Home » ටික් ටොක් තමයි මාර විස

ටික් ටොක් තමයි මාර විස

by thanushika
December 23, 2023 12:30 am 0 comment
අනුෂා රණසිංහ

ධනූ ඉන්නාසිතම්බි කියන්නේ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. නිවේදකයෙක් ලෙස පුළුල් ප්‍රේක්ෂක පරාසයක් ලබා ගෙන ඇති ධනූ මේ දිනවල රිදී තිරයෙන් දැක ගන්න ලැබෙනවා. ධනූ කියන විදිහට මේ ඇරියුම ලැබිලා තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ නීටා ප්‍රනාන්දු මහත්මියගෙන්. කොහොම නමුත් ධනූ රඟපාන සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ස්වර චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. වෙනස්ම අත්දැකීමක් නිසා ලැබෙන ප්‍රතිචාර ගැන දැන ගන්න අපි ධනූට කතා කළා.

ධනූට රිදී තිරයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ චරිතය බොහෝ දෙනාගේ හිතේ සංවේදීතාවක් ඇති කරන්නට සමත් වෙලා තියෙනවා කියන එක ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා. ඒ දේවල් එක්ක මගේ රංගනය ගැන මට සතුටු වෙන්න පුළුවන්. තව ඉතින් ෆිල්ම් එක බලපු හැමෝම මගෙන් අහන්නේ ඇයි මහත් වුණේ කියලා. ඒකට වෙනමම උත්තර දෙන්න ඕනේ එකක්.

ස්වර සිනමා නිර්මානයෙන් පසු වෙනත් සිනමා රංගනයකට ඇරියුම් ලැබුණේ නැද්ද?

මට ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක් ලැබුණා. මමයි දිනාරා පුංචිහේවායි රඟපාන්න හිටියේ. දෙසැම්බර්වල තමයි ෂූටින් තියෙනවා කිවුවේ. ඒකට මොනවා වුණාද කියන්න මමවත් දන්නේ නැහැ. මම දෙමළ චිත්‍රපටයක රඟපෑවා ඉරානී කියලා. ඒක ඉන්දියාවේ තිරගත වෙන ෆිල්ම් එකක්. විජයසේතුපති තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. එකේ ලංකාව ගැන කියැවෙන තැනක් තියෙනවා. එතැනදී මම එ්කේ පොඩි චරිතයක් කළා. තව මට ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාර ගන්නවා. රංගනය කියන දේ මම පොඩි කාලේ ඉඳන්ම ආස දෙයක්.

ධනූ, ජානු නාට්‍යය හරහා පුංචි තිරයටත් ඇවිත් නේ, කොහොමද ඒ අත්දැකීම?

ජානු හොඳයි. පළවෙනි එපිසෝඩ් දෙකම ට්‍රෙන්ඩින් වුණා. මිනිස්සු හිතුවේ නැහැ මම ඒ වගේ චරිතයක් කරයි කියලා. මම එකේ කරන චරිතය ගත්තම බැලූ බැල්මට හොඳ කෙනෙක් වගේ පෙනුණට එයා හිතන්නෙම නරක නපුරු දේවල්.

ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද?

ශලිනි එක්ක තව ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒක නම් කරලා තියෙන්නේ සී යූ කියලා. ඒක ඉස්සරහට එන්න තියෙනවා. තව චරිත දෙකකට ආරාධනා ලැබුණා. වෙනස් විදිහේ චරිත කරන්න ආසයි. මට සිංහල කියවන්න අමාරු නිසා ඒකට උදවු කරන්න පුළුවන් නම් ඉතින් සුපර්. වෙනස් චරිත ලැබුනොත් කරනවා. ඉස්සර නම් ඉංග්‍රීසි නාට්‍ය ගොඩක් කළා. දැන් ඒ දේවල් බලන්න කට්ටිය නැහැ. ඒ නිසා දැන් මේ පැත්තට පොඩ්ඩක් එන්න හිතුවා.

මේ කාලේ ධනුට වෙනස් අත්දැකීමක් තියෙනවා නේද? මේ කාලේ වෙනකම් ධනූ තමයි ආටිස්ලාව ඉන්ටවිව් කළේ. දැන් ධනූව ඉන්ටවිව් කරද්දී දැනෙන හැඟීම කොහොමද?

පොඩි වෙනසකට හොඳයි වගේ. සමහර වෙලාවට නම් තරහටමද මන්දා මම අහපු දේවල් ඔක්කොම හිතේ තියන් මගෙන් අහනවා වගේ. ඒ වෙලාවට නම් මේ මොන කරදරයක් ද කියලා සහ මම ඒ අයගෙන් ප්‍රශ්න අහද්දී ඒ අයට මම දෙන වදේ ගැන පොඩ්ඩක් තේරෙනවා.

ධනූට සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. කොහොමද ඒක දැනෙන්නේ?

ඒකට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම සිංහල නෙවෙයි. ඒත් මගේ වැඩසටහන් ආදරෙන් බලන එක ලොකු දෙයක්. මේකෙන් තේරෙන්නේ එකම එක දෙයයි. ලංකාවේ මිනිස්සු කවදාවත් ජාති ආගම් භේද බලන්නේ නැහැ. අනිත් අය කියන හින්දයි බලන්නේ.

ධනූ කෙට්ටු වෙන්න කැමති නැද්ද?

මම කියන්නම් හොඳ රහසක්. ඊයේ මම බලද්දී සති දෙකෙන් කිලෝ හයක් අඩුවෙලා තියෙනවා. ඉස්සරහට තමයි ඉතින් ඒ වෙනස පෙන්නේ. මොකද දැන් මම හිතන්නේ කිලෝ හයේ වෙනස පෙන්නේ නැහැ. කොණ්ඩෙන් ද කොහෙද අඩුවෙලා තියෙන්නේ.

කොණ්ඩේ කැපුවද?

නැහැ නැහැ. මේ කාලේ හම්බෙන හැම කෙනාම අහන්නේ ඇයි කෙට්ටු වෙන්නේ නැත්තේ කියලා. ඒ නිසාම මටත් හිතිලා තියෙන්නේ.

ධනූ මේ වෙද්දී ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි, ධනූට ඕන වුණෙත් ඒකමද?

මට පොඩි ආසාවක් තිබ්බා. මගේ තාත්තා කරපු දේවල් එක්ක බලද්දී මම මොනවත් කරලා නැහැ වගේ. එයා ජීවත් වුණු කෙටි කාලය තුළ කරපු දේවල් එක්ක බලද්දී. ඒ හින්දා මටත් ඕන වුණා මේ ලෝකෙන් යද්දී මමත් මොනව හරි කරපු කෙනෙක් විදියට යන්න.

ධනූට ලැබෙන කමෙන්ට්ස් කියවනවද?

මම ලොකුවට කමෙන්ට්ස් බලන්නේ නැහැ. සමාජ මාධ්‍ය තුළ උස වුණත් ප්‍රශ්නකොට වුණත් ප්‍රශ්න. මහත් වුණත් ප්‍රශ්න, කෙට්ටු වුණත් ප්‍රශ්න, සුදු වුණත් කළු වුණත් ප්‍රශ්න. මිනිස්සු කියන්න ඕන දේ කොහොමත් කියනවනේ. ඒ හින්දා ඔක්කොම ප්‍රශ්න. අනික ටික්ටොක් එක තමයි මාර විස. මමත් ටික් ටොක් ඉන්න නිසා මට පේනවා සමහර ඒවා. මම හැබැයි ලොකුවට හිතන්නේ නැහැ. හිතුව කියලා කමෙන්ට්ස් දාන අය හොයාගෙන යන්න කියලද? බැහැනේ. ඒ නිසා මම මගේ ගමන යනවා.

දැන් ගෙදර ඉන්නේ අක්කා නේද?

අක්කයි බව්වෝ 5යි.

ඒ අය ඔක්කොම ගත්තේ පාරෙන් නේද?

අනේ ඔව්. මම හැබැයි එහෙම කියන්න කැමති නැහැ. මොකද එහෙම කිවුවම පව් නිසා. මම කියන්නේ හැම බව්වෙක්ගෙන්ම වෙන්නේ එක දේ. එයාල දෙන්නේ ආදරය සහ රැකවරණය. අපිට ඉන්නවා එක සිංහල බව්වෙක්. එයාගේ නම මල්ලි. දෙමළ පූසෙක් ඉන්නවා එයාගේ නම සුබ්‍රමනියම්. අනිත් හතරම ඉංග්‍රීසි බව්වෝ.

කැමරාවෙන් දකින ධනූ ගෙදර ගියාම ඉන්නේ ඔය කට්ටිය එක්ක ද?

අම්මෝ ඔව්. නිදාගන්න කලින් පොඩි වධයක් වෙන්න ඕනේ. එයාලා බව්වෝ කියලා කරන්නේ එයාලට ඇවිත් කරදරයක් කරයි කියලා. එහෙම නැතුව අපිව බලාගන්න එක නෙවෙයි. එයාලත් අපි එක්කම නිදාගන්නේ ඇඳේ. අපිට ඉන්න පූසා මේ වෙනකම් එක මීයෙක්වත් අල්ලලා නැහැ. එයා දන්නෙත් නැද්ද කොහෙද එයා පූසෙක් කියලා. හැබැයි අපේ ගෙදර දාලා ගියා දෙසැරයක්ම. මොකද එයා ට්‍රයිෂෝ දැක්කම නැගලා යනවා. අන්තිමට මා එක්ක වැඩ කරන චලන එක්ක ගිහින්, සුමාන දෙකකින් ගෙදර ආවේ. දැන් නම් බයටම යන්නේ නැහැ.

දැන් 2023 ත් ඉවරයි 2024 බලාපොරොත්තු මොනවද?

මම මගේ ජීවිතේ ගොඩක් දේවල් අඩු කළා. අරගල කාලේ, කොරෝනා කාලේ, සුනාමි කාලේ සහ යුද්ධ කාලේ. එතකොට මම හරියට බැලුවොත් ඉපදිලත් නැහැ. ඇත්තට මම ආසයි වෙනස් චරිත කරන්න. ඒ එක්කම මම මගේ පොතක් එළිදක්වනවා. එකේ තියෙන්නේ අහිංසක විදිහට කොළඹ බලපු තරුණ කොල්ලෙක් ගැන.

ඒ කියන්නේ ධනූගේ ජීවිත අත්දැකීම්

ඔව්. මේකේ තියෙන්නේ මගේ ජිවිතේ අත්දැකීම්. මම ජීවිතේ පළවෙනි වතාවට කොළඹට ඇවිත් කාපු කෑම වෙන්නේ සොසේජස්. එතකම් මම කාලා තිබ්බේ නැහැ. අපි පොඩි කාලේ පල්ලියට යනවා ඉස්කෝලේ යනවා ගෙදර එනවා. වැඩිම වුණොත් ආන්ටිගේ ගෙදරට ගිහින් එනවා. අපේ ගෙදර සල්ලි ගොඩක් තිබ්බේ නැහැ. ටීවී ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. පොඩි රේඩියෝ එකක් විතරයි තිබ්බේ. ඒ නිසා සමාජය එක්ක ගැටෙන්න විදිහක් තිබ්බේ නැහැ. මම ජිවත් වෙලා තිබුණු වටපිටාව සහ ඇත්ත ජීවිතේ බැලුවම අහසයි පොළවයි වගේ.

දැන් ඔය පොත ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ද?

ඔව්. ඉංග්‍රීසියෙන්. මගේ අදහසක් තියෙනවා සිංහලට පරිවර්තනය කර ගන්න.

“ධනූට කියන්න” තව කාලයක් යයි ද?

එපිසෝඩ් 200ක් විතර කරලා වෙනසක් කරන්න අදහසක් තියෙනවා. මම දන්නවා ඔය ඇවිත් කියලා යන දේවල් ඔක්කොම ඇත්ත නෙවෙයි, බොරුත් කියලා යනවා. මම ඒත් ඉතින් ඒවා අහගෙන ඉන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division