Home » ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අනුගමනය කළ යුතු මඟ

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අනුගමනය කළ යුතු මඟ

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

හෙටින් ආරම්භ වන 2024 වර්ෂය යනු ඉතා අභියෝගාත්මක වර්ෂයකි. එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉදිරි වර්ෂයේ ආර්ථික කළමනාකරණ උපාය මාර්ග කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ‍ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ කළ සාකච්ඡාවක සංක්ෂිප්තයයි මේ.  

2023 වර්ෂයේ ආර්ථික තත්ත්වය පිළිබඳ විමසා බලන විට අප කිසියම් ආකාරයක සහනදායි තත්ත්වයකට පත්වී ඇති බව පෙනී ගිය ද අප රටක් වශයෙන් ආර්ථිකයක් වශයෙන් සිටින්නේ විශාල අවදානම්කාරි වටපිටාවකය. ඒ අවදානම්කාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා IMF මඟින් මාස හයකට වරක් ලැබෙන ඩොලර් මිලියන 330ක් පමණ වන ණය වාරිකයන් ප්‍රමාණවත් නොවේ. සත්‍ය නම්, අප තවදුරටත් ණය ගනිමින් සිටින අතර අය වැයෙන් ණය ගැනීමේ සීමා ඉහළ දමා තිබීමයි. පඩි වැඩි කිරීම, සහන සැලසීම හා බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා අය වැයෙන් විශාල මුදලක් වෙන් කර තිබීම ඊට හේතුවයි. මේ නිසා අපේ ණය මුදල් තවත් ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආණ්ඩුවේ අය වැය තත්ත්වය හා අපට ගෙවීමට තිබෙන ණය වාරිකය සමඟ සසඳා බලන විට එය විශාල මුදලකි. එනම් එළඹෙන වර්ෂයේ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය හා ඒ සඳහා ගෙවිය යුතු පොලිය රුපියල් බිලියන 7000කි. නමුත් ආණ්ඩුව සතුව පවතින ආදායම රුපියල් බිලියන 4,000කට ආසන්න ප්‍රමාණයකි. මේ ණය ගෙවීමට අමතරව රාජ්‍ය පවත්වා ගෙන යාම සඳහා ද ආණ්ඩුවට විශාල මුදලක් වැය කළ යුතු වේ. මේ සඳහා ඇති විකල්පය වන්නේ තවදුරටත් ණය ගැනීමය. නමුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම හමුවේ අපට ණය ලබා ගැනීමට ඇති හැකියාව ඉතාම අවමය. එසේම පසුගිය කාලයේ ආර්ථික කඩාවැටීම හමුවේ අප රට බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමත්, මහ බැංකුව මුදල් අච්චු ගැසීමේ කාර්යයෙන් ඉවත්ව තිබීමත් ණය ලබාගැනීමට විශාල බලපෑමක් එල්ල කර ඇත. එනිසා එළැඹෙන වර්ෂයට අප පා තබන්නේ මෙවැනි අවදානම්කාරී තත්ත්වයක් යටතේය.

ආණ්ඩුව ලබන ආදායම අපේක්ෂිත මට්ටමට වැඩි නොවීම නිසා මේ අවදානම තවදුරටත් උග්‍ර විය හැකිය. ඊට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අප ආර්ථිකය සංකෝචනය වීමයි. මේ වන විටත් බොහෝ ව්‍යාපාර වැසී යාම, මිනිසුන්ගේ ජීවනෝපායන් අහිමි වීම, රැකියා ස්ථානවලින් සේවකයන් අවම කිරීමට කටයුතු කිරීම, නව රැකියාවන් උත්පාදනය නොවීම වැනි කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ආර්ථිකය සංකෝචනය විය. මේ ආකාරයට සංකෝචනය වන ආර්ථිකයක බදු ආදායම වැඩි නොවේ. වැට් බදු වැඩි කළ ද මේ තත්ත්වය තුළ එය ප්‍රායෝගිකව කෙතරම් සාක්ෂාත් කර ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. මක්නිසායත් බදු වැඩි කිරීමේ සීමා පවතින නිසාය. අනෙක් අවාසනාවන්ත තත්ත්වය වන්නේ ජනතාව වේගයෙන් දුප්පත් වීමය. මීට ප්‍රථම දිළිඳු රේඛාවෙන් පහළ මට්ටමක පැවතියේ ලංකාවේ ජනගහනයෙන් සියයට 4ක ප්‍රතිශතයකි. නමුත් එය මේ මොහොත වන විට ජනගහනයෙන් හතරෙන් එකකටත් වඩා වැඩි අගයකට පැමිණ තිබේ. ජනතාව දිළිඳු වීමත් සමඟ බොහෝ දේ ඔවුන්ට කැප කිරීමට සිදු වන්නේ තමන් ලබා ගන්නා ආහාර පානවලිනි. ඊට හේතුව වන්නේ විදුලිබිල්, ජල බිල්, දුරකතන ගාස්තු, ණය මුදල්, බදු ගෙවීම් ඔවුන්ට පැහැර හැරිය නොහැකි බැවිනි. එනිසා ඔවුන්ට කැප කළ හැකි එකම දෙය වන්නේ ආහාර පානය. මෙනිසා ඉදිරියේදී මන්ද පෝෂණ තත්ත්වය තවත් ඉහළ යා හැකිය. එය මේ වන විට ජාත්‍යන්තර වාර්තාවලින් ද පැහැදිලි කර ඇත. එනිසා කන බොන දේ සඳහා බදු අය කිරීම තුළ මේ තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකිය. මේ වර්ෂය අවසාන වන විට සමස්තයක් වශයෙන් දකින්න ලැබෙන චිත්‍රය මෙබඳුය.

එළඹෙන වර්ෂයේදී මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග පිළිබඳව සලකා බැලීමේදී මෙවැනි තත්ත්වයට පත් වූ රටවල් පිළිබඳ අවදානය යොමු කිරීම ඉතාම වැදගත්ය. ග්‍රීසිය 2010 සිට මෙවැනි තත්ත්වයට පත් වී 2019දී පමණ කිසියම් ආර්ථික මට්ටමකට ගොඩනැඟිණි. ඒ සඳහා වසර දහයකට ආසන්න කලයක් ඔවුන්ට ගතවිය. වෙනිසියුලාව ද මෙවැනි තත්ත්වයට පත් වූ අතර ඔවුන්ට තවමත් ඉන් ගොඩ ඒමට නොහැකි වි ඇත. අපට කලින් මේ තත්ත්වට ඇද වැටුණු ලෙබනනයට ද තවමත් ඉන් ගොඩ ඒමට නොහැකි වී තිබේ. ඒ සෑම රටකම දක්නට ලැබෙන සමාජමය ආර්ථිකමය හා දේශපාලනමය අර්බුද යම් තරමකට අප රටේ ද මේ වන විට පැනනැඟි ඇත. පඩි වැඩි කිරීම, බඩු මිල අඩු කිරීම, සේවා ගාස්තු අඩු කිරීම, නෙයෙකුත් සහන ඉල්ලීම, ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම ආදී විවිධ හේතූන් මුල් කරගෙන ජනතාව පාරට බැසීමට පටන්ගෙන ඇත. මේ තත්ත්වය මෙවැනි ආර්ථික අර්බුද පවතින සෑම රටකම උද්ගතව පවතින සාමාන්‍ය තත්ත්වයකි.

මේ තත්ත්වය ජනතාවගෙන් කිසියම් ප්‍රමාණයකට තේරුම් ගැනීමට හැකි වුවත් බහුතරය තමන් ජීවත් වන්නේ අර්බුදයක බව තෙර්ම් නොගැනීම හේතුවෙන් එය ඍජුවම ආණ්ඩුවේ ගැටලුවක් ලෙස දැකීමට පෙළඹීම සාමාන්‍යය. මේ අර්බුදයට ජනතාව ද යම් ආකාරයකට වග කිව යුතු වුවත් ඔවුන් එය දකින්නේ ආණ්ඩුවේ දුර්වලකමක් ලෙසය. නමුත් රාජ්‍ය කළමනාකරණය කළ හැකි උගත් බුද්ධිමත් ඒ පිළිබඳ හසල අත්දැකීම් ඇති පාලකයකු පත්කර ගැනීමේදී ජනතාව දක්වන නොසැලිකිලිමත්ව බව ඔවුන් මෙහිදී අමතක කර දමයි. හිසේ ඇම්මට කොට්ටය මාරු කරන්නාක් මෙන් විවිධ උදවිය පත් කර හැකිතරම් ණයට ගෙන කාබී පැමිණි ගමනේ අවසාන ප්‍රතිඵලයට අද අප මුහුණ දෙමින් සිටිති.

අප සියලුදෙනා මේ අර්බුදයේ වග උත්තරකරුවන් වී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුවට බැණ වැදුණ පමණින් මේ අර්බුදයෙන් ගොඩ ආ නොහැකිය.

එනිසා එළැඹෙන වර්ෂය දෙස බැලිය හැකිකේ මෙබඳු දේශපාලන ආර්ථික හා සාමාජිය තත්ත්වයක් තුළ සිටය.

2019යේ කොවිඩ් පැමිණීමට පෙර පැවති තත්ත්වයට පත්වීමට හෝ අපට වර්ෂයකින් දෙකකින් කළ නොහැකිය. එසේම මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම පමණක් නොව නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට පත් නොවන ආකාරයට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම අද අප හමුවේ ඇති අභියෝගයයි. එහිදී ප්‍රගතියක් ඇති ආර්ථික මට්ටමකට රට ගොඩනැඟීම අනිවාර්ය කාර්යයකි. එය අවුරුද්දෙන් කළ නොහැකි කාර්යයක් වුවත් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම මේ වර්ෂය තුළ සාක්ෂාත් කර ගැනීමට අපට හැකියාවක් ඇත.

මෙහිදී වඩාත් අවදානය යොමු කළ යුතු ඉතාම වැදගත් කරුණු කිහිපයක් අතරින් එකක් වන්නේ අය වැය ගැටලුවයි. ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීම සඳහා වැට් බදු වැඩිකර, වක්‍ර බදු වැඩි කර හා තවත් බදු අය කළ හැකි සෑම දෙයක් පිළිබඳ අවධානය යොමු කර බදු අය කිරීමෙන් පමණක් පළක් නොවේ. මක්නිසාදයත් මෙබඳු ආකාරයට බදු අය කිරීමට කල්පනා කිරීම නිසා ලැබෙන ආදායමත් නොලැබෙන තත්ත්වයට පත්ව ඇති නිසාය. එනිසා අප වක්‍රබදු වෙනුවට ඍජු බදු කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුය. ඍජු බදු අය කිරීමේදී මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ බදු අනුපාතය ඉහළ දැමීම කෙරෙහි නොව නූතන පරිගණක තාක්ෂණය යොදාගෙන මේ රටේ සියලුම ජනතාව මධ්‍යම තොරතුරු පදනමකට ඇතුළත් කර ගැනීම කෙරෙහිය. මක්නිසාදයත් ජනතාවගේ ආදායම කොපමණ ද, වත්කම් කොපමණ ද සහ වියදම් කොපමණ ද යන්න ආණ්ඩුවට අවබෝධයක් නොමැති බැවිනි.

අප රටේ පවතින්නේ ස්වෙච්ඡාවෙන් ආදයම් බදු ගෙවිය යුතුය යන නෛතික අදහසකි. එනිසා ඒ සඳහා තාක්ෂණය පදනම් කරගත් විධිමත් වැඩපිළිවෙළකට යා යුතුය. යුරෝපා හවුලේ රටවල මේ තත්ත්වය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන අතර එහිදී එරට තුළ පමණක් නොව වෙනත් රටවල ද එරට පුරවැසියන් සතු ආදායම් වත්කම් කෙරෙහි අවධානය යොමුකර බදු අය කරගැනීම සිදු කරයි. එමඟින් ඔවුන් විශාල වියදමක් සිදු කළ විට ඒ බව ආණ්ඩුවට දැනගැනීමට හැකිය. එවිට ඔහු වත්කම් සඟවා ඇත්නම් ඒ පිළිබඳ ආණ්ඩුව දැනුම්වත් වේ. නමුත් අප රටේ ආණ්ඩුවට එවැනි දෑ දැනගැනීමේ හැකියාවක් නොමැතිය. එනිසා ඍජු බදු ගෙවිය යුතු බහුතරයක් බදු නොගෙවා සිටීමට හැකියාව පවතී. මෙනිසා කුමන බාධා එල්ල වුව ද අප රට තුළ ද එවැනි ක්‍රමවත් වැඩ පිළිවෙළකට යා යුතුය. එසේම ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා රුපියල් 100ක හෝ සාධාරණීකරණය කළ හැකි බදු මුදලකට යටත් කළ යුතුය. එලෙස වක්‍ර බදු අඩු කර ඍජු බදු ආදායම වැඩි කර ගැනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතුය.

දෙවනුව ආණ්ඩුවේ වියදම් කළමනාකරණය කරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මක් නිසාද යත් බදු ගෙවන ජනතාවට තිබෙන ප්‍රශ්නයක් නම් ආණ්ඩුවට ආදායමක් නැත් නම් මෙතරම් නිස්කාරණේ වියදම් කරන්නේ ඇයි ද යන්නය. එනිසා ඒ කෙරෙහි ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය.

අනෙක් කාරණය වන්නේ ආර්ථික ප්‍රගතිය ළඟා කර ගැනීමය. ඒ සඳහා ආයෝජන වැඩි කරගත යුතුය. මෙහිදී ආණ්ඩුව ආයෝජනවලට නොයා හැකි තරම් ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය. එහිදී අප අවධානය යොමු කළ යුත්තේ මෙරට ආයෝජකයන්ට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇත්තේ කවර හේතුන් නිසාද යන්න පිළිබඳවය. ඉන්දියාව හෝ චිනයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කර ලබා ගන්නා ආයෝජන වෙනුවට ස්වාධීනව මේ රටට ගලා එන පෞද්ගලික ආයෝජන කොපමණ තිබේ ද යන්න කෙරෙහි සැලකිල්ල යොමු කිරීම මෙහිදී ඉතාම වැදගත්ය. ඒවා ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. එනිසා එවැනි ආයෝජකයින් නොපැමිණීමට බලපා ඇති හේතු කාරණා සොයා බලා ඔවුන් ආකර්ෂණය කළ හැකි වැඩපිළිවෙළකට යා යුතුය. ඒ සඳහා බලපාන ප්‍රතිපත්ති ප්‍රශ්න, රෙගුලාසිමය ප්‍රශ්න, වංචා දූෂණ ප්‍රශ්න, දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවිය යුතුය.

අප මේ අර්බුදයට ඇද වැටුණු තවත් කරණය වන්නේ අපනයන දුර්වල වීමය. පසුගිය වසර 10ක් 15ක් ආපස්සට ගොස් බලන විට යම් ආර්ථික වර්ධන වේගයක් පැවතියද ඒ තත්ත්වය ඇති වූයේ වෙළෙඳාමට බාහිරව සිදුකළ කටයුතු නිසා මිස අපනයන ප්‍රවර්ධනය වන ආර්ථික කටයුතුවලින් නොවේ. ඩොලර්වලින් ණයට ගෙන ආයෝජනය කර රුපියල්වලින් ආදායම් උපයා ගැනීමෙන් පළක් නොවේ. ඒ සඳහා ඩොලර්වලින් ඉපයීම් කළ යුතුය. ඩොලර් ඉපයීමට නම් අපනයන වැඩි කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය.

අනෙක් අතට ප්‍රතිපත්ති හා නීතිමය ප්‍රශ්න සහ ආයතනික ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතුය. මේ සඳහා රජය යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද එය වඩා පුළුල් අන්දමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ආයතනික ව්‍යුහමය ප්‍රතිසංස්කරණ, රෙගුලාසි අණ පනත් ප්‍රතිසංස්කරණ සහ වංචා දූෂණය අවම කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුය. ඒවගේම ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවා ද නැද්ද යන්න පිළිබඳ අධීක්ෂණය කිරීම ජනාධිපතිවරයා විසින්ම සිදු කරන තෙක් බලා නොසිට එය අධීක්ෂණය කළ හැකි විධිමත් යාන්ත්‍රණයක් සැකසිය යුතුය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division