Home » මම දෙපැත්තකින් ආදරය ලබනවා

මම දෙපැත්තකින් ආදරය ලබනවා

by thanushika
December 30, 2023 12:30 am 0 comment
 නාමලී ගමගේ

එක් පසෙකින් ඇය රෝගී මිනිසුන් සුවපත් කිරීමට වෙහෙසෙන නයිටීන්ගේල් දියණියකි. අනෙක් පසින් සුවහසක් ප්‍රේක්ෂක සිත්වලට ආනන්දය කැන්දන කලා ශිල්පිනියකි. මංචී චොකලට් රූපවාහිනී වෙළෙඳ දැන්වීම හරහා ළමා වියේදීම කලාවට පිවිසි ඇය මේ වනවිට වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය මත ද තම දස්කම් විදහා පාමින් සිටින්නීය. රජිත හිරාන්ගේ රයිඩර් සිනමාපටයේ මාධ්‍යවේදිනිය ලෙස මේ දිනවල අපට හමුවන ඇය රොෂානි දිසානායකයි.

මේ දිනවල රොෂානි අපට හමුවන්නේ රයිඩර් සිනමාපටයේ මාධ්‍යවේදිනියගේ භූමිකාවෙන්. කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ?

සුරේෂ් කුමාරසිංහ සර් තමයි මට මුලින්ම රයිඩර් චිත්‍රපටයට ආරාධනා කළේ. රජිත හිරාන් අයියගෙ අධ්‍යක්ෂණයක්. කැම්පස් එකේ උද්ඝෝෂණයක් නිසා ශිෂ්‍යයකුට මුහුණ පාන්න සිදුවන අනිසි බලපෑම් වගේම ඒ නිසා ඔහුගේ අනාගතය විසඳෙන ආකාරය තමයි මේකෙන් කියවෙන්නෙ. ඒ ගැන තොරතුරු හොයන මාධ්‍යවේදිනියගේ චරිතය තමයි මං නිරූපණය කරන්නේ.

කලාවේ දස්කම් පාන්න නයිටීන්ගේල් දියණියකට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද කියලත් කියමු?

පුංචි කාලෙ ඉඳන්ම මගේ ලොකු ආසාවක් තිබුණෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒත් මං අධ්‍යාපනය හැදෑරුවේ ඒ පැත්තෙන් නෙවෙයි. ඒ නිසා මං පෞද්ගලික අංශයේ හෙදියක් විදිහට සම්බන්ධ වුණා. මං හිතන්නේ ඒක ලොකු පිනක් කියලා. මුල් දවස්වල නම් ගොඩක් අමාරු වුණා හුරුවෙන්න. ඒත් පස්සෙ හරි ගියා. පොඩි කාලෙම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා තිබුණත් නිසි විදිහට කලාවට සම්බන්ධ වුණේ හෙදියක් වුණාට පස්සෙ‍. මට ඒ අවස්ථාව ලැබුණෙත් මගේ මේ හෙද වෘත්තිය නිසා කියන්නත් පුළුවන්. සුභානි හර්ෂණී අක්කයි නීලක අයියයි මං හෙදියක් නිසා තමයි මාව හොයාගෙන ඇවිත් එයාගෙ මියුසික් වීඩියෝවට සම්බන්ධ කර ගත්තෙ.

ළමා වියේදිම කලාවට පිවිසුණු ඔබට මේ ආපු දුර ගැන මොකද හිතෙන්නෙ?

මංචි චොලකට් වෙළෙඳ දැන්වීම හරහා තමයි මං කලාව හඳුනගන්නේ. ඒ අවුරුදු 9 දි මගේ තාත්තගෙ ආසාවට කළ දෙයක්. ඊට පස්සෙ මං ටවර් හෝල් පදනමට සම්බන්ධ වෙලා අවුරුදු 3ක් නාට්‍ය හා රංග කලාව හදාරන්නේ බදුල්ල ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබද්දි. ඊට පස්සෙ ජයලත් මනෝරත්න සර්ගෙ ඇලෙක්සැන්ඩර් වේදිකා නාට්‍යයේ කුමාරිකාවකගෙ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ පළමු නාට්‍ය අත්දැකීම. ඊටත් පස්සෙ ගයාන් ඉද්දමල්ගොඩගේ IMA ආයතනයට සම්බන්ධ වෙලා නිවේදනය, ඩ්‍රාමා, ඩබින් කියන පැති තුන ගැනම හැදෑරීමක් කළා. මට ඕන වුණේ ඉගෙන ගෙන දෙයක් කරන්න. ඊට පස්සෙ අජාසත්ත වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. 2023 දි මට අවස්ථාව ලැබෙනව මමයි ඩොක්ටර් වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වන සංධ්‍යා කුමාරිගෙ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න. ඒක මේ දවස්වල වේදිකාගත වෙනවා.

පුංචි තිරය මුලින්ම ස්පර්ශ කළේ සරත් ධර්මසිරි සර්ගෙ අප්පච්චි ටෙලි නිර්මාණයේ සේපාලිකාගේ චරිතයෙන්. ඊට පස්සෙ දිගටම ටෙලි නිර්මාණ රැසකට දායක වුණා. ඒ අතරින් චන්දන ධර්මප්‍රියගෙ රෑනගල වලව්වෙ නිමාෂා, සෙනෙහස ලොකු මිස් වගේම ඔෆිස් ලන්තයේ නිත්‍යාංජනීගේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඊට අමතරව නීල පබළු, රෝසමල් කැලේ, පාර වසා ඇත, දිවිතුරා, සිහිනයකි අප්පච්චිහි, හිතුවක්කාර, කෝපි කඩේ, කියාදෙන්න ආදරේ තරම්, කොළඹ ඉතාලිය වගේ ටෙලි නිර්මාණවල විවිධ භූමිකා හරහා පුංචි තිරයෙන් දකින්න ලැබුණා. ඒ වගේම අවකාශය, දිට්ඨධම්මවේදනීය වගේ පෝය ටෙලි චිත්‍රපට ඔස්සේත් ප්‍රේක්ෂකයන් හමුවුණා.

සිනමාව පැත්තෙන් ගත්තොත් අභිනික්මන, රයිඩර්, මොණර දැල, ලොක්ඩවුන් වගේම ඉදිරියට එන්න තියෙන චන්න පෙරේරාගේ සඳ දිය සළු, මහේෂ් කරුණාරත්නගේ කාලි වගේම සුරේෂ් කුමාරසිංහගේ ගිජු ලිහිණියෝ වැනි සිනමා නිර්මාණවලටත් දායක වුණා.

කාර්යබහුල වෙද්දි හෙද සහ කලා කියන පරස්පර විරෝධී ක්ෂේත්‍ර දෙක කොහොමද සමබර කර ගන්නෙ?

එක දිගට දවස් කිහිපයක් වැඩ කරලා ලැබෙන නිවාඩු දවස් මං කලා කටයුතුවලට යොදා ගන්නවා. නවලෝක ආයතනයෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා. ඒ නිසා මං දෙපැත්තකින් ආදරය ලබන්න තරම් භාග්‍යවන්ත වෙලා තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට එක පැත්තකින් ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලබද්දි හෙදියක් විදිහට අනෙක් පැත්තෙන් පුදුම ආදරයක් ලබනවා. මං හරි ආසයි ඒ ආදරේට. ඔවුන් මාව අඳුනගෙන කතා කරනවා. සෙල්ෆි ගහනවා. ඒක හරි රසවත් අත්දැකීමක්.

මේ වෙද්දි ඔබ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන ත්‍රිත්වයටම සම්බන්ධ වෙලා ඉන්නෙ. ආපු ගමන ගැන තෘප්තියක් දැනෙනවද?

මුල් කාලෙ නම් මානසිකව හොඳටම වැටුණා. හීනෙකින්වත් නොහිතපු චෝදනා මට එල්ල වුණා. ඒත් ගෙදර අය මං එක්කම හිටියා. ඔවුන් මට කලින්ම කිවුවා මොන ප්‍රශ්න ආවත් තමන් හරි නම් නිහඬව තමන්ගෙ ගමන යන්න කියලා. ඒ නිසා මං හැමදෙයක්ම හිනාවෙලා පිළිගන්න පුරුදු වුණා. දැන් ආයෙම හැරිල බලද්දි මං මගේ ගමන ඇවිත් කියන සතුට මට තියෙනවා.

රංගන ශිල්පිනියක් විදිහටයි හෙදියක් විදිහටයි විතරක් ආදරේ ලැබුණම ඇතිද?

කාලයක් ආදරවන්තියක් වෙලා හිටියා. දැන් නැහැ. දැන් මගේ ඉලක්කය වෙලා තියෙන්නෙ කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහින් කවදහරි සම්මානයක් ගන්න එක. ඒ වෙනුවෙන් මං කැපවෙනවා. මේ වයසට ආදරේට අකමැති කෙනෙක් නැහැනෙ. මාත් ආසයි ඒ වගේ ආදරයක් ලබන්න. ක්ෂේත්‍රයේ අයගෙන් යෝජනා නැතුවම නෙවෙයි. කොහොම වුණත් මං නියැළෙන මේ ක්ෂේත්‍ර ගැන හොඳින් අවබෝධ කරගෙන මට ඉදිරියට යන්න සපෝට් එක දෙන කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division