Home » පුවත් මවන ධනුෂ්ගේ වත්කම් ගැන හෙළිදරව්වක්

පුවත් මවන ධනුෂ්ගේ වත්කම් ගැන හෙළිදරව්වක්

by thanushika
December 23, 2023 12:30 am 0 comment

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවන් අතර ඉහළින්ම සිටින කෙනෙකු වන ධනුෂ් ලංකාවේ සිනමා ලෝලීන්ගේ ද ආදරය දිනාගත් නළුවකු බව රහසක් නොවෙයි. ධනුෂ් දෙමළ නළුවන් අතරින් වැඩිම ගාස්තුවක් අය කරන නළුවකු බවත් ප්‍රසිද්ධ කාරණයක්. මේ වසර වන විට ඔහුගේ ආදායම් සහ වත්කම් ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ නිතරම වාගේ තොරතුරු පළ වුණා. එම වාර්තාවලින් පැවසෙන ආකාරයට ධනුෂ්ගේ ශුද්ධ වත්කම මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 160 කට ආසන්නයි. එය ලංකා මුදලින් රුපියල් කෝටි 630 කට ආසන්න වත්කමක්.

චිත්‍රපටයක් වෙනුවෙන් ධනුෂ් අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 15 ක් (ලංකා රුපියල් කෝටි 60 ක්) පමණ වන බවයි පැවසෙන්නේ. එමෙන්ම ඔහුගේ මාසික ආදායම ඉන්දීය රුපියල් කෝටියක් (ලංකා රුපියල් කෝටි 4 ක්) පමණ වන බවත් සඳහන් වෙනවා.

ධනුෂ් ආදායම් උපයන්නේ චිත්‍රපටවල රඟපෑමෙන් පමණක් නොවෙයි. ඔහුට අයත් චිත්‍රපට නිෂ්පාදන සමාගමකුත් තිබෙනවා. ඔහුගේ බිරිය වූ අයිශ්වර්යාත් එහි කොටස්කාරියක්. (අයිශ්වර්යා යනු සුපිරි නළු රජිනිකාන්ත්ගේ දියණියක්). ධනුෂ් – අයිශ්වර්යා දෙදෙනාට අයත් වන්ඩර්බාර් ෆිල්ම්ස් – (Wunderbar Films) නමැති චිත්‍රපට සමාගම විසින් නිපදවනු ලබන චිත්‍රපටවල ලාභයෙන් කොටසකුත් ඔහුගේ ආදායමට එකතු වෙනවා. මේවායින් ලබන ආදායම්වලට අමතරව ගීත ගායනය වැනි කටයුතුවලිනුත් ධනුෂ්ට මුදල් ලැබෙනවා.

ධනුෂ් වාසය කරන්නේ තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායිහි ධනවත්ම පුද්ගලයන් ජීවත්වන කොටසකයි. රජිනිකාන්ත්ගේ නිවස පිහිටා ඇත්තේත් මෙම ප්‍රදේශයේයි. ධනුෂ්ගේ නිවස ඉන්දියානු රුපියල් කෝටි 25ක් (ලංකා රුපියල් කෝටි 100ක් පමණ) වටිනා එකක් බවත් සඳහන්. එම නිවසට අමතරව ඉන්දියාවේ තවත් ප්‍රදේශවල ඔහු සතු දේපළ ඉඩකඩම් රැසක් තිබෙනවා.

ධනුෂ් සතු අතිසුඛෝපභෝගී වාහන එකතුවත් මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. ඔහු සතුව ඇති වටිනාම මෝටර් රථයක් වන රෝල්ස් රොයිස් රථය ඉන්දියානු රුපියල් කෝටි 7ක් (ලංකා රුපියල් කෝටි 28 ක්) පමණ වටිනා එකක්. ඉන්දියානු රුපියල් කෝටි 3.4 ක් (ලංකා රුපියල් කෝටි 13 ක් ) පමණ වටිනා බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් වර්ගයේ රථයකුත් ඔහුගේ මෝටර් රථ එකතුවේ තිබෙන බව සඳහන්. මේවාට අමතරව මිල අධික ජගුවර්, ෆෝඩ් මස්තාන්, අවුඩි වැනි මෝටර් රථ කිහිපයක් ද ධනුෂ් සතු බව වාර්තා වෙනවා.

ධනුෂ් රඟපාන අලුත්ම චිත්‍රපටයක් ගැන ආරංචියකුත් මේ දිනවල මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. මෙම සිනමාපටය දැනට නම් කර ඇත්තේ ඩී-50 (D 50) යනුවෙනුයි. නමුත් මේ නම පසුව වෙනස් වීමට නියමිත බවයි සඳහන් වන්නේ. ධනුෂ් මෙම සිනමාපටයේ ප්‍රධාන නළුවා විතරක් නොවෙයි. එහි අධ්‍යක්‍ෂවරයාත් ඔහු යි. මෙය ධනුෂ් අධ්‍යක්‍ෂණය කරන දෙවැනි සිනමාපටය යි. ඔහු අධ්‍යක්‍ෂණය කළ පළමු සිනමාපටය වූයේ 2017 වසරේ තිරගත වූ ‘පා පාන්ඩි’ නමැති චිත්‍රපටය යි. මෙම සිනමාපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්‍ෂ (දෙමළ) ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගන්නත් ඔහු සමත් වුණා. ධනුෂ්ගේ දෙවැනි අධ්‍යක්‍ෂණය වන D 50 හි රූපගත කිරීම් මේ වන විට සම්පූර්ණයෙන් අවසන් බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

40 වැනි වියෙහි පසු වන ධනුෂ් මේ වන විට චිත්‍රපට 50 කට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන චරිත රඟපා තිබෙනවා. ඔහු මුලින්ම සිනමාවට පිවිසුණේ ‘තුල්ලුවාදෝ ඉලමෙයි’ නමැති සිනමාපටයෙන්. එය තිරගත වූයේ 2002 වසරේ යි. එහි රඟපාද්දී ධනුෂ්ගේ වයස අවුරුදු 19 ක් පමණ යි. මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරයා වූයේ ධනුෂ්ගේ පියා වන කස්තුරි රාජා.

සිනමාවට පිවිසෙන්නට පෙර ධනුෂ්ගේ නම වූයේ වෙන්කටේශ් ප්‍රභූ යන්න යි. ඔහුට ධනුෂ් යන නම ගැනීමට අදහසක් ඇති වී තිබුණේ කමල් හසන් රඟ පෑ සිනමාපටයක් නැරඹීමෙන් පසුව බවයි සඳහන් වන්නේ. මෙම සිනමාපටයේ එන එක්තරා රහස් ඔත්තු මෙහෙයුමක් හැඳින්වුණේ “ඔපරේෂන් ධනුෂ්” යන නමින්. ධනුෂ් මෙම මෙහෙයුමෙන් මහත් අමන්දානන්දයට පත්ව තිබූ බවයි පෙනේනේ.

ජීවිතයේ බොහෝ අංශවලින් ඔහු සාර්ථකත්වයට පත් වුණත් ධනුෂ්ගේ විවාහ ජීවිතය නම් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. වසර 18ක යුග දිවියකින් පසු ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ එකිනෙකාගෙන් වෙන් වුණා. මෙය අයිශ්වර්යාගේ පියා රජිනිකාන්ත් තුළ ද විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබුණා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division