Home » අපි දෙන්නව ඇස් දෙකට පෙනි පෙනී ඇයට අපිව අමතක වුණා

අපි දෙන්නව ඇස් දෙකට පෙනි පෙනී ඇයට අපිව අමතක වුණා

by thanushika
December 30, 2023 12:30 am 0 comment
විශ්මි ප්‍රනාන්දු

කලාව මිනිසුන්ගේ ජීවිතවලට කොතෙක් දුරට බලපෑම් කරනවාද යන්න වඩාත් පැහැදිලි වන්නේ කලාව තුළ ඇතිවන යම් හැලහැප්පීම්, සීතල යුද්ධ, ප්‍රේම කතා සමාජ මාධ්‍ය උඩු යටිකුරු කරන නිසයි. මෑතකදී සිදු වූ එවන් සිදු වීමක දිග පළල අදාළ පාර්ශ්වයන්ගෙන්ම දැනගන්නට කල්පනා කළේ ඒ නිසයි. මේ සම්බන්ධයෙන් අභිශේකා විමලවීරගෙන් අප විමසා සිටියත් ඇය එකී සිද්ධිය ගැන අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළත් අපි එහි අනෙක් පාර්ශවය වූ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමඟ කළ කතාබහයි මේ.

කොහොමද මේ දවස්වල අලුත් කලා කටයුතු ?

අලුතින් මං ලියපු ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි. ඒ අතරෙ චිත්‍රාල් සෝමපාල ගායනා කරන මා ලියූ වෙනස්ම ආකාරයක ආදර ගීතයක් තියෙනවා. ඊට අමතරව මගේ තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරුණු මියුසික් වීඩියෝ කිහිපයක් අලුත් අවුරුද්දෙ එළිදකින්න නියමිතයි. මං පුංචි කාලෙ ඉඳන් හීන දැක්කෙ සිනමාකරුවෙක් වෙන්න. ඉතිං 2024 අවුරුද්දෙ ඒ දිගු සිනමා සිහිනය ඇත්තක් වෙනවා. මේ ගතවෙන්නෙ ඒ සිහිනයට හෝම්වර්ක් කරන කාලය කිවුවොත් නිවැරදියි.

සම්මානයක් සම්බන්ධයෙන් ඔබගෙ යම් ප්‍රකාශනයක් නිසා සමාජ මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ ඇවිළුණා. ඔබ ඒ සම්බන්ධයෙන් දරන මතය මේ වන විට යම් වෙනසක් වෙලාද ?

කිසිසේත්ම නෑ. ඇත්තටම ඒ සම්මාන උලෙළ “මියුසික් වීඩියෝ” සඳහා සම්මාන ප්‍රදානය කෙරුණු උළෙලක්. එහිදී මා විසින් සංකල්පය සාදා, තිර පිටපත තනිවම ලියා, එහි සම නිෂ්පාදනය ද සිදුකොට අධ්‍යක්ෂණය කෙරුණු ‘භූමියට තවම පණ තියෙනවා’ කියන සුප්‍රකට මියුසික් වීඩියෝව ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. එහිදී පැහැදිලිවම එහි නිවේදකයා ප්‍රකාශ කර සිටියේ මේ ගීතයේ ‘කණ්ඩායම’ වෙනුවෙනුයි මේ විශේෂ සම්මානය හිමිවන්නේ කියා. නැතුව එය තනි කෙනෙකු වෙනුවෙන් ලැබුණු ජූරියේ විශේෂ සම්මානයක් නෙමෙයි. ඒ වගේම එහි ජූරිය විසින් මෙන්න මෙහෙම සම්මානයට අදාළ හේතු පාඨය ගෙනහැර දැක්වූවා.

විෂම ලිංගික ආදරය වගේම සම්මත යැයි තහවුරු කෙරුණු අධිපති කතිකාවක් අභියෝගයට ලක් කරන සංකල්පයක් පරිකල්පනය වෙනුවෙන් හා එකී අභියෝගය යථාර්ථයක් කිරීමට කැපවීම වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි වන්නේ’ දැන් ඔබට තීරණය කරන්න පුළුවන් මෙම සම්මානය ලැබුණේ ගායනය වෙනුවෙන් ද එහෙමත් නැත්තං සංකල්පය සහ මියුසික් වීඩියෝව නිර්මාණය කිරීම වෙනුවෙන් ද කියලා.

මෙම සිද්ධියට පෙර ඔබ හා අභිෂේකා අතර යම් අමනාපයක් තිබුණද ?

අනේ නැහැ. කවදාවත් නෑ. මේ ගීතයේ ඕඩියෝ ට්‍රැක් එකත් අරං මාව සොයාගෙන ආවෙත් ඇයමයි. ඒ වගේම අතේ සල්ලි නෑ මියුසික් වීඩියෝව කරන්න ඒකට නිෂ්පාදකයෙක් හොයාගන්න ඕනිත් කිවුවෙ ඇයමයි. එතකොට මා එක්ක නිර්මාණයක් කරන්න ආසාවෙන් හිටපු මාත් එක්ක නීති පීඨයේ එකට අධ්‍යාපනය ලබපු දැනට විදේශගතව සිටින ‘නිපුනි අමරසිංහ’ නම් මගේ මිතුරියට මං මේ යෝජනාව කරනවා. ඈ තනිකරම මාව විශ්වාස කරලා මෙය නිෂ්පාදනය කරන්න කැමති වෙනවා. මේ මියුසික් වීඩියෝව විශාල මුදලක් යොදවපු වැඩක්. ඒ නිසා මෙහි සම නිෂ්පාදනය වෙනුවෙන් මුදල් වියදම් කෙරුවෙ මං.

අදාළ සම්මාන උලෙළේ අපේ මේ ගීතය වෙනුවෙන් සම්මානයක් ලැබෙන බව මට මුලින්ම දැනුම් දුන්නෙ අභිෂේකාමයි. ඇයට එය අදාළ චැනලයේ හිතවත්කමකින් දැනගන්න ලැබුණු බව පැවසුවා. මට හිතාගන්න බෑ සම්මානයක් අපේ ගීතයට ලැබෙන බව අපිටත් කියපු, හැමෝටම කලින් ඒ ගැන දැනන් හිටපු අභිෂේකා ඇයි ඒක ලැබුණම කලබල වුණේ, කන්ෆියුස් වුණේ කියලා. ඇය මේ සියල්ල කලින් දැනගෙන කතාවක් සූදානම්වයි පැමිණ තිබුණෙ. කණ්ඩායමට සම්මානය හිමිවූ වෙලාවෙ අදාළ ගායිකාව වේදිකාව උඩ හැසිරුණේ මේ සියල්ල ඇය තනිවම කළා වගේ හැඟීමකින්. ඒ වෙලාවෙ ඇය විශේෂයෙන් භූමි හරේන්ද්‍රන් ගැනත් අශාන් ඩයස් ගැනත් මතක් කළා. දරුවන් නැති ඇගේ පරණ යෙහෙළියක් ගැනත් මොන මොනාවද කිවුවා. අපේ මියුසික් වීඩියෝවෙ සංස්කාරක ‘හසිත ජයසංඛ’ සහ මම හිටියෙත් එතැනමයි. අපි දෙන්නව ඇස්දෙකට පෙනි පෙනී ඇයට අපිව අමතක වුණා. ඒක හරිම අසාමාන්‍ය දෙයක්. ඒ ගැටලුව ගැන සමාජ මාධ්‍යයේ ලියනවාද නැද්ද කියා මා දහස් වතාවක් කල්පනා කළා. නමුත් එම ගායිකාව විසින් මෙය ඇයට පමණක් ලැබුණු සම්මානයක් බව තැන තැන කියමින් යන නිසාත්, ඇගේ සමාජ මාධ්‍යයන් වල මෙය ඇයට ලැබුණු දෙයක් පමණක් හැටියට වර නඟා තිබූ නිසාත් තමයි ‘ඇත්තම කතාව’ ලෝකෙ දැනගන්න ඕනි කියලා මටත් මගේ කණ්ඩායමටත් සිතුණා. කොහොම නමුත් අදටත් මට අභිෂේකා එක්ක තරහක් නෑ.

කලකිරීමක් පමණයි තිබෙන්නෙ. මං ලේ කිරි කරලා පොවපු මගේ දරුවෙක්ට දැඩි අසාධාරණයක් කළා වගේ හැඟීමක් මට දැනෙනවා.

අතපසු වීමක් නොසලකා හැරීම තවත් එවැනි සිද්ධීන්වලට අනුබල දීමක් කියා ඔබ හිතනවද ?

අනිවාර්‍යයෙන්ම. සමාජ අසාධාරණයන්වලදි ඊට විරුද්ධව අරගල කරපු මිනිස්සු ,ගැහැනු තමයි මේ ලෝකෙ වෙනස් කළේ වගේම අලුත් කළේ. යම් අසාධාරණයක් වුණාම ඒක වෙච්ච කෙනා, ඒකට මුහුණ පෑව කෙනා තමයි ඒ වේදනාව ගැන දන්නෙ. කතාවටත් කියන්නෙ ‘තුවාලෙ වේදනාව දන්නෙ තුවාල වෙච්ච මිනිහා’ කියලා. මං ප්‍රසිද්ධියෙ සමාජ මාධ්‍ය අවකාශයේ මේ අසාධාරණය ගැන කතා කළේ ‘කණ්ඩායම් හැඟීමෙන්.’ සහ නැවත එවැනි දෙයක් කවදාක හෝ අදාළ ගායිකාවගෙන් හරි වෙනත් කෙනෙක්ගෙන් හරි තවත් නිර්මාණකරුවෙක්ට නොවේවා යැයි යන යහපත් හැඟීමෙන්. මං හිතන්නෙ ඒක සාර්ථකයි. අපේ කලා ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා මට පෞද්ගලිකවම කතා කරලා කිවුවා ‘ඔයා කරපු දේ හරියට හරි. කවුරුහරි කට අරින්න ඕනි නැත්තන් හැමදාම වෙන්නෙ ඕකම තමයි’ කියලා. මං විශ්වාස කරන කලාව සාමූහිකයි. නිර්මාණවලට වඩා ඇත්තටම ලස්සන වෙන්න ඕනි කලාත්මක හදවත්.

තවම පණ තියෙනවා ගීතය වෙනස් මානයකට ගෙනියන්න ඔබගෙන් වූ ක්‍රියාදාමය කෙටියෙන් කීවොත් ?

අදාළ ගායිකාව මෙහි ගීත ඕඩියෝව මුලින්ම මට යොමු කළා. ඇගේ ඔළුවෙ තියෙන යම් කතාවක් ඇය මට පැවසුවා. මං ඒක එකහෙළා බැහැර කළේ එය අතිශය සාම්ප්‍රදායික නිසායි. ඇය මට ඒ සිතීමට නිහතමානීව ඉඩදුන්නා. අන්න එහෙම සති කිහිපයක් දිවා රෑ නැතුව හිතලා හිතලා තමයි ‘භූමියට තවම පණ තියෙනවා’ වීඩියෝවෙ දැන් තියෙන ඔය කතාව මං තනිවම නිර්මාණය කළේ. ඉන්පස්සෙ මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා සම්පූර්ණ සාමූහික මහන්සියෙන් තමයි ඔය මියුසික් වීඩියෝව හැදුවෙ. ඒක යූ ටියුබ් අවකාශයෙ අඩුම කාලයකින් ‘ට්‍රෙන්ඩින් වන්’ වුණේ අපේ ටීම් වර්ක් එක නිසාමයි. එහි ගෞරවය මගේ සිට අපේ කණ්ඩායමේ තේ හදන මහත්මයා දක්වාම හිමිවිය යුතුයි. අපේ නිර්මාණාත්මක මහන්සිය සම්මානයකට වඩා සෑහෙන්න විශාලයි !

ඔබ ඔබගෙ නිර්මාණ තුළින් සමාජගත කරන්නෙ ඔබ කාලයක් තිස්සෙ සමාජය තුළින්ම කළ පරීක්ෂණයන් වලින් අවශෝෂණය කරගත් දේවල්ද ?

සහතිකව ම. මං දුප්පත් පවුලක ඉපදිලා මේ අද ඉන්න තත්ත්වය දක්වා බොහොම දුක් මහන්සියෙන් කටු කාගෙන ආපු මනුස්සයෙක්. ඒ මනුස්සයා ජීවිතේ පුරා මේ තාක් අත්වින්ද වේදනා සංවේදනා සහිත අත්දැකීම් තමයි ලස්සනට නිර්මාණ වෙලා ප්‍රේක්ෂකාගාරයට මුදා හැරෙන්නෙ.

මං හීන දකින්නෙ, දේශපාලනය කරන්නෙ, ලෝකෙ එක්ක කතා කරන්නෙ මගේ නිර්මාණවලින්. මං මගේ අතින් ලියැවෙන, ඒ වගේම අධ්‍යක්ෂණයෙන් නිමැවෙන හැම නිර්මාණයකට ම සීයට සීයක් වග වෙනවා. උන් මගේ දරුවො. මගේ නිර්මාණ දරුවෙක්ට අසාධාරණයක් වෙනවා නම් මං කිසිසේත්ම ඉවසන්නෙ නෑ. මං උන්ට මට වඩා ආදරෙයි.

නිර්මාණ කාර්යයට මාධවීගෙන් ලැබෙන්නේ කෙබඳු දායකත්වයක්ද ?

මාධවී කියන්නෙ මගේ ජීවිතේ. මගේ හැමදේම. ඉතින් මගේ හැම නිර්මාණ දරුවෙක්ටම මාධවී තමයි අම්මා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද ?

මගේම චිත්‍රපටයක්. ටෙලි නාට්‍යයක්. පොතක්. පොත් දෙකක්. දරු පවුලක්. නිදහසේ හැමෝටම සතුටින් ජීවත්වෙන්න පුළුවන් රටක්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division