Home » එකිනෙකාට කියා නොගත්තත් දෙන්නගෙම ඉරියව්වල කැමැතියි කියන එක තිබුණා

එකිනෙකාට කියා නොගත්තත් දෙන්නගෙම ඉරියව්වල කැමැතියි කියන එක තිබුණා

by thanushika
December 23, 2023 12:30 am 0 comment

බොහෝ විට අපේ කතාබහට ලක්වන්නේ පුංචි තිරයේ නිතර දිස්වන ආකර්ෂණීය චරිත පිළිබඳවයි. එවන් චරිත ඔපමට්ටම් කර නෙතට රසඳුනක් කරන්නට තිරය පිටුපස සිට වෙහෙසෙන කෙනෙක් ගැනයි අද අපේ කතාබහ. ඇය ක්ෂේත්‍රයට සුවිශේෂී චරිතයකි. නමින් කවී විජේගුණසිංහ වන ඇය වර්තමානයේ ටෙලි නිර්මාණ සංස්කරණයේ යෙදෙන එකම කාන්තා නියෝජනය බවට ද ඉඟි පළවෙයි. ටෙලි නාට්‍ය සංස්කරණය යනු නිර්මාණයේ සාර්ථකත්වයට සෘජුවම බලපාන කොටසකි. අද අපේ කතාබහට ඇය එක් කර ගන්නට සිතුවේ ද ඇගේ ඒ සුවිශේෂත්වය නිසාය.

සාමාන්‍යයෙන් තරුණියක් තෝරගන්නෙ නැති දුර්ලභ පැත්තක් තෝරාගැනීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තම කිවුවොත් මේක අපේ අම්මගෙ කැමැත්ත. මං ආස වුණේ ෆැෂන් ඩිසයිනින් පැත්තට. අම්මට තමයි ඕන වුණේ මාව එඩිටින් පැත්තට යොමු කරන්න. උසස් පෙළ ඉවර වුණ ගමන්ම අම්ම මාව ටෙලිවිව් ආයතනයට සම්බන්ධ කළා. ඒකෙ ඩිප්ලෝමා එක ඉවර වුණ ගමන් විජය ග්‍රැෆික් එකේ සංස්කරණය පාඨමාලාව කළා.

එතකොට ටෙලි නාට්‍ය සංස්කරණයට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

සංස්කරණය ගැන හදාරමින් යද්දි තමයි මට ලක්රුවන් ද සේරම් අයියා හඳුනගන්න ලැබෙන්නෙ. ඒ් තාරක කියන මගේ යාළුව නිසා. එයා ඒ වෙද්දිත් බෙස්ට් එඩිටර් අවෝඩ් එක හත් අට වතාවක්ම අරන් තිබුණා. ඒ දවස්වල තුෂාර තෙන්නකෝන්ගේ ලෝකාන්තරයෝ කියන ටෙලි නාට්‍යයේ එයා එඩිටර් විදිහට කටයුතු කළා. මට එයාගෙ ඇසිස්ටන් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මං ලබපු පළමු අත්දැකීම. ඊට පස්සෙ දිගටම තුෂාර තෙන්නකෝන්ගේ ටෙලි නිර්මාණවල සංස්කාරක විදිහට වැඩ කරන්න ලැබුණා. පළවෙනි වතාවට තනියම එඩිට් කළේ රාවණා සීසන් -1. පටන් ගනිද්දි නම් මට බය හිතුණා. බලපු ඕනෑම කෙනෙකුට තේරෙන්න ඇති ඒක ලොකු වැඩක් කියලා. අධ්‍යක්ෂ තුෂාර අයිය වගේම ලක්රුවන් අයියත් මට ගොඩක් උදවු කළා. ඊට පස්සෙ දිගටම තුෂාර අයියගෙ ටෙලි නිර්මාණ ලැබුණා. රාවණා සීසන් තුනම ලැබුණා. දෙකක් දැනටත් විකාශය වෙලා ඉවරයි. සීසන්- 3 සංස්කරණයේ තියෙන්නෙ. ඊට අමතරව මිහි, මල්පිපෙන කාලේ, හේල්‍යන්, රෝස සුදුයි ආදරියේ වගේම මේ දවස්වල විකාශය වන නිකිණි කුසුම්. මේ වෙද්දි අටකට විතර සම්බන්ධ වෙලා තියෙනවා.

සංස්කරණ ශිල්පිනියක් විදිහට ඔබේ කාර්ය මොකක්ද කියල ඇහුවොත්?

සාමාන්‍යයෙන් රූගත කිරීමකදී ඒ දවසට අදාළ ඔක්කොම රූගත කරනවා. ඒ ක්ලිප්ස් පිළිවෙළකට අරගෙන අවශ්‍ය විදිහට, අවශ්‍ය තැනට සංගීත ඛණ්ඩ දාලා, කලර් කරලා, චැනල් එකකට දෙන තැනට වෙනකල්ම මගේ කාර්ය. අවුට් පුට් එකේ වරදක් වුණොත් ඒකට වග කියන්න ඕන. චැනල් එකට යවන්න කලින් ඩිරෙක්ටර්ට දානවා. එයා බලලා එයාගේ අයිඩියා එකක් තිබුණොත් ඒකත් එකතු කරල තමයි යවන්නෙ.

එතකොට සංගීතය යෙදීම සිදුවෙන්නෙ කොහොමද?

රෆ් එඩිට් එකක් මං මියුසික් ඩිරෙක්ටර්ට යවනවා. එයා එයාගෙ අයිඩියා එකට මියුසික් ට්‍රැක් එක එවනවා. ඊට පස්සෙ මං සීන්වලට අදාළ විදිහට මියුසික් ඛණ්ඩ මුසු කරනවා. සමහර වෙලාවට ඩයලොග් යටින් මියුසික් යනවා. පසුබිමෙන් ඇහෙන්නත් පුළුවන්. ඒ වගේ ඒ ඒ තැනට ගැළපෙන විදිහට යොදනවා.

ප්‍රේක්ෂකයාට සැඟවුණු චරිතයක් විදිහට තිරය පිටුපස ඉන්න ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ ෆීල්ඩ් එකට සම්බන්ධ අය නම් දන්නවා එඩිටින් කිවුවම මොකක්ද කෙරෙන්නෙ කියලා. ඒත් ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට මේ කාර්යය පැහැදිලි කරන එක ලේසි නෑ. රාවණා සීසන් – 1 එඩිට් කළේ ගෑනු ළමයෙක් කියල දැනගත්තම ක්ෂේත්‍රයේම ගොඩක් අය පුදුම වුණා. රාවණා ෂූට් කරද්දිත් ලොකු වෙහෙසක් ගන්න වුණා. ඒක බලපු අය දන්නව ඇති ලේසි නෑ කියලා. අනික සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක් රූගත කිරීමක දි සාමාන්‍ය දෙබස් ඕඩියෝ රෙකෝඩ් වෙනවා. ඒක එඩිට් කරන්න තමයි තියෙන්නෙ. නමුත් රාවණා එක සම්පූර්ණයෙන්ම ඩබ් කළා. ඒක ලොකු ක්‍රියාවලියක්. ඕඩියෝ රෙකෝඩ් වුණු වොයිස් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා ආයිම හඬ කවන්න වුණා. එතැනදි කෙරෙන්නෙ දෙබස් විතරයි. ඊට අමතරව සාමාන්‍යයෙන් පසුතලයකදි ඇහෙන ශබ්ද තියෙනවනෙ. අපි ඒවා අලුතින් ඇතුළු කරන්න ඕන. ඒකට කියන්නෙ folley කරනව කියලා. අඩි ශබ්ද, සුළං ශබ්ද, කුරුල්ලො කෑගහන ශබ්ද වගේ දේවල් තිබුණොත් අපි ඒව එකතු කරන්න ඕන. එතනදි අපි ඕඩියෝ ඉංජිනියර් කෙනෙකුගේ සහාය ගන්නවා. ඔහු තමයි ස්ක්‍රිප්ට් එකට අනුව ඒ ඒ ශබ්ද දාන්නෙ.

රංගන ශිල්පීන්ට නම් සෙට් එක කියන්නෙ විනෝදජනක තැනක්. ඒත් එඩිටර් විදිහට ඔබ ඉන්නෙ ස්ටුඩියෝ එකටම වෙලා. ඒකාකාරී බවක් දැනෙන්නෙ නැද්ද?

එකම දවසෙ සීන් දහයක් ගත්තොත් දහ විදිහක්. ඒ නිසා ඒකාකාරී බවක් නම් දැනෙන්නෙ නෑ. අනික ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍යයටත් වෙනස් වෙනවා. දවසකට සාමාන්‍යයෙන් සීන් 15ක් විතර එඩිට් කරන්න පුළුවන්. වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. රාවණා එකේ දවසකට එච්චර කරන්න අමාරුයි. රාවණා – 3 පරක්කු වෙන්න හේතුවත් ඒක.

ක්ෂේත්‍රයේ කාටවත් වැඩිය ඇහැ ගැටෙන්නෙ නැති කවීගෙ හිත ගැටුණු කෙනෙකුත් ඇතිනෙ. ඒ ගැනත් කියමු?

එයත් මේ ක්ෂේත්‍රයේම ඕඩියෝ පැත්තට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා එයා මගේ රැකියාව ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. අපි දෙන්නා යාළු‍වො විදිහට ගොඩක් කල් ආශ්‍රය කළා. එකිනෙකාට කියා නොගත්තත් දෙන්නගෙම ඉරියවුවල තිබුණා දෙන්න දෙන්නට කැමැතියි කියන එක. අන්තිමට අපි ආදරවන්තයො වුණා. එයාගෙන් ලැබෙන නිදහස, ඒ සපෝට් එක නිසා තමයි මට මේ කාර්ය හොඳින් කර ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division