Home » ලස්ස‍න මුහුණූ ඇතුළේ තියෙන කැත හිත කාටවත් පේන්නෙ නැහැ

ලස්ස‍න මුහුණූ ඇතුළේ තියෙන කැත හිත කාටවත් පේන්නෙ නැහැ

by thanushika
December 23, 2023 12:35 am 0 comment

ජීවිතේ කියන්නේ මහ අමුතු සංචාරයක්, ඒ අතරමඟ ගොඩක් අයව අපිට මුණගැහෙනවා , සම්බන්ධකම් හැදෙනවා. හැබැයි ඒ හැම සම්බන්ධයක්ම, හැම යාළුකමක්ම ගමනාන්තය වෙනකම්ම රැඳෙන්නෙ හෝ පවතින්නේ නැහැ.

හේතුවක් ඇතුව, හේතුවක් නැතුව, එහෙමත් නැත්තම් හේතුවක් හදාගෙන හරි, කාලයත් එක්ක ගොඩක් යාළු මිත්‍රකම් සම්බන්ධකම් නැති වෙලා යනවා, එහෙම නැත්තම් මග ඇරිලා යනවා.

ටිකක් වැඩ අඩු වෙලාවක පොඩ්ඩක් ජීවිතේ ආපස්සට ගිහින් බැලුවම, සමහර සම්බන්ධකම් නැති වෙලා ගිය එකම තමයි හොඳ කියලා හිතෙනවා. තවත් සමහර යාළුකම් කවදා කොහොම මොකක් නිසා නැති වුණා ද කියල තාමත් දන්නේ නැහැ. සමහර සම්බන්ධකම් හිතා මතාම අපිම මග ඇරලා. ඒ වගේම තවත් මිනිස්සු අපේ ඇස් අස්සට ආවේ මොකටද කියල හිතෙන වෙලාවලුත් තියනවා ,

සම්බන්ධකමක් පටන් ගන්නකොට අපි දැක්කෙ ඒ පුද්ගලයාගේ සැබෑ ස්වරූපය නෙමෙයි කියල අපිට තේරෙන්න ටිකක් කල් යනවා. හැබැයි පිටින් කොහොම පෙනුනත් ඇතුළේ ඉන්න සතාගෙ ස්වරූපය හරියටම පේන්න නම් සම්බන්ධය අවසාන වෙනකම්ම ඉන්න වෙනවා. මොකද හැමෝම එක එක ප්‍රමාණයන්ගෙන් රඟපානවා. හැබැයි තරහ ගිහින් එපා වෙලා සම්බන්ධයට තිත තියනකොට රඟපාපු චරිතේ ස්වභාවය අමතක වෙලා සැබෑ චරිතේ මතුවෙනවා ,

ඒ නිසා තමයි කියන්නේ ඕනම කෙනෙක්ගෙ සැබෑ ස්වරූපය බලන්න ඕනේ නම් ඒ කෙනාව තරහ ගස්සන්න ඕනේ කියලා. අතරමග බිඳිච්ච, නැවතිච්ච ඕනෑම සම්බන්ධයක් ගැන ආයෙත් සැරයක් හිතලා බලන්න. හමු වුණ දවසට වඩා ළඟ සිටි දවස් වල වෙනස්, ළඟ උන්න දවස් වලට වඩා සර්ව සම්පූර්ණ වෙනස් කෙනෙක් තමයි වෙන් වුණ දවසේ හිටියෙ. එහෙම නේද ?

අපි තමන්ගේ කියල හිතාගෙන හිටපු සමහර මිනිස්සු කරපු කියපු දේවල් මතක් වෙනකොට හොයාගෙන ගිහින් හොම්බට දෙකක් ඇනලා එන්න හිතෙන වාර නැතුවා නෙමෙයි , හැබැයි එහෙම හිතෙන්නෙ හරිම ටික කාලෙකට විතරයි .

ජීවිත සංචාරයේ අත්දැකීම් එකතු කරගෙන හිමින් හිමින් ඉස්සරහට යනකොට පරිණත වෙනකොට , ඒ වගේ කාබයිට් ගහලා ඉදවපු මිනිස්සු මතක් වෙනකොට තරහ වෙනුවට අනුකම්පාවක් දැනෙන්න පටන් ගන්නවා. එහෙම අය එක්ක වචන කියවගෙන රණ්ඩු වුණේ ඇයි කියලා අමුතු ලැජ්ජාවකුත් දැනෙන්න ගන්නවා, ලෝකෙ මොන තරම් දියුණු වුනත් තාම මිනිස්සුන්ගේ මූණ මිසක් හිත focus කරන්න පුළුවන් කැමරාවක් හදලා නැති නිසා ලස්සනට තියෙන මුහුණූ ඇතුළේ තියෙන කැත හිත අපි කාටවත් පෙන්නේ නැහැ,‍ ඒ නිසා, අනුන්ගේ හිත් වල තමන්ගෙකම හොයන්න ගිහාම හොම්බ විතරක් නෙමෙයි පශ්චාත්භාගයත් බිම ඇනිලා තමයි නවතින්නේ.

කවුරු කොහොම , මොන විදිහට ඔයාට සැලකුවත් ඒකෙන් කමක් නැහැ , ඔයා එයාගේ බාල්දියට වැටෙන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න. මොකද, අපිට අනිත් අයගේ යථා ස්වරූපය පෙනෙනවා වගේම අනිත් අයට අපේ ස්වරූපය පේන්නෙත් සම්බන්ධකම් අවසානයේදී තමයි.

සම්බන්ධතාව මුල මැද අග වගේම අවසානයෙදීත් අනිත් පාර්ශ්වයට සුන්දර මතකයක් ඉතුරු කරලා එන්න.

ඔබට කොච්චර රිදුනත්, ඔබ කොච්චර රැවටුනත්, ඔබ කොච්චර තරහින් හිටියත්, අමාරුවෙන් හරි, හිතින් බැණ බැණ වුනත් කමක් නැහැ කටින් ස්තූති කරන්න, ඔවුන් නිසා ඔබට ලැබුණු ආදරණීය මතක තව සැරයක් මතක් කරලා, හිනාවෙලා ස්තූති කරන්න,

මවු භාෂාවේ හොඳම ටික මතක් කරන්න ඕන වෙලාවක කට වහගෙන ස්තුති කරන්න වීම ගැන හිතිලා එදා රෑට නින්ද යන එකක් නැහැ.

මට මේ ටිකත් කියලම තරහ වෙන්න තිබ්බේ, අපරාදේ තව හොඳ ටිකක් කියන්න තිබ්බේ කියලා සතියක් දෙකක් යනකන් පසුතැවීමකුත් දැනෙයි ,

හැබැයි ඒ සිද්ධිය පහු කරලා ටික දුරක් ගිහින්, ඒ මතකය පරණ වෙලා , අහම්බෙන් ආයෙ මතක් වුණු දවසට සත්තයි ඔබට ඔබ හිතනවට වඩා ලොකු සැනසීමක් දැනෙයි ,

කේන්ති ගිහින් ඉන්න වෙලාවක හිතේ තියන හැමදේම කියලා දාලා ඒ මොහොතේ සැහැල්ලු වුණාට, කිව්වේ මොනවද කියලත් අමතක වුණාට , අහගෙන හිටපු මිනිස්සුන්ට ඒවා හැමදාම මතක තියනවා , අනිත් කෙනා උන්මත්තකයෙක් වගේ බනිද්දීත් ඔයා මුකුත්ම කියලා නැත්තම් , වෙන මොන දඬුවමක් නොදුන්නත් කමක් නැහැ , පහු වෙනකොට ඒ සිද්ධිය මතක් වුණහම ඔයාට දැනෙන සැනසිල්ල වගේ දහ ගුණයක පසුතැවීමක් එයාට දැනෙයි .

හමුවුණ මුල් දවසටත් වඩා හොඳින් හම්බෙන අවසාන දවසේ හැසිරෙන්න පුළුවන් මිනිස්සු හරියට කටේ ඉස්සරහ දත් වගේ ,

ඉන්නකොට අගයක් නැති වුණාට, ඒ වගේ වටිනා මිනිස්සු හැලිලා ගියාම ආයෙ කවදාවත් එයාලට පරණ විදිහට හිනාවෙන්න නම් බැහැ.

ඒ නිසා මොනම සම්බන්ධයකදී වුණත්, ඔවුන් ඔබට කොහොම සැලකුවත් , සම්බන්ධය මුල මැද කොහොම වුණත් අවසාන තත්පරේදී ඔවුන්ට ආදරණීය අවසානයක්, සෙනෙහෙබර මතකයක් දීලා නවතින්න ,

ඒ මතකය,

හෙට දවසේ ඔවුන්ව හඩවනවා.

ඔබව සනසනවා..

අනිශා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division