Home » සඳුගේ පිහිටීම අනුව කාන්තා ඔබගේ ජීවන වතගොත

සඳුගේ පිහිටීම අනුව කාන්තා ඔබගේ ජීවන වතගොත

by thanushika
January 6, 2024 12:32 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විදුහල්පති උපුල් ජයශ්‍රී ද සිල්වා

චන්ද්‍රයා හෙවත් සඳු ස්ත්‍රී ග්‍රහයෙකි. කාන්තා ජීවිතය කෙරෙහි බලපාන ග්‍රහයාද සඳු වේ. චන්ද්‍රයා හෙවත් සඳු ස්ත්‍රී කේන්දර පලාපල විමසීමේදී බොහෝ විට වැදගත් ග්‍රහයකු ලෙස ජ්‍යොතිෂයේදී සලකනු ලබයි. කාන්තා ලග්නවල චන්ද්‍රයා පිහිටි රාශිය චන්ද්‍ර රාශිය ලෙස සලකන අතර කාන්තා ඔබේ කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශිය අනුව උදාවන පලාපල පහත දක්වා ඇත.

සඳු සිටින රාශිය සෙවීම

සඳු සිටින රාශිය අනුව පලාපල බලා ගැනීම පිණිස ඔබ මුලින්ම සඳු සිටින රාශිය කුමක්දැයි දැන සිටිය යුතුය. ඔබේ කේන්දරයේ අංක 1 සිට 12 දක්වා කොටු දොළොසක් ඇත. ඔබ උපන් ලග්නය මුල් කොටුවට තබා ඊළඟට ඇති දෙවැනි කොටුවේ සිට 12 වැනි කොටුව දක්වා ලග්න පිළිවෙළකට හෙවත් රාශි පිළිවෙළකට නම් කළ යුතුය.

ලග්න පිළිවෙළ පහත සඳහන් පරිදිය.

1. මේෂ, 2. වෘෂභ,3. මිථුන, 4. කටක, 5. සිංහ, 6. කන්‍යා, 7. තුලා, 8. වෘශ්චික, 9. ධනු, 10. මකර, 11. කුම්භ, 12. මීන

ඔබ උපන්නේ මේෂ ලග්නයෙන් කියා උපකල්පනය කරන්න. එවිට ලග්නයෙන් පළමු කොටුව මේෂ රාශිය වේ. මේෂ රාශිය මුලට තබා රාශි පිළිවෙළට අනුව ඉතිරි කොටු නම් කරන්න. ඔබේ කේන්දරයේ ‘ච’ අකුරෙන් චන්ද්‍රයා සිටින්නේ 7 වැනි කොටුවේ යැයි සිතන්න. එවිට ඉහත කේන්දරයේ චන්ද්‍රයා තුලා රාශියේ බව ඔබට පැහැදිලි විය යුතුය.

මේෂ රාශියේ සඳු පිහිටීම

සඳු මේෂ රාශියේ පිහිටීම අනුව ක්‍රියාශූර බොහෝ කාර්යයන් සඳහා දස්කම් දක්වන කාන්තාවන් බිහි වේ. තම සහකරුට දැඩි සේ ගරුකරන වැඩිහිටි ආදරය ඇති චිත්‍ර හා සෞන්දර්යට ප්‍රිය කරන අයකු ද වනු ඇත.

වෘෂභ රාශියේ සඳු පිහිටීම

චරිතවත් ගතිපැවතුම් ඇති සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රිය කරන කාන්තාවන් තුළ මෙම පිහිටීම දැකිය හැකිය. වාසනාවන්ත විවාහ දිවියක් ගතකිරීමට ලැබෙන යහපත් දූ පුතුන් සමාජයට දායාද කරන ධන සම්පත් හිමි බොහෝ කතුන්ට මෙම පිහිටීම තිබේ.

මිථුන රාශියේ සඳු පිහිටීම

නොයෙකුත් ව්‍යාපාර තුළින් මෙවැනි පිහිටීම් ඇති කාන්තාවන්ට ලාභ ලැබිය හැකි වන අතර දැකුම්කලු නෙත් සඟලක් හිමි වන අයෙකු වේ. ඥානාන්විත මෙන්ම අනුනට උදවු උපකාර කරන ස්ත්‍රීන් තුළද මෙවැනි පිහිටීම් පිළිබිඹු වේ.

කටක රාශියේ සඳු පිහිටීම

උසස් අදහස් ඇති සතුරන් නැසීමේ ගුණයෙන් යුත් කතුන් තුළ මෙම පිහිටීම් දැකිය හැකිය. නීරෝගී බව තරමක් අඩු බවක් පෙනුණද ඥාතීන්ගේ ගෞරවාදරයට ලක් වේ. මෙවැනි අය ආගමටද මහත් ලැදියාවක් දක්වයි.

සිංහ රාශියේ සඳු පිහිටීම

විශාල ව්‍යාපාර ඇති කිරීමේ හැකියාවක්, නායකත්වය ලැබීමේ හිමිකමක් මෙම පිහිටීම් අනුව වනිතාවන්ට ලැබෙනු ඇත. අංග සම්පූර්ණ රූපයක් හිමිවීමටත් වාසනාවන්ත විවාහ ජීවිතයක් ගතකිරීමේ භාග්‍ය මෙවැනි කාන්තාවන්ට උරුම වන බව පෙන්වා දිය හැකිය.

කන්‍යා රාශියේ සඳු පිහිටීම

විශාල ධනයකට හිමිකම් කිව හැකි වාසනාවන්ත දිවි පෙවෙතක් මෙවන් පිහිටීම් ඇති ස්ත්‍රීන්ට ලැබේ. යහපත්ව චරිතවත්ව ජීවත් වීමේ භාග්‍යය ලැබෙන අතර සත්ත්ව පාලනයට යහපත් පිහිටීමක් ලෙස මෙය දැක්වීමට පුළුවන.

තුලා රාශියේ සඳු පිහිටීම

තරමක රාගික චරිතයක් ඇති කාන්තාවන් මෙම පිහිටීම් අනුව බිහි වේ. කරුණාවන්ත හදවත් හිමි කාන්තාවන් මේ අනුව දැකිය හැකි වන අතර වාසනාවන්ත පිරිපුන් දූ දරුවන් ඇති වන බවත් මේ අනුව පෙන්විය හැකිය.

වෘශ්චික රාශියේ සඳු පිහිටීම

මෙසේ ජන්ම පත්‍රවල සඳු පිහිටන කාන්තාවන් තුළ තද හිතක් ඇති කරයි. පව්කම් කිරීමට කැමති ඒවා රහසින් කරන මෙම පිහිටීම් ඇති කාන්තාවන් ක්‍රියාශීලි වන අතර වැඩිහිටියන්ට ගරු කිරීම් ද කරනු ලබයි.

ධනු රාශියේ සඳු පිහිටීම

සංගීතයට ප්‍රිය කරන මෙම කාන්තාවන්ට වැඩිපුර දරු සම්පත් හිමි වනු ඇත. අවංක හදවත් හා කරුණාබරිත හිතක් ඇති මෙම කාන්තාවන් පින් දහම් කටයුතු සඳහා ද දැඩි කමැත්තක් දක්වනු ඇත.

මකර රාශියේ සඳු පිහිටීම

පියකරු යුවතියක් වන මෙවන් පිහිටීම් ඇති ලලනාව අවංකය. අන් අයගේ අදහස් අනුව කටයුතු කරයි. සතුරන් ජය ගැනීමේ හැකියාවක්ද මෙම කාන්තාවන්ට හිමි වේ. ඉගෙනීමේ කටයුතු වරින්වර වෙනස් වීම්වලට ලක්වේ.

කුම්භ රාශියේ සඳු පිහිටීම

මෙම පිහිටීම් ඇති කාන්තාවන් ඉතා වාසනාවන්ත වේ. රූමත් බව ඇති කරන මෙම යෝග ඇති කාන්තාවන් මෙම තත්ත්වය යටතේ බිහිවේ. එමෙන්ම අන් අයගේ ගරු සැලකිලි හිමිවන අතර ක්‍රීඩාවටද දක්ෂතා ඇති කරයි.

මීන රාශියේ සඳු පිහිටීම

බොහෝවිට වාසනාවන්ත පිරිමි දරුවන් හිමිවන කලාවට දක්ෂතා දක්වන කාන්තාවන්ට මෙම පිහිටීම දැකිය හැකිය. තම චරිතයද යහපත්ව ගත කිරීම නිසා අන් අයගේ ගරු සැලකිලි ලබන තත්ත්වයක් ඇති කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division