Home » මුල් කාලෙ නම් පොඩි පොඩි රණ්ඩු ඇති නොවුණාම නො‍ෙවයි

මුල් කාලෙ නම් පොඩි පොඩි රණ්ඩු ඇති නොවුණාම නො‍ෙවයි

by thanushika
December 30, 2023 12:30 am 0 comment

හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවට රංගනයෙන් සම්බන්ධ වෙමින් අවුරුදු 24ක් පුරා විවිධ චරිත එක්ක කැමරාව ඉදිරියේ ගැටෙන ඔහු එස්. අයි. සමරක්කොඩි. මේ නමට වඩා ඔහුව බොහෝ දෙනෙක් හඳුනන්නෙ අල්පොන්සෝ කියලා. ඒ ජානු නාට්‍යයට අල්පොන්සෝ වූ නිසා. කාලයක් පුරා නිර්මාණවලින් ප්‍රතික්ෂේප වුවත් ඔහු ඔහුගේ අරමුණ පැත්තකින් නොතබා කටයුතු කළ නිසා ම ඔහු අද බොහෝ දෙනකුගේ කැමැත්ත දිනාගත් නළුවෙක් බවට පත් වෙලා. සුද්දි පස්සේ යන අල්පොන්සෝ ගැන කතා කරන්න ඔහුව රසඳුනට එකතු කර ගත්තා. මේ ඔහු හා ඔහුගේ පුංචි කුටුම්බය ගැනයි.

දැන් පුංචි තිරයට වගේම සාමාන්‍ය ජීවිතේටත් සමරක්කොඩි හැලිලා අල්පොන්සෝ වුණා නේද ..?

දැන් මට හැමෝම කතා කරන්නේ අල්පොන්සෝ කියලා. ඒ ජානු නාට්‍යයේ අල්පොන්සෝ නිසා. මම ළඟදි මැලේෂියාවේ ගියා. මම මැලේෂියා යනවා කියලා දැනගෙන එහෙ ඉන්න ගොඩක් අය මට කෝල් කළා… මැසේජ් කළා. එහෙ ආවාම බලන්න ඕන කතා කරලා පොටෝ එකක් ගන්නම ඕන කියලා. පාරේ යද්දී ලංකාවේ අය දැකලා අඳුනගෙන ‘අල්පොන්සෝ‘ කියලා කතා කළා. මම ඔස්ට්‍රේලියා ගියා එහෙත් ඒ වගේම ප්‍රතිචාර ලැබුණා. ලංකාවේ කොහේ ගියත් මාව දන්නෙ දැන් අල්පොන්සෝ කියලා. විවිධ කාලවලට ඒ ඒ නාට්‍ය චරිතවලින් මට කතා කරන රසිකයින් ඉන්නවා. මම දැන් කාගෙත් අල්පොන්සෝ වෙලා. ඒ ගැන හරිම සතුටුයි. අපිව ජීවත් කරවන්නේ ඒ රසික ආදරේ තමයි.

සමරක්කොඩි රඟපාන්න එන්නේ අද ඊයේක නෙමෙයි. අවුරුදු 24 ට කලින්. හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයෙන්. ඒත් දැන් තමයි ඔබ ජනතාව අතරේ ඉන්නෙ..?

ඔව්. මම රඟපාන්න එන්නේ අවුරුදු 24 කට කලින්. මම ජනකලා කේන්ද්‍රයේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් කළා. බණ්ඩාර ඇහැලියගොඩ සර් තමයි එය භාරව හිටියේ. හෙන්රි ජයසේන මහත්මයා තුන්වරට නිෂ්පාදනය කළ හුණුවටය කතාවට සම්බන්ධ වෙන්නේ ඒ පාඨමාලා ව නිසයි. 2004 අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉඳලා තමයි මම රංගනයට සම්බන්ධ වුණේ. වේදිකාවේ රංගන හැකියාව දැකලා තමයි සිනමාවටත් පුංචි තිරයටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන්නේ. මේ වෙද්දී ටෙලි නාට්‍ය 115 විතර රඟපාලා තියෙනවා. මම නෙමෙයි මම නාට්‍ය පළමු නාට්‍ය, සීන් හයකට විතරයි හිටියේ, ඊට පස්සේ ඉසුරු භවන, තුර්‍යා, අමා, වගේම මේ දවස්වල පෝක් විදිය, සකර්ම, ජානු නාට්‍යවලින් ජනප්‍රිය යි. චිත්‍රපට නම් 12ක් විතර. සමහර චරිත පොඩි පොඩි ඒවා. ඒත් ඒවායින් ජනතාව මාව අඳුරගත්ත ප්‍රතිචාර දැක්වූ අවස්ථා තියෙනවා. දැන් තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ ජානු නාට්‍යයේ අල්පොන්සෝ ට.

සම්මාන නොලැබුණාට එක්තරා සම්මාන උ‍ෙලළක ජනප්‍රියම නළුවන් පහ අතරට ත් ආවා..?

ඒ ගැන ඇත්තටම සතුටුයි. එහෙම වුණත් සුමති සම්මාන උලෙළ සඳහා මගේ නම අහලකවත් තිබ්බේ නැහැ. එහෙම ඒවත් තියෙනවා. ඒ කොහොම වුණත් මම කැමැති නළුවෙක් නොවෙයි රංගන ශිල්පියෙක් හැටියට හඳුන්වා දෙනවාට මාව

අද අතිශය ජනප්‍රිය දක්ෂ සම්මානනීය රංගන ශිල්පීන් ඉන්නවා එදා කැමරාවට සුදුසු නොවන බව කියා ප්‍රතික්ෂේප වූ, අවලස්සන , උස ප්‍රශ්න කියලා , ඔබටත් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ද .?

ඕන තරම් මාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා මම කැතයි කළුයි කියලා. මාව ඔළුවේ තියාගෙන ලියපු පිටපත්වලටත් මාව ගත්තේ නැති නිර්මාණ තියෙනවා. මම ගැළපෙන්නේ නැහැ කියල. ඒ ප්‍රතික්ෂේප වීමම තමයි මාව මේ තරම් දුරට අරගෙන ආවේ. මම එහෙම වුණා කියලා පසු තැවි තැවී හිටියේ නැහැ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබුවා නාට්‍ය හා රංගකලාව සම්බන්ධයෙන්. අදටත් මම රංගනය ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නෙ. ඒ නිසා වෙන්න ඇති මම අද මේ වගේ ප්‍රතිචාර ලබන කෙනෙක් වුණේ කියලයි කියන්න තියෙන්නේ

ඔබත් එක්ක රඟපාන්න අකමැති නිළියෝ හිටියද..?

ඒක දන්නෙ නැහැ. මොකද මට මුහුණට කියලා නැති නිසා. මම ළඟ නැති තැන එහෙම කියලා තියෙනවා ද දන්නේ නැහැ

ඔබ තවම ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙලා නැහැ. සම්මාන ලබන්න වගේම ප්‍රධාන චරිතයක් කරන්නත් ආසාවෙන් ඇති නේද ..?

සම්මානයක් දුන්නොත් ගන්න කවුද අකමැති. මමත් ආසාවෙන් ඉන්නවා සම්මාන ලබන්න. ඒ වගේම තවම ප්‍රධාන චරිතයක් මට ලැබිලා නැහැ. ඒ නිසා මම හිතුවා චිත්‍රපටයක් කරන්න. ඒ කරන චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා වෙන්නෙ මම. මම වෙනුවෙන් මම ඒ චිත්‍රපටය කරන්න හිතාගෙන ඉන්නේ . ලබන අවුරුද්දේ තමයි ඒක කරන්න හිතාගෙන ඉන්නේ

ඔබේ ගම ඉංගිරිය, ගමෙන් ලැබෙන ප්‍රතිචාර ..?

සමහරු දන්නෙත් නැහැ මම ඉංගිරියේ කියලා. ඔයත් ඉංගිරියේ ද කියලා අහපු අය ඉන්නවා. ඇත්තටම කිවුවොත් ගමෙන් කියලා ලොකු ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. සාමාන්‍යයි ඉතිං . ලැබෙන ප්‍රතිචාර එක්ක මම සතුටු වෙනවා. වැඩිය මම ඒ ගැන හිතන්නේ නැහැ. මම මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. මම රැකියාව කරන්නෙත් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ. මට ඉන්නේ අම්මා තාත්තා මල්ලි. මල්ලි විවාහකයි. මට එයාලා සහාය දෙනවා.

රංගනයෙන් කාර්‍යබහුල වෙලා ඉන්න ඔබට රැකියාවක් කරන්න හිතුණේ ඇයි..?

මම කලින් ජොබ් එකක් කළේ නැහැ. රඟපෑම විතරයි කළේ. 2018 අවුරුද්දේ මම බස් එකකට යට වෙලා එක්තැන් වුණා. මාස 4ක් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. මාස හතක් ඇවිදින්න බැරි වුණා. ඊට පස්සේ තමයි මම තීරණය කළේ රඟපාන ගමන් ජොබ් එකක් කරන්න ඕන කියලා. කොච්චර කාර්‍යබහුල වුණත් රැකියාවත් කරගෙන යනව ආයතනයෙනුත් උදවු ඇතිව.

ඔය අතරතුර නේද පෙම්වතිය මුණ ගැහෙන්නේ ..?

ඔව්. එයා රවින්ද්‍යා මධුෂානි අමරසිංහ. ගමේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. එයත් ඉංගිරියේ, නාට්‍ය ගැන ඉගෙන ගන්න තමයි එයා මුලින්ම මට කතා කළේ. ඔය අතරේ මම ඇක්සිඩන්ට් වෙනවා. එතකොට එයා මට හිතවත් වුණා. ඒත් එක්ක මට හිතුණා එයාට ආදරේ කරන්න. කතාබහ දුර දිග ගිහිං ආදරවන්තයින් වුණා ,

නළුවෙක් නිසා සමාජයේ තියෙන අවිශ්වාස කතා එක්ක ඇයත් මත දරන්න ඇති..?

හැම කෙල්ලම ආදරේ කියන්න මුලින්ම අකමැතියි හිතේ කැමැත්තක් තිබුණත්. ඇයත් කැමති වුණත් ටිකක් කල් ගත්තා කැමැත්ත දෙන්න. මම නළුවෙක් කියලා එයා දන්නවා. ඊට කලින් මට ආදර සම්බන්ධතා දෙකක් තිබ්බා. ඒවත් එක්ක බලද්දී ඇය එක්ක ජීවත් වෙන්න පහසුයි කියලා හිතුවා. දෙන්නා ආශ්‍රය කරලා ටිකක් තේරුම් ගත්තට පස්සෙ තමයි විවාහයට යෝජනා කරේ. ඒ වෙද්දී එයත් එකම මතයක හිටියේ මාත් එක්ක විතරයි විවාහ වෙන්නෙ කියලා. ඉතින් අපි විවාහ වුණා. ඒ වගේම කියන්න ඕන රංගන ක්ෂේත්‍රයේ මට ගෑනු ප්‍රශ්න කොහෙත්ම නැහැ. මුල් කාලේ පොඩි පොඩි රණ්ඩු ඇති වුණා. ඒක ඉතින් ඊර්ෂ්‍යාව එක්ක එන රණ්ඩු මිසක් අවිශ්වාස කිරීම් නෙමෙයි. දැන් නම් එහෙම රණ්ඩුත් නැහැ

රංගනයට සම්බන්ධ වූ මුල් කාලේ නිළියකට එහෙම හිත ගිහින්

නැද්ද ..?

මොන හේතුවක් නිසාද දන්නේ නැහැ එහෙම නිළියන්ට ආදරේ කරන්න හිත ගියේ නැහැ. දැන් නම් කොහොමත් නැහැ. මොකද මගේ බිරිය මට නිළියක් ට වඩා ලස්සනයි . ඒ වගේම තමයි මම වැඩේ කරලා ගෙදර එනවා. ලොකු සම්බන්ධතා නළු නිළියෝ එක්ක නැහැ. හැමෝම එක්ක කතාබහ කරලා ඉන්නවා. නළුවෙක්ගෙ නිළියකගෙ නම්බර් එකක් කවුරු හරි ඉල්ලුවත් මට දෙන්න මගේ ළඟ දුරකතන අංක නැහැ. එහෙම චාම් ජීවිතයක් මම ගත කරන්නේ.

ඔබේ රංගනයට බිරියගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලත් කියමු කතාබහ අවසන් කරන්න කලින්..?

මගේ ජීවිතේ මට ලැබුණු ලොකු ම විවේචකයා එයා. වැඩිපුර ම මගේ රංගනයේ වැරදි දකින්නෙ එයා. එයාට දැනෙන විදිහට ඒ ඒ චරිතවල අඩුපාඩු කියනවා. ඒකත් හොඳ මෝටිවේෂන් එකක් කියලා තමයි මම හිතන්නේ

 

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division