුම් පිළිබඳ කතා කළොත්?

මුදල් අමාත්‍යාංශයේ ලේකම්

අපි මෙහිදී කතා කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳවයි. එම ආර්ථික අර්බුදයෙන් මිදීමට ක්‍රියාවට නැංවුණු ආර්ථික ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුම්වත් කර තිබෙනවා. රට ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කරමින් සිටිනවා. එය පහසු ගමනක් නොවේ. ආර්ථිකය ගොඩනැඟීමට කෙටි උත්තර නැහැ. මහජන මුදල් වගකීමෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ තුළින් ජනතාව බලාපොරොත්තු වන ආර්ථිකයක් ගොඩනැඟීමට හැකි වනු ඇතියි. ඉදිරියේදී ණය බර අඩු වී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ශක්තිමත් ආර්ථික රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකියි. ඒ සඳහා සියලු දෙනාම සාවධානව සහ කැපවීමෙන් සිටිය යුතුයි. 2022 වසරේ සිදු වූ ආර්ථික අර්බුදය නිසා එයින් මිදීමට 2023 වසරේදී විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට රට යොමු කර තිබෙනවා. ආර්ථිකය නම් අවසන් හුස්ම ගනිමින් සිටි රෝගියා ශල්‍යකර්මයක් හරහා මිය නොයන තත්ත්වයට මේ වන විට පත්කර තිබෙනවා. දැන් තිබෙන්නේ එම ආර්ථික රෝගියා සාමාන්‍ය වාට්ටුවකට රැගෙන යාමයි. එය මේ වසරේදි සිදු කළ හැකියි. දැන් තිබෙන්නේ මේ ආර්ථික රෝගියා සුවපත් කිරීමේ දිශාවට රැගෙන යාම පමණයි. ඒ සඳහා වසරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ සඳහා ජනතාවගේ කැපවීම සහ විශ්වාසය ඉතාම වැදගත් වෙනවා.

මහ බැංකු අධිපති

2024 වසරේදී උද්ධමනය අඩු කිරීමට හැකියාව ලැබෙතැයි අපි පුරෝකතනය කර තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම සිදුකරගෙන ගියහොත් ආර්ථික වර්ධන වේගයක් යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවය ඇති කිරීමට උපරිම වශයෙන් දායක වෙනවා.

ප්‍රශ්නය

2024 වසර මැතිවරණ වසරක් වෙනවා. එවිට මේ දේශපාලන පොරොන්දු සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නොගැළපීම් ඇතිවෙන්න පුළුවන්ද?

මහ බැංකු අධිපති

ඉතිහාසය පුරාම මැතිවරණ පොරොන්දු ආර්ථිකයට විශාල ලෙස බලපා තිබෙනවා. ජනතාව එම පොරොන්දු සාවධානව අසා එම පොරොන්දු ඉටු කිරීමට මුදල් ලැබෙන්නේ කෙසේදැයි විමසිය යුතුයි. බදු අඩු කරනවා නම් කුමන හෝ දේශපාලන පක්ෂයක් එම මුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳවත් ජනතාවට පැහැදිලිව කිව යුතුයි. ජනතාව එසේ විමසා නොබලා තීරණය කරනවා නම් රටේ ආර්ථිකය මීට වඩා බරපතළ තැනකට පත් විය හැකියි. ජනප්‍රිය දේශපාලන පොරොන්දු මත ආර්ථිකය නිවැරදිව හසුරුවීමට හැකියාව නැහැ. එම නිසා ජනතාව විචක්ෂණව සහ සබුද්ධිකව කටයුතු කළ යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division