Home » හැම නත්තලම විශේෂ වුණා තාත්තා එක්කම ළඟින් ඉඳලා නත්තල සැමරූ නිසා

හැම නත්තලම විශේෂ වුණා තාත්තා එක්කම ළඟින් ඉඳලා නත්තල සැමරූ නිසා

by thanushika
December 23, 2023 12:30 am 0 comment

නිහඬව ජනප්‍රිය තරුවලට ගේය පද රචිකාවක් වූ ශ්‍රීමා පෙරේරාටත් ලංකාවේ නොදන්න කෙනෙක් නැති ගායකයෙක් වෙමින් අතිශය ජනප්‍රිය ගායකයෙක් වූ ග්‍රේෂන් ආනන්දටත් දාව උපන් ආදරණීය පුත් මරියෝ ආනන්ද හා දියණිය දුලාංජලි ආනන්දව මේ විදිහට ආගිය තොරතුරු කතා කරන්න රසඳුන අතරට එකතු කරගත්තා. ඉංග්‍රීසි බසින් රසට ගී ගයන මරියෝ හා ඉංග්‍රීසි බසින් පුවත් කියවන දුලාංජලි ගැනයි මේ.

තාත්තා නැතුව ගෙවන 13 වැනි නත්තල සමරන්න යන්නේ, ඔහු නැතුව ඔහුගේ මතක එක්ක ගෙවන ජීවිතේ කොහොමද..?

තාත්තා ජීවත් වෙලා ඉද්දි හැම අවුරුද්දෙම සමරපු නත්තල තමයි ලස්සනට සැමරුවේ. තවම හිතේ තියෙන්නේ ඒ හැඟිම. ඒ කාලේ වගේ තාත්තව හිතේ තියාගෙන මෙවරත් නත්තල සමරන්න උත්සාහ කරනවා. තාත්තා ගයපු ගීතිකා තියෙනවා, නත්තල් කාලෙට අපි ඒවා ඇහෙන්න දානවා. ඒ සුන්දර මතක මතක් කර ගන්න. ඇත්තටම කිව්වොත් දැන් ලොකුවට නත්තල සමරන්නේ නැහැ. නියම කතෝලික අය නත්තල සමරන ක්‍රමය වෙනස්. දැන් එය කමර්ෂල් එකක් වෙලා. වර්තමානයේ පාර්ටියක් දාන්න තමයි නත්තල සමරන්නෙ. කතෝලික අය එය නිහඬව මෙනෙහි කරන්නෙ. පරිත්‍යාගය කියන එක තමයි මේ ජීවිතයේ සැබෑ අරුත. එය කළ යුතු දෙයක් නමුත් එය කවුරුත් කරන්නේ නැහැ. ඉතිං අපිත් නිහඬව නත්තල සමරනවා තාත්තා නැතුව.

මරියෝ කියන්නේ තාත්තා එක්ක ළඟින් ම හිටපු පුතෙක්. ඔහු ජීවතුන් අතර සිටින විට සමරපු ඔබට අමතක නොවනම නත්තල මතකද..?

තාත්තා නත්තල වෙනුවෙන් ගීතිකා නිර්මාණය කරනවා. ඒවා රෙකෝඩිං කරන්න යද්දී මාවත් එක්කගෙන යනවා. අපිත් එක්කමයි තාත්තා නත්තල් කාලේ ගතකරන්නේ. දෙසැම්බර් 25 කියන්නේ තාත්තා කොහේවත් නොගිය දවසක්. මුදල් හම්බ කරන්න ඕන කියලාවත් එයා ප්‍රසංග වේදිකාවට නැග්ගෙ නැහැ නත්තලට. ඒනිසා මට හැම නත්තලම විශේෂ වුණා මොකද තාත්තා එක්කම ළඟින් ඉඳලා නත්තල සැමරූ නිසා.

දැන් හිතෙනවා ඇති තාත්තා තව ටික කාලයක් ජීවතුන් අතර හිටියා නම් කියලා?

මගෙ තාත්තා වයස 53න් මිය ගියේ. මම ඊටත් කලින් මිය යන්න ඕන කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. මේ මගේ තරුණ කාලේ. කලාකරුවෙක් හැටියට මම ඉන්නේ පීක්ම කාලේ. මම හිතනවා මගේ පීක් කාලෙම දෙවියන් මගේ ජීවිතේ මේ ලෝකෙන් ගනියි කියලා. මම මෙහෙම කියද්දි මම ඉන්නෙ කළකිරීමෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මරණයට පත් වෙන්න කලකිරෙන්න ඕන නැහැ. මම ජිවිතේ ජය අරගෙන ඉවරයි. මම පුතෙක්, මල්ලි කෙනෙක්, යාළුවෙක් වගේම ගායකයෙක් විදිහට මේ ලෝකෙට ඇවිත් යම් දෙයක් කළා. තාත්තත් එහෙමයි. ඒ නිසා මට හිතන්නේ නැහැ කොයි මොහොතකවත් තාත්තා ඉක්මනින් අප අතරින් සමුගත්තේ අපරාදේ කියලා .

නිර්මාණ කරද්දී සමාජය එක්ක ගැටෙද්දි ඔහුගේ අඩුව ඔබට තදින්ම දැනෙන්න ඇති..?

ඔව්. ඒ නිසාම මම සින්දුවක් ලිව්වත් සංගීත නිර්මාණය කරත් ඒවාට මම තාත්තාගේ ගීත ඛණ්ඩ ඕනෑකමින් එකතු කරනවා. ඒක කරන්නේ තාත්තගේ මතකය මාත් එක්ක තියා ගන්න. ඒ වගේම ඒකෙන් ලස්සනක් එකතු වෙනවා හා මට සංවේදි භාවයක් දැනෙනවා. මට ඔහුව නිතරම මතක් වෙනව. මම අලුත් නිර්මාණයක් කරන්න ලෑස්ති වෙද්දී තාත්තා ගේ ගීතයක් කොහෙන් හෝ ඇහෙනවා. මම බස් එකේ යද්දී තාත්තගේ ගීත ඇහිලා ඒවා ඒ මොහොතේ රසවිඳිමින් අතීතයට යනවා. ග්‍රේෂන් ආනන්ද කියන්නේ අමරණීය කලාකරුවෙක්. ඉතිං ඔහුව මට තදින්ම දැනෙනවා අමතක කරන්න අමාරුයි.

ඔබ දක්ෂ ඉංග්‍රීසි ගීත නිර්මාණය කරමින් ගයන්නෙක්. අලුත් නිර්මාණ මොනවද? යන රැල්ලට හැප්පෙන්න අකැමැති කෙනෙක් ද ඔබ..?

හැම සිකුරාදාම 7.30 ත්‍රී විෂන් නාළිකාවේ මම ක්‍රිඩා වැඩ සටහනක් කරනවා. ඊට අමතරව මම අලුත් නිර්මාණ කරනවා. මට ක්ෂේත්‍රයේ වැඩ ලැබෙන්නේ නැහැ. මම වැඩ හදා ගන්නවා. මමම සීමා මායිම් නැති තැනක් නිර්මාණය කර ගන්නවා. Living on the edge එක එක්ක මම වැඩ කරන්නේ teenage අයත් සමඟ. ඒ තුළින් අලුත් නිර්මාණ කරනවා. මම එක වේදිකාවක් බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මට ලෝකේ ඕනම තැනක ගිහිං මගේ දක්ෂතා එළිදක්වන්න හැකියාව තියෙනවා. මගේ හැකියාව මම පුළුවන් විදිහට එළිදක්වනවා. මට රැලි අදාළ නැහැ මගේ ගමනට.

මරියෝ හරිම සරල නිහඬ කෙනෙක්. ඇයි ඒ..?

සරලයි නිහඬයි කියන්නේ සාපේක්ෂ දෙයක්. මාව ළඟින්ම ආශ්‍රය කළොත් කෙනෙක් පුදුමයෙන් පුදුමයට පත් වෙයි. ඒක සරලත් නැහැ නිශ්ශබ්දත් නැහැ . ක්ෂේත්‍රයට මම නිහඬ හා සරල ඇති.

අක්කයි අම්මයි එක්ක ගෙවන ජීවිතේ කොහොමද ,..?

තාත්තා නැති වුණාට පස්සේ අක්කා තමයි මගේ හැම දේකටම උදව් කරන්නේ . මගේ සමහර නිර්මාණ හරි අමාරුයි කරන්න. ඒවා කරන්න මුදල් ඕන. ඒත් අම්මයි අක්කයි කවදාවත් “එපා ඕවා කරන්න… අපට ඕවා කරන්න බැහැ…“ කියන්නේ නැහැ. එයාලත් ඔට්ටු වෙමින් මාත් එක්ක මේ ගමන යනවා. තාත්තා හිටියා නම් තාත්තාත් එහෙම වෙයි. අපි සල්ලි ගැන නොහිතා වෙනස් අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා.

නිර්මාණ සඳහා අම්මගෙන් ඔබට ලැබෙන සහාය, ඇය අතින් ලියැවුණු කැමතිම ගීතය මොකක්ද?

අම්මා මම අක්කා වෙනුවෙන් සැහෙන කැප වීමක් කළා. දැන් ඇය නිදහසේ ජීවත් වෙනවා. මම අම්මට කරදර කරන්නේ නැහැ සින්දු ලියන්න කියලා. මම කිව්වොත් ලියලා දෙයි. අම්මා තාත්ති එක්ක ආදරේ කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා ලියපු ගීත 200ක් විතර පොතක් විදිහට ලියලා මට දීලා තියෙනවා. ඒකෙන් මම පද රචනාවක් අරන් මියුසික් කරලා හදලා ගත්ත අවස්ථා තියෙනවා. අම්මා ලියපු ගීත අතරින් රෑ නිදි යහනේ කියන ගීතයට මම ආසයි. ඒක සංගීතවත් කළේ තාත්ත. ගායනා කරන්නේ විජය කුමාරතුංග මහත්තයා. ඒක එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් ලස්සනයි. එතුමා දේශපාලන ප්‍රශ්න එක්ක සිරගත වෙලා එළියට ආපු දවසක තාත්තාව මුණගැහිලා කියලා තියෙනවා “ග්‍රේෂන් මගේ ඔළුව විකල් වේගෙන එනවා. එහේ තිබ්බ ප්‍රශ්න එක්ක මාව හරියට පීඩනයට ලක් කළා. දැන් මට මේ මානසික පීඩනයෙන් එළියට එන්න ඕන… ග්‍රේෂන් මට සින්දු ටිකක් කරලා දෙනවද?“ අහලා. තාත්තා කැසට් පටයේ සියලුම ගීත සංගීත අධ්‍යක්ෂණය කරලා දීලා තියෙනවා. ඒ කැසට් එකට අම්මා ලියූ ගීතයක් තමයි රෑ නිදි යහනේ කියන ගීතය. මම ඒ ගීතයට හරි ආසයි.

මාරියෝගේ කතා බහෙන් අනතුරුව ඔහුගේ සහෝදරිය දුලාංජලි ආනන්ද අබේකෝන්ව කතාබහට සම්බන්ධ කරගත්තා, පියාගේ මතක එක්ක ඇය ගැන කතා කළේ මෙලෙසිනුයි

මරියෝව ගායකයෙක් විදිහට සමාජය දැක්කත් දුලාංජලි ඔබව දකින්නේ නිවේදිකාවක් විදිහට ..?

ඔව්. මම චැනල් අයි නාළිකාවේ ඉංග්‍රීසි ප්‍රවෘත්තී නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. නිවේදිකාවක් විදිහට ආරාධනා ලැබෙන්නේ ලියෝනි කොතලාවල මහත්මියගෙන්. ඇය කිව්වා “ඔයාගේ ඉල්ලුම් පත්‍රයක් දෙන්න. අපි යොමු කරමු“. පසුව මට ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා කියලා කිව්වා. මම බැහැම කිව්වා. එතකොට මම රැකියාවක් කළා. එතුමිය ඇයගේ පුතාට සීවී එක යොමු කරලා මාව සාමාන්‍ය ප්‍රොසිඩීයර් එකට යොමු කරා. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහිං මම කිව්වා මට ඉක්මනින් යන්න ඕන මුලින්ම මාව ගන්න කියලා. මම ඒක ඉවර වෙලා ගෙදර ගියා. ඊට පස්සේ තව ස්ක්‍රින් ටෙස්ට් දෙකකට එන්න කිව්වා. පස්සෙ කිව්වා ඔයාව තෝරා ගත්තා ඇවිත් වර්ක් ෂොප් හා ට්‍රේනිං එකට සම්බන්ධ වෙන්න කිව්වා. ඒ විදිහට අකමැත්තෙන් ගිය ගමන දැන් කැමැත්තෙන් යනවා.

ඒ කියන්නේ දුලාංජලි නිවේදිකාවක් වෙන හීනයක හිටපු කෙනෙක් නෙමෙයි ..?

නැහැ , දැන් කාලේ ළමයි පුංචි කාලේ ඉඳලා ජනප්‍රිය වෙන්න හෝ කලාවට යොමු කරන්න දෙමාපියන් උත්සාහ ගත්තට ඒ කාලේ තාත්තා එක්ක සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන ටීවි ප්‍රෝගෑම්වලටවත් සම්බන්ධ වෙන්න පාසලෙන් අවසර දුන්නෙ අඩුයි. මම තමයි නිව්ස් බලන්නෙ වැඩිපුර බීබීසී චැනල් එක. මමත් තාත්තා එක්ක නිව්ස් බලලා තියෙනවා. ඒ අය නිව්ස් රීඩ් කරන විදිහට හා ඒ පෞරුෂත්වයට මම ආස කළා. ඒත් නිවේදිකාවක් වෙන්න හිතුවේ නැහැ. තාත්තා නැති වුණාට පස්සේ මමයි මල්ලියි රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබිලා ගියා. ඒ වැඩ සටහන්වල කතා කරන විදිහ දැකලා ගොඩක් චැනල් වලින් කතා කළා ප්‍රසන්ට් කරන්න. ඒත් මම ගියේ නැහැ.

ඔබත් තාත්තා එක්ක නත්තල් කාලෙට සින්දු කියපු කෙනෙක් ..?

නත්තල් කාලෙට මම තාත්තා එක්ක සින්දු කියලා තියෙනවා. ඒ වගේම මම වෙළෙඳ දැන්වීම්වලට ගොඩක් ගායනා පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මමත් පුංචිම කාලේ ඉඳලා සල්ලි හම්බ කරපු කෙනෙක්. ඒත් ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි . මම රැකියාව එක්ක කාර්යබහුල වෙද්දී මල්ලි ඇහුවා ඇයි ඔච්චර දුවන්නෙ නතර වෙලා ටිකක් ජීවිතේ විඳින්න කියලා. තාත්තා නැති වුණාට පස්සේ මල්ලි තමයි අපේ ආරක්ෂකයා. පුංචි කාලේ තාත්තා එක්ක සුන්දර මතක ගොඩක් තියෙනවා , ඒත් මම රැකියාව කරන්න පටන් ගද්දි මම බිසී වුණා. මල්ලි තාත්තා එක්ක ගොඩක් සමීප වුණා. මොන දේ වුණත් තාත්තා තවම අපි අතරේ ඉන්නව වගේ තවම දැනෙනවා. මගේ ෆෝන් එකේ තවම තියෙන්නේ තාත්තාගේ සින්දු. මොකද තාත්තා සින්දු හදලා නාළිකාවලට දුන්නත් නොගිය ගීත සෑහෙන්න තියෙනවා. ඒවා හරිම ලස්සනයි. මල්ලිගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා ඒවත් මම ෆෝන් එකට දාගෙන නිතරම රස විඳිනවා.

ඇයි ඔබ ගායිකාවක් විදිහට වැඩිය දකින්න නැත්තේ..?

දැනුත් මම මල්ලි එක්ක ගීත ගායනා කරන අවස්ථා තියෙනවා. නමුත් මට වඩා මල්ලි ගයන්න දක්ෂයි. එයාගේ ගීත 70ක් විතර තියෙනවා. ඒවා එයාගේ යූ – ටියුබ් නාළිකාවෙන් අහන්න දකින්න පුළුවන්. ඒයා වගේ දක්ෂ කෙනෙකුට මාධ්‍ය නාළිකාවලින් ඉඩක් ලැබෙන්නේ නැහැ කියන්නේ මට කොහොමත් තැනක් නැහැ . තාත්තාටත් ඒ දේම වුණා. නමුත් අපි අපේ ගමන යනවා. තාත්තා කළෙත් සින්දු හදපු එක. මල්ලිත් නිතරම සින්දු කරනවා. මම නම් පුළුවන් විදිහට තමයි ඒ පැත්තට යොමු වෙන්නෙ. ඒකට විශේෂ හේතුවක් නැහැ.

ග්‍රේෂන් ආනන්ද ගේ දියණිය බව දැනගෙන ප්‍රතිචාර දක්වන අය ඉන්නවද..?

අපේ පාසලට තාත්තා සංගීතය පැත්තෙන් ගොඩක් සේවය කරපු කෙනෙක් , මමත් ගිටාර් එක ප්ලේ කළා. ඒත් පාසලේ සංගීත වැඩ වලට ලොකුවට සම්බන්ධ වුණේ නැහැ. තාත්තා උදව් කළ නිසා පාසලේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියා මම කාගේ කවුද කියන එක. ඒත් මම වැඩ කරපු තැන්වල බොහෝ දෙනෙක් මම අහවලාගේ දුව කියලා දැනගත්තේ රැකියාවෙන් අයින් වුණාටත් පස්සෙ. එහෙම දැනගෙන ආ කිව්වෙවත් නැහැ නේද කියලා අහපු අයත් හිටියා. මට ඕන වුණේ හැමදාම මගේ අයිඩින්ටි එක හදාගන්න මගේ දක්ෂතාවලින්. ලොකුවට නැත්තත් මටත් ප්‍රතිචාර ලැබෙන අවස්ථා තියෙනවා

තාත්තා නැතුව සමරන නත්තල් කාලය එක්ක බලද්දී ඔහු එක්ක සමරපු නත්තල් කාලය සුන්දර ඇති..?

තාත්තා ජීවත් වෙලා ඉන්නකොට මධ්‍යම රාත්‍රීය ගත කරන්න අපි පල්ලි යනවා අනිවාර්යයෙන්ම. අම්මා සියලු දේ ලෑස්ති කරනවා. ඊට පස්සේ ආච්චි සීයා පවුලේ අය එක්ක කෑම ගන්නවා. හරි සාමයෙන් සතුටින් නත්තල ගත කළා. දැන් පුළුවන් හැම වෙලාවෙම පල්ලි යනවා. පල්ලි වහලා නම් පන්සල් හරි ගිහිං එනවා.

අතිශය ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වූ ග්‍රේෂන් ආනන්ද විවාහ කර ගන්නෙ දක්ෂ පද රචිකාවියක්. මව ගැනත් කියමු කතාබහ අවසන් කරන්න කලින්..?

අම්මා ශ්‍රිමා චන්ද්‍රානි පෙරේරා . තාත්තා එක්ක විවාහ වෙන්නත් කලින් ඉඳලම අම්මා සින්දු ලියලා තියෙනවා. අම්මා මුලින්ම සින්දුව ලියලා තියෙන්නේ විජය කුමාරතුංග මහත්මයාට. අම්මා ලියපු ගීත තාත්තා වගේම මමත් මල්ලිත් ගායනා කරලා තියෙනවා. මොන තරම් ප්‍රශ්න බාධක තිබ්බත් පවුලක් හැටියට ජීවත් වෙන්නෙ කොහොමද කියලා අම්මාගෙන් ඉගෙන ගන්න අපට පුළුවන් වුණා . එයා හරිම strong කෙනෙක්. තාත්තා මම මල්ලි එක්ක එයා ආවේ ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි. ඒත් අද අම්මා සතුටින් නිදහසේ ජීවත් වෙනවා තාත්තාගේ මතක එක්ක.

 හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division