Home » කපුරාල දෙවියන්ගේ නියෝජිතයෙක් නෙමෙයි දේවාලයේ සේවකයෙක් විතරයි

කපුරාල දෙවියන්ගේ නියෝජිතයෙක් නෙමෙයි දේවාලයේ සේවකයෙක් විතරයි

-රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර

by sachintha
December 30, 2023 12:30 am 0 comment

සාධාරණව හොඳින් ජීවත් වෙන කෙනෙක් කිරි වෙහෙරයි අෂ්ඨබෝධියයි වැඳලා ඒ පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කළත් ඇති. ඔහුට පෙරළා දෙවියන්ගෙන් පිහිට ලැබෙනවා

බස්නායක නිලමෙ හැටියට මගේ වගකීම දෙවියන් වඳින්න එන සියලු දෙනාටම පහසුකම් සැලසීමයි. ඔවුන් රැවටීමට ලක්කිරීම නැවැත්වීමයි මම කරන්නෙ

මම බලාපොරොත්තු වෙනවා මම ඉන්න අවුරුදු පහේ සියලු ලේඛන තියලා යන්න. මම පිරිසුදු නම් අවංක නම් මම එහෙම ලේඛන තියලා යන්න බිය විය යුතු නැහැ

තමන් දේවාලයට පූජා කරන මුදල් හෝ ද්‍රව්‍යවලට ඒ මොහොතේදිම රිසිට්පතක් ඉල්ලන්න බැතිමතුන්ට අයිතියක් තියෙනවා

 

මෙරට පූජා නගර අතරින් ප්‍රධාන පුදබිමක් වන රුහුණු කතරගම මහ දේවාලය කතරගම දෙවියන්ට කැප කළ ප්‍රසිද්ධ බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන සංකීර්ණයක් බව අවිවාදිතය. සුවහසක් බැතිමතුන්ගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වී තිබෙන කතරගම දේවාලයේ කපුරාලලා පිළිබඳ විවිධ පුවත් ඉකුත් දිනවල වාර්තා වූ අතර, මේ ඒ සම්බන්ධයෙන් රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.

බැතිමතුන් වෙනුවෙන් දෙවියන් ආමන්ත්‍රණය කරන කපුරාලලා පිළිබඳ වාර්තා වන සිදුවීම් නිසා බැතිමතුන් තුළ දෙවියන් කෙරෙහි විශ්වාසය අඩු විය හැකියි නේද?

දෙවියන් ගැන තියෙන විශ්වාසය කිසිම විදිහකින් අඩු වෙන්නෙ නැහැ. යම් ආයතනයක වැඩ කරන නිලධාරියෙක් යම් අකටයුත්තක් කළාම යම් පමණකට ගැටලුවක් ඇති වුණත් සමස්ත ආයතනයම පිරිහෙන්නෙ නෑ. මේකත් එවැනි සිදුවීමක්. කපුරාලලා කියන්නේ දේවාලයේ සේවකයෝ පමණයි. ඔවුන්ට තියෙන්නෙ දෙයිහාමුදුරුවො වෙනුවෙන් තුන්වේල වතාවත් කිරීමයි. බැතිමතුන්ට දෙයිහාමුදුරුවන් වඳින්න තියෙන හොඳම ක්‍රමය තමන් කරපු පින් දෙයිහාමුදුරුවන්ට අනුමෝදන් කිරීමයි. පින් කියන්නේ තමා කරන රැකියාව, ව්‍යාපාරය සාධාරණව කරලා එයින් උපයාගත් දෙයින් දරුවෝ හොඳින් හදාගෙන අනිත් අයටත් හැකි විදිහට උදවුවක් කරගෙන සාධාරණව ජීවත් වීමයි. දෙවියො වඳින්න ආවම තමා කළ සියලු හොඳ දේවල් මෙනෙහි කරලා කිරිවෙහෙර සහ අෂ්ඨඵල බෝධිය වැඳලා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමයි කළ යුත්තේ.

ඔබ කියන්නේ කපුරාලලා නැතිව දේවාල පවත්වාගෙන යා හැකි බවද?

දේව යාතිකා කරන්න කපුරාළලා අවශ්‍ය වෙනවා. කතරගම කිරි විහාරයේ සහ අභිනවාරාමයේ දේවාල දෙකේම යාතිකා කරනවා. ඒ ස්ථානවලට බැතිමතුන් වැඩිපුර යනවා. යාතිකාව කරන්න පත්තිති පරම්පරාවේ කපු මහත්තයෙක් එතැන ඉන්න ඕනේ. ඔවුන් මුලින්ම දෙවියන්ගෙ ගුණ කියලා ඊට පස්සෙ කියනවා මේ වගේ බැතිමතෙක් ඇවිත් ඉන්නවා ඔහු ඔබවහන්සේගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා, ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියන ඉල්ලීම කපුරාල දෙවියන්ගෙන් කරනවා. කපුරාල උස් ස්වරයෙන් ඒ යාතිකාව කරද්දි බැතිමතත් ඒ ටිකම හිතින් හිතනවා. ඒකත් දෙවියන්ට කියන හොඳ ක්‍රමයක්. කපුරාල දෙවියන්ගේ නියෝජිතයෙක් නෙවෙයි. ඔහු දේවාලයේ සේවකයෙක් පමණයි.

ඔබ අවධාරණ කරන්නේ කිසිම හේතුවක් මත කතරගම එන බැතිමතුන්ගේ සංඛ්‍යාවේ අඩුවක් වෙලා නැහැ කියලද?

ඔව්. සතියේ දිනවල තරමක් අඩු වුණත් සති අන්තය බැතිමතුන්ගෙන් පිරෙනවා. කිරි වෙහෙර, අෂ්ඨඵල බෝධිය, ගණ දේවාලය සහ මුස්ලිම් පල්ලිය තියෙන්නෙත් මේ පූජා භූමියේමයි. මුස්ලිම් සහ හින්දු බැතිමතුන් කතරගම ඇවිත් ඔවුන්ගේ විශ්වාසය අනුව වතාවත්වල යෙදෙනවා. මිනිස්සු කතරගම එන්නේ පරම්පරා ගාණක් තිස්සේ පැවත එන විශ්වාසය අනුව ඔවුන්ට පිහිටක් තිබෙන නිසයි. අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ කතරගම දෙවියන්ගෙන් ජනතාවට විශාල පිහිටක් ලැබෙනවා. ගිය සතියෙත් විශාල ජනකායක් කතරගමට ආවා. නවාතැන් ගන්න තැනක් නැතිව ගොඩක් අයට ආපහු යන්න සිද්ධ වුණා. මිනිස්සුන්ගේ දේව භක්තියේ, විශ්වාසයේ කිසිම අඩුවක් වෙලා නෑ කියල ඒකෙන්ම පැහැදිලියි.

කපුරාලලා සම්බන්ධයෙන් ඔබ දැඩි පිළිවෙතක් අනුගමනය කරනවා කියලා චෝදනා කරන්න පුළුවන් නේද?

තමන්ගෙ දරුවට පිළිකාවක් හැදිලා ඔහු සුව කරන්න බැහැ කිව්වාම අම්මලා තාත්තලා දුවගෙන එන්නෙ කතරගම දෙවියන් ළඟට. එහෙම කෙනෙකුට රත්තරන් පූජා කරන්න කියලා කපුරාළ කෙනෙක් කියනවා නම් ඒ අසරණ වෙලා එන මිනිස්සුන්ට මොකක්ද වෙන්නෙ. අසරණ මිනිස්සුන්ට අධ්‍යාත්මිකව නිවීමක්, සැනසීමක් ලබා ගන්න දෙවියන්ට කියලා හිතේ බර සැහැල්ලු කරගන්න නිදහසක් තිබිය යුතුයි. අසරණ වුණු මිනිස්සුන්ගෙන් දෙවියන්ගෙ නාමයෙන් කඩාවඩා ගැනීමයි මම නතර කරන්න උත්සාහ කරන්නෙ. කපු මහත්වරු විතරක් නෙවෙයි අසරණ මනුස්සයෙක් දැක්කම කඩාවඩා ගන්න උත්සාහ කරන තව පුද්ගලයන් ඉන්නවා. බස්නායක නිළමෙ හැටියට මගේ වගකීම දෙවියන් වඳින්න එන සියලු දෙනාටම පහසුකම් සැලසීමයි. ඔවුන් රැවටීමට ලක්කිරීම නැවැත්වීමයි මම කරන්නෙ.

කපුරාලලාට වැඩ තහනමක් පැනවූ බස්නායක නිලමේ ලෙස ඔබ සම්ප්‍රදාය වෙනස් කළා කියලා හිතෙන්නෙ නැද්ද?

සම්ප්‍රදායක් පැවතිය යුත්තේත් එය ආරක්ෂා විය යුත්තේත් රටේ පවතින නීතිය තුළයි. ඒ වගේම ඒ සම්ප්‍රදායෙන් කිසිම කෙනකුට හානියක් නොවිය යුතුයි. අසරණ වුණු කෙනෙක් තවත් අසරණ නොකළ යුතුයි. සම්ප්‍රදාය කියලා අසරණ වුණු බැතිමතෙක්ගෙන් රත්තරන් තැටියක් ඉල්ලන එක හරිද? හෙළිවෙලා තියෙන්නෙ එවැනි එක සිදුවීමක් වුණාට අහු නොවුණු තව සිදුවීම් තියෙන්නත් පුළුවන්.

ඔබ කියන්නෙ බැතිමතුන්ට කපුරාලලාට පුද පඬුරු දෙන්න එපා කියලද?

මම කියන්නෙ බැතිමතුන් දැනුම්වත් විය යුතුයි තමන් පූජා කරන දේ ගැන. රත්‍රන්වල වටිනාකමට වෙනත් පින්කමක් කරන්න පුළුවන්. නැතිබැරි අසරණ කෙනෙකුට ඉන්න තැනක් හදලා දෙන්න, පොත් ටිකක් ගන්න බැරි දරුවො ඉන්න ඉස්කෝලෙකට පොත් ටිකක් අරන් දෙනවා වගේ ඕනෑතරම් පින්කම් තියෙනවා කරන්න.

ඔබ මේ දේවල්වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

කපුරාලලා සමඟ කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක්, අමනාපයක් මට නැහැ. ඔවුන්ට ලැබෙන ආදායම අඩු කිරීමේ බලාපොරොත්තුවකුත් මට නැහැ. බැතිමතුන්ට අසාධාරණයක් වීම නවත්තලා දෙවියන් වඳින්නෙ කොහොමද කියලා ඔවුන්ට මතක් කර දීමයි මගේ අරමුණ. ඇතැම් බැතිමතුන් දෙවියන්ට රන්, රිදී පූජා කළා කියලා දැනගත්තාම ඇතැම් බැතිමතුන්ටත් ඒ දේම කරන්න අවශ්‍ය වෙනවා. නමුත් සාමාන්‍ය වැටුපක්, ආදායමක් ලබන කෙනෙකුට දෙවියන්ට රත්තරන් පූජා කරන්න බැහැ. එතකොට තමන්ට දෙවියන්ගෙ පිහිට නැද්ද කියලා ඔවුන් හිතන්න පුළුවන්. දෙයිහාමුදුරුවො වඳින්න එද්දි හිස් අතින් ආවට කමක් නෑ. හැබැයි හොඳට පින් කරලා තියෙන්න ඕනේ. පින් නොකරපු කෙනෙක් දෙවියන්ට මොනවද දෙන්නෙ? සාධාරණව හොඳින් ජීවත් වෙන කෙනෙක් කිරි වෙහෙරයි අෂ්ඨබෝධියයි වැඳලා ඒ පින් කතරගම දෙවියන්ට අනුමෝදන් කළත් ඇති. ඔහුට පෙරළා දෙවියන්ගෙන් පිහිට ලැබෙනවා.

ඔබ ගන්නා ඇතැම් තීන්දු තීරණවලින් විහාර හා දේවාලගම් පනත යටතට ගැනෙන ආයතනවලට අයත් මුදල් රජයට ගැනීමේ සැලසුමක් තිබෙන බවට සැකයක් පහළ විය හැකියි නේද?

විහාර හා දේවාලගම් පනත ඇතුළට ආවට මේ දේවාලය අයිති රජයට. රජයේ නියෝජිතයෙක් විදිහට බස්නායක නිලමෙ පත්කරන්නේ රජයෙන්. මම පත්වුණෙත් ඒ විදිහටයි. මම මේ දේවාලයේ වසර පහක භාරකාරත්වය සඳහා රජයෙන් පත්කළ රජයේ නිලධාරියෙක්. මම කළ යුතු රාජකාරි සහ වගකීම්, වගවීම් සියල්ල පිළිබඳ විහාර හා දේවාලගම් පනත යටතේ සඳහන් වෙනවා. මම වැඩ කරන්නෙ ඒ අනුවයි. මම ගන්නා ක්‍රියාමාර්ග වැරදි නම් ඕනෑම කෙනකුට මට විරුද්ධව මට ඉහළින් ඉන්න බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ හැමදෙනාටම පොදු නීතිය ඉදිරියට ගිහින් පැමිණිලි කරන්න පුළුවන්. පොලිසිය, අධිකරණය මාර්ගයෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා.

මීට පෙර මෙවැනි දේවල් සම්බන්ධයෙන් නිලමේ කෙනෙක් නීතිය ඉදිරියට ගියේ නැහැ නේද?

දේවාලයේ කපු මහත්වරුන්ට, රත්‍රන් බඩු සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නෙ. ලේඛනගත කිරීම් පවා විධිමත්ව ක්‍රමවත්ව සිදුවිය යුතුයි. දේවාලයට අයිති පුටු මේස සියල්ලම ගැන ඉන්වෙන්ට්‍රියේ සඳහන් වෙනවා. නමුත් එක ඉඩම් අක්කරයක් ගැන ඉන්වෙන්ට්‍රියේ නැහැ. මට පෙර සිටි නිලමෙවරු ගණන් හදපු පොත්, ලියවිලි කිසිවක් තියලා ගිහින් නැහැ. මෙතෙක් කල් සමහර නීති ක්‍රියාත්මක වුණේ නැහැ කියලා හැමදාටම ඒ නීති ක්‍රියාත්මක නොවිය යුතු නැහැනෙ. මම ඒක මගෙන්ම පටන් ගත්තා. මම බලාපොරොත්තු වෙනවා මම ඉන්න අවුරුදු පහේ සියලු ලේඛන තියලා යන්න. මම පිරිසුදු නම් අවංක නම් මම එහෙම ලේඛන තියලා යන්න බිය විය යුතු නැහැ. ඊළඟට එන නිලමෙට මම ඒ දේවල් නිවැරැදිව සහ පාරදෘශ්‍ය භාවයෙන් භාර දුන්නම ඊළඟට එන නිලමෙටත් සිද්ධ වෙනවා එයාගේ කාලේ ඒවා ඒ විදිහට තියලා යන්න. එතකොට මේ ක්‍රමවේදය නිසි විදිහට හැදෙනවා.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන සහාය කෙසේද?

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගෙන් මම ඉල්ලීමක් කළා මේ ලේඛන සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් හදන්න කියලා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේවා පුද පඬුරු කියලා. නමුත් මේවා රජයට අයිති මහජන මුදල්. ඒ මුදල් රජයට ගන්නවද නැද්ද කියන දේ නෙවෙයි තර්කය. රජයට ගන්නවට වැඩි දෙයක් අපිට මේ මුදල්වලින් කරන්න පුළුවන්. ඒ පිළිබඳ අධීක්ෂණය, නියාමනය කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ රාජකාරිය. ඊට හොඳම උදාහරණය පිළිකා රෝහල.

ඉදිවෙමින් පවතින පිළිකා රෝහලේ වත්මන් තත්ත්වය ගැන කියනවා නම්?

කතරගම දේවාලයේ 2023 වසරේ ආදායම රුපියල් මිලියන 400ක් පමණ වෙනවා. මුල් මාස 11 තුළ මිලියන 354ක්. දේවාලේ සම්පූර්ණ නඩත්තුවට වසරකට මිලියන 100ක් සහ වාර්ෂික පෙරහර වෙනුවෙන් තවත් මිලියන 50ක් පමණ වැය වෙනවා. ඉතිරි මිලියන 200-250ක මුදලෙන් බස්නායක නිලමේ විසින් පූජා භූමිය දියුණු කිරීම සහ කතරගම දෙයිහාමුදුරුවො වෙනුවෙන් පින් සිද්ද වෙන දේවල් කළ යුතුයි. පිළිකා රෝහල ඉදි කරන්නෙ ඒ වෙනුවෙන්. කතරගම රෝහලක් හැදුවොත් කතරගම සහ ඒ අවට ජනතාවට විතරයි. පිළිකා රෝහලක් හැදුවොත් රටේම ජනතාවට ප්‍රයෝජන ලබන්න පුළුවන් කියන අදහසින් තමයි එය පටන් ගත්තෙ. විහාර හා දේවාලගම් පනත යටතේ වියදම් කළ යුතු ක්‍රමය බස්නායක නිලමෙට නියම කරලා තියෙනවා. දේවාලේ නඩත්තු කරන්න, දියුණු කරන්න වගේම පින් දහම් කරන්න ඕනෙ. පින් දහම් කියලා අපි කරන්නේ රජය කළ යුතු දේවල්ම තමයි. පිළිකා රෝහලේ ගොඩනැඟිල්ල සඳහා ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 200ක් පමණ වුවත් ගුවන් හමුදාවේ ශ්‍රමය ලැබෙන නිසා මිලියන 75කින් පමණ එය අවසන් කරන්න පුළුවන්. බැතිමතුන් විශාල වශයෙන් ඒ වෙනුවෙන් මුදල් පූජා කරනවා. පෞද්ගලික රෝහලක් තරමට, ඊටත් වැඩිය හොඳට අපි මේ රෝහල හදනවා. මම හිතනවා අවුරුදු දෙකකින් කතරගම දේවාලයේ මුදල්වලින් මුළු පිළිකා රෝහලම හදාගන්න අපිට පුළුවන් වෙයි. බැතිමතුන් දේවාලයට දෙන මුදල් මට අයිති ඒවා නෙවෙයි, රජයටයි අයිති. එහෙම බලද්දි මේ රෝහල හදන්නෙ රජයේ මුදල්වලින් තමයි.

දේවාලයෙන් රන්තැටිය අතුරුදන් වෙන්නෙ 2019දි. ඒ කියන්නෙ ඔබේ ධුර කාලයේ නෙවෙයි?

ඔව්. මම පත්වූ අලුත වගේ මෝලෙ රාලහාමි කියල කපුරාල කෙනෙක් මට ඒ ගැන කිව්වා. මම ඒක විශ්වාස කළේ නැහැ, එහෙම දෙයක් වෙන්න බෑ කියල අදහස මා තුළ තිබුණා. මම ඒ ගැන ක්‍රියාමාර්ග නොගැනීම ගැන පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගියා මමත් එයට සම්බන්ධයි කියලා. ඒ නිසා තමයි මම පොලිස්පතිතුමාගෙන් ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියෙ. පොලිසිය පරීක්ෂණ කරලා නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ ගැන කටයුතු කළා. වරදක් කරපු ඕනෑම කෙනෙකුට නීතියෙන් ගැලවීමක් නැහැ. බස්නායක නිලමේ හෝ කපුරාලලා වරදක් කරනවා නම් දෙයිහාමුදුරුවො ඉස්සෙල්ලම දඬුවම් දෙන්නෙ ඔවුන්ට කියලා මේ සිදුවීම්වලින් පැහැදිලි වෙනවා.

ඇතැම් කපුරාලලා පහුගිය කාලේ බස්නායක නිලමේ අබිබවා යන විදිහට කටයුතු කළා නේද?

විහාර හා දේවාලගම් පනත අනුව කපුරාලලා පත්කිරීම, විනය පාලනය සහ ඔවුන් ඉවත් කිරීමට සියලු බලතල තියෙන්නේ බස්නායක නිලමෙටයි. සාමාන්‍යයෙන් කපුරාල කෙනකුට පත්වීම දෙන්නෙ ඔහුගේ ජීවිත කාලයටම ක්‍රියාත්මක වෙන විදිහට. 2016දී හිටපු නිලමේ විසින් පත්කළ කපුරාල කෙනෙක් විනය විරෝධී ක්‍රියාවක් සිදු කළ නිසා මම ඔහුගෙ වැඩ තහනම් කළා. නමුත් ඔහු ඒ තහනම මායිම් නොකර ගිය මාසේ දේවාලේ වැඩ කරලා ඒ මාසේ හම්බවුණු රන්, රිදී සියල්ල ගෙදර ගෙන ගිහින්. විහාර දේවාලගම් පනත අනුව වගේම වැඩ තහනමට ලක්වෙලා ඉන්න පුද්ගලයෙක් එහෙම කිරීම තවත් වරදක්. ඒ නිසා මට සිදු වුණා ඔහු ගැන පොලිසියට පැමිණිලි කරන්න. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහ නීතිපති උපදෙස් අනුව පොලිසිය ඒ පිළිබඳ කටයුතු කරයි. මම කළේ මගේ රාජකාරිය.

 වෙනත් නිලමේවරු කපුරාලලා සමඟ මෙවැනි ගැටුම් ඇතිකර ගත්තෙ නැහැ නේද?

ඇතැම් කපුරාලලා කරන අකටයුතුකම්වලින් වරප්‍රසාද අරගෙන ඒ හැමෝම හොඳින් තියාගෙන මටත් නිහඬව ඉන්න බැරිකමක් නැහැ. නමුත් මට එවැනි දේවල් අවශ්‍ය නැහැ. මේ දේවල් වෙනස් විය යුතුයි. රාජ්‍ය සේවය වගේම රටේ තියෙන හැම ආයතනයකම තියෙන වැරදි, අඩුපාඩු හැදෙන්න ඕනේ. සිස්ටම් චේන්ජ් කියන්නෙ ඒකටයි. අපි හැදුණාම රටම හැදෙනවා.

දේවාලයේ ආදායම සියයට 50කින් අඩු වෙලා කියලා කපුරාලලා චෝදනා කරනවා නේද?

දේවාලයට නෙවෙයි, ඔවුන්ගේ ආදායම මම හිතන්නේ ඊටත් වඩා ගොඩක් අඩුවෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන පින අයිති විය යුත්තේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යටයි. මාධ්‍ය බැතිමතුන් දැනුම්වත් කළාම ඔවුන් බුද්ධිමත්ව කටයුතු කරනවා.

මන්ද මානසික තරුණියක අපයෝජනය කළ දේවාල කපුරාල කෙනෙක් ගැනත් පසුගියදා වාර්තා වුණා. දෙවියන්ගෙ දෙවොල කෙළසන මෙවැනි පුද්ගලයන් ගැන ඔබේ අදහස?

දෙවිවරුන්ගේ නාමය විකුණන එවැනි පව්කාර මිනිසුන් පිරිසක් අසරණ වෙලා දෙවියන් වෙත එන මිනිසුන් තවත් අසරණ කරනවා. දරුවා පිළිකාවක් හැදිලා අසරණ වෙලා දෙවියන්ගෙන් පිහිටක් හොයාගෙන ආව අම්මගෙන් දරුවගේ වයසට රත්‍රන් ඉල්ලලා පස්සේ තාත්තගෙ වයසට පවුම් 38ක රත්‍රන් තැටියක් ඉල්ලපු එකත් තරුණිය අපයෝජනය කළා වගේම වරදක්.

කෙනෙකුට කියන්න පුළුවන් ඔබ දේශපාලන න්‍යාය පත්‍රයක් මත කටයුතු කරනවාද කියලා?

එහෙම කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව මම වැඩ කරන්න නැහැ. අද මේ මොහොත වන තුරු පක්ෂ විපක්ෂ කිසිම දේශපාලඥයෙක් මේ ප්‍රශ්නෙට අතපොවලා නැහැ.

මෙවැනි ආන්දෝලානාත්මක තීන්දු තීරණ ගන්නේ අනාගතයේදී දේශපාලනයට පිවිසීමේ අදහසින්ද?

කිසිසේත්ම නැහැ. දේශපාලනය කරනවා නම් මීට බොහෝ කලකට පෙර ඒ තීරණය ගන්නවා. දේශපාලනය හෝ ජනප්‍රිය වීමේ අරමුණින් මම කිසිම දෙයක් කරන්නෙ නැහැ. රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් බස්නායක නිලමේ වෙන්න වාසනාව ලැබුණේ පෙර පිනකට කියලයි මම හිතන්නෙ. එහෙම පිනක් තියෙන මම ආයෙමත් පව් කරගන්නෙ ඇයි? මේ ලැබිච්ච මනුස්ස ආත්මෙන් ලෝකෙට කිසිම යහපතක් නොකර පව්ම කරන මිනිස්සු නිසා දුක් විඳින්නේ රටේ අහිංසක මිනිස්සු කොට්ඨාසයක්. මම ඒ පවට හවුල් වෙන්නෙ නෑ. මම නැවෙන්නෙ පිනට විතරයි.

ඔබේ උත්සාහය කපුරාලලා නැති කතරගමක් හදන්නද?

විහාර හා දේවාලගම් පනත අනුව කපුරාලලට වැටුපක් ලැබෙනවා. දේවාලයට ලැබෙන ආදායමෙන් සියයට 50ක් දේවාල සංවර්ධන අරමුදලට සහ සියයට 50ක් කපුරාලලගේ නඩත්තුව සඳහා කියලා එකඟතාවක් තියෙනවා. නමුත් දැන් ඒකවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. සියලු මුදල් ඔවුන් ගෙදර ගෙනියනවා. මේ පිළිබඳ නිසි ක්‍රමයක් හදාගත යුතු බවයි මගේ අදහස. විශාල වෙහෙසක් දරලා උපයන මුදල් දේවාලයට දෙන්නෙ ඇයි? මොකටද දෙන්නෙ කියලා අවබෝධයක් ජනතාව තුළ තිබිය යුතුයි. කපුරාලට ජීවත් වෙන්න යමක් දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දේවාලෙ කාර්යාලෙ ඉන්නකොට මට බැතිමතුන් දෙන මුදල් අයිති මට නෙවෙයි, දේවාලයට. කපුරාලලා ඒ දේ තේරුම් ගත යුතුයි වගේම බැතිමතුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්?

තමන් දේවාලයට පූජා කරන මුදල් හෝ ද්‍රව්‍යවලට ඒ මොහොතේදිම රිසිට්පතක් ඉල්ලන්න බැතිමතුන්ට අයිතියක් තියෙනවා. මීට කලින් එවැනි වටිනා දේවල් පූජා කළ අයට ඒ සම්බන්ධයෙන් රිසිට්පතක් තියෙනවා නම් අපි එක්ක එකතු වෙලා ඒ දේවල්වලට සිදු වෙලා තියෙන්නෙ මොකක්ද කියල දැනගන්න මේක හොඳ අවස්ථාවක්. මගේ කාලයේ හෝ ඊට පෙර සිදුවුණු දෙයක් වුණත් කමක් නැහැ; මොකක්ද වුණේ කියලා අපිට ලේඛන බලලා කියන්න පුළුවන්. මම නැවත නැවතත් බැතිමතුන්ට කියන්නේ තමන් මහන්සියෙන් උපයන මුදල් විධිමත් විදිහට, පින් සිද්ද වෙන පින්කම්වලට පමණක් යොදවන්න කියලයි. කපුරාලලා ජීවත් කරවන්න යමක් දුන්නට කමක් නැහැ. නමුත් ඒකත් අවබෝධයෙන් කරන්න.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division