Home » ඇණේ එතැනම තියෙද්දී කැලැන්ඩරේ මාරු කළාට වැඩක් වෙයිද

ඇණේ එතැනම තියෙද්දී කැලැන්ඩරේ මාරු කළාට වැඩක් වෙයිද

by thanushika
December 30, 2023 12:30 am 0 comment

ජීවිතේ කියන්නේ සංචාරයක්. තත්පර දවස් මාස අවුරුදු එක්ක ගෙවිලා යන සුන්දර සංචාරයක්. ඔය සංචාරය ඇතුළේ මිනිස්සු එක එක විදිහේ සිද්ධි දාම වලට මුහුණ දෙනවා. දුක සතුට කනස්සල්ල කුතුහලය, ප්‍රේමය, දයාව, වයිරය, ඉරිසියාව, අහිමි වීම, ලැබීම මේ සියලුම හැඟීම් විඳිනවා සහ විඳවනවා.

හැබැයි ඒ හැඟීම්වල ඇත්ත රසය විඳ ගන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නිදහසක් නෑ .

ජීවිතේ ගෙවෙනවා. අපි වයසට යනවා. හැමදේම වෙනස් වෙනවා කියලා යාන්තමට හරි මිනිස්සුන්ට මතක් වෙන්නෙ අවුරුද්දක් ගෙවිලා යනකොට.

ඒ හැමදේම අස්සේ තේරුමක් අවසානයක් නොමැති මොකද්දෝ ගමනක් ඔහේ හැල්මේ දුවනවා. කිසිම ඉවසිල්ලක් අස්වැසිල්ලක් නැතුව හැල්මේ දුවන මේ ගමනට පුංචි හරි විවේකයක් ලැබෙන්නේ, නැවතිලා හිතන්න වෙලාවක් ලැබෙන්නේ අවුරුද්දක් අවසාන වෙන මොහොතේ තමයි.

දෙසැම්බර් මාසේ කිට්ටු වෙලා අවුරුදක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබන්න හදනකොට ඔන්න මතක් වෙනවා. අපි මොනවද කළේ. මොනවද නොකළේ, මොනවද අතපසු වුණේ කියලා.

එහෙම හිතලා මේ අවුරුද්දේ එහෙම වුණාට ලබන අවුරුද්දේ නම් හරියටම ජීවිතේ plan කරනවා කියල හිතල ලොකු ලොකු බලාපොරොත්තු ටිකකුත් ජීවිතයට අලුතෙන් එකතු කර ගන්නවා.

හැබැයි, අලුත් අවුරුද්ද ලබලා ටික දවසක් යනකොට අර හිතපු දේවල් ඔක්කොම අමතක වෙලා, ආයෙත් පරණ විදිහටම ඔහේ දවස ගෙවලා දාන්න හුරුවෙනවා .

සාමාන්‍යයෙන් ඔන්න ඒකයි වෙන්නේ.

ඒත් දැන් ජීවිත අපි හිතනවට වඩා සංකීර්ණයි. ඇතිවෙලා තියන ආර්ථික, සමාජයීය විපර්යාස අපි කන බත් පිඟානෙ ඉඳලා නිදියන කොට්ටෙටම බලපාලා ඉවරයි .

හැමෝටම තම තමන්ගෙ මට්ටමෙන් ජීවිතේ බරට දැනෙන්න පටන් අරන් ති‍ෙයනවා.

ඒ වගේ වෙලාවක අලුත් අවුරුද්දක් එනවා කියන්නෙ මිනිස්සු ජීවිතේ ගැන අලුතෙන්ම හිතන්න ඕනෙ. හැමදේම අලුතෙන්ම plan කරන්න ඕනෙ.

ශාරීරික සතුට වගේම මානසික සැනසීම රැකගෙන හුස්ම ගන්න විදිහ ගැන මොහොතක් කල්පනා කරන්න ඕනේ ..

ඇණේ එතනම තියෙද්දී කැලන්ඩරේ මාරු කළා කියලා ඔයාගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ නැහැ. ඔයාම හිතලා ඒක වෙනස් කරගන්න ඕනෙ.

ගත වෙලා ගිය අනිත් හැම අවුරුද්දටම වඩා ලස්සනට, පළදායීව මේ අලුතෙන් ලබන අවුරුද්ද ගත කරන්න නම් මුලින්ම ඔයා හදවතින් වෙනස් වෙලා ඉන්න ඕනෙ.

*ආදායම් වියදම් ලේඛනයකට අරගෙන අනවශ්‍ය වියදම් අවම කරලා ආදායමේ හැටියට ජීවිතේ දෛනික රටාව ප්ලෑන් කරන්න.

*කලින් වෙච්ච ණය තියනවා නම් ටික ටික හරි ගෙවන ගමන් අලුතෙන් ණය නොවී ජීවත් වෙන විදිහ ප්ලෑන් කරන්න.

*හැම තැනම තියන වසර අවසාන සේලවලට යන්න කලින් තමන්ගෙ නියමිත අවශ්‍යතා හරියට අවබෝධ කරගෙන අවශ්‍ය මිලදී ගැනීම්වලට විතරක් සල්ලි වියදම් කරන්න.

*දැනට කරන රැකියාවට අමතරව පුංචි අලුත් ව්‍යාපාරයක් හෝ වෙනත් ආදායම් මාර්ගයකට යොමු වෙන්න.

*අලුත් අවුරුද්දේ තමන්ගෙ අනාගතයට ප්‍රයෝජනවත් වෙන දෙයක් හෝ අනාගතයේ ආදායමක් බවට පරිවර්තනය කළ හැකි අලුත් යමක් ඉගන ගන්න පටන් ගන්න.

*මනස සහ සිරුර නිරෝගී කරන ශාරීරික මානසික ව්‍යායාම කිරීම් ආරම්භ කරන්න.

*සිත සතුටු කරන විනෝදාංශයකට හුරු වෙන්න.

*බාහිර පුද්ගලයින්ගේ හැසිරීම්, වචන, නිසා තමාගෙ කාලය මානසික සතුට නාස්ති කර ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තල දාන්න.

*අන් අය සතුටු කරන්න ජීවත් වෙනවා වෙනුවට තමන්ගෙ අරමුණු බලාපොරොත්තු වනුවෙන් කාලය ශ්‍රමය වෙහෙසවන්න.

*ජීවිතය කියන්නෙ තරගයක් නම්, ඒ තරගය තියෙන්නෙ ලෝකෙ එක්ක නෙමෙයි තමන් එක්කම තමයි කියල හිතලා තමන්ගෙ ජීවිතේ හැම තත්පරයක්ම නාස්ති නොකර පාවිච්චි කරන්න.

*අලුතෙන් අවුරුද්දක් එනවා කියල, කැවුම් ඉව්වට, අලුත් ඇඳුම් ගත්තට, ගෙවල් පේන්ට් කළාට තුන තිබ්බ තැනට හතර වැටුණට, ඔයාගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ නැහැ.

ඔයාම හිතලා ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ.

මේ අවුරුද්දේ පායන ඉර හඳම තමයි ලබන අවුරුද්දෙත් පායන්නෙ. හැබැයි ඒ ඉර හඳයට ජීවත්වෙන ඔයාට පුළුවන් ගිය අවුරුද්දට වඩා ලස්සනට ජීවත් වෙන්න පටන් ගන්න. ඒක ඔයා වෙනුවෙන් වෙන කාටවත් කරලා දෙන්න බෑ.

ඔයාගෙ ජීවිතේ වෙනස් කරගන්න එක, ඔයාගෙ ජීවිතේ අලුත් කරගන්න එක කරන්න පුළුවන් ඔයාටම තමයි .

මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල වචනෙන් කිව්වට ඔයාගෙ අවුරුද්ද සුබ වෙන්නෙ නැහැ. ඔයාගෙ අලුත් අවුරුද්ද සුබ කර ගන්න වැඩේ කරන්න පුළුවන් ඔයාටම තමයි .

ජීවිතේ ගෙවිලා ගිය අනිත් හැම අවුරුද්දටම වඩා ලස්සනම අවුරුද්ද මේ ලබන අලුත් අවුරුද්ද තමයි කියල හිතලා අලුතෙන්ම ජීවිතේ දිහා බලන්න. අන්න එදාට ඔයාට අවුරුද්ද සුබ වෙනවාම තමයි.

අනීෂා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division