Home » දැන් නම් මම මගේ වැඩ තනියෙන් කරගන්නේ

දැන් නම් මම මගේ වැඩ තනියෙන් කරගන්නේ

by thanushika
December 30, 2023 12:30 am 0 comment

නදුනි වනිගසුන්දර කියන්නේ මේ වෙද්දී වේදිකාව මත තමන්ගේ දක්ෂතා පෙන්නුම් කරන තාරුණ්‍යයේ පසුවන රංගන ශිලිපිනියක්. තවමත් රංගනය පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරන නදුනිට මෙවර 43 යෞවන සම්මාන උලෙළ සුවිශේෂී වුණා. ඒ ගැන වගේම කලාවේ ඉදිරි කටයුතු ගැන නදුනි සමඟ කළ කතා බහයි මේ.

මුලින්ම නදුනි ගැන කිව්වොත්

මගේ උපන් ගම නිට්ටඹුව. පවුලේ ඉන්නේ අම්මා තාත්තා අක්කා මල්ලි සහ ආච්චි. පාසල් ගියේ නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයට. මේ වෙද්දී මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ රංගනය පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරනවා.

නදුනි පාසල් වේදිකාවේත් හිටිය කෙනෙක් ද?

ඔව්. පාසල් කාලයේ අපිට මුලින්ම රංගනය හදාරන්න අවස්ථාව ලැබුණේ 9 වසරේදී. එදා ඉඳන් පාසල් කාලය තුළ පාසල් වේදිකාවේ තරග වලින් ජයග්‍රහණ ලබලා තියෙනවා.

රංගනය තමයි දිගටම හදාරන්න ඕනේ කියන හැරවුම් ලක්ෂ්‍යය ගන්නේ කොතනින් ද?

මම සාමන්‍යය පෙළ ප්‍රතිඵල එක්ක වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න හිතුවේ. එතැනදී මගේ පාසලේ නාට්‍යය හා රංග කලාව ගුරුතුමිය වුණු සරෝජනී මැඩම් සහ ජයග්‍රාහි රණසිංහ ගුරුතුමා තමයි මට කිව්වේ, ඔයාගේ ඇඟේ තියෙන්නේ කලාව ඔයා කලාව කරන්න. ඒ නිසා තමයි වාණිජ විෂයට යන්න ගිය මම කලාවට හැරුණේ. අද මට හරි සතුටුයි මම කලාව තෝරා ගත්ත එක ගැන.

එතකොට කොයි කාලෙද ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ?

2016 සහ 2017 මම උසස් පෙළ කරන කාලේ බස්නාහිර පළාත් කෙටි නාට්‍යය තරගාවලියට සම්බන්ධ වෙනවා. 2016දී හොඳම සහාය නිළියට හිමි සම්මානය ලබා ගන්නවා. 2017දී හොඳම නිළිය, හොඳම නිෂ්පාදකවරිය, හොඳම අධ්‍යක්ෂවරිය සහ හොඳම රංග වින්‍යාසයට හිමි සම්මාන ටික ලබා ගන්නවා.

මෙවර පැවැත්වුණු 43වන යෞවන සම්මාන උලෙළත් විශේෂයි නේද?

“රතු පාට මල්” කියන්නේ පළමු කෙටි නාට්‍යය. මමම අධ්‍යක්ෂණය කරලා, මමම රචනය කරලා මමම ඒකල රංගනයක් ඉදිරිපත් කළ නාට්‍යයක්. රතු පාට මල් නාට්‍යය සඳහා, නිෂ්පාදන කුසලතාවයට සම්මානයක්, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය වෙනුවෙන් ශිමාලි හසිනි, හොඳම රංගාලෝකයට නිරංශ අකලංකට සම්මාන ලැබුණා. ඒ එක්කම කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට නිර්දේශ වුණා සහ ඒ වෙනුවෙන් ජූරියේ විශේෂ රංගන කුසලතා සම්මානයක් ලැබුණා.

ඩෙසිඩෙරාටා නාට්‍යයේ මායා වෙනුවෙන් දිගු නාට්‍ය අංශයේ හොඳම නිළියට මම නිර්දේශ වුණා. ඒ වගේම ජූරියේ විශේෂ රංගන කුසලතා සම්මානයක් ලැබුණා.

අපේ විශ්වවිද්‍යාලය මඟින් පවත්වපු ඇකඩමික් තෙස්පියන් නාට්‍යය උලෙළේ දී (Academic Thespians Theatre Festival) මම මේ මේ “රතු පාට මල්” නාට්‍යය රඟ දැක්වුවා. එදා එතැනට ඇවිත් හිටියා ඉන්දියාවේ කලාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එතුමා නාට්‍යය බලලා මට විශේෂ ඇගැයීමක් ලබා දුන්නා. ඒක මට මගේ රංගන ජීවිතේට ලැබුණු විශේෂ ඇගැයීමක් වුණා. ඒ වගේම යෞවන සම්මාන උලෙළෙන් පස්සේ මගේ රංගනය නරඹපු සියලු දෙනාගෙන්ම මට විශේෂ ප්‍රතිචාර ලැබුණා. සම්මානවලට වැඩිය කෙනෙක්ට මතක හිටින නිර්මාණයක් කරලා මේ ලබන ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.

වේදිකාවෙන් ඔබ එන්නේ සිනමාවට

ඔව්. මට මේ වෙද්දී අවස්ථාව ලැබුණා ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කරපු වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. එහි මම රඟපෑවේ සමන්මලී කියන පාසල් ශිෂ්‍යාවගේ චරිතය. ඒ චිත්‍රපටය මේ වෙද්දී තිරගත වෙලා අවසන්. ඒ වගේම මේ දිනවල අශෝක හඳගම මහතා අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.

ගෙදරින් කැමැත්තක් ලැබුණද කලාව තෝරා ගනිද්දී

ඇත්තෙන්ම ඔව්. මට ගෙදරින් විශාල සහයෝගයක් ලබා දෙනවා. මම චිත්‍රපටයට දායක වුණු කාලේ රිහසල් යන්න එන්න. කොළඹ නිතර යන්න එන්න මගේ අම්මා හැමදාම මා එක්ක ආවා. දැන් මම විශ්වවිද්‍යාලයට යන නිසා මගේ වැඩ තනියම කර ගන්නවා. මගේ අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරියන් මට ලොකු සහයෝගයක් දෙනවා. එයාලා කැමැතියි මම කලාව හදාරනවට සහ කලාවේ වැඩවල නිරත වෙනවට.

නදුනිගේ ඉලක්කය කොතනද තියෙන්නේ

මම හරි කැමැතියි විවිධ චරිත රඟපාන්න. ඒ හරහා චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න. මේ වෙද්දී මම කරලා තියෙන්නේ මගේ පෙනුමට ලැබුණු චරිත නෙවෙයි. මගේ හැකියාවට ලැබුණු චරිත. ඒ අනුව මම වේදිකාවේ පවා කරලා තියෙන්නේ විවිධ චරිත. වෙ‍ෙළඳ දැන්වීමවල පවා මට ලැබුණේ විවිධ චරිත. ඒ ගැන මම සතුටුයි. චරිතාංග රංගන ශිලිපිනියක් වෙන ගමන් මේ තියෙන ආර්ථිකය එක්ක රංගනය පමණක්ම වෘත්තීය කර ගන්න අමාරු නිසා මම හදාරන ක්ෂේත්‍රයෙන් කරන්න පුළුවන් වෘත්තියක නිරත වෙන්න හිතාගෙන ඉන්නවා.

මෙතෙක් ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ

ආපු ගමන් මඟ ගැන ලොකු සතුටක් තියෙනවා. මේ ගමන එන්න මට ශක්තිය වුණේ මගේ පාසල සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඒ තුළින් ලැබුණු පන්නරය සහ ගෙදරින් ලැබුණු සහයෝගය නිසයි අද මම මෙතැන ඉන්නේ. ඒ වගේම මගේ පාසලේ සරෝජිනී ගුරුතුමිය ඇතුළු ගුරුවරු සහ විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්යවරු ආදරෙන් මතක් කරනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division