Home » ඕවර් ගියොත් ඒක මෝඩ විහිළුවක් වෙනවා

ඕවර් ගියොත් ඒක මෝඩ විහිළුවක් වෙනවා

by thanushika
December 23, 2023 12:30 am 0 comment

රජිත හිරාන් කියන නම ටිකක් ආගන්තුක වුණත් පිංපොං ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. තට්ටු ගෙවල් ටෙලි නිර්මාණය ඔස්සේ කලාවට පිවිසි රජිත ලොකු කුඩා කා අතරත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුයේ පිංපොං නමිනි. ඔහුගේ කුලුඳුල් රංගනය අදටත් ප්‍රේක්ෂකයන් තුළ ප්‍රියජනක මතකයන් අවදි කරනවා නොඅනුමානයි. රංගනය, නර්තනය, ගායනය, ගීත රචනය, මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය පමණක් නොව රයිඩර් හරහා චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස තිබීම ඔහුගේ තවත් විශේෂත්වයකි. අද අපේ කතාබහ කලාවේ විවිධ දිශා ස්පර්ශ කරමින් යන ඔහු සමඟයි.

රජිත මේ දවස්වල ලොකු වැඩකට අතගහල ගොඩක් කාර්යබහුල වෙලා නේද?

ඔව්. ඇත්තටම ඒක ලොකු වැඩක්. මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය රයිඩර් පහුගිය 15 වැනිදා ඉඳල ප්‍රදර්ශනය වෙනවා. 2021 -22 කාලෙ කරන්න පටන් ගත්තත් රටේ තත්ත්වය අයහපත් වුණ නිසා ඉවර කරගන්න ටිකක් පරක්කු වුණා. ඒත් ඒක ප්‍රදර්ශනය වෙන්න හොඳම කාලය මේක කියලා මට හිතෙනවා. චිත්‍රපට සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම හර්ෂ උඩකන්දගෙ අලුත් ෆිල්ම් එකට රංගනයෙන් දායක වුණා. ඒකෙ කටයුතුත් මේ දවස්වල කෙරෙනවා.

ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ගැන කතා කළොත්?

ටීවී බැලුවත්, නිවුස් බැලුවත් අපිට මේ දවස්වල වැඩිපුරම දකින්න ලැබෙන්නෙ විශ්වවිද්‍යාලවල පවතින අරගල, උද්ඝෝෂණනෙ. ඒක කාලීන මාතෘකාවක් වෙලා. ඔවුන්ගේ ඉල්ලීම් හරි වෙන්නත් පුළුවන් වැරැදි වෙන්නත් පුළුවන්. අපි දකින දේ නොවෙන්නත් පුළුවන්. ඇතුළාන්තයේ තියෙන්නෙ වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට හිතුවක්කාර තාරුණ්‍යය කරන මේ දේවල් නිසා ඔවුන්ගේ ජීවිතවලට අවාසනාවන්ත ඉරණමක් අත්වෙන්නත් පුළුවන්. ඒ වගේ අරගලයකට මැදිවුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වටා ගෙතුණු කතාවක් මේක. ඒ සිදු වීමත් එක්ක ඇති වන බාහිර බලපෑමක් නිසා ඔහුගේ අනාගතය තීරණය වෙන හැටි තමයි මේකෙන් කියවෙන්නේ. මේක ඇක්ෂන් ෆිල්ම් එකක් කියන්නත් පුළුවන්. ප්‍රේමයටත් බරයි. හාස්‍ය උත්පාදනයත් තියෙනවා. මේ සිදුවීම් හමුවේ වේගයෙන් හඹාගෙන යන මේ තරුණයා ගැන කතාව තමයි රයිඩර්. අධ්‍යක්ෂණය වගේම තිර රචනය, ගීත රචනය මගේ. නිෂ්පාදනය ප්‍රවීණ රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉඳුනිල්. මේක ඔහුගේත් පළමු නිෂ්පාදනය.

ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රොෂාන් රණවන සහ දසුනි සෙනෙත්මා. චිලී, සරත් දික්කුඹුර, සරත් කුලාංග වගේම සනත් ගුණතිලකත් විශේෂ රංගනයක නිරත වෙනවා. ඊට අමතරව තව පිරිසක් එකතු වෙනවා. හොඳම යාළුවගේ කැරැක්ටර් එක හරහා මමත් රංගනයෙන් දායක වුණා. සම්බන්ධ වුණු හැමෝම මගේ යාළුවො. එයාල යාළුවො හින්දමත් ගත්තා. ඒ වගේම යාළුවො ඒ චරිතවලට ගැළපෙන හින්දමත් ගත්තා. හැමෝම ඒ ඒ චරිතවලට සාධාරණයක් කළා කියල හිතනවා. ගෙදර හැමෝටම එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් වගේම මේක තාරුණ්‍යයට උත්තේජනයක් වේවි කියලත් හිතනවා.

දසුනි කියන්නෙ නවක රංගන ශිල්පිනියක්. ඔබේ පළමු අධ්‍යක්ෂණයට නවක නිළියක් ගන්න හිතුවෙ ඇයි ?

දසුනි කියන්නෙ මේ වකවානුවේ ජනප්‍රිය වෙමින් එන චරිතයක්. ඒ වගේම එයාගෙ දක්ෂතා ගොඩක් අපි දැක්කා. අනිත් එක තමයි මට ඕන වුණා සිනමාවට අලුත් මූණක් ගේන්න. දසුනිගෙත් මේක පළමු චිත්‍රපටය. මේකෙ රඟපාන්න පටන් ගත්තට පස්සෙ තමයි හොඳම කතාව එළිවුණේ. මං මීට අවුරුදු දහයකට පහළොවකට විතර කලින් දසුනිලගෙ ගමේ ඩාන්සින් ෂෝ එකක් විනිශ්චය කරන්න ගිහින් පොඩි ළමයෙක්ව වඩාගෙන ෆොටෝ එකක් එහෙමත් ගත්තා. බලාගෙන යද්දි ඒ ළමය තමයි දසුනි.

එදා පිංපොං විදිහට කලාවට අඩිය තිබ්බ රජිත අද චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ භූමිකාව රඟදක්වනවා. ඒ ආපු ගමන ගැන මතකය අවදි කළොත්?

මගේ ගම පානදුර. මගේ රංගනයේ නිජබිම වුණේ මත්තේගොඩ ස්කීම් එක. අද මට හරි සතුටුයි. එදා තට්ටු ගෙවල් හරහා හඳුන්වා දෙන නළුවා රජිත හිරාන් කියල දාපු ටයිට්ල් එකත් තාම මතකයි. අද කතාව, දෙබස්, අධ්‍යක්ෂණය රජිත හිරාන් කියල වැටෙද්දි ලොකු සතුටක් දැනෙනවා. තට්ටු ගෙවල් හරහා අනුරුද්ධ ජයසිංහ අයිය එදා දුන්න ඒ අවස්ථාව තමයි අද මේ දක්වා එන්න හේතුව වුණේ. ඒ වගේම කපිල කුමාර කාලිංග, තිස්ස ගුණවර්ධන සර් මට මේ තැනට එන්න ගොඩක් උදවු කළා.

ඔබ මේ දවස්වල වේදිකාවෙත් දකින්න ලැබෙනවා. කොහොමද ප්‍රතිචාර?

සුනිල් ශ්‍රීගේ ඉල්ලන් කෑවා නිර්මාණය හරහා මේ දවස්වල වේදිකාවෙත් ඉන්නවා. ඒකෙ පනස් වැනි දර්ශනය පහුගිය දවස්වල ප්‍රදර්ශනය වුණා. මම ඒකෙ ප්‍රධාන දුෂ්ටයා විදිහට විලන් චරිතයක් කරන්නෙ. පළවෙනි සීන් එක එද්දිම මිනිස්සු බලන් ඉන්නෙ මං මොකක් හරි ආතල් එකක් දීල හිනා ගස්සයි කියලා. ඒත් මේකෙ පළවෙනි දෙබසෙ ඉඳලම පටන් ගන්නෙ ඔරොප්පුවෙන්. දුෂ්ටයනෙ ඉතින්. ටික වෙලාවක් යද්දියි ඔවුන් තේරුම් ගන්නෙ‍ කැරැක්ටර් එකේ විදිහට ඒක කරන්න බෑ කියලා. හාස්‍යජනක චරිත කරන එක තමයි මට ඔළුවට බර වැඩිම. මොකද ඒකෙ අවසන් ප්‍රතිඵලය මිනිස්සුන්ට හිනාව ගේන්න ඕන. ඕවර් ගියොත් ඒක මෝඩ විහිළුවක් වෙනවා. ඒ නිසා හාස්‍ය උත්පාදනය ලේසි කාර්යයක් නෙවෙයි.

ඔබ වඩාත්ම ජනප්‍රිය හාස්‍ය උත්පාදනය සඳහා. වේදිකාවෙ මේ දවස්වල දුෂ්ටයා. ආදරවන්තයට ඉඩක් ලැබිලම නැද්ද?

එරන්ද සේනාරත්න මහත්මයගේ “නෝන හරි වසයි“ චිත්‍රපටයේ ආදරවන්තයගෙ චරිතයක් ලැබුණා. ඒකෙ ප්‍රධාන චරිතය මම. ඒකත් ඉදිරියෙදි ප්‍රදර්ශනය වේවි. රයිඩර් කියන්නෙ මේ හැමදේම මුසුවුණු, පවුලේ කාටත් එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඇවිත් බලල ගුණදොස් කියන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division