Home » නව වසරේ උදාවප්‍රීති යෝගයකින්

නව වසරේ උදාවප්‍රීති යෝගයකින්

මේෂ, වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු සහ මකර ලග්න හිමියන්ට සුබදායි ප්‍රතිඵල

by thanushika
December 30, 2023 12:30 am 0 comment

2023 වසර ගෙවී ප්‍රීති යෝගයෙන් කෞලවකරණයෙන් විශේනිය තිථියෙන් මා නැකතින් මීන ලග්නයෙන් 2024 නව වසර උදා වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. නව වසර උදා වන අවස්ථාවේ පවතින ග්‍රහචාරය අනුව වෙළෙඳ ක්ෂේත්‍රයේද විශාල දියුණුවක් නව වර්ෂය තුළදී දැකගත හැකිය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විශාල ලාභ අත්වන අතර රටට අලුත් ආදායම් මාර්ග විවර කරමින් රටේ මූල්‍ය අංශයේ වර්ධනයක් සිදු වෙයි.

නව වසරේ රටේ නීතිමය අංශයේත් විශාල ප්‍රබෝධයක් ඇතිවන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේද ප්‍රතිසංස්කරණ රැසකට මංපෙත් විවර වෙයි. ජනතාවගේ පීඩාකාරී තත්ත්වයන් යහපත් තත්ත්වයට පත් කිරීමට පාලක පැලැන්තිය විසින් නව වසරේ යම් යම් උත්සාහයන් ද ගනු ලබයි.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරට වඩා 2024 නව වර්ෂය ජනතාවට සුබදායී බලාපොරොත්තු තැබිය හැකි වසරක් බවට පත්වන සුබ මංපෙත් විවර වන ආකාරයක් පෙන්නුම් කරයි.

මේෂ, වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු සහ මකර ලග්න හිමියන්ට මෙම වසර ඉතා සුබදායකය. සෙසු ලග්න හිමියන්ටද සුබ අසුබ මිශ්‍රව ලැබෙන අතර වඩ වඩාත් ආගම දහමට ලැදිව කටයුතු කිරීමෙන් තම දිවි පෙවෙත ආගමානුකූලව සකසා ගැනීමෙන් සියලුම ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වසරක් කර ගත හැකිය.

මේෂ – නව වසර වඩාත් සුබදායක වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. මිල මුදල් ලාභ ලැබේ. රැකියා බලාපොරොත්තු ඉටු වේ. උසස් වීම් හිමි වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. ඉගෙනීමේ නිරත අයට වඩාත් සුබදායක වසරකි.

වෘෂභ – ඔබට මෙම වර්ෂය කලින් පැවති වර්ෂයට වඩා සුබදායී වේ. ලාභ ප්‍රයෝජන වැඩි වේ. මංගල යෝජනා සාර්ථක වේ. රැකියා අවස්ථා උදා වේ. කරන රැකියා ස්ථිර වේ. ඉඩකඩම් ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන අයට වඩාත් සුබදායකය.

මිථුන – මෙම වසර ඔබට සුබදායකය. වස්තු ලාභ හිමි වේ. රැකියා, වෙළෙඳාම් කටයුතුවලින් ආදායම් හා දියුණුව ලැබේ. සතුරු කරදර දුරු වේ. සමාජය තුළ නම ප්‍රසිද්ධ වේ.

කටක – වසර මිශ්‍ර පලදායක වේ. වියදම් අධික වේ. රැකියා කටයුතුවලට බාධා මතු වේ.⁣ සෞඛ්‍යය තත්ත්වයද එතරම් යහපත් නොවනු ඇත. විදේශ ගමන් පිළිබඳ සුබදායි බලාපොරොත්තු තැබිය හැකිය.

සිංහ – ඉගෙනීමේ කටයුතුවල නිරත වූවන්ට මේ වසර වඩාත් සුබදායකය. පහසුවෙන් විභාග සමත් විය හැකිය. විදේශ ගමන් අවස්ථා හිමි වේ. පවුලේ සමගිය ඇති වේ. දියුණුව පිණිස කටයුතු කරගත හැකි වසරකි.

කන්‍යා – මෙම වසරේ සමාජය තුළ ඔබේ බලය පැතිරේ. මිල මුදල් ලාභ හිමි වේ. තනතුරු උසස් වේ. සතුරන් පරාජය වේ. තරග විභාගාදිය පහසුවෙන් සමත් වේ. බලාපොරොත්තු රැසක් ඉටු කරගත හැකි වසරකි.

තුලා – ඔබට මෙම වසරේ මිල මුදල් ලාභ හා දියුණුව සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රාජ්‍ය අංශයේ උසස් අයගේ උදවු උපකාර ලැබේ. විභාගවලින් සමත් වේ. පවුලේ දියුණුවට කටයුතු සැලසෙන වසරකි.

වෘශ්චික – මිශ්‍රපලදායක වේ. ධන ලාභ අඩු වේ. රෝග පීඩා ආදිය ඇති වේ. සතුරන්ගෙන් කරදර ඇතිවීමට පුළුවන. අලුත් දේ ඉගෙනීමට යොමු වීමට සුබ වසරකි. නව බලාපොරොත්තු ඇති වේ.

ධනු – නව වසරේ ඔබේ රැකී රක්ෂා කටයුතුවල විශාල දියුණුවක් ඇති වේ. ධන ලාභ, දේපළ ලාභ හිමි වේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. නීරෝගී සුවය වසර පුරාම පවතී.

මකර – මෙතෙක් පැවති අසනීප සුව අතට හැරේ. රැකියා තනතුරු ආදිය හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතුද දියුණු වේ. නව වසර ඔබට සුබදායකය.

කුම්භ – මිශ්‍රපලදායක වසරක් වේ. රැවටිලිවලට අසුවිය හැකිය. බොරු චෝදනා නින්දා ආදිය ඇති විය හැකිය. ශරීරයට පීඩාකාරී දේ සිදු විය හැකිය. ධනය ලැබුණද විනාශ වේ. ඉගෙනීමේ කටයුතුවලට සුබ කාලයකි.

මීන – මිශ්‍රපලදායක වේ. රෝගාබාධ වැලඳීමට, නින්දා අපහාස ඇතිවීමට, ගොවිතැන් ආදියෙන් පාඩු සිදු වීමට ඉඩ ඇත. ධන ලාභ ලැබුණද වියදම් අධිකව යෙදේ. ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් රැකියා ව්‍යාපාර දියුණුව සලසාගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විදුහල්පති - දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division