ළමා නිවේදිකාවක් ලෙස කලාවේ ගමන් මඟ ආරම්භ කළ ඇය පාසල් වියේදීම රූපවාහිනී තිරය මතින් අපේ ආලින්දයට ගොඩ වුවාය. සිරස රූපවාහිනිය, ස්වර්ණවාහිනිය ආදී විවිධ නාළිකාවල වැඩසටහන් නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන ඇය මේ දිනවල දෙරණ නාළිකාවේ සති අන්තයේ සවස 04.55ට විකාශනය වන හේල්‍යන් ටෙලි නාට්‍යයේ ෂෙහානි නම් මවකගේ චරිතය රඟන්නීය. ඇය රංගන ශිල්පිනී සඳමිණි එදිරිවීරය.
ඉගෙන ගන්න කාලයේ සඳමිණි මොන වගේ කෙනෙක් වෙන්නද හිතුවේ?
නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබුණා. ඒ අනුව මට පාසලේ 06 වසරේ ඉඳලම ළමා ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
ජාතික රූපවාහිනියේ දසත ළමා පුවත් වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදිහට තමයි මුලින්ම කටයුතු කළේ. ඊට පස්සේ තරු දවස, නුග සෙවණ වගේ විවිධ වැඩසටහන් රැසකම නිවේදන කටයුතු කළා. ඒ සඳහා මට අවස්ථාව ලබාදුන්නේ ජාතික රූපවාහිනියේ මහින්ද ගුණතිලක සර් සහ ලාල් මාවලගේ සර්. මං මේ වෙලාවේ ඒ සර්ලා දෙන්නව මතක් කරන්න ඕනේ.
ළමා නිවේදිකාවක් ලෙස ඉඳලා අධ්‍යාපන කටයුතු කර ගන්න ඕනේ නිසා සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය කරන කාලේ නිවේදන කටයුතුවලින් ඈත් වුණා.
උසස් පෙළ කළාට පස්සෙ නැවතත් ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.
එතකොට රංගනයට අවේ කොහොමද?
ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහතාගේ ටෙලි නාට්‍යයක තමයි මට ප්‍රථමයෙන්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. සඳඑළිය කියලා ටෙලි නට්‍යයක්. එ්කේ රොෂාන් පිලපිටියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට හිටියෙ. ඔය අතරේ මම දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වුණා. අවසන් වටයේ දොළොස් දෙනා අතරට ආවා. ඊට පස්සේ තුෂාර තෙන්නකෝන් සර්ගේ රාවණා, මල් පිපෙන කලේ හා හේල්‍යයන් යන ටෙලි නාට්‍යවලත් රඟපාන්න අවස්ථා ලැබුණා.
දැන් ඔබේ වෘත්තිය රංගනයද?
නැහැ. මම නීතිඥවරියක් ලෙස වැඩිදුර හැදෑරීමක් කරනවා. ඉදිරියේදී මං නීතිඥවරියක් ලෙස වෘත්තිය කටයුතු අරඹාවි. කොහොම වුණත් මම කලාවත් නීතිඥ වෘත්තියත් යන දෙකම සමබරව ඉදිරියට කරගෙන යාවි.
මේ දවස්වල ඔබව අපිට හමුවන්නේ?
දෙරණ නාළිකාවෙන් සති අන්තයේ සවස 04.55ට විකාශය වන හේල්‍යන් ටෙලි නාට්‍යයෙන්. මීට කලින් රූපවාහිනියේ ඩබින් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ කරල තිබුණ නිසා මට ඒකෙ ෂෙහානි කියන චරිතය කරන්න පහසු වුණා. ඒක ළමයෙකුගේ අම්ම කෙනෙකුගෙ චරිතයක්.
ඉස්සරහට සඳමිණිව අපිට දකින්න ලැබෙන නිර්මාණ තියෙනවද?
ටෙලි නාට්‍ය දෙකක ෂූටිං මේ වන විට පටන් අරගෙන තියෙනවා. තව ටෙලි නාට්‍යයක් ඉස්සරහට අයි.ටී.එන් එකේ විකාශය වීමට නියමිතව තියෙනවා. ඒත් ඒකම රාවණා තුන්වන අදියරේත් මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් ළඟදිම විකාශය වීමට නියමිතව තියෙනවා.
මෙතෙක් රඟපෑ නිර්මාණ දෙස ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ ?
ගොඩක් සතුටුයි එකිනෙකට වෙනස් චරිත තමා මට රඟපාන්න ලැබුණේ. ඒ තුළින් යම් යම් දේවල් ඉගෙන ගනිමින්, අත්දෑකිම් ලබමින් මගේ තියෙන අඩුපාඩුත් හදා ගනිමින් කලාවේ ආපු මේ ගමනේ අද ඇවිල්ලා ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. ඉස්සරහටත් ඒ විදිටම විවිධ චරිතවලට දායක වෙමින් දිගටම වැඩ කරගෙන යන්න තමා මගේ බලාපොරොත්තුව.
හේමන්ත බණ්ඩාර