Home » ටයිල් මාෆියාවෙන් බැට කනවාද විසඳුමක් හොයනවාද…

ටයිල් මාෆියාවෙන් බැට කනවාද විසඳුමක් හොයනවාද…

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

අවු­රුදු තුනක් තිස්සේ දිගින් දිග­ටම අප කළ ඉල්ලීම් සලකා බැලූ ජනා­ධි­ප­ති­තුමා මාස­ය­කට පමණ පෙර එම තහ­නම ඉවත් කළා. ආන­ය­නික ටයිල් වෙළ­ඳ ­පො­ළට එන්න ගත්තු ගමන්, අර 2,500ට විකිණූ ටයිල් කැටේ අපගේ මිල වන රුපි­යල් 1100 -1150ට ඔවු­නුත් අඩු කළා. දැන් ඔවුන්ට ඒ අධික ලාභය නොලැ­බෙන නිසා රජ­යට බල­පෑම් කර­නවා, ආන­ය­නික ටයි­ල්ව­ලට තවත් බද්දක් එකතු කරන්න කියා. මේක ජන­තා­වට කරන මොන තරම් අසා­ධා­ර­ණ­යක් ද-ටයිල් ආනයනකරුවන්ගේ සංග­මය ප්‍රශ්න කරයි

නයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කරන ලෙස එක් පාර්ශ්වයක් ඉල්ලා සිටීම නිසා, මිලියන 22 ක ජනතාවගේ ඉදිකිරීම් බලාපොරොත්තුවලට මරු පහරක් එල්ල වන බවත්, පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාෂයන් වෙනුවෙන් ජනතාවගේ නිවෙසක් සහ හොඳ නාන කාමරයක් හොඳ වැසිකිළියක් සාදා ගැනීමේ සිහිනය බිඳ නොදමන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව, ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් ගේ සංගමය ඉල්ලා සිටියි.

ඔවුන් මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ, දේශීය ටයිල් නිෂ්පාදකයකු විසින් ආනයනික ටයිල් සඳහා නව රේගු බදු හඳුන්වා දෙන්න ඇයි රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් පෙනෙන්නට ඇති තත්ත්වය නම්, මිල පාලනයක් හෝ නියාමනයක් සිදු නොවන නිසා ටයිල් වෙළෙඳ පොළේ මාෆියාවක් ගොඩනැඟී ඇති ස්වාභාවයකි. තැළෙන්නේ පාරිභෝගිකයා බැවින් මේ පිළිබඳ සොයා බැලීම සඳහා,Tiles and Sanitaryware Importers Association (TSIA) හෙවත්, ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් ගේ සංගමයේ සාමාජිකයන් කිහිප පොලක් සම්බන්ධ කර ගතිමු.

TSIA උප සභාපති, ෆාහිම් සරූක් මහතා ටයිල් ව්‍යායාපාරය තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

” කොවිඩ් සමයේ සහ රට දරුණු ආර්ථික අවපාතයක පැවතුණු වෙලාවේ, ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා රජය ටයිල් ගෙන්වීම තාවකාලිකව තහනම් කළා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශීය ටයිල් නිෂ්පාදකයා කළේ 85%ක් ම දේශීය අමුද්‍රව්‍ය යොදා හදනවා යැයි කියූ, රුපියල් 450ට තිබූ ටයිල් කැටය රුපියල් 2,500 දක්වා එක්වරම මිල ඉහළ දමපු එක. ඒ කියන්නේ එක ටයිල් කැටයකින් තවත් හතර පස් ගුණයක් ලාභ ලබපු එක. මොකද ජනතාවට ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුණේ නැහැ. කොහොම හරි කර ගන්න පුළුවන් අය කර ගත්තා. බැරි අය වැඩ නැවැත්වූවා.

රජය විසින් මාස තුනකට තහනම් කළත්, මේ අයගේ මැදිහත්වීමෙන් එම තහනම අවුරුදු තුනක් ඉදිරියට ඇදගෙන ආවා. 200 ගණනක් හිටි ටයිල් ආනයනකරුවන් සංඛ්‍යාව 60ට බැස්සා. බොහෝදෙනෙක් ව්‍යාපාර අත් ඇරියා. රස්සා නැති වුණා.

යන්තම් අවුරුදු තුනක් තිස්සේ දිගින් දිගටම අප කළ ඉල්ලීම් සලකා බැලූ ජනාධිපතිතුමා මාසයකට පමණ පෙර එම තහනම ඉවත් කළා. ආනයනික ටයිල් වෙළඳ පොළට එන්න ගත්තු ගමන්, අර 2,500ට විකිණූ ටයිල් කැටේ අපගේ මිල වන රුපියල් 1100 -1150ට ඔවුනුත් අඩු කළා. දැන් ඔවුන්ට ඒ අධික ලාභය නොලැබෙන නිසා රජයට බලපෑම් කරනවා, ආනයනික ටයිල්වලට තවත් බද්දක් එකතු කරන්න කියා. මේක ජනතාවට කරන මොන තරම් අසාධාරණයක් ද?

ටයිල් ගෙන්වීම තහනම් කර අවුරුදු තුනක් ම ඔවුන්ගේ අසාධාරණ මිල ගණන්වලට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිලදී ගත්තු ජනතාව, තමන්ගේ වයසක අම්මට තාත්තාට පාවිච්චි කරන්න කොමඩ් එකක් සහිත වැසිකිළියක් නාන කාමරයක් හදාගන්න ලෑස්ති වූ ගමන් ම ආපහු බද්දක් ගහන්න කියා රජයට බලපෑම් කරනවා. ඇත්තටම රජය ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින නිසා, ටිකෙන් ටික ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පිබිදීමක් ඇති වෙමින් තිබෙනවා. එය අපට සතුටක්. ඉතින් ඒ සීමා ලිහිල් කිරීම පිළිබඳ රජයට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා. නමුත් පොඩි මිනිහෙක් තමන්ගේ වැඩ අවසන් කර නැති ගෙදරට ටයිල් ටිකක් අල්ලා ගන්න, නාන කාමරයක් හදා ගන්න තිබෙන සිහිනය තමයි මේ නැති කරන්න හදන්නේ.

මොකද, ටයිල් කියන්නේ නිවෙසක හෝ නාන කාමරයේ අවසන් අදියරදී අත්‍යාවශ්‍ය ම දේ.

අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක් ලංකාවට එන්නේ රුපියල් 450ට. ඒ එක ටයිල් කැටයකට රුපියල් 550ක් අප බදු ගෙවනවා. තවත් බද්දක් මොකටද? දැනටමත් 115%ක් අපි රජයට බදු ගෙවද් දී, එක්කෙනෙක් දෙන්නෙක් සනසන්න ටයිල් කැටයකට රජය තවත් බදු එකතු කළොත්, ආපහු තැළෙන්නේ ජනතාවමයි. මෙය කිසිසේත් නොවිය යුත්තක් බව අපි අවධාරණයෙන් රජයට කියා සිටිනවා…”

රට තුළ උද්ගතව තිබෙන ටයිල් මාෆියාව නිසා රජයට අහිමි වන්නට යන බදු මුදල සහ එම මාෆියාකරුවන් පසු ගිය වසර තුනක කාලය තුළ උපයා ඇති අධික ලාභය පිළිබඳ, ටයිල්ස් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති, රන්ජනාස් කළමනාකාර අධ්‍යක්ෂ එම්. විග්නේෂ්වරන් දුරෙයිසාමි මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

” ගෙවුණු අවුරුදු තුනේ ඔවුන් දිනකට සිය කර්මාන්ත ශාලාව තුළ අඩි දෙකයි දෙකේ ටයිල් කැට 150,000ක් නිෂ්පාදනය කළා. නිෂ්පාදන වියදම රුපියල් 500ක් තියලා, තව 500ක් එකතු කරලා විකිණුවත් රුපියල් 1,000කට දෙන්න තිබුණා.

නමුත් තව රුපියල් 1500 ක් කෙළින්ම ඔවුන් වැඩි කරලායි, එක ටයිල් කැටයක් විකිණුවේ. ඒ කියන්නේ, 150,000× 1,500 = 225,000,000 යි.

දිනකට ලබපු ලාභය විතරක් රුපියල් මිලියන 23 කට ආසන්නයි. එය වසර තුනකට ගණන් බැලූ විට, රුපියල් බිලියන 250ක්.

මොනතරම් දැවැන්ත මුදල් කන්දරාවක් ද? රජයේත් ඇස් වහලා, මේ අය අවුරුදු තුනක් ඔය අධික ලාභය ලැබුවා. ඒ අධි ලාභයෙන් නව දැවැන්ත ආයෝජන සිදු කළා.

මොකද මේ ගෙවුණු අවුරුදු තුන පුරා රජයේ සියලු ව්‍යාපෘති සඳහා මිල දී ගත්තේ ඔය 2,500 ටයිල් එක. ආණ්ඩුවේ මොනතරම් මුදල් කන්දරාවක් මේ එක ආයතනයකට ගිහින් ඇද්ද? රජය ගත්තු වැරදි තීරණයක් නිසයි සියල්ල මෙහෙම වුණේ. ඒ කාලය තුළ රජයට අහිමි වූ බදු මුදල කවුරුවත් ගණන් බැලුවද?

කොවිඩ් සමයට පෙර ආනයනකරුවන් ලෙස අප සෑම මාසයකම, රුපියල් බිලියනයක් ආණ්ඩුවට බදු ගෙව්වා. දැන් මාසෙකට රුපියල් බිලියන 3-4ක බදු ගෙවනවා. මේවා ගෙවන්නේ වාර්ෂිකව එහෙම නෙමෙයි. බඩු නිදහස් කර ගනිද්දී වරායේදීම ගෙවලා ඉවරයි. ඒ වගේ බදු ආදායම් එන අංශ වසා දමලා, ඒ බදු ලාභය වක්‍රකාරව එක ආයතනයකට යන්න ඉඩ සලසා තිබෙනවා.

ඒ කොහොමද කිව්වොත්, ආනයනය නැවතූ විට රජයට බදු ලැබෙන්නේ නැහැ. ඊළඟට දේශීය ටයිල් මාෆියාව විසින් හිතූ හිතූ ගණන්වලට ටයිල් අලෙවි කර අධික ලාභ ලබනවා. මේ දෙයින් ආණ්ඩුවට වාසියකුත් නැහැ. ජනතාවට වාසියකුත් නැහැ. ඉදිකිරීම් කර්මාන්තයට යහපතකුත් නැහැ. තනිකරම ටයිල් මාෆියාකරුට විතරයි මෙහි වාසිය හිමි වන්නේ. බදු මුදල් ලැබීම නවතිනවා. මාෆියාකරු අධි ලාභ ලබනවා. හරි නම් ආණ්ඩුව, මේ වසර තුනට ඔවුන් ලැබූ ඒ අධි ලාභය ගණන් බලා, රජයට අහිමි කළ බදු මුදල වෙනුවෙන් ගාස්තුවක් ඔවුන්ගෙන් අය කර ගත යුතුයි. නමුත් ඒ වෙනුවට ඔවුන් කරන්නේ රජයේ ඇමතිවරු අල්ලාගෙන පරණ අයුතු ලාභයම ගන්න මඟක් හොයන එක.

අපි කියන්නේ සියයට 85%ක් අමුද්‍රව්‍ය දේශීයව ගන්නවා නම් එයාලට ඩොලර්වල බලපෑමක් නැහැ. ඒ නිසා මේ තරම් මිල ඉහළ දමන්න විදියක් නැහැ. දේශීය කර්මාන්ත නිසා පුළුවන් තරම් බදු සහන ඔවුන්ට ලැබෙනවා. අපි වගේ රජයට ලොකු බද්දක් ගෙවන්නේත් නැහැ. හරි නම් ආනයනික මිලට වඩා අඩුවෙන් දෙන්න ඔවුන්ට පුළුවන්. දැන් වෙලා තිබෙන්නේ, ඔවුන් අඩුවට දෙන්නෙත් නැහැ. අපිට දෙන්න දෙන්නෙත් නැහැ.

අනික, මේ ගෙවුණු කාලයේ දේශීය ටයිල් කර්මාන්තකරුවන් දෙතුන් දෙනා ම ටයිල් සැපයීමේදී පොරොත්තු ලේඛනයක් හැදුවා. ජනතාව ඉන් බොහෝ අපහසුතාවට පත් වුණා. ඉල්ලුම ඇති කරන්න විවිධ උපාය මාර්ග පාවිච්චි කළා. සමහර අය ටයිල් දෙන්න නම් ඒ අයගෙන් ග්‍රවුට් වැනි ටයිල් ඇල්ලීමේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් උපාංග සියල්ලම පාහේ ගන්න පාරිභෝගිකයාට බල කළා. පැකේජස් හැදුවා. වෙන එකක් තබා ඇලුමිනියම් ඉණිමං පවා ගැනීම අනිවාර්ය කළා. මේ දේවල් නිසා ග්‍රවුට් සහ ටයිල් මෝටා වැනි සුළු කර්මාන්තවල යෙදුණු කුඩා කර්මාන්තකරුවන් සියල්ලන්ම පාහේ අතුගෑවිලා ගියා.

ආනයනික තහනම ඉවත් කිරීමත් සමඟ දැන් මේ සියල්ල ම කණපිට පෙරළුණා. රටක් දියුණු වෙන්න නම් ඉදිකිරීම් කර්මාන්තය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට අදාළ යකඩ ගල් වැලි සිමෙන්ති ටයිල් ආදී අමුද්‍රව්‍ය සහ උපාංගවල මිල අඩු වෙන්න ඕනේ. එවිටයි කර්මාන්තය නොනැසී ඉදිරියට යන්නේ.

අපේ රටට විදේශ ආදායම් උත්පාදනය කරන ප්‍රධාන මාර්ගය වන සංචාරක කර්මාන්තය රඳා පවතින්නේ සංචාරක හෝටල් මත. කුඩා ප්‍රමාණයේ සිට දැවැන්ත හෝටල් දක්වා එය අදාළයි. සංචාරක හෝටල් නවීකරණය සඳහා නිරන්තරයෙන් මේ දේවල් අවශ්‍ය වනවා. සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි ඒ ඉදිකිරීම් සහ නඩත්තු කිරීම් කරන්න නම්, මේ දේවල් දරා ගන්න බැරි ලෙස මිල ඉහළ දැමීම නැවැත්විය යුතුයි.

අවුරුදු 30කට වඩා වැඩි කාලයක් ටයිල් ගෙන්වීමේ දී අප 115% ක බදු ගෙවනවා. මීටත් වඩා තව මොන බදු ද ගහන්න කියන්නේ?

එක පුද්ගලයෙක් ආරක්ෂා කරන්න ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවාට වැඩිය හොඳයි මිනිස්සු හූරාගෙන කන ඒ ආයතනය නවත්වලා ඒ මුළු ටයිල් ප්‍රමාණය ම ආනයනය කරන එක. එවිට මුළු රටට ම අඩු මිලට ටයිල් ගන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල අඩු මිලට ටයිල් තිබෙද්දී දේශීය කර්මාන්තවලට මුවාවෙලා මේ කරන සූරා කෑම ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. ජනතාවට සහ ඉදිකිරීම් කර්මාන්තයට වන විනාශයට තවත් ඉඩ දෙනවා ද කියන එක, ඔවුන් තේරුම් ගන්නට ඕනේ.

අනික දේශීය ටයිල් එකක බඩ කොටස විතරයි ලංකාවේ මැටි වලින් හදන්නේ. එහි glazing material සහ Colour Pigment වැනි Finishing සඳහා අවශ්‍ය සියල්ල ආනයනික අමුද්‍රව්‍ය. ඒ වගේම ටයිල් පුච්චන්න 40%ක පමණ බල ශක්තියකුත් වැය වනවා. මේ සියල්ල ගෙන්වන්න වැය කරන්නේ ඩොලර්. ඉතින් කොහොමද ඒක 100%ක් දේශීය කර්මාන්තයක් වෙන්නේ?

ඒ විතරක් නෙවෙයි. නිහඬවම සිදු වන තවත් බරපතළ කාරණාවක් තිබෙනවා. එනම්, ටයිල් හදන්න ගන්නා මැටි හාරන්නේ පුරන් වෙච්ච කුඹුරුවලින්. ඒවා ගැඹුරට ම හාරන්න ඕනේ, ඒ සදහා සුදුසු මැටි වර්ගය පාදා ගන්නට නම්.

මේ විදියට හාරපු වළවල් සහිත ඉඩම් විශාල ප්‍රමාණයක මේ වන විට වතුර පිරිලා විශාල පාරිසරික තර්ජන එල්ල වී තිබෙන බව පරිසරවේදීන් පවා පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ පසු විපරම් කරන රාජ්‍ය ආයතනයක් තිබෙනවා ද? කවුරුත් සොයා නොබැලුවා ට මෙය සුළු කොට තැකිය හැකි කාරණයක් නෙවෙයි. සමහර කර්මාන්ත තිබෙනවා රටකට උචිත නොවන. ටයිල් කියන්නෙත් එවැනි උචිත නොවන කර්මාන්තයක්. රට විනාශ කරමින් කරන එවැනි කර්මාන්ත කරනවාට වැඩිය හොඳයි පිටරටින් ගෙන්වා, පරිසරය ආරක්ෂා කර ගන්න එක.

කෝවිඩ්වලට පෙර මාසෙකටම කන්ටේනර් 1,000ක් ලංකාවට ගෙනාවා. දැන් මාසෙට ගෙන්වන්නේ කන්ටේනර් 300ක් 400ක් අතර ප්‍රමාණයක් පමණයි. මේවා හොඳම පෝසිලේන් ටයිල්. අපි ඒ දෙකේ දෙකේ ටයිල් කැටය රුපියල් 1,100 කට විකුණන්නේ 115%ක බද්දකුත් ආණ්ඩුවට ගෙව්වාට පස්සේ. ඒ කියන්නේ ආණ්ඩුවට අපි ගෙවන බද්ද අඩු නම් අපිට ඊටත් වඩා අඩුවට දෙන්න පුළුවන්.

මේ ටයිල්වල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වරායේදී ම සියලු අහඹු සාම්පල පරීක්ෂණ සිදු කරනවා. එනිසා ප්‍රමිතියෙන් අඩු කිසිදු ටයිල් එකක් ලංකාවට එන්නේ නැහැ. හැබැයි, නිෂ්පාදනයේ දී ඉවත් කළ යුතු ABC Grade තුනේ ම බාල කොළිටියේ ටයිල්, නමක් ගමක් නැතිව මේ දේශීය නිෂ්පාදකයින් පාර අයිනේ සේල් දාලා විකුණනවා. ඒවාට වග කියන කෙනෙක් නැහැ.

රුපියල් 16,000ට තිබුණු සනීප ආරක්ෂක කට්ටලය ඔවුන් කෙළින්ම රුපියල් 50,000 කළා. ද දැන් ආනයනය කෙරෙන නිසා 40,000ට මිල බස්සලා. කොමඩ් එකක් කියන්නේ දැන් ගෙදරකට සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. වයසක අම්මලා තාත්තලා ඉන්න ගෙවල්වලට අත්‍යවශ්‍ය දෙයක්. මේ මිල ගණන් නිසා හරි හමන් වැසිකිළියක් හදා ගන්න බැරි කී දෙනෙක් මේ රටේ ඉන්නවද? එහෙම බලද්දි මේක එක ව්‍යාපාරයක් පෝසත් කරන්නට තිබෙන භාණ්ඩයක් නෙවෙයි. සමාජ ප්‍රශ්නයකට විශාල බලපෑමක් එල්ල කරන සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ වැදගත් අංගයක්. ඒ නිසා අප රජයෙන් ඉල්ලා සිටිනවා, ඉතාම වගකීමෙන් යුතුව මේ පෙන්වා දුන් සියලු කාරණා සොයා බලා තීන්දු තීරණ ගන්නා ලෙස…”

මෙම තත්ත්වය පිළිබඳ චෝදනා එල්ල වී ඇති දේශීය ටයිල් නිෂ්පාදකයන් නියෝජනය කරමින්, මැක්ටයිල්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මිස්වර් මකීන් සම්බන්ධ කර ගතිමු.

” අපිට ප්‍රශ්නෙ තිබෙන්නේ මුළු ලෝකෙන්ම එන ටයිල් පිළිබඳව නෙවෙයි. ඉන්දියාව සහ චීනයෙන් එන ටයිල්වලයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. ඒ රටවල් තමන්ගේ ටයිල් විකුණා ගන්න වෙන රටවල ආනයනකරුවන්ට දෙන අධික සහන නිසා තරගකාරී මිලක් පවත්වා ගෙන යන්න අමාරුයි. අනික ටයිල් පිලිස්සීමේදී ගෑස් සහ විදුලියට යන වියදම ඉතා ඉහළයි. මේ වෙනකොට අපේ එක ටයිල් කර්මාන්ත ශාලාවක් වහලා. දැනට අපි දේශීය වෙළෙඳ පොළට නිකුත් කරන්නේ අපි ළඟ තිබෙන තොග පමණයි. අපිටත් ප්‍රශ්න තිබෙනවා…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division