Home » ගුරුන්නාන්සේගෙන් සමුගන්නට පෙර ලියා දුන් රටක් වටිනා ගාථාව

ගුරුන්නාන්සේගෙන් සමුගන්නට පෙර ලියා දුන් රටක් වටිනා ගාථාව

by thanushika
January 6, 2024 12:30 am 0 comment

සඳමාලි සහ මා අතර විවාහය නුදුරේදීම සිදුවන අයුරු සිහින දකිමින් සිටිමි. ගුරුන්නාන්සේගෙන් නැකත් පත්‍රය රැගෙන යාමට අප්පච්චි මාටින් ගුරුන්නාන්සේ හමුවූ දා ගුරුන්නාන්සේ කරන ලද යෝජනාව ගැනද සිතා බැලිය යුතු යැයි මට සිතේ.

“මොනවා වුණත් මහත්තයලට හතුරු කරදර තියෙනවනේ. අද කාලෙ ඔය විවාහ ගුරුකම් කරනවා අඩුයි. ඒත් අපි කෝකටත් කියා ආරක්ෂාවක් දාගමු. විවාහයට දෙසතියක් තියලා මේ පැත්තේ අලුත බැඳපු ජෝඩුවකට කලවා බන්දන ගුරුකමක් කරලා තිබ්බා ඒ ගෑනු ළමයගේ පැත්තෙන්. අන්තිමට කසාද බැඳලා මාසයක් විතර ගියාට පස්සෙත් ඒ අයගේ කායික සම්බන්ධය සිද්ධ වෙන්නේ නැහැ කියලා මට ඇවිත් කීවා. හොයලා බලපුවම කලවා බන්ධන ගුරුකමක් කරලා. මම ඉතින් මේ කොලුව එක්ක ගිහින් දෙන්නට දෙහි ගැට ටිකක් කපලා ආරක්ෂා නූලක් දැම්මා. වැඩේ ඉවරයි.“ මාටින් ගුරුන්නාන්සේ එය කීවේ ඒ ගැන මාව තවදුරටත් දැනුම්වත් කරනු සඳහා විය හැකිය. කෙසේ නමුත් එය සිදු කරගන්නා ලෙස අප්පච්චි දෙවරක් තුන්වරක්ම සිහිපත් කළේ අප්පච්චිටත් ඒ ගැන සැකයක් තිබූ නිසාවෙන් විය හැකිය.

මේ සියල්ල සිහිපත් කරමින් මා මාටින් ගුරුන්නාන්සේ සොයා ගියෙමි. වෙනදා වගේම පිරිපුන් සිනහවකින් ඔහු පෙරටුව සිටියේ මා පිළිගැනීමටය.

“අපි යමු අර පැත්තටම” ඔහු වෙනදා මෙන්ම පැවසුවේ හරබර සාකච්ඡාවකට සුදානම් වෙමිනි. “මම මහත්තයට අද දෙන්නම් පොඩි ගාථාවක්. ඕක ඔය අච්චු පොත්වලත් එහෙම තියෙනවා. බළන්ගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියනුත් ඒ ගාථාව ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ඇත්තටම මහත්තයා මම ඒක ගත්තෙත් ඒ පොතකින්මයි. දුටු පමණින්ම මට ඒ ගාථාවට හිත ගියා. මම ඒක පාඩම් කරගත්තා. භාවිත කළා. ප්‍රතිඵල ඇත්දැක්කා. ඒත් අච්චු පොත් බොහොමයක තියෙන බොහොමයක් මන්ත්‍ර ගාථාවල අකුරු අඩුයි. අකුරු වෙනස්. සමහර ඒවා හාත්පසින්ම වෙනස්.“ ඔහු සිනහවී පැවසීය.

“මහත්තයා ලියාගෙන බලන්නකෝ.“

“නාඤඤත්‍ර බොජඣංගා තපසා – නාඤඤත්‍ර ඉන්ද්‍රීය සංවරා

නාඤඤත්‍ර සබබ නිසසංගා – සොතථිං පසසාමි පාණීනං

එතෙන සච්ඡ වචෙඡන – භූත දෝෂෝ විගචඡතු”

“මේක කොහොමද ගුරුන්නාන්සේ පාවිච්චි කරන්නේ.“ මම ඇසුවෙමි.

“මහත්තයා ඕක රටක් වටින ගාථාවක්. හිතූ ලෙස භාවිත කරන්න පුළුවන්. මහත්තයට පුළුවන් අබ – වැලි මතුරල ගෙදර වත්තෙ හැම තැනම ඉහින්න. හොඳ තැඹිලි තෙල් ටිකක් හිඳගෙන ඒ තෙල් ටික පිරිත් කරලා ගෙදර පහනක් දල්වන්න පුළුවන්. ඇදුරෙකුට දුම්මල කීලෙටත් මේ ගාථාව යොදන්න පුළුවන්. මහත්තය ගණිතයට දක්ෂ නිසා ඉක්මනට අපි මූලික පාඩම් සේරම ඉවර කළානේ. හැට පැයේ කේන්දරයක් වගේම භාව කේන්දරයක් හදන්නත්, තරමක පලාපල වුණත් කියන්න මහත්තයට පුළුවන් කියල මම හිතනවා. ඉන්ද්‍ර ගුරුළුවෙන් ගුරුළු සංහාරය කියන කොටස මහත්තයට හොඳටම පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර වැඩකට නැකතක් ‘සුද්ධ’ කරගන්නත් පුළුවන්නේ?“ ඔහු මා දෙස බලා විමසා “ඒත් ඉතින් යන්ත්‍ර මන්ත්‍රවලට අපි අත්පොත් හරියටම තිබ්බේ නෑ නොවැ” කීවේය.

“ජ්‍යොතිෂයේ ගැඹුරු දැනුමක් ගන්න පොත්පත් ගොඩක් තියෙනවා. මම නම් විශේෂයෙන් ප්‍රිය කරන්නෙ, යාමල ග්‍රන්ථ මහත්තයා. ඒ ගැන අහල නැතිව ඇති. ඒ ග්‍රන්ථ ඇසුරින් තමයි ඔය වර්තමානයේ ලියැවී ඇති ගොඩක් පොත්පත් ලියැවෙලා තියෙන්නෙ. මහත්තයගේ මඟුල් ගෙදරින් පස්සෙ අපි ඒක පටන් ගමු. යන්ත්‍ර මන්ත්‍රත් ඒ එක්කම පටන්ගමු. මල් බුලත් පුටුවක් හදලා දෙහි ටිකක් කපන හැටි, ආරක්ෂා යන්ත්‍රයක්, ග්‍රහ අපලවලට යන්ත්‍රයක් දාන හැටි ඉගෙන ගනිමු. ඔය යක්කුන්ගෙ වැඩ නම් මහ කරදර මහත්තය. ඒත් ඉතින් මහත්තය කැමති නම් ඒවත් ඉගෙන ගන්න බැරි නැහැ.“

“දැන් ඉතින් මහත්තයා මඟුල් ගෙදරට මහන්සි වෙන්නත් තියෙනවනේ. මහත්තයටම පුළුවන්නේ නැකතක් හදා ගන්න. මම පොඩි මන්ත්‍රයක් දෙන්නම්. නැකතක් හදාගෙන නාලා පිරිසිදු වෙලා පිරුවට ඇඳලා කිරි ගසක් මුලට ගිහින් තැඹිලි ගෙඩියක් මතුරගන්න එකසිය අට වතාවක්. ඊට පස්සේ ඒ තැඹිලි වතුරෙන් මූණ සෝදාගන්න. ඕක මහත්තයගෙ වැඩවලට පහසුවක් ගෙනේවි. මහත්තයව දකින අය මහත්තයට ආකර්ෂණය වේවි. මේක මහත්තය කරන්න ඕනි ජීවිතේටම එක පාරයි. නැකත හරියට හදාගන්න.“

“ඕං හ්‍රීං හලං ස්වාහා ගුණ වරම් ගුණ වරම්”

“ඕක තමයි මන්ත්‍රය. ඔය රාවන රජ්ජුරුවො ලියපු මේරු තන්ත්‍ර පොතේ එන මන්ත්‍රයක්. ඕකෙන් විතරක් ඊට පස්සේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. කොහොම වුණත් කරන්න කලින් දවසෙ මහත්තය මට කතා කරන එක හොඳයි.“

“මහත්තය මඟුල් ගෙදරට ලොකු නිවාඩුවක් දානවද?“ ගුරුන්නාන්සේ ඇසීය.

“නෑ ගුරුන්නාන්සේ. සතියක නිවාඩුවක් තමයි මම යොදාගත්තේ. ඒ එක්කම එනවා. මාරුවක් ගන්න උත්සාහ නොකරන්නේ ගුරුන්නාන්සේගෙන් ඉගෙනගන්න ඕනි හින්දා.“ ඔහු අනුකම්පාවෙන් මා දෙස බලා සිටීයැයි මට සිතේ.

“මහත්තයගෙ සියලු කටයුතු සාර්ථක වෙනවා. දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා!“ ඒ ඔහුගේ ආශිර්වාදයය.

“අපි මඟුල් ගෙදරින් පස්සේ ආයෙත් හමු වෙමු.“ ගුරුන්නාන්සේ කීවේ මා දෙස බලාගෙනය.

(අවසානයි)

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division