Home » සිංහල සිනමාවේ ප්‍රතිවාදී රූ‍පණවේදියාගේ නික්ම යෑම

සිංහල සිනමාවේ ප්‍රතිවාදී රූ‍පණවේදියාගේ නික්ම යෑම

රෙක්ස් කොඩිප්පිලි

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

රෙක්ස් කොඩිප්පිලි කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ සිංහල සිනමාවේ මනා පෞරුෂයකින් යුතු ප්‍රතිවාදී රූ‍පණවේදියෙකි. ඊට හේතුව වන්නේ අප බොහෝවිට ඔහු දැක ඇත්තේ ප්‍රධාන නළු භූමිකාවට ප්‍රතිවිරුද්ධ චරිතය ලෙස වීමය. එනම් සිනමාවේ දුෂ්ටයාගේ භූමිකාවෙනි. එහෙත් දුෂ්ටයාගේ භූමිකාව නොවන්නට සිනමා වීරයාට විරයකු වීමට නොහැකිය. දුෂ්ටයා ප්‍රබල වෙන තරමට වීරයා වීරත්වයේ හිනිපෙත්තටම නඟින්නේය. දුෂ්ටයාගේ චරිතය නිරූපණය කළ බොහෝ දෙනකුට සැබෑ ලෝකයේ ජනතා ප්‍රසාදය හමි වීම ඉතා විරලය. නමුත් සිය රූපණවේදයේ මහිමයෙන් එම විරල ආකර්ෂණය ජන හදවතින් සොරා ගැනීමට හේ සමත් විය. මෙනිසාම ප්‍රේක්ෂක ප්‍රජාව එදත් අදත් ඔහුට ආදරය කරන්නේ එකී විරල පෞරුෂත්වයෙන් යුතු රංග කෞශල්‍ය නිසාමය. එවන් වූ වාසනා ගුණයකට හිමිකම් කියූ ‘සිංහල සිනමාවේ ජනප්‍රිය ප්‍රතිවාදී රූපණවේදියා’ ඉකුත්දා එනම් දෙසැම්බර් 24 වැනිදා සිය දිවි රඟමඬලට සදහටම සමුදුන්නේය. හෙතෙම මිය යන විට 85 වන වියේ පසු විය.  

බ්‍රිතාන්‍ය කිරීටයේ උණුසුම වියැකෙන්නට පෙරාතුව එනම් 1938 ඔක්තෝබර් 6 වැනි දින දොන් හෙන්රි කොඩිප්පිලි සහ ඊතන් යන යුවළට දාව බදුල්ලේදී රෙක්ස් ජෝශප් කොඩිප්පිලි මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා වෘත්තියෙන් මිනින්දෝරුවකු වූ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රාජකාරී කටයුතු කරමින් සිටියදී එහි ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඊට ගොදුරුව මිය ගියේය. ඒ වන විට පුංචි රෙක්ස්ගේ වයස අවුරුද්දයි මාස හයක් පමණ විය. මෙනිසා මවගේ රැකවරණය යටතේ සහෝදරයන් දෙදෙනා සමඟ රෙක්ස් හැදී වැඩුණේය. බදුල්ල ශාන්ත බ්‍රිජට් විද්‍යාලයෙන් මුලකුරු කියැවූ හෙතෙම දක්ෂ ක්‍රීඩකයකු මෙන්ම දීප්තිමත් ශිෂ්‍යයකු ද විය. උසස් අධ්‍යාපනය සඳහා බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ රෙක්ස් එහිදී රංගනයට අත් පොත් තැබීය. ඒ පාසලේ “රෝහණ නාට්‍ය සංගමය” නම් වූ නාට්‍ය කවයකට සම්බන්ධ වීමත් සමඟය. ‘මාරක දෛවය’, ‘සංගීත පිස්ස’ ඇතුළු වේදිකා නාට්‍ය පහකට පමණ හේ රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද දායක වී තිබුණි.

මේ කාලයේදී රෙක්ස් රංගනයට වඩා ගායනයට දක්‍ෂ වූ බව කීප වරක්ම පවසා තිබුණි. ‘බදුල්ලේ මොහිදීන් බෙග්’ නමින් රෙක්ස් ගමේ කා අතරත් ප්‍රකට විය. 1950 දශකයේ අග භාගයේ ගුවන්විදුලි වෙළෙඳ සේවයේ ‘ආධුනික පැය වැඩසටහට සම්බන්ධ වූ රෙක්ස් අවසන් මහා තරගයේදී දෙවන ස්ථානය දිනා ගත්තේය. ඔහු එහිදී දෙවැනි වූයේ ප්‍රවීණ ගායිකා නන්දා මාලිනියට පමණක් වීම ද විශේෂය. මෙහිදී දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අතින් ඔවුන් දෙදෙනාම සම්මානයට පාත්‍ර විය.

නැවත රෙක් කොළඹ ගෙන්දගම් පොළවට පා තබන්නේ 1958 දීය. ඒ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ආධුනික කොස්තාපල්වරයකු ලෙස සේවය කිරීමටය. එහිදී සොල්දාදුවකු ලෙස පුහුණුව ලැබූ හෙතෙම පුහුණුවෙන් පසුව පැවති ආධුනිකයන් විසිරයෑමේ උත්සවයේදී සොල්දාදුවන් හාරසියයක් අතරින් දෙවැනියා ලෙස වර්ණ ගැන්විණ. එවක බොක්සිං හා පිහිනුම් ක්‍රීඩාවන්ට මහත් සේ ඇලුම් කළ හෙතෙම හමුදා පොලිසියේ පළමු පිහිනුම් කණ්ඩායමේ නායකයා ද විය. එසේම කළක් හමුදා පොලිසියේ ශාරීරික පුහුණු උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය. වසර පහක කාලයක් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ සේවය කළ හෙතෙම 1961 දී පොලිස් සේවයට සමුදුන්නේය. අනතුරුව සලාකා හෝටලයෙහි කළමනාකාරවරයකු ලෙස සේවය කළේය. ජනප්‍රිය සිනමා නළුවකු වූ ඔස්වල් ජයසිංහ කලක පටන් ඔහුගේ මිතුරකුව සිටියේය. දිනක් රෙක්ස් සලාකා හි කටයුතු කරමින් සිටියදී ඔස්වල් ඔහු සොයා පැමිණියේය. ඒ ඔහුට ෂූටින්වලට පරක්කු වූ නිසා තම මිතුරාට කියා එතැනට ඇරලවා ගැනීමටය. නමුත් මේ ගමන රෙක්ස්ගේ දෛවය වෙනස් කරන ගමන බව රෙක්ස් තබා ඔස්වල්වත් දැන දැන සිටියේ නැත. ඔස්වල් තම රථයට නංවාගත් රෙක්ස් ඔහු සමඟ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ නිවෙස බලා ගමන් කළේය. ඒ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ නවතම සිනමා පටය වූ ‘කතුරු මුවාත්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටය. එම අවස්ථාවේදී ඔස්වල් විසින් රෙක්ස් කොඩිප්පිලි කේ. ඒ.ඩබ්ලිව්. පෙරේරාට හඳුන්වා දුන්නේය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදී සිටින අතරවාරයේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අපූරු යෝජනාවක් කළේය.

“රෙක්ස් කැමති ද මගේ අලුත් චිත්‍රපටයේ රඟපාන්න. ඔයාට හොඳ පෙනුමක් තියෙනවා. හැබැයි ‍මේක සුළු චරිතයක්. කල්පනා කරල බලල කියන්නකෝ.” රෙක්ස් හිස සැලුවා මිස ඒ මොහොතේ කිසිදු පිළිතුරක් නොදුන්නේය. නැවත සුපුරුදු ලෙස රෙක්ස් හෝටලයේ කටයුතු කරමින් සිටියේය. එවර රෙක්ස් සොයා පැමිණියේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහ ඔහුගේ සහයකයා වූ කුමාරදාස වාකිස්ට ය. කුමාරදාස කතාවට මුල පිරුවේය. “රෙක්ස් මොකද කියන්නේ පෙරේරා මහත්තයගෙ යෝජනාව ගැන.”රෙක්ස් කුමක් කියන්න දැයි කල්පනාවේ නිමග්නව සිටින අතරවාරයේ සලාකා හෝටලයේ හිමිකරු එතනට පැමිණයේය. “හලෝ මිස්ටර් පෙරේරා හවු ආර් යූ, මොකද අද මේ පැත්තේ. මං මේ රෙක්ස්ව හම්බ වෙන්න ආවේ. මගේ අලුත් චිත්‍රපටයට අවශ්‍ය චරිතයකට රෙක්ස් හොඳට ගැළපෙනවා. කෝ තාම වචනයක් දුන්නෙ නැහැනේ.” රෙක්ස් අවසානයේ ඊට එකඟත්ව පළ කළ අතර, චරිතයේ හැටියට ඔහුට රඟපෑමට තිබුණේ පික්පොකට්කාර‍ෙයක් ලෙසය. රූගත කිරීම් සිදු වූයේ සෙන්ට්‍රල් බැංකුව පරිශ්‍රයේය. රූගත කිරීම් නිමා කර රෙක්ස් නැවතත් සිය සුපුරුදු රාජකාරියේ නිරත විය. හරියටම ඊට සුමාන දෙකකට පසුව කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තමන් පැමිණ හමුවන ලෙස රෙක්ස්ට දැනුම් දීමක් කළේය. ඒ අනුව රෙක්ස් ඔහු හමු වීමට ගියේය. “ රෙක්ස් ඔයා චරිතය ඉතා හොඳින් කරල තියෙනවා. නමුත් මං ඒක චිත්‍රපටියෙන් අයින් කරනවා. ඒ වෙනුවට මං මේ චිත්‍රපටයේ සල්ගාදු කියන ප්‍රධාන චරිතයක් ඔයාට දෙනවා. ඔයා කැමති ද මේ චිත්‍රපටියේ දුෂ්ටයාගේ චරිතය රඟපාන්න.” තමන්ගේ දක්ෂතාව අගයමින් ප්‍රතික්ෂේප වී නැවත ඊටත් වඩා අවස්ථාවක් ලැබීම ගැන රෙක්ස්ට දැනුණේ අමුතුම සතුටකි.

එලෙසින් ‘කතුරු මුවාත්’චිත්‍රපටයේ සල්ගාදු නම් දුෂ්ටයාගේ භූමිකාවට පණ පොවමින් හේ සිනමාවට අවතීර්ණ විය. මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් සිටි අතරවාරයේ සිනමාපට හතරක ගිවිසුම්ගතවීමටද රෙක්ස්ට අවස්ථාව උදා විය. ඒ ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ එකදු දර්ශනයක් හෝ පෙන්වීමටත් පෙරතුව වීම විශේෂය. ‘කතුරු මුවාත්’ චිත්‍රපටය 1971දී තිරගත විය. අනතුරුව එදා මෙදා තුර සිනමාපට 150ට අධික සංඛ්‍යාවකට හේ රංගනයෙන් දායක විය.

සිංහල සිනමාව ත්‍රාසය භීතිය දනවන කලා මාධ්‍යයක් බවට පත් කිරීමට වෙහෙසුණු සිනමාකරුවන් අතර, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහු මේ විශ්මය උපදවීම සඳහා යොදා ගන්නේ වෙනකකු නොව රෙක්ස් කොඩිප්පිලිය. ඒ අනුව රෙක්ස් ‘ලොකුම හිනාව’ සිනමාපටයේ ඉතාම ත්‍රාසජනක ලෙස යතුරුපැදිය ධාවනය කරමින් මාරාන්තික රංගනයක යෙදුණ අතර, එතෙක් ආගන්තුකව පැවති ත්‍රාසය සිනමාවට රැගෙන ඒ මට ඔහු සමත් විය. ඒ සිය ජීවිතය පවා නොතකාය. මෙහිදී අවදානම් ජවනිකා කිහිපයකට පෙනී සිටි ඔහු, බරපතළ අනතුරකට මුහුණ දුන්නේය. හේ මාස 10ක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

විශේෂයෙන්ම මෙරට සිනමා වංශකතාව ආරම්භයේ පටන් පැවති ඉන්දීය අනුකාරකවාදී ප්‍රවණතාව 70 දශකය වන විට බොහෝ නළු නිළියන් විසින් අතික්‍රමණය කරමින් ඔවුන්ගේම වූ ස්ව අනන්‍යතාවකට රැගෙන එමින් සිටියේය. විශේෂයෙන්ම 70 දශකයේ අගභාගයේ දී හඳුන්වා දුන් විවෘත ආර්ථික වෙළෙද ක්‍රමය හරහා යුරෝපීය හා අමෙරිකානු සිනමාව වෙත ප්‍රවේශ වීමට මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙත අවස්ථාව උදාවීමත් සමඟ නව ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම ආරම්භ විය. එසේම මේ කාලයෙදී විදේශගත ශ්‍රමිකයන් හා වෙළෙද ව්‍යාපාරිකයන් හරහා මෙරටට පැමිණ සාලයේ ලැගුම්ගත් රූපවාහිනිය හරහා ද යුරෝ ඇමෙරිකානු ටෙලි කතා මාලා හා චිත්‍රපටි සඳහා වැඩි ඉඩක් වෙන් විය. එසේම රූපවාහිනිය මඟින් මෙරට ඇතැම් සිනමා අධ්‍යක්ෂකවරුන් විසින් කොපි කළ දෙමළ හා හින්දි සිනමාපට ද විකාශනය කෙරිණි. මෙනිසා ප්‍රේක්ෂකයා රූපවාහිනියට හා විදේශ චිත්‍රපට නැරඹීමට වඩ වඩා නැඹුරු විය. මෙම ප්‍රේක්ෂක ප්‍රජාව පෙරදිග හා බටහිර සිනමාව සංසන්දනාත්මකව මැන බැලීමෙදී ඔවුන් පෙරදිග වීරයාට හා දුෂ්ටයාට වඩා බටහිර වීරයා හා දුෂ්ටයා කෙරෙහි වඩාත් ආකර්ෂණීය විය. මෙනිසා සිංහල සිනමාව එතෙක් නියෝජනය කළ ජනප්‍රිය වීරයා හා දුෂ්ටයා වෙත නව අභියෝගයක් එල්ල කෙරිණි. මේ අභියෝගය ඒ වන විට මෙරට බොහෝ සිනමා වීරයන් විසින් ජයගෙන තිබුණි. බොහෝ දුෂ්ටයන් ඉන්දියානු දුෂ්ටයාගෙන් එළියට පැමිණ සිය අනන්‍යතාව මතු කරගෙන තිබුණ ද බටහිර දුෂ්ටයාගේ භූමිකාව රඟ දැක්වීමට තරම් ශක්‍යතාවක් පවත්වා ගැනීමට නොහැකි විය. මේ නොහැකියාව යම් තරමකට හෝ ජයගනිමින් ඉදිරියට එන්නේ රෙක්ස් කොඩිප්පිලිය.

එසේම ‘මරුවා සමඟ වාසේ’,‘යකඩයා’, ‘රක්තා’මුවන් පැලැස්ස’,‘දමයන්ති’,‘රණදෙරණ’, ‘ක්‍රිස්තු චරිතය’, ‘ලස්සන දවසක්’,‘බයිසිකලේ’,‘හුලවාලි’, ‘අරලිය මල්’ ,‘කොටි වලිගය’,‘කදිරා’(ප්‍රධාන නළුවා),‘බව සසර’,‘ලොකු දුව’,‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’, ‘දොරකඩ මාරාව’ ආදී සිනමාපට රැසක අමතක නොවන අයුරින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් රෙක්ස් කොඩිප්පිලි ඉතා දක්ෂ චරිතාංග නළුවකු ලෙස ඉදිරියට ආවේය. මුවන් පැලැස්ස චිත්‍රපටයේ කදිරා, සාගරිකා චිත්‍රපටයේ රත්නෙ අයියා, කොටි වලිගය චිත්‍රපටයේ සාජන්ට් සිල්වා එකී භූමිකාවලට නිදසුන්ය.

එපමණක් නොව හේ 1982 වසරේදී ‘බයිසිකලේ’ චිත්‍රපටය හරහා චිත්‍රපට නිෂ්පාදනයට සහ තිර රචනයට ද පිවිසියේය. ඔහු නිෂ්පාදනය කළ අනෙක් චිත්‍රපට වන්නේ ‘අහස් මාළිගා’ය. ‘කදිරා’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරි ලෙස ද හේ කටයුතු කළේය.

“රන් කහවනු” ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසි රෙක්ස් කොඩිප්පිලි ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවක රංගනයෙන් දායක විය. දාමිණී මෙගා ටෙලි නාට්‍යයෙන් මෙගා ටෙලි නාට්‍ය රඟපෑම ආරම්භ කළ අතර, ඔහු රඟපෑ මෙගා ටෙලි නාට්‍ය ගණන දහයකි. ගිනි අවි සහ ගිනි කෙළි (2015) ද ඒ අතර වේ. තවමත් විකාශනය වන “දෙවෙනි ඉනිම” මෙගා ටෙලි නාට්‍යයේ අනුහස් සහ අවන්තගේ සීයා ලෙසින් රංගන දායකත්වය ලබා දුන්නේ ද රෙක්ස් කොඩිප්පිලිය.

1986දී යෝජිත විවාහයකින් කැතරින් නම් සුන්දර තරුණිය සමඟ අතිනත ගත් රෙක්ස් කොඩිප්පිලි දියණියන් දෙදෙනකු හා එක් පුතකුගේ ආදරබර පියාණන්ය. රෙක්ස්ගේ ආදරණීය බිරිය කැතරින් 2016දී මෙලොව හැර ගියාය. රෙක්ස් කොඩිප්පිලි නම් මේ අසහාය නළුවා ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට වන ප්‍රතිරාවය, මතට තිත, අභිෂේකා, මේක පුදුම කතාවක් සිනමාපට සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත. අසු පස්වැනි වියේදී සිය දිවි රඟමඬලින් සමුගන්නා විට සරසවිය සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින් හේ පිදුම් ලබා තිබුණි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division