Home » කෝටි ගණන් මුදල් වංචා කර තරු පහේ හෝටල්වලටත් පොලු තැබූ හොර අයිපීඑල් ක්‍රීඩකයා

කෝටි ගණන් මුදල් වංචා කර තරු පහේ හෝටල්වලටත් පොලු තැබූ හොර අයිපීඑල් ක්‍රීඩකයා

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

– ඉන්දීය පිලේ කඩුලු රකින පිතිකරු රිෂ්බා පාන්ට්ගෙන් රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කරලා
– නවදිල්ලියේ ටාජ් පැලස් හෝටලයට ලක්ෂ පහ හමාරක පොල්ලක්
– කර්නාටක ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස්පතිගේ පුත්‍රයා බව කියා අත්අඩංගුවෙන් පැන යන්න උත්සාහ කරලා
– ඉච්ඡා බසට රැවටී ඔහු සමඟ යහන් ගත වූ එරට මෝස්තර නිරූපන ශිල්පිනියන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට රැසක් ඔහුගේ ජංගම දුරකතනයේ
– ඉන්දියාවේ නොම්මර එකේ ව්‍යාපාරිකයෙක්, ලෝක ප්‍රකට ක්‍රීඩා ආම්පන්න නිෂ්පාදනය කරන අඩිඩාස් සමාගමේ ඉන්දීය සන්නාම තානාපතිවරයෙක්, කර්ණාටක ප්‍රාන්තයේ ඉහළම මට්ටමේ පොලිස් නිලධාරියකු ලෙසත් රඟපාලා
– වසර 2014 සිට 2018 දක්වා මුම්බායි ඉන්ඩියන්ස් පිලට ක්‍රීඩා කළ බව කියා ක්‍රිකට් ක්‍රීඩකයන් දේවත්වයෙන් පුදන ඉන්දියාවේ කැබ් රථ රියැදුරන්, රාත්‍රි සමාජශාලා සහ අවන්හල්වලටත් පොලු තියලා

ටේ දිවේ නොගෑවී කෙප්ප කෙළින්නෝ අපමණ වෙති. චේතිය රජ්ජුරුවන්ගේ පරම්පරාවට අයිති එවැනි වංචනිකයන්ගෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව අසල්වාසී ඉන්දියාවටත් අඩුවක් නැත. ගල් පැලෙන මුසා බස් පවසා ධන කුවේරයන් මුලා කර අතිවිශාල මුදල් කන්දරාවක් කඩා වඩා ගෙන සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි එවැනි පුද්ගලයකු ඊයේ පෙරේදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පොලිසිය අත්අඩංගුවට ගත්තේය. තමා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු බව කියා තරු පන්තියේ හෝටල්වල සති ගණන් කාලය ගත කර අවසානයේ ලක්ෂ ගණනින් පොලු තැබූ මේ පුද්ගලයා 25 හැවිරිදි මිර්නාන්ක් සිං ය. එවකට හර්යානා ප්‍රාන්තයේ අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති මිර්නාන්ක් සිං තරු පන්තියේ හෝටල් සහ අවන්හල්වලට වංචා කළා පමණක් නොව ඉන්දීය පිලේ කඩුලු රකින පිතිකරු රිෂ්බා පාන්ට්ගෙන් ද එරට මුදලින් රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කර ඇත්තේ අමූලික බොරු දෙසා බාමිනි.

අයිපීඑල් තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු ලෙස මවාපාමින් වංචා සහගත දිවි පෙවෙතක් ගත කර ඇති ඔහු වරෙක පෙනී සිට ඇත්තේ ඉන්දියාවේ නොම්මර එකේ ව්‍යාපාරිකයකු ලෙසටය. තවත් වරෙක ලෝක ප්‍රකට ක්‍රීඩා ආම්පන්න නිෂ්පාදනය කරන අඩිඩාස් සමාගමේ ඉන්දීය සන්නාම තානාපතිවරයා ලෙසත් පෙනී සිට ඇත. එපමණක් නොව කර්ණාටක ප්‍රාන්තයේ ඉහළම මට්ටමේ පොලිස් නිලධාරියකු ලෙසත් ඔහු පෙනී සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වෙද්දී ඔහු රඟපා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ නියෝජ්‍ය පොලිස්පති ආලෝක් කුමාර්ගේ පුත්‍රයා ලෙසටය. එසේ අඟවමින් නවදිල්ලි පොලිසිය නීතිවිරෝධී ලෙස තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන බවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමැතුම් දෙන ආකාරයේ රංගනයක ද නිරත වී ඇත.

හොංකොං රාජ්‍යයට පලා යෑමේ අරමුණින් නවදිල්ලියේ ගුවන්තොටුපොළට පැමිණි මිර්නාන්ක් සිං ආගමන හා විගමන නිලධාරීන් රඳවා තබාගෙන ඇත්තේ ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට ඉන්දීය පොලිසිය ගුවන්තොටුපොළ ඇතුළු සියලු පාර්ශ්ව වෙත නිවේදනයක් නිකුත් කර තිබීම හේතුවෙනි. පොලිසිය එම නිවේදනය නිකුත් කර ඇත්තේ මීට වසරකට පෙර නවදිල්ලි නුවර ටාජ් පැලස් තරු පන්තියේ හෝටලයේ සතියක් ගත කර රුපියල් ලක්ෂ පහක හෝටල් බිලට පොලු තැබීම නිසා හෝටල් කළමනාකාරීත්වය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය. ඔහු සොයා ගැනීමට අසමත්වීමෙන් පසුව පොලිසිය මේ නිවේදනය නිකුත් කර තිබිණි.

ඇති පදමට මිනිසුන් මුලා කිරීමට උපන් හපන්කම් ඇති මේ සටකපට තරුණයා ගුවන්තොටුපොළේදී ආගමන හා විගමන නිලධාරීන් ද ගොනාට ඇන්දවීමට නොගත් උත්සාහයක් නැතැයි වාර්තා වේ. සිය සැබෑ හැඳුනුම්පතට අමතරව කර්ණාටක ප්‍රාන්තයේ සහකාර පොලිස් අධිකාරිවරයකු බව සඳහන් තවත් හැඳුනුම්පතක් භාවිත කර ඇති මිර්නාන්ක් සිං එය පෙන්වා පලා යෑමට උත්සාහ දරා ඇති අතර, ආගමන හා විගමන නිලධාරීන් නීතිවිරෝධී ලෙස තමා රඳවා සිටින බව නවදිල්ලියේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දෙන බව අඟවමින් සිය දුරකතනයෙන් ඇමැතුම් කිහිපයක් ද ලබා ගෙන තිබේ. ආගමන හා විගමන නිලධාරීන් ඔහු නවදිල්ලි පොලිසියට බාර දෙනු ලැබුවේ ඉන් පසුවය. නීතියේ රැහැනින් ගැලවීමට ඔහු පොලිස් නිලධාරීන්ට පෙරළා ඇත්තේ වෙනම පොතකි. තමා අසූව දශකයේ ඉන්දීය පිල නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක අශෝක් කුමාර් සිංගේ පුත්‍රයා බවත්, ඔහු දැනට එයාර් ඉන්දියා ගුවන් සේවයේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන බවත් පොලිසියට කියා ඇති මේ ප්‍රයෝගකාරී තරුණයා තම පියා මේ වන විට ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සේවය කරන බව ප්‍රකාශ කර තිබේ.

මිර්නාන්ක් සිං යනු මීට වසරකට පෙර ඉන්දියාව කැලඹූ මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ට වඩා වෙනස් උපාය මාර්ග භාවිත කළ වංචාකරුවකු බව එරට මාධ්‍ය සඳහන් කළේය.

සුකේෂ්ට තිබුණේ වෙනම ආශාවකි. ඔහු පුදුමාකාර විදිහට බොලිවුඩ් නිළියන්ට ආශක්තව සිටි අතර, ව්‍යාපාරිකයන්ගෙන් වංචා සහගත ලෙස ලබාගත් රුපියල් කෝටි ගණන් මුදල් වැය කළේ බොලිවුඩ් නිළියන්ට සුරසැප දීමටය. ඔහුගේ මායා ජාලයේ පැටලුණු ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට සුකේෂ් විසින් කෝටි ගණන් මුදල් වැය කළ අතර, ඇය අදටත් සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ ප්‍රධාන විත්තිකාරිනියකි.

මිර්නාන්ක් සිංගේ එකම ආශාව වූයේ ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස පෙනී සිටිමින් තරු පහේ හෝටල්වල කාලය ගත කරමින් සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවා දැමීමය. මිල අධික මෝටර් රථ භාවිත කරමින් ඉන්දියාවේ සුරූපි මෝස්තර නිරූපන ශිල්පිනියන් සමඟ රැය පහන් කිරීමය. මිර්නාන්ක්ගේ ඉච්ඡා බසට රැවටී ඔහු සමඟ යහන් ගත වූ එරට මෝස්තර නිරූපන ශිල්පිනියන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට රැසක් ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ බව නවදිල්ලි පොලිසිය ප්‍රකාශ කර තිබේ. මීට අමතරව විවිධ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම් සම්බන්ධව සහ විවිධ නීතිවිරෝධී උපකරණ සහ ආම්පන්න භාවිත කිරීම් පිළිබඳවත් අතිශය වැදගත් තොරතුරු රැසක් ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පොලිසියට අනාවරණය වූ ආකාරයට මිර්නාන්ක් සිං හර්යානා ප්‍රාන්තයේ ෆරිදාබාද් නගරයේ පදිංචිකරුවෙකි. ඔහු නවදිල්ලි නුවර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ රාජස්තාන් විශ්වවිද්‍යාලයේ ද උපාධිධරයෙකි. සිය පුත්‍රයාගේ වංචා සහගත ජීවන රටාව පාලනය කිරීමට නොහැකි වීමෙන් පසු ඔහුගේ මාපියන් අත්හැර දැමූ දඩබ්බර තරුණයකු බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

මිර්නාන්ක් සිං පොලිසියට කොටු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ඔහු ජලන්දර්බාද් නුවර කේන්ද්‍ර කරගත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කිරීම සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇතැයි ද හෙළි වී තිබේ.

ඔහු කළ ලොකුම වංචාව වන්නේ ඉන්දීය පිලේ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ගෙන් රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා සහගතව ලබා ගැනීමය. 2021 වසරේදී ඔහු මේ වංචාව සිදු කර ඇත්තේ ඔහු විසින් අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කළ මිල අධික අත් ඔරලෝසු ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සම්බන්ධවය. ඉතා සාධාරණ මිලකට ඒවා ලබාදෙන බවට පොරොන්දු වී වරින් වර පාන්ට්ගෙන් ඔහු මුදල් ලබාගෙන ඇති අතර, කිසිදු අවස්ථාවක භාණ්ඩ හෝ මුදල් ලබා දී නැත. මේ සම්බන්ධව පාන්ට් කිසිදු අවස්ථාවක පොලිසියට පැමිණිලි කර නැති අතර, ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා වේ. පාන්ට්ගේ නීතිඥවරයා විසින් එවැනි අවස්ථාවක මිර්නානක් විසින් පාන්ට් වෙත චෙක් පත් කිහිපයක් ලබා දී ඇති බවත්, ඒවා අගරු චෙක් පත් බව පසුව හෙළි වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු පරිගණක විජ්ජාවටත් රුසියකු වන අතර, ඔහුගේ මායා දැලට රූමත් තරුණියන් පැටළී ඇත්තේ ඩුබායි නුවර පදිංචිව සිටින බවට ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉන්දීය භූමියේ සිටම ඔවුන්ට දුරකතන ඇමතුම් දීමෙනි. ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් ව්‍යාපාරිකයකු ලෙසත්, මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ක්‍රීඩකයකු ලෙසත් ඔහු කළ වංචා සහගත කටයුතු රැසක් පිළිබඳවත් පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔහුට විරුද්ධව ඉන්දියාවේ ප්‍රාන්ත රැසක පොලිසිවල මූල්‍ය වංචා සහ හෝටල්වලට පොලු තැබීමේ පැමිණිලි සටහන් වී ඇති බව ද අනාවරණය වී තිබේ. සිය සුඛෝපභෝගී ජීවන රටාව විදහා දැක්වෙන විවිධ ඡායාරූප සහ මිල අධික මෝටර් රථවල ඡායාරූප ඇතුළත් මිර්නාන්ක් සිංගේ ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ සමාජ මාධ්‍යජාලා පිටුව ඉන්දියාවේ සුරූපි තරුණියන් බිලි බා ගැනීමට ඔහුට විශාල පිටුවහලක් වී ඇති අතර, ඔහුගේ එම ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ පිටුවේ අනුගාමිකයන් සංඛ්‍යාව 42,000 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. මිර්නාන්ක් සිංගේ වංචාවට හසු වූයේ හෝටල් කාර්ය මණ්ඩල, රිෂාබ් පාන්ට් සහ සුරූපි තරුණියන් පමණක් නොවන බවත්, වසර 2014 සිට 2018 දක්වා මුම්බායි ඉන්ඩියන්ස් පිලට ක්‍රීඩා කළ බව කියමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දේවත්වයෙන් සලකන ඉන්දියාවේ කැබ් රථ රියැදුරන්, රාත්‍රි සමාජශාලා සහ අවන්හල් රැසක්ද ඔහුගේ වංචාවට හසු වී ඇතැයි වාර්තා වේ.

ඔහු පසුගිය වසරේදී නවදිල්ලි නුවර ටාජ පැලස් හෝටලයේ සතියක කාලයක් ගත කර ඇති අතර, හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ ඉන්දීය රුපියල් පන්ලක්ෂ පනස්තුන්දහසක බිල ගෙවීම පැහැර හරිමිනි. ඔහු මේ මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ තමා ලෝක ප්‍රකට අඩිඩාස් සමාගමේ ඉන්දීය සන්නාම තානාපතිවරයා බවත්, හෝටල් බිල අඩිඩාස් සමාගම ගෙවන බවත් කියමිනි. ඔහුගේ වචන විශ්වාස කළ හෝටල් කළමනාකාරීත්වය එම බිල ගෙවීම සඳහා හෝටලයේ බැංකු ගිණුම් අංක ඔහුට ලබා දී ඇති අතර, දැනට රුපියල් ලක්ෂ දෙකක් ‘ඔන්ලයින් බැංකු සේවය‘ ඔස්සේ හුවමාරු කරන බව කියමින් සිය ජංගම දුරකතනයෙන් එවැන්නක් සිදු කරන බවට මවා පා තිබේ. එහෙත් එවැනි මුදලක් හෝටලයේ බැංකු ගිණුමට ලැබී නොමැති අතර, බිලට අදාළ මුදල ලබා ගැනීමට හෝටල් කළමනාකාරිත්වය දුරකතනය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමේදී තම රියැදුරු අත මුදල් එවන බවට ඔහු පොරොන්දු වී ඇත. එහෙත් කිසිදු දිනෙක එම මුදල් හෝටලයට ලැබී නැති අතර, පසුව ඔහුගේ ජංගම දුරකතනය ද විසන්ධි කර ඇතැයි අනාවරණය වී තිබේ.

ටාජ් හෝටලයේ කළමනාකාරීත්වය නවදිල්ලි පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය. හෝටලයේ පැමිණිල්ලට අනුව නවදිල්ලි පොලිසිය මිර්නාන්ක් සිං සොයා ගැනීමට උත්සාහ කළ ද, ඔහු විසින් හෝටලයට ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බව හෙළි වී ඇත. මිර්නාන්ක් සිංට රටින් පිටවීමට නොහැකි පරිදි අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පොලිසිය විසින් නිවේදන නිකුත් කර ඇත්තේ ඉන් පසුවය.

ඉන්දීය මාධ්‍යයට අනුව මිර්නාන්ක් සිං යනු ‘මාස්ටර් කෝන්මෑන්’ කෙනෙකි. ඇතැම් මාධ්‍ය ඔහු හඳුන්වනු ලබන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලමකට ගත් වංචාකාරයා’ ලෙසටය. කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව ඔහු ප්‍රාන්ත පොලිසියක ඉහළම නිලධාරියකුගේ නමත්, අයිපීඑල් තරගාවලියේ හොඳම කණ්ඩායම වන මුම්බායි ඉන්ඩියන්ස් පිලේ නමත් විකුණා කෙටි කාලයක් තුළ ඔහු ඉන්දියාවේ ගත කළ සුඛෝපභෝගී ජීවිතය නම් පුදුම සහගතය. විමතියට කරුණ වන්නේ මෙතෙක් කාලයක් හිතේ හැටියට ජීවත්වීමට ඔහුට හැකියාව ලැබීමය.

අත්අඩංගුවට ගත් මිර්නාන්ක් සිං එදිනම රාත්‍රි නවදිල්ලි නුවර මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට අවසර ලැබී ඇත. මේ ක්‍රිකට් මායාකාරයාට රැවටුණු තවත් පුද්ගලයන් රැසකගේ තොරතුරු ඉදිරියේදී හෙළි වනු ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division