Home » ජනතාවට යුක්තිය වෙනුවෙන් ඇරැඹි ‘යුක්තිය’

ජනතාවට යුක්තිය වෙනුවෙන් ඇරැඹි ‘යුක්තිය’

ඕනෑම මත් උවදුරක් 071 8598800 දුරකතන අංකයට දන්වන්න

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

මස්ත ලෝකයටම විශාල පිළිලයක්ව ඇති විෂ මත්ද්‍රව්‍ය දුරු කිරීම උදෙසා සියලු රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතුරින් අප රටේ ද වරින් වර විවිධ ක්‍රියාමාර්ග ගත්ත ද ඒ තත්ත්ව මැඬලීමට නොහැකි විය. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අවස්ථා රැසකදී මෙහෙයුම් දියත් කරන ලදී.

පසුගිය දශකයක හමාරක කාලය දෙස බැලීමේදී අපට පෙනී යන අවස්ථා කිහිපයක් එහිදී පෙන්වා දිය හැකිය. ඒ අතර 2005 වසරේ ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂයන් එවක රජයේ ප්‍රධාන සංකල්පයක් ලෙස “මතට තිත” වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී පොලිසිය විසින් “Operation Clean Up” නමින් මත්ද්‍රව්‍ය මැඬලීමේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදී යම් යම් සාර්ථක ප්‍රතිඵල අත්වුවද පසුව මත් උවදුර යළිත් නැඟී සිටියේය.

ඉන් පසුව 2015 වසරේදී බලයට පත්වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ රජය සමයේ ද මත්කුඩු දුරැලීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති කරළියට ආවද, ඒ ක්‍රමවේදයද එතරම් සාර්ථක නොවීය. ඒ සමයේදී මුහුදු මඟින් රැගෙන ආ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කටයුතු කරන ලදී. විශේෂයෙන්ම එවක නාවික හමුදාපති ධුරය දැරූ පියල් ද සිල්වාගේ විශේෂ ආවේක්ෂණ කටයුතු නිසා ටොන් 40ක පමණ මත්ද්‍රව්‍ය එක්වරකදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඊට අමතරව විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදී සිට ඒ කටයුතු මෙහෙයවන ලද ජාවාරම්කරුවන් වන, මාකඳුරේ මධුෂ් වැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු කළ ද මත් උවදුර මැඬලීමට නොහැකි විය.

යම් යම් අවස්ථාවලදී අඩපණ වුවද විෂ මත්ද්‍රව්‍ය වසංගතය යළි කරළියට පැමිණෙන්නේ එය මිනිසුන් පිරිසක් විසින්ම මෙහෙයවනු ලබන කෘත්‍රීම ක්‍රියාවක් නිසාය‍

එයට බලපෑ හේතූන් රාශියක් විය. එයින් ප්‍රධාන තැනක් ගත්තේ මෙරට මත් ජාවාරම සූක්ෂ්ම ලෙසින් ක්‍රියාත්මක වීමත්, මත්ද්‍රව්‍ය විවිධ වෙස්ගෙන පැමිණීමත්ය. වරෙක එය පෑන් බටයක් තුළ විය. තවත් විටක ටොෆියක් විය. මේ ලෙසින් සියුම් ක්‍රමවේද හරහා ව්‍යාප්ත වූ මේ උවදුර මැඬලීමට නම් දැවැන්ත ව්‍යාපෘතියක අවශ්‍යතාව මතුවිය.

එසේ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම දුරු කිරීමේ අරමුණින් යුතුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ‘යුක්තිය‘ නමින් විශේෂ මෙහෙයුමක් පසුගිය දෙසැම්බර් 17 ඉරිදා සිට ශ්‍රී ලංකා පොලිසිය මඟින් දිවයින පුරා ආරම්භ කරන ලදී. ‘යුක්තිය‘ ප්‍රධාන අරමුණ වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනීමත් එම මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ගැනීමත් ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමත්ය.

පුළුල් මෙහෙයුමක් ලෙස ‘යුක්තිය‘මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරුණි. ඒ වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කළ අතර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ පැය 24 ම මේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

එහිදී සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 45හිම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට විශේෂ ජංගම දුරකතනයක් ලබා දී ඇති අතර, එම දුරකතනයේ අමතන්නා හඳුනා ගැනීමට නොහැකි බැවින් ඕනෑම අයකුට අනන්‍යතාව හෙළි නොකර මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම තොරතුරක් විශ්වසනීයත්වයෙන් යුතුව ලබාදීමට හැකිවනු ඇත.

මේ විශේෂ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී ත්‍රිවිධ හමුදාවේ සහාය ගැනීමට ද කටයුතු කර ඇත. එමෙන්ම මහජනතාවට පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් ඔස්සේ තොරතුරු ලබා දීමට ද හැකියාව තිබේ. ඒ – 071 8598800 දුරකතන අංකය ඔස්සේය.

ඒ අනුව දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කරන ලද යුක්තිය මෙහෙයුමේ විශාල ප්‍රගතියක් අත් කර ගැන්මට පසුගිය සිකුරාදා (05) වන විට හැකිව තිබුණි. ඒ අනුව පොලිසිය විසින් සිදු කරන ලද වැවලීම් 23,000ක් අතුරින් සැකකරුවන් හා මත්ද්‍රව්‍යයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් 26252ක් 5 වන සිකුරාදා වන විට අත්අඩංගුවට ගෙන තිබුණි. මේ මෙහෙයුමේදී මත්කුඩු ග්‍රෑම් 21,000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණි. එයින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 13ක් හා ග්‍රෑම් 378ක්ද අයිස් කිලෝ ග්‍රෑම් 9ක් හා ග්‍රෑම් 436ක්ද වෙනත් මත්කුඩු විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුට ගන්නා ලදී. ගංජා කිලෝ ග්‍රෑම් 329 ග්‍රෑම් 840ක්ද කංසා පැල 11,93,691ක්ද මත් පෙති 75,177ක් ද අත්අඩංගුවට ගෙන තිබුණි. මේ මෙහෙයුමේදී මදන මෝදක, මත්පෙති, ගංජා හා ගංජා පැල හැර සෙසු මත්කුඩු කිලෝ ග්‍රෑම් 200ක් හා ග්‍රෑම් 401ක් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂයෙන්ම පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ මෙහෙයවීමෙන් මේ කටයුතු සිදු කරන ලද අතර, ඊට විශේෂ සහයක් ආවේක්ෂණ රාජකාරි කටයුතුවලින් නාවික හමුදාව සිදු කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාදීමට යුද හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සූදානමින් සිටී.

මේ මෙහෙයුමේදී සිදු කරන ලද විශේෂිතම සිදුවීම් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මිල දී ගෙන ඇති වත්කම් සොයා බලා ඒ වත්කම් රාජසන්තක කිරීමට හෝ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කිරීමයි. එහිදී මතුව ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ඇතැම් ජාවාරම්කරුවන් එම වත්කම් තමන්ගේ නමින් මිල දී නොගෙන මව, පියා, සහෝදර සහෝදරියන් හෝ වෙනත් ඥාතීන්ගේ නම්වලින් හා වෙනත් මිතුරන්ගේ නම්වලින් මිල දී ගෙන තිබීමය.

එහෙත් දැන් ඒ මාර්ගය ද වසා දමන්නට කටයුතු කර ඇත. ඒ බුද්ධි අංශ මඟින් සොයා ගන්නා එවන් දේපළ හිමිකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර එම දේපළ ඔවුන්ට මිල දී ගන්නට උපයා ගත් වත්කම් හෙළි කරන ලෙස ඔවුන්ට දැනුම් දීමය. උදාහණ ලෙස ගල්කිස්ස පෙදෙසේ කෝටි 4කට අධික වටිනාකමකින් යුත් නිවසක් මීට වසර 4කට පමණ පෙර මිල දී ගෙන ඇත්තේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන අයකු විසිනි. අදාළ දේපළ මිල දී ගැනීමට ඔහු උපයාගත් වත්කම් හෙළි කිරීමට ඔහු අපොහොසත් වී ඇති අතර, ඔහුගෙන් ඒ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කෙරේ. එම නිසා ‘යුක්තිය‘ හමුවේ එවන් ප්‍රෝඩාවන්ද හෙළි වන අතර මත් ජාවාරම්කරුවන්ගේ දේපල ආරක්ෂා කිරීමට උදවු උපකාර කරන්නන්ටද මේ අවස්ථාවේදී වැඩ වරදිනු ඇත.

එහි තවත් විශේෂ අවස්ථාවක් වන්නේ විදේශගතව සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා විසින් මත් ජාවාරමින් උපයාගත් බව කියන මුදල් ආයෝජනය කර ඉදිකළ බව කියන දෙහිවල මුහුදු වෙරළේ පිහිටි රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් හෝටලයක් පොලිසිය විසින් ජනවාරි 01 දා කඩා ඉවත් කිරීමයි.

දුම්රිය මාර්ගය අද්දරම හා වෙරළ තීරයේ ඉදිකර තිබූ මේ හෝටලය අනවසර ඉදිකිරීමක් වන අතර, අවස්ථා කීපයකදීම එය ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබුණ ද එය ඉවත් කිරීමට කටයුතු කර නොතිබිණි. මෙම හෝටලය කඩා ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කළ අවස්ථාවේ ඊට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු හෝටලයේ අධ්‍යක්‍ෂවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකු ඇතුළු තිදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කුඩු ජාවාරම්කරු විසින් මුදල් ආයෝජනය කර ඉදිකළ හෝටලය පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇත්තේ විශේෂිත බුද්ධි අංශ කාර්යයක් යටතේය.

රජයේ ඇතැම් නිලධාරීන්ගේ සහායෙන් ඔවුන්ගේ ද අතමිට යහමින් මොළවා මෙම හෝටලය දෙහිවල මුහුදු වෙරළේ ඉදිකර තිබුණේ අනවසර ඉදිකිරීමක් ලෙසින් බව මේ වන විට කරුණු අනාවරණ්‍ය වී ඇත. ශිරාන් බාසික් නැමැත්තා සිය අයථා ඉපැයීම් හා තම බලය පාවිච්චි කරමින් හෝටලය ඉදිකර එය දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් සැපයීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස ශිරාන් බාසික් හඳුනාගෙන තිබුණි. නීති විරෝධී වත්කම් රජයට පවරා ගැනීමේ පොලිස් ඒකකය මඟින් එම හෝටලය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

එසේම මෙහි තවත් අරුමයක් වන්නේ ප්‍රකට විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ද මේ හෝටලයේ ආයෝජනවලට සම්බන්ධ වීමයි. තමාද මේ හෝටලයේ ආයෝජනය කර ඇතැයි ඔහු මාධ්‍යයට පවසා තිබුණි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, දෙහිවල මුහුදු තීරයේ වෙනත් අයෙකුගේ නමකින් පවත්වාගෙන යන හෝටලය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙන බවයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආර්. ඒ. එස්. රණවක පැවසුවේ, අදාළ හෝටලය නීති විරෝධී ඉදිකිරීමක් නිසා ඒ සම්බන්ධයෙන් වසර එකහමාරකට පෙර සිට විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි. එම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගත් මුල් අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

පසුව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ හෝටලයට එරෙහිව දඩ මුදල් ද නියම කර ඇත. අදාළ හෝටලය ඉදිකිරීම සඳහා ඉදිරිපත් කර ඇති ලේඛන ද ව්‍යාජ බවට මේ වන විට හඳුනා ගෙන තිබේ. ඒ අනුව එම හෝටලය රාජසන්තක කිරීමට හෝ එය කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ නීතිමය බලයක් හිමිව ඇත.

‘යුක්තිය‘ මෙහෙයුම හමුවේ පුද්ගල අත්අඩංගුවට ගැනීම් හා මත්කුඩු වැටලීම් හමුවේ ජාවාරම්කරුවන් දැඩි කලබලයට පත්ව ඇත. එමෙන්ම මෙයට සම්බන්ධ පාතාලයේ හා ලියාපදිංචි අපරාධකරුවන්ද (IRC) එම මෙහෙයුමෙන් මිදෙන්නට හැකි සෑම පියවරක්ම ගෙන ඇත. මේ වන විට මත්ද්‍රව්‍ය වෙළඳපොළ තුළ උග්‍ර හිඟයක් පවතින බැවින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් දිවා රෑ නොබලා ඒවා සොයා යන තත්ත්වයක් දක්නට ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් මත්ද්‍රව්‍ය ලබා දෙන්නන් හා ඔවුන් ඒවා මිල දී ගන්නන් ගැන විස්තර ලබා ගැනීමට හැකියාව ලැබීම නිසාත් ජනතාව තොරතුරු ලබාදීම නිසාත් යුක්තිය බොහෝ දුරට සාර්ථක වී ඇත.

කෙසේ වෙතත් ඉහළ යන පාතාල ජාවාරම්කරුවන් හා මත් කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් නිලධාරීන්ට දුරකතනයෙන් තර්ජනය කළ අවස්ථා ද මේ වන විට වාර්තා වේ. එහෙත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ කුමන තර්ජන ආව ද මේ මෙහෙයුම නොනවත්වන බවයි. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වුවද මේ මෙහෙයුමේ වැඩි අවධානය යොමු වූ පළාත් කිහිපයක ්ද වේ.

ඒ අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් විශේෂිතය. එසේම උතුරු පළාතේ මුහුදු මඟින් රැගෙන එන කේරළ ගංජා සහ මෙරට ගංජා සම්බන්ධයෙන් ද වැඩි අවධානය යොමු කර තිබේ. මේ වන විට දිවයින පුරාම මුහුදේ නාවික හමුදා ආවේක්ෂණ කටයුතු ද වැඩිකර තිබේ. අන්තර්ජාතික බුද්ධි අංශ හරහා ලැබෙන තොරතුරු මෙන්ම දේශීය බුද්ධි තොරතුරු හරහා යුක්තියට ලැබී ඇත්තේ විශාල පිටිවහලකි. පසුගිය 5 වැනිදා සිකුරාදා අලුයම දකුණු මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 300ක් පමණ වූ විශාල මත්කුඩු තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06ක් නාවික හමුදාඅත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මේ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එය ජනවාරි 05දා උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලදී. ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කෙරෙමින් පවතී. යුක්තිය මෙහෙයුමෙන් අයථා උපයා ගැනීම් ලෙස සොයා ගන්නා රථ වාහන ඉඩකඩම් ඇතුළු දේපළ ඉදිරියේදී තහනම් කිරීමටත් රාජසන්තක කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. ඒ අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුවය.

එමෙන්ම මේ මෙහෙයුමේ තවත් විශේෂිත කර්තව්‍යයක් වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපනයට යොමු කිරීමය. විශේෂයෙන්ම මෙරට තරුණ පරපුර ඉලක්ක කරගෙන සිදු කරන්නා වූ මතුකුඩු හා අනෙකුත් මත් ජාවාරම් නිසා එම දරුවන්ගේ පවුල් හා සමස්ත සමාජයටම සිදුව ඇති ආර්ථික හානියත් ඔවුන්ගේ සෞඛ්‍යය හානියත් සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇත. මේ මෙහෙයුමේදී වූ කනගාටුදායක සිදුවීම වන්නේ දකුණේ වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකදී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීමයි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සාජන්වරයෙකු මෙලෙස මිය ගියේය.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා අලුයම් කාලයේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදු කරන ලද වැටලීමකදී පොලිසිය ඉලක්ක කරමින් කළ වෙඩි තැබීමකින් පසු පොලිස් නිලධාරීන් වෙඩි තැබීම කළ වෑන් රථය හඹා යාමේදී එම අපරාධකරුවන් සිදු කළ වෙඩි තැබීම්වලින් පොලිස් නිලධාරියා ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් ‘යුක්තිය‘ කුමන බාධක පැමිණිය ද නොනවත්වා ඉදිරියට ගන යාමට කටයුතු කර ඇති අතර, බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දකුණේ පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් යළිත් අවධාරණය කළේ කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ නොදෙන බවයි. මේ මෙහෙයුමත් සමඟ ඇස යොමු කර ඇති තවත් අංශයක් වන්නේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමයි.

එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළු මෙරට ක්‍රියාත්මක පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් වර්ෂයකට පුනරුත්ථාපනය කළහැක්කේ මතට ඇබ්බැහිවූවන් සුළු පිරිසක් බැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ද සම්බන්ධ කරගෙන පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීමට මේ වන විට සැලසුම් කර ඇත. ඒ සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද සැලැස්මකට අනුව පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙළෙහි සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස අවසානයේ හෝ පෙබරවාරි මාසයේ හෝ දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් පුනරුත්ථාපන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division