Home » මම වාසනාවන්ත අතීතයක් අයිති කෙනෙක්

මම වාසනාවන්ත අතීතයක් අයිති කෙනෙක්

by thanushika
December 30, 2023 12:30 am 0 comment
 හර්ෂණී වීරරත්න

සංගීත ස්වප්ත ස්වර වෛවර්ණ තාල එක්ක පුංචි කාලේ ඉඳලා ජීවත් වුණු ඔහු ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන්ගේ මුණුපුරු විනුජ රත්නායක. සුන්දර අතීතයක් හිමි ඒ ගැන වගේම ඔහුගේ සංගීත ජීවිතේ ගැන කතා කළේ මෙලෙසිනුයි.

විනුජ රත්නායක කියන්නේ සංගීතයට ඕපපාතික‍ෙයක් නෙමෙයි. වික්ටර් රත්නායකයන්ගේ මුණුපුරා ඔබ, සංගීත ජීවිතේට විනුජ එකතු වෙන්නේ ඒ නිසාමද..?

වික්ටර් රත්නායකගේ ලොකු දුවගේ පුතා තමයි මම. සීයා මාමලා හැමෝම සංගීතය එක්ක ජීවත් වුණු අය. පුංචි කාලේ ඉඳලා ජීවත් වෙන්නෙ ඒ සංගීත පරිසරයත් එක්ක. මමත් පාසලේ නිතරම සංගීතයට සම්බන්ධ වුණු කෙනෙක්, ඒ නිසා මමත් සංගීතයට ආදරේ කළා. මට දැන් වයස අවුරුදු 21ක්. ඇත්තටම කිව්වොත් ප්‍රසිද්ධ වේදිකාවට නැගලා සිංදු කියපු මතකයක්වත් මට නැහැ . ඒ තරමට මම සංගීතය එක්ක හිටියේ

දෙමාපියන් නැතුව ජීවත්වෙන ඔබට ජීවිතය දිනන්න උදව් කරන්නේ ඔබේම සහෝදරිය ..?

මට ඉන්නෙ අක්කා විතරයි. එයා තමයි අම්මා තාත්තා නැති වුණාට පස්සේ මාව බලා ගන්නේ. අක්ක තමයි මාව සංගීතයට යොමු කරමින් උදව් කරන්නේ. මගේ අම්මා 2016 නැති වුණා. අප්පච්චි පසුගිය අවුරුද්දේ නැති වුණේ. දෙමාපියන්ගේ නොඅඩුව නොදැනෙන්න අක්කා මාත් එක්ක ඉන්නවා. එයා තමයි දැන් මගේ හයිය. ඒ වගේම සීයා. නෙළුම් මාමා, පුංචි පවුලේ හැමෝමත් අපිව වැටෙන්න නොදී බලා ගන්නවා.

සීයත් එක්ක ගෙවුණු ළමා කාලේ සුන්දර ඇති..?

හරිම සුන්දරයි. මම අම්මා අප්පච්චි අක්කා අපි හැමෝම ජීවත් වුණේ නාවින්න මහා ගෙදර, සීයා ආච්චි එක්ක. ඒ කාලේ හරි සතුටින් ජීවත් වුණා. මාව ඉස්කෝලේ ගෙනියන්නේ ගේන්නේ සීයා. සීයා ෆිල්ම් වලට සිංදු හදන හැටි මට මතකයි. ළමා ගීත හදද්දි විනු මෙහේ එන්න කියලා මට කතා කරනවා. සති දෙක තුනක් ගියාට පස්සේ මට කියන්නෙත් නැහැ රෙකෝඩිං ලෑස්ති කරලා මට කියලා ඒ ගීත ගායනා කරවලා බලනවා. ගෙදරදි සීයා සිංදු හදන හැටි දැකලා ඇහිලම තමයි මට ආසව එන්නේ. සීයා එක්ක අපි සතුටින් ජීවත් වුණු කාල තිබ්බා. ඒ මතක හරි ලස්සනයි

අනිත් එක අපේ අම්මගේ සහෝදර සහෝදරියෝ ඒ ඒ අයගේ දරුවෝ අපි හැමෝම නිතරම මුණ ගැහෙනවා. සිංදු කියනවා, විනෝද වෙනවා. මහගෙදර ජීවිතේ හරි සුන්දරයි ගොඩක් අත්දැකීම් ලබන්න වාසනාවන්ත වුණා. අම්මා අප්පච්චි වගේම ජයන්ත මාමාව නිතරම මතක් වෙනවා. එයාලා ජීවතුන් අතර නැති නිසා

අම්මටයි අප්පච්චිටයි හිටපු එකම පුතා නිසාත් සීයා ආච්චි එක්ක ළඟින් හිටපු නිසාත් විනුජ පොඩි කාලේ දඟ ඇති..?

පුංචි කාලේ මම හරි දඟයි. ඒවා මට අදටත් මතකයි. සීයගේ කමරේට ගිහිං එයාගේ ඇඳ උඩ නැගලා බඩට ගහලා ඇඳේ දඟලලා පිනුම් ගහලා එයාට කරදර කරනවා. ඒත් සීයා මට මොකුත් කියන්නේ නැහැ. ඒත් එළියට ගිහිං දඟ වැඩක් කළොත් නම් අවවාද කරනවා. සීයා නිසා සංගීත ජීවිතේ ප්‍රවීණයින්ගේ ඇසුර ලැබුණා. ඒ ප්‍රවීණයින්ගේ ගෙවල්වල ගිහිං ළඟින් ඇසුරු කරන්න මට අවස්ථාව හිමි වුණා. ඒ හැම දේම මට ලැබුණේ සීයා අම්මා අප්පච්චි නිසා. මගේ පුංචි කාලේ ග්‍රේඩ්ෆුල් එකක්. වාසනාවන්ත අතීතයක් මට තියෙන්නේ

විනුජ පොඩි වයසක හිටියට සංගීත කණ්ඩායමක් මෙහෙයවන කෙනෙක් ..?

මගේ සංගීත කණ්ඩායම මිඩ්ලේඩ්. සංගීත කණ්ඩායම එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. මම මුලින්ම ළමා ගීත එකතුවක් කරන්නෙ 2016 පැණි වර මල් කියලා. සීයා අම්මා අප්පච්චිගේ උදව්වෙන්. ඒ ඇල්බම් එකට මට 2016 අවුරුද්දේ හොඳම ළමා ගී ඇල්බමයට හිමි රාජ්‍ය සම්මනය හිමි වෙනවා. ඊට පස්සේත් ගීත කළා. අලුතින්ම රිලිස් කරපු සිංදුව තමයි හිමිකම් සොයනා ගීතය මේ ගීතය ලිව්වේ මනුරංග අයියා. සංගීතය දිනේෂ් සුභසිංහ අයියගේ. තවත් ගීත ගොඩක් කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

සංගීතයද දැන් ජීවිතේ, රැකියාවක් කරන්න ආස නැද්ද ..?

මම දකින එකම හීනය සංගීතය එක්ක වැඩ කරන එක. මම වෙන හීන දැකලත් නැහැ දන්නෙත් නැහැ. පොඩි කාලේ ඉඳලා දකින දේ ඇසුරු කරපු දේ එක්ක ජීවත් වෙන්නයි ආස. රැකියාව තමයි සංගීතය. බෑන්ඩ් එකේ වැඩ කරගෙන හිමින් ගමනක් යනවා. මගේ සීයා සංගීත ජීවිතේ නමක් තැබූ කෙනෙක්. එතුමා වගේ වෙන්නයි මට ඕන. ඉතිං මට ඔහු වෙන්න බැහැ. ඒත් සාර්ථක සංගීත ජීවිතයක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒකට අවශ්‍ය පසුබිම හදාගෙන කැපකිරිම් කරලා ඒ ගමන යනවා.

සංගීත ප්‍රසංග වලට තිබෙන ඇරයුම්, වික්ටර් රත්නායකයන්ගේ ගීත ඔබ ගයනවා ඇති, සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?

මිල්ලෙඩ් සංගීත කණ්ඩායම එක්ක මම සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. මගේ ගීත කිව්වත් මම තෝරා ගත් සීයාගේ ගීත කිහිපයක් මම ප්‍රසංග වේදිකාවේදි ගයනවා. මම මගේ මොන සිංදු කිව්වත් සීයගේ ගීතවලට තරම් ජනතාව ආදරයෙන් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. සීයගේ ගීත මගේ හඬින් ගැයුවත් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ඒ තරම් සීයගේ ගීතවලට ඇබ්බැහි වුණු ආදරණීය රසිකයින් පිරිසක් එතුමාට ඉන්නේ. ඒ ගැන මටත් සතුටුයි. ඒක මටත් ආශීර්වාදයක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division