Home » ඇත්තම කිවුවොත් රමියා දැන් වෙනස් වෙලා

ඇත්තම කිවුවොත් රමියා දැන් වෙනස් වෙලා

by thanushika
December 23, 2023 12:30 am 0 comment

බාලවියේ සිටම සංගීතයට ඇලුම් කළ ඔහුට තමන්ගේම ගමනක් යන්නට මාවත සකසා ගැනීම බොහෝ අසීරු වූයේය. අද වන විට ඔහු හොඳ ගමනක් පැමිණ ඇත්තේය. ඔහු නම් කුලතුංග මුදලිගේ රමීෂ් ශෂිංක ජයශාන්ය. නමුදු එහෙම කිව්වාට කිසිවෙක් ඔහු ගැන දන්නේ නැත. එහෙත් අද වන විට ගායන ක්ෂේත්‍රයේ යේය් ඉහළ නමක් දිනා සිටින ‘රමියා‘ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මේ කතාබහ ඒ ‘රමියා‘ සමඟයි.

කොහොමද සංගීතය පැත්තට එන්නේ?

පොඩි කාලේ ඉඳන්ම මගෙ ආසාව තිබුණේ සංගීතයට. නමුත් මට තිබුණ ආර්ථික අපහසුකම් එක්ක සංගීතයෙන් දුරක් යන්න හා ජනප්‍රිය වෙන්න මට බැරි වුණා. මගේ හැකියාව දක්කේ මාත් එක්ක හිටපු අය සහ මගේ ගෙදර අය. මගෙ බාලවියේදී ඔවුන් මට පුළුවන් උපරිමයෙන් අතහිත දුන්නා. විශේෂයෙන්ම මගේ අම්මා. එයා එයාට කරන්න පුළුවන් උපරිම දේවල් මං වෙනුවෙන් කළා. ඒ වගේම මගේ සහෝදරයන් සමඟ අපි සමහර නිදහස් වෙලාවන්වලදී පොඩි සංගීත කණ්ඩායමක් හදාගෙන ගීත කියනවා. මම අවුරුදු 7ක් පිහිනුම් උපදේශකයෙක් විදිහට කටයුතු කළා. මම වැඩ කලේ NCC එකේ රේන්බෝ පිහිනුම් ආයතනයේ. එහිදී මම මිතුරන් එක්කත් සාදවලදී සහ එක්රොක් වූ සෑමතැනකදිම ගී ගයනවා. නමුත් පවතින ආර්ථික ප්‍රශ්න සමඟ සංගීතය හරහා උඩට එන්න මට පුළුවන් වුණේ නෑ. හැබැයි මගේ හිතේ තිබුණා අපි යමක් ආසාවෙන් කරනවා නම් ඒ දේවල් අපිට අනිවාර්යයෙන්ම කවදා හරි ස්වභාවධර්මයාගෙන් ලැබෙනවා කියලා. ඒ විශ්වාසය එක්ක පුහුණුවීම් කරමින් ජීවත් වුණා.

ඔබේ ගීතවලට හැකියාවට ගමෙන් ලැබුණ සහාය කොහොමද ?

මගේ ගම අලුත්ගම. ඒක සංචාරක ව්‍යාපාරත් එක්ක බැඳුණ ගමක්. ඒ අලුත්ගමින් ලැබුණ ආදරයට මම තාමත් ගරු කරනව. ඒ වගේම මතක් කරන්න ඕනේ දකුණු පළාත. මගේ රෙගේ ස්ටයිල් ගීත වලට වැඩිම අවස්ථාව ලැබුණේ දකුණු පළාතෙන්. හික්කඩුව, ගාල්ල, උණවටුන, තංගල්ල, පොල්හෙන වගේ තැන්වල ආදරණීය මිනිස්සු . හික්කඩුව මැම්බොස් / Vibration අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මුල් වකවානුවේ එවැනි සංචාරක ප්‍රදේශ තමයි මට මගේ සංගීතය ව්‍යාප්ත කරන්න අවස්ථාව දුන්නේ. ඒ නිසා මම දකුණු පළාතට මාර ආදරෙයි. දකුණට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ආදරෙයි. නමුත් දකුණ මට විශේෂයි.

ද වොයිස් තරගයෙන් ජය ගන්නට හීනයක් තිබුණද?.

ඇත්තටම ‘ද වොයිස්‘ කියන්නේ මගේ ජීවිතයේ වැදගත්ම මතක අතර ඉහළින්ම තියෙන එකක්. මාව ගායකයෙක් විදිහට මුළු ලෝකයම දැනගන්නේ ‘ද වොයිස්‘ තරගය හරහා. රමියා කියන නම බ්‍රැන්ඩ් නේම් එක ලෝකයට හදුන්වාදෙන්න අතහිත දීපු මාධ්‍ය තමයි සිරස. ඒකට ඇප්ලිකේෂන් එකක් දැම්මේ මේ මට බ්‍රෑන්ඩ් එකක් විදිහට ප්‍රසිද්ධවෙන්න තියන අවසාන අවස්ථාව විදිහට හිතලා. මීට කලින් තිබුණ වොයිස් තරගයේ මුල් වටයෙන්ම මම ඉවත් වුණා. එදා ඉදන් මම බලන් හිටියේ ආපහු කවද ද වොයිස් තරගය තියෙන්නේ කියලා. ඒ නිසා මුල් වටයේ ඉදන්ම මගේ හිතේ තිබුණ දෙයක් තමයි කළ හැකි උපරිමයම කරන්න ඕනේ කියන එක. පළමු වටයේ ඉදන්ම මම ද වොයිස් කියන තරගයේ ජිවත් වුණා.

වොයිස් බ්ලයින්ඩ් වටයේ රමියා තමන්ව හඳුන්වා දෙන්නේ අමුතුම විදිහට. ගම ගැන රෙගේ ස්ටයිල් ගීතයකින්. ඒ ගැන ටිකක් කියමු?

හුඟක් අය සංගීත ක්ෂේත්‍රයට එන්නේ කවර් සෝන්ග් හරි වෙන කෙනෙක්ගේ ගීත කියලා. නමුත් මම පළමු ගීතය කළේ කොළඹ ගිහින් රැකියාව කරලා සල්ලි එකතු කරලා. පද රචනාව සහ තනුව කළේ මමමයි. ඒක තමයි මගේ ගම ගැන කියවෙන ඔය සින්දුව. ඒ දවස්වල සියයක් හෝ දෙසියයක් මේ සින්දුව අහන්න ඇති. වොයිස් වේදිකාවේ බ්ලයින්ඩ් තරග වටයේ දී මට හිතුණා මාව අඳුන්වලා දෙන්න පුළුවන් හොඳම විදිහ මේ ගීතය කියලා. ඇත්තටම ඒකට සෑහෙන්න ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබුණා. මුළු සින්දුවේම තියෙන්නේ අළුත්ගම කියන සංචාරක ව්‍යාපාරය හා බැඳුණ ලස්සන නගරය ගැන.

මොකද හිතුනේ ජයග්‍රහණය ගැන?

මම ජයග්‍රහණය කරපු වෙලාවේ කුසලානය දිහා බලාගෙන එකම එක දෙයයි හිතුවේ. ඒ “මම මේක කළා නේද?” කියන එක. ඒ වගේම මට මේ දේ කරන්න ගොඩාක් පිරිසක් උදව් කළා.

එදා හිටිය රමියාට වඩා දැන් ඉන්න රමියා වෙනස් ද?

ඇත්තම කිව්වොත් රමියා දැන් වෙනස් වෙලා. මොකද මේ වෙනස් වෙන ලොකේ නොවෙනස් වන එකම දේ වෙනස් වෙන එකනේ. ඉස්සර නම් මම ගෙදර ඉන්න කොට යාළුවෝ ඇවිත් මාව එක්කර ගෙන යනවා. මම ගිටාර් එක අරන් ගිහින් එළිවෙනකම් එයාලා එක්ක සින්දු කියලා උපරිම සතුටක් ලබා දුන්නා. දැන් ඒක කරන්න බෑ මේ තියන වැඩත් එක්ක. හේතුව මං කටහඬ පරිස්සම් කර ගන්න ඕනේ. මේ වෙනකොට ඉදිරි අවුරුදුවලටත් මට සංගීත වලට ආරාධනා ඇවිත් තියනවා. ඒ භාර ගත්ත වගකීම් හරියට ඉටුකරන්න මම මගේ කටහඬ පරිස්සම් කර ගන්න ඕනේ. මම හිතනවා මගේ යාළුවෝ හිතවතුන් සේරම ඒ තත්වය ගැන තේරුම් ගන්න ඇති කියලා. හැබැයි මේක කියන්නම ඕනේ. රැකියාවත් සමඟ බාහිරින් මම එහෙම වෙනස් වුණාට එදා අලුත්ගම හිටපු රමියම තමයි තාමත් ඉන්නේ.

කොහොමද හැම ගීතයකම රෙගේ ස්‍ටයිල් එක හොයා ගත්තේ?

ඇත්තටම ඒක කියන්න ඕනේ දෙයක්. මම තනිවම දෙයක් කළේ නෑ. අපිට පුහුණු කරන්න හිටියා මට වඩා ගොඩාක් දැනුම තියෙන අය. මගේ වචනයෙන් කිව්වොත් ඒ අය එක්ක බලද්දී මම පොඩි ඇච්චෙක්. එයාලාගේ දැනුමෙන් අත්දැකීම් මගේ ඇඟ ඇතුළෙ තිබුණ ආට් එකත් එක්ක මුසු කරල තමයි ඒ වගේ ලස්සන නිර්මාණ බිහිවුණේ.

මනස්කාන්ත සංචාරේ සහ බොරු කාරයෝ ගීත ගැන ටිකක් කියමු?

මනස්කාන්ත සංචාරේ කියන්නේ මම සහ මගේ කෝච් සුපුන් පෙරේරා කරපු ගීතයක්. මම ජයග්‍රහණය කළාට පස්සේ කෝච් ළඟට ගිහින් කිව්වා මට ඉක්මනින්ම සිංදුවක් කරන්න ඕනේ ඒකට උදව් කරන්න කියලා. එතුමා මට උපරිම සහාය දුන්නා ඒ ගීතයට. ඒ වගේම බාෂි දෙවංග, යුකී නවරත්න බ්‍රෝ ,තිසර ඉඹුලාන සහෝදරයා, අතින් තමයි ඒ නිර්මාණය හැඩ වුණේ. ඒ වගේම මගේ ගමේ යාළුවෝ සහ සහෝදරයෝ එම ගීතයේ රූප රචනය සඳහා උදව් කළා. ඒ හැමදෙනාටම ආදරෙයි.

ඒ වගේම බොරුකරයෝ ගීතයත් මට මෑතකදී ලැබුණ වෙනස්ම පදමාලවක් තියන හොඳ ගීතයක්. තරින්ද ගුණවර්ධන අයියා තමයි මේ ගීතයේ පද. මාලක අයියා තමයි සංගීතයෙන් හැඬ කළේ. ඒ වගේම සඳරු අයියාවත් මතක් කරනවා එයා තමයි. රෙකෝඩිං මික්ස් සහ මාස්ටරින් පාට් එක කළේ.

සර්කස්කාරයෝ ගීතය මතක් කිරීමක් කරනවා. ඒක මගේ තිබුණ අරමුණක් ටෙලිනාට්‍යක තේමා ගීතයක් ගැයීම. සද්ධාමංගල මහත්මයා සහ සිරස ආයතනට බොහෝම ස්තුතියි මට ඒ අරමුණ කරා යෑමට උදව් කලාට.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම තාම ඉෂ්ට කර ගත්තේ නැති අරමුණක් තියනවා මගේ අම්මට එයාගේම කියලා ගෙයක් හදන එක. ඒක ටිකෙන් ටික මම ඉෂ්ට කරගෙන යනවා. එතැනින් එහාට තියෙන්නේ ගෙවෙන හැම තප්පරයක්ම මියුසික් එක්ක ජීවත් වෙන එක තමයි.

ආපු ගමනේ ඔබ ස්තූති කරන්නේ කාටද?

ඇත්තටම සිරස ද වොයිස් නැත්නම් අද රමියා ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒ නිසා මගේ ගෞරවනීය ස්තූතිය සිරසට සහ ද වොයිස් තරඟයට. කෝච් උමාරියා සහ මාත් එක්ක තරගය අවසන් වෙනකම් හිටිය කෝච් සුපුන් මාව තෝරගෙන මෙච්චර උඩට ගෙනාවට ආදරෙයි හදවතේ අඩියෙන්ම. ඒ එක්කම සුසාර දිනාල් සර් සහ සිරස ද වොයිස් කෲ එකටම පට්ටම ආදරෙයි ඒ දුන්න සපොට් එකට. ඒ වගේම මගේ රටේ ආදරණීය ජනතාව එයාලා තමයි රමියව ගෙනාවේ. ඒ ආදරයට මම හැමදාම ආදරෙයි හදවතේ අඩියෙන්ම.

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division