Home » ජනවාරි පළමු වැනිදාසුබ කාල හෝරා සහිත දිනයක්

ජනවාරි පළමු වැනිදාසුබ කාල හෝරා සහිත දිනයක්

by thanushika
December 30, 2023 12:30 am 0 comment

ග්‍රහ ලොව මවු තුමිය සඳුට අයත් දිනකින් උදාවන 2024 නව වසරේ ජනවාරි පළමු වැනිදා සඳුදා දින සුබ කාල හෝරා සහිත දිනයක් බව ජ්‍යොතිෂයෙහි සඳහන්ය. ග්‍රහ ලොව මවු තුමිය සඳුට අයත් දිනයේ ග්‍රහ ලොව සුරතලිය වන සිකුරුට අයත් පුවපල් නැකත උදා වනුයේ පෙ. ව. 08.39ටය. ඒ වන විට උදාව පවතින්නේ 5 තිථිය ලෙස හඳුන්වනු ලබන විශේනිය තිථියයි.

නව වසරේ ඔබට පවත්නා සියලු බලාපොරොත්තු සියල්ල එක්වූ විට සුබ යෝග බලයක් ගෙන දෙන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි සඳහන් වේ. ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රය අනුව ධවජ නම් යෝග බලය ද වෙයි. මෙදින සඳු ගමන් කරන්නේ සිංහ රාශියේ බැවින් සුබ දිශාව වන්නේ නැඟෙනහිර දිශාව වීමද කාර්ය සිද්ධියකි.

පෙ. ව. 08.39ට ආරම්භ වන සුබ කාල හෝරාව ප. ව. 2.31 දක්වාම පැවැතියත් රාහු කාලය ඉවත්කර සුබ කටයුතුවල නියැළිය යුතුය. මෙදින රාහු කාලය පෙ. ව. 7.49 සිට 9.18 දක්වා පවතින බැවින් 9.18න් පසුව නව වසරේ කිරි ඉතිරවීම කළ හැකි වේ. සියලු ප්‍රාර්ථනා සපල කරගැනීමේ අරමුණ ඇතිව මේ කාලය තුළ ආගමික කටයුතුවල නියැළීමෙන් පසුව රාජකාරි අරඹන්න. ඔබ රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවය නොකරන්නේනම් ගෙවත්තේ කෘෂිකාර්මික කටයුතු ඇරැඹිය හැකිය. ඒ සඳහා පැළයක් සිටුවන්න.‍

ආගමික කටයුතු සිදු කිරීමේදී සුදු මල් බුදුන් වහන්සේ අබියස පූජා කර දෙවියන්ට පින් දෙන්න. පත්තිනි මෑණියන් උදෙසා පූජාවන් පවත්වා බාරහාර වීමද නව වසර උදාවන සඳුදා දින ඉතාම සුබදායකය. තවද සිකුරුගේ නැකතක් පවතින බැවින් නොයෙක් වර්ණ මල් සහ සුවඳ වර්ග දල්වන්න.

මෙදින පවතින නැකත ඔබේ උපන් නැකතට සීහුම් නොවූවද ඔබ නව වසර මහත් භක්තියෙන් අධිෂ්ඨානයෙන් යුතුව පිළිගත යුතුය. ඔබ ගොවි මහතෙක් නම් පැළ සිටුවීම, ඇළ මාර්ග සැකසීම මෙන්ම වෙනත් වගා කටයුතු , කිරි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම, කිරි ගවයෙකු ඇතිදැඩි කරන්නේනම් අයිස් ක්‍රීම්, යෝගට් වැනි ව්‍යාපාරයකට යොමුවීම අතිශයින් ලාභදායී වනු ඇත. ජලය උපයෝගී කරගෙන කරන්නට බලාපොරොත්තු වන සියලු යහපත් අරමුණ සපල වනු ඇත. ග්‍රහ මණ්ඩලයේ සිටින වේගවත්ම ග්‍රහයා සඳු බැවින් ප්‍රතිඵල වේගවත්ව ලබා ගැනීමට ද හැකිය.

දවස හා නැකත මඟින් සඳු – සිකුරු සංයෝගයක් මෙදින යෙදෙන බැවින් සංගීතය ඉගෙනීමට මෙන්ම එවන් ආයතන ආරම්භ කිරීමට හා මැණික් ව්‍යාපාර ආදියට ද සුදුසුය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division