Home » අඩුවක් නෑ ඒ ආදරේ

අඩුවක් නෑ ඒ ආදරේ

by thanushika
December 23, 2023 12:30 am 0 comment

ළමා නිවේදිකාවක් ලෙස පුංචි පැංචි වැඩසටහන මෙහෙයවමින් කලා ක්ෂේත්‍රයට පිවිසි හිරුෂි වසුන්දරා නිර්මාණ අතළොස්සකට පමණක් දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පිනියකි. පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නිර්මාණයේ ඩොක්ටර් අනුරාධි වූ ඇය ටීචර් අම්මාහි පුංචි දරුවන්ගේ ආදරය දිනූ සයොනාරා ටීචර්ය. ටික කලෙක නිහැඬියාවකින් පසුව නැවතත් නිර්මාණවලට දායකවීමේ බලාපොරොත්තුවෙන් සිටින ඇය අද අපේ කතාබහට එක්වූවාය.

නිර්මාණවල වගේම සමාජ මාධ්‍යවලත් අතිශයින් ජනප්‍රිය හිරුෂි පහුගිය කාලෙ දකින්න ලැබුණෙ නැත්තෙ ඇයි?

හැමදේටම වඩා මං මුල් තැන දුන්නෙ මගෙ අධ්‍යාපන කටයුතුවලට. පහුගිය ටිකේ මං කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටියෙ මගේ නීති විද්‍යාල අවසන් වසරේ විභාග කටයුතු නිසා. පහුගිය 14 වැනිදා නීතිවේදී උපාධිය ලබා ගැනීමෙන් පස්සෙ මගේ ඒ හීනයත් සැබෑ වුණා. ඒ වගේම ටීචර් අම්මා ටෙලි නිර්මාණය දැන් නැවතත් විකාශය වෙනවා. නිහැඬියාවක හිටියත් ඒ ආදරේ අදටත් නොඅඩුව ලැබීම ලොකු සතුටක්.

එතකොට තව සෑහෙන කාලයක් ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්න වෙයිද හිරුෂිව තිරයේ දකින්න?

පහුගිය ටිකේ නිහඬව හිටියත් කලින් කරපු නිර්මාණ කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට මාව මඟහැරෙන එකක් නෑ කියල හිතෙනවා. ඒ අතරෙ මං ගොඩක්ම ආසාවෙන් කරපු නිර්මාණයකුත් තියෙනවා. ඕනම රංගන ශිල්පිනියකගෙ හීනයක් තමයි නිළි රැජන එක්ක නිර්මාණයකට දායක වෙන එක. හිතුවටත් වඩා ඉක්මනින් මට ඒ අවස්ථාව ලැබුණා. Silkroad Creations සහ චනික පෙරේරාගේ එකතුවෙන් නිර්මාණය වුණු ‘යක්ඛ නාද‘ ටෙලි නිර්මාණයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟ එකම තිරය බෙදාගන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ රංගන ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මං පුංචි කාලෙ ඉඳන්ම ආස කළ හරිම නිහතමානී චරිතයක්. තවත් ප්‍රවීණයන් කිහිපදෙනෙක්මත් හිටියා. ඔවුන්ගෙ අත්දැකීම්වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.

පහුගිය දවස්වල ඇතෙක් යොදාගෙන ඔබ කරපු ෂූට් එකක් සමාජ මාධ්‍යවල සෑහෙන්න වයිරල් වුණා ?

සීතයි, රාජයි යොදාගෙන කරපු ඒ ෂූට් එක සිංහල වගේම දමිළ ප්‍රජාව අතරත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒක ලොකු අභියෝගයක් වගේම වෙනස්ම අත්දැකීමක් වුණා. අලි මිනිස් ගැටුමෙන් අලි ඇතුන් විශාල වශයෙන් විනාශ වෙන කාලයක් මේක. ඒ වගේම මිනිසුන්ට වෙන හානියත් නොසලකා හරින්න බෑ. ඔවුන් ගම් වදින්නෙ මිනිසුන් විසින්ම ඔවුන්ගෙ වාසභූමි විනාශ කරපු නිසා. මේ දෙපැත්තෙන්ම බලලා හොඳ පියවරක් ගන්නව නම් හොඳයි කියන ඉල්ලීම කරන්නත් එක්ක විශේෂයෙන්ම මං තීරණය කළා හෙණ්ඩුව පාවිච්චි නොකර මේ ෂූට් එක කරන්න. අවදානමක් නොතිබුණාම නොවෙයි. කලින් දවසෙ ඇතුන් එක්ක පොඩි වෙලාවක් ගත කරලා පහුවෙනිද පාන්දර ඉඳන් කිසිම කරදරයක් නැතුව හරි ලස්සනට ඒ වැඩේ කළා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මං හිතන්නෙ ලංකාවෙ අලි ඇතුන් යොදාගෙන මේ වගේ කරපු පළවෙනි නිර්මාණය. ඊට පස්සෙ මේ කන්සෙප්ට් එක ගොඩක් අය ෆලෝ කරල තිබුණා. ඒ ගැන සතුටුයි.‍

පාසල් ගුරුවරියක් විදිහට කරපු ෂූට් එකක් නිසා ලොකු ගැටලුවකට මුහුණපෑව කියලත් ආරංචියි?

දසුන් නිලංජන අයියා ගත්ත ඒ ඡායාරූප පෙළ නොහිතපු විදිහට සමාජ මාධ්‍යවල ට්‍රෙන්ඩිං වුණා. උතුරු නැ‍ෙඟනහිර වගේම දකුණු ඉන්දියාවෙ පවා පැතිරුණා. ඒක මගේ ජීවිතේ ලොකු වෙනසක් කළ ෆොටෝ ෂූට් එකක්. සමහරු මේ ෆොටෝ කැලැන්ඩර්, දිනදර්ශනවලටත් යොදාගෙන තිබුණා. ඒකෙ මං වරදක් දකින්නෙ නෑ. ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය වෘත්තියක්. මමත් කාලයක් පරිගණක ගුරුවරියක් විදිහට සේවය කළා. කිසියම් පිරිසක් වරදක් කළ ගුරුවරියක් සම්බන්ධ ප්‍රකාශනයකදී මෙයින් ඡායාරූපයක් යොදාගෙන තිබුණා. කෙනෙකුගෙ ප්‍රතිරූපයට හානියක් වෙන ඒ වගේ දේවල් නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.

ඔබ ක්ෂේත්‍රයට එන්නෙ ළමා වියේදිමයි. මෙතෙක් පැමිණි දුර ගැන මොකද හිතෙන්නෙ?

සිරස පුංචි පැංචි වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදිහට තමයි මං මේ ගමන ආරම්භ කළේ. අධ්‍යාපන කටයුතු නිසා කාලයක් ඈත්වෙලා හිටියත් සිරස fm නාළිකාවේ නිවේදිකාවක් විදිහට නැවතත් සම්බන්ධ වුණා. කොහොමත් මගෙ ආසාව තිබුණෙ නිවේදනයට. මුලින්ම මං රංගන අත්දැකීමක් ලබන්නේ 2009 වසරේ රාවණා අඩවිය ටෙලි නිර්මාණයේ ප්‍රධාන ළමා නිළිය විදිහට.

යාළුවන්ගෙ මැදිහත්වීමෙන් තමයි 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්නේ. එහි අනු ශූරතාව වගේම සුන්දර වරලස කියන ටයිට්ල් එකේ ජයග්‍රාහිකාව බවට පත්වීමත් එක්ක තමයි නැවතත් රංගනය පැත්තට යොමු වෙන්නෙ. දිලූක ගුණතිලකගේ නිස්සරණ කියන පෝය ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වුණාට පස්සෙ දිගටම ටෙලි චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. දීර්ඝ ටෙලි නාට්‍යක් විදිහට මුලින්ම සම්බන්ධ වුණේ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයට. ඩොක්ටර් අනුරාධි අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙන චරිතයක්. වෛද්‍ය වෘත්තියට හානියක් නොවෙන්න ඇඳුමෙ ඉඳන්ම මං සැලකිලිමත් වුණා. ලස්සන පෙන්නනවටත් වඩා චරිතය ඉස්මතු කරන්නයි මං උත්සාහ කළේ. කොණ්ඩෙ බැඳගෙනම ඉන්න හිතුවෙත් ඒකයි. හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුණු සුදත්ත තිලක්සිරිගේ ටීචර් අම්මා කියන්නෙත් පොඩි ළමයි අතරෙ ගොඩක් ජනප්‍රිය වුණු ටෙලි නිර්මාණයක්. එදා දරුවන්ගෙන් ලැබුණු ආදරේ අදටත් ඒ විදිහටම ලැබෙනවා. මේ දවස්වල නැවත විකාශය වෙනවා. අවුරුදු 2ක් වෙලත් අදටත් ඒ ආදරේ අඩුවක් නෑ.

සුන්දර යුවතියක් වන හිරුෂිට ආදරයේ සුන්දර අත්දැකීම් නැතිවෙන්නත් බෑනෙ?

අත්දැකීම් නම් තියෙනවා. ඒත් ගොඩ කාලෙක ඉඳන් මං ආදරවන්තියක් නෙවෙයි. බොහෝ දෙනා පිළිනොගත්තත් ඒක තමයි ඇත්ත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division