Home » සුදු කොණ්ඩය කළු කරන වික්‍රමය ජයගත් අපේ හපන්නු

සුදු කොණ්ඩය කළු කරන වික්‍රමය ජයගත් අපේ හපන්නු

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

– ඔබ තිරිහන් කරන්නට 30 දශකයේ ජර්මනියෙන් ගෙනා හෙයා ඩයි
– පිටරට හෙයා ඩයි පරදා දේශීය නිෂ්පාදනයක් වෙළෙඳ ලොව ජය අරන්
– ‘හිට්ලර්’ හෙයා ඩයි ගාලා දැන් පාසල් ශිෂ්‍යයොත් හෙයාඩයි ගානවා

පන්සිය පනස් ජාතක කතාවල එක් කතාවක් ඇත්තේ මකාදේව රජුන් ගැනය. ඒ ජාතක කතාවේ කියන්නේ නරකෙසක් තම හිසේ දුටු මකාදේව රජු ගිහිගෙය හැර යාමය. නරකෙස කියන්නේ සුදු කෙස් ගසටය. අද ලංකාවේ හෙයා ඩයි විකිණෙන විකිණිල්ලට මකාදේව රජ උන්නාන්සේගේ කාලේත් එවන් තත්වයක් තිබුණා නම් එදා පන්සිය පනස් ජාතක කතාවලින් එකක් ලෙස මකාදේව ජාතකය හැලෙන්නේ නිතැතිනි.

විවිධ චර්ම රෝග මෙන්ම කෙස් සම්බන්ධ රෝග ගැන වසර 1500කටත් පෙර සඳහන් ග්‍රන්ථයක් ඇත. එක් එක් ඍතුවට ගැළපෙන පරිදි විවිධ චර්ම ආලේපන වර්ග වසර 1,500ක් පමණ පැරැණි “අෂ්ටාංග හෘදය” නම් එකී ග්‍රන්ථයේ සඳහන්ය. කෙස් කළු කිරීම, කෙස් වර්ධනය කර ගැනීම, අකලට කෙස් සුදු වීම වැළැක්වීම ආදී වශයෙන් කෙස්වල සුන්දරත්වය වර්ධනය කරන විස්මිත රෝග විශාල සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථයේ පැහැදිලිව දක්වා ඇත.

අකලට හිසකෙස් පැසීමට හේතු වන කාරණා කිහිපයකි. එනම් හිස් කබලට අවශ්‍ය නිසි රුධිර ගමනාගමනය නොමැතිකම, පෝෂණය නොමැති වීම, ඔක්සිජන් අඩු වීම, පීනස වැනි රෝග, ආරයට යෑම, අධික ලෙස නිදි වැරීම, අනවශ්‍ය ලෙස රසායන ද්‍රව්‍ය හිසට ආලේපය, මානසික ආතතිය මේ හේතු අතර ප්‍රධාන වේ. තවද විටමින් ඌණතාවය හේතු කොටගෙන බොහෝ රෝග හිසකෙස්වල ඇති වේ. එනම්, පුද්ගලයකු සිරුරේ විටමින් ඌණතාවෙන් පෙළේ නම්, තරුණ අයකුට හිසකෙස්වල රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. හිසකෙස් අකලට ගැලවීම, හිසකෙස් සිනිදුවීම, දුර්වර්ණ වීම, කෙස් වර්ණ විපර්යාස සිදුවීම (තඹවන් වීම) මෙම රෝග ලක්ෂණයන්ය.

කෙස්ගස් සුදු වූ විට එය ඩයි කරන්නට පළමුව අප කෙස් ගස යනු කුමක්දැයි හඳුනා ගත යුතුය. කෙරටින් නමැති ප්‍රෝටීන්වලින් කෙස් ගස සෑදී ඇති බව විද්‍යාත්මකව තහවුරුව ඇත. කෙස් ගසේ කාබන්, හයිඩ්‍රජන් විවිධ ප්‍රමාණයන්ගෙන් තිබේ. ළා කහ පැහැති කෙස් ගසක වැඩිපුර සල්ෆර් සහ ඔක්සිජන් ඇති අතර, තදපාට කෙස් ගසක කාබන් සහ හයිඩ්‍රජන් වැඩියෙන් තිබීමට පුළුවන. කෙස් ගස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත අතර යටින් ඇති මුල සහ සමට උඩින් ඇති කඳ වශයෙන් මේවා හඳුන්වනු ලැබේ. කෙස් ගස වැවෙන්නේ චර්මයෙහි ඇති නොලිවල් නමැති කොපුවක් තුළදීය. කොපුව පතුලෙහි ඇති පැපිල විසින් ලේ ස්නායු සුලබ බව ලබා දෙන අතර කෙස් ගස ඊට උඩින් ඇති බල්බය තුළ වර්ධනය වේ. ඇරෙක්ටර්නිල් නමැති කුඩා මාංශය මේ කොපුවට සවි වී ඇත. සීතල, බිය ආදී කරුණු නිසා මෙම මාංශ හැකිළීමට ලක්වේ. එවිට කෙස් ගස් කෙළින් වේ. මේවා හිරිගඩු නමින් හඳුන්වනු ලබයි.

ඇදට නොපෙනෙන, අතට දැනෙන කෙස් ගසේ කඳට ලේ හෝ ස්නායු සම්බන්ධ තැන කැපීම, පීරීම ආදියෙන් හානි නොවන නමුත් කඳ දිරාපත් වී ගිය පසු නැවත අලුත් කළ හැකි කෙස් ගසේ ප්‍රධාන කොටස් තුන වන්නේ කියුටිකල්, නෝටෙක්ස්, මෙඩියුලි යන කොටස් තුනය.

අප බොහෝදෙනා සිතා සිටින්නේ ‘හෙයා ඩයි’ ලංකාවට ආගමනය වන්නට ඇත්තේ 1977 විවෘත ආර්ථිකයත් සමඟ බවය. ඒත් කෙමෙන් කෙමෙන් අතීතය හාර අවුස්සගෙන යාමේදී අපට මුල්ම ‘හෙයා ඩයි’ දැන්වීම සොයා ගත හැකි වූයේ නවසිය තිහ දශකයේදීය. එම කුඩා දැන්වීමේ ශීර්ෂ පාඨය මෙයයි.

“ඔබ තිරිහන් කරයි.”

එම හෙයාඩයි දැන්වීමේ තවදුරටත් මෙසේ සඳහන් වේ. “හැමදාම ඉලන්දාරි කමට ඉන්ට ලැබෙන්නේ නැහැ. එය විපරිනාම ධර්මයේ බල පැවැත්මකින් වෙනස් වන්නේය. කෙස්ස සුදුවී අකලට නාකි වුණාට පස්සේ ආයෙත් ඉලන්දාරි වෙන්න හැදුවට ඒක හරියනවත් අඩමානයි.”

මේ මුල්ම හෙයා ඩයි දැන්වීමේ කියවෙන්නේ ඔබේ ධවල වර්ණ කෙස්ස ලස්සනට කළු පැහැ ගැන්වී ඔබ තිරිහන් වීමට ගත වන්නේ මිනිට්ටු හැටක් බවය. ඒ කියන්නේ ඔය කියන හන්දියේ හෙයාඩයි ඔළුවේ උලා වේලෙන තුරු පැයක් බලා සිටිය යුතු බව නොවේද? ඔය කියන හෙයාඩයි එදා ලංකාවට ආනයනය කොට ඇත්තේ ජර්මනියෙනි. එක් ප්‍රවෘත්තියක ඇත්තේ ‘හිට්ලර්’ ද මේ හෙයාඩයි භාවිත කොට ඇති බවය. පසුකාලීනව කරුණු අධ්‍යයනයේදී පෙනී යන්නේ මේ හෙයා ඩයි නිෂ්පාදනයට ක්‍රමයෙන් ඇමරිකාව, එංගලන්තය මෙන්ම ජපානය ද අතගැසූ බවය. එහෙත් ඉන්දියාව මේ හෙයා ඩයි ව්‍යාපාරයට අතගසා ඇත්තේ පනහේ දශකයටත් පසුවය.

අද අප පුන පුනා බැණ වදින ‘වයිටිනිං ක්‍රීම්’ නොහොත් සම සුදු කරන ආලේපන ද මේ හෙයා ඩයි සොයාගත් කාලය තරම්ම පැරණි රාජාලංකාර අමුද්‍රව්‍යයකි. කලකට ඉහත ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා ලේඛන අනුව මුළු ලෝකයේම රූපාලංකාරය සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 18.5ක් වැය කරන අතර, ජාත්‍යන්තරව බඩගින්න, මන්දපෝෂණය දුරලීම සඳහා වැය කරන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19.5ක් බවට ඇස්තමේන්තු කොට ඇත. ආහාර පෝෂණය සහ රූපාලංකාරය මිනිසාට එක හා සමාන අත්‍යවශ්‍ය සාධක බව මෙයින් ඔප්පු වී ඇත. මෙයිනුත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කෙස් කළු කිරීම ප්‍රධාන වී ඇත. වර්තමානයේදී තරුණ වයසේ පුද්ගලයන්ට අත්‍යවශ්‍ය වූ නව සංකල්පයකි. අංගාරවේදය. Cosmetic යනුවෙන් හඳුන්වන මෙය ඉංග්‍රීසි වචනයක් නොව ග්‍රීක් වචනයකි. Cosmetic යනු රූපාලංකාරය ද්‍රව්‍ය ඉංග්‍රීසියෙන් හඳුන්වන වචනය වේ. අංගාරවේදයට ඊජිප්තුවේ “ක්ලියෝපැට්රා”, රැජිනගේ යුගය කරා දිව යන අතීතයක් ඇත. රූපසෝභාව සඳහා, “ක්ලියෝපැට්රා” රැජින ශාකසාර හා කිරි කලවම් කර ස්නානය කළ බව සඳහන් වේ.

අපේ ඇත්තන් රූප සොබාව ගැන කොතරම් සැලකිලිමත් දැයි තහවුරු වන අතීත සිදුවීමක් වන්නේ 1957 සූර්ය ග්‍රහණයයි. එම අවස්ථාවේ අපේ රටේ වදකහ පානය කළ තරුණ තරුණියන් සිය ගණන් රෝහල් ගත වූයේ වමනය සහ බඩයාම හේතුකොට ගෙනය. වමනය හා බඩ යෑමට හේතුව වනුයේ අධිමාත්‍රාවෙන්, නොදැනුවත්කම නිසා වද කහ පානය කිරීමයි. නමුත් යම් පුද්ගලයකු ඉතාමත් “අල්ප” වශයෙන්, වද කහ, එළකිරි සමඟ සූර්ය ගහණය වන දිනයේ එම මොහොතේ දී පානය කළ විට චර්මයේ සෝභාව ඉතාමත් සොඳුරු වන බවත්, ප්‍රසන්න බවක් ඇතිවන බවත් පොතපතෙහි සඳහන් වේ. නමුත් සූර්යග්‍රහණය අවස්ථාවේ රාජ සෝභාව වැඩෙන්නේ නම් සුදුවන් කෙස් කලාපය කළුපැහැ ගැන්වෙන බව තේරුම් ගැනීමට එදා සිටි වැඩිහිටියන්ගේ ‘ටිකිරි මොළවලට’ වැටහුණේ නැත.

1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විට ඇමෙරිකන්, ජර්මන්, එංගලන්ත මෙන්ම ජපන් හෙයාඩයි මෙරට වෙළඳපල තුළ භාවිතාව ඇත්තේ අධි සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසය. මේ අධික මිල හෙයාඩයි තිබී ඇත්තේ මිලර්ස් වැනි දැවැන්ත සුපර්මාකට්වල පමණි. කොළඹ වරායේ නැවක් පිටරටකින් විත් නැංගුරම් දැමූ විට කොළඹට එන විදේශීය ජනතාව පවා මෙම සාප්පුවල ප්‍රධාන ගැනුම්කරුවන් වී ඇත. 1970 බණ්ඩාරනායක මැතිනියගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ආනයනික හෙයාඩයි අධි සුඛෝපභෝගී තහනම් භාණ්ඩයක් විය. ඒ නිසා ලංකාවේ ධන කුවේරයකු හෝ විදේශීය සබඳතා ඇති ප්‍රභූවරයකුට, දේශපාලකයකුට හැර සාමාන්‍ය ජනතාවට ‘හෙයා ඩයි’ ටිකක් ඔළුවේ ගාගෙන තිරිහන් වීමට අවස්ථාවක් නොවීය. එකල හෙයා ඩයි ගෑ පිරිස කෙතරම් සුවිශේෂ පිරිසක් වූවා දැයි එකල දවල් දොළහට ප්‍රචාරය වූ ‘පොලිසියෙන් පුවත්’ විශේෂාංගයම සනාථ කරයි.

“වේලාව මධ්‍යහ්න දොළහයි. මෙන්න පොලිසියෙන් පුවත්, අරමනගොල්ලේ හතළිස් දෙහැවිරිදි ජයන්ත ජයකාන්ත පෙරේරා ඊයේ සිට අතුරුදහන්ව ඇත. ඔහු ඩයි කරන ලද කොණ්ඩය වමට පීරා ඇත. අවසන් වරට දකින විට හැඳ සිටියේ…..”

මේ පොලිස් නිවේදනයේ කියවෙන්නේ කුමක්ද මෙරට විවෘත ආර්ථිකයත් සමඟ මෙරට හෙයා ඩයි ව්‍යාපාරය ව්‍යාප්ත වන්නට පෙර හෙයා ඩයි භාවිත කොට කොණ්ඩය කළු කළ පුද්ගලයා සුවිශේෂ පුද්ගලයකු වූ බව නොවේද? එහෙත් අද තත්ත්වය කුමක්ද, උසස් පෙළ හදාරන සිසු සිසුවියන් පවා කෙස් සුදුවීම නිසා හෙයා ඩයි භාවිතයට හුරුවී සිටින බව නොවේද?

මෙරට දේශීය වෙළඳපළ තුළ දෛනිකව අලෙවි වන හෙයා ඩයිවල අලෙවිය ගැන නිසි ඇස්තමේන්තුවක් නිසි ලෙස කෙරුණු බවක් දැක ගන්නට නැත. කලකට ඉහත කළ සමීක්ෂණයකදී පෙනී ගොස් අත්තේ මෙරට දිනකට ඖෂධ කීපයක අලෙවිය කෝටි 12 ඉක්මවන බවය. මෙකී ඖෂධ අතරින් මුල් ගණයට එන්නේ රූපලාවණ්‍ය අයිතමයක් නම් නොවේ.

මේ සකලසිරින් පිරි ලංකා භූමියේ අංක එකට තිබෙන, එනම් ඖෂධ විකිණීමේ තරගයේ ජයග්‍රහණය ලබා සිටින්නේ දියවැඩියාව රෝගය සඳහා භාවිත කරන විවිධ ඖෂධ (Anti Diabetic Drugs) වර්ගය. දෙවැනි ස්ථානයට ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ (AntiBiotic Drugs) වර්ගය පත්ව සිටී. තෙවැනි ස්ථානයට සුදු කරන ඖෂධ සහ අනෙකුත් රූපලාවන්‍ය ඖෂධ සහ විටමින් (Skin Whitening Drugs and Cosmetical Drugs and Vitamins) වර්ගය. අප පසුගියදා පිටකොටුවේ රූපලාවණ්‍ය හා හෙයා ඩයි වෙළෙඳපළේ කරක් ගැසීමේදී පෙනී ගියේ මුහුණු සුදු කරන්නට මූණේ උලන ආලේපන අලෙවිය පරයා හෙයා ඩයි මාකට් එක මෙකී වෙළෙඳපළ තුළ තෙවැනි ස්ථානයට පත්ව ඇති බවය.

මේ හැම හෙයා ඩයි පැකට්ටුවක් සමඟම උපදෙස් පත්‍රිකාවක් ද ඇත. එහෙත් බොහෝ දෙනා එම උපදෙස් පත්‍රිකාව කියවිය යුතු යැයි දන්නේවත් නැත. කවර වෙළෙඳනාමයක හෙයා ඩයි වර්ගයක් වුව ද ප්‍රථමයෙන් වර්ණ ගන්වන ආලේපනයෙන් ස්වල්පයක් මිශ්‍ර කර කන පිටුපස හෝ අත් බාහුවේ මඳක් තැවරිය යුතුය. එය පැයක් පමණ තබා සෝදා හැරීමෙන් පසු පැය 48කින් ඒ පිළිබඳ අවධානය යොමු කර අසාත්මිකතා ඇති නොවේ නම් පමණක් භාවිත කළ යුතුය. අසාත්මිකතා ලක්ෂණ වන්නේ ආලේප කළ ස්ථානය රතු වීම, බිබිලි ඒම, කැසීම, ඉදිමීම, සැරව ගැලීම, හිස කැක්කුම වැනි තත්ත්වයන්ය. අප අතර පවතින මතයක් වන්නේ ස්වාභාවික ද්‍රව්‍ය වන හෙනා, වෙරළි කොළ, කෝපි කුඩු, තේ කහට, බීට් රූට් වැනි දෑහි යුෂ ආලේපයෙන් කළු වර්ණය ලබාගත හැකි බවයි. නමුත් මින් ලැබෙනුයේ දුඹුරු හෝ කහට පැහැයකි. දැන් මේ සිස්ටම් බොහෝවිට භාවිත කරන්නේ මුස්ලිම් ජාතිකයන් තම තඩි රැවුල වර්ණ ගැන්වීමටය.

ලංකාවේ කෙස් කළු කිරීම දැන් ‘සුටුස්’ ගා කළ හැකි කර්තව්‍යයක් වීමත් සමඟම දැන් ඒ ඉරණම රැවුලටත් උරුම වී ඇත. ඒ නිසා දැන් දැන් ‘රැවුල වවන්නන්ගේ’ සංගම් පවා බිහි වෙන්නට පටන් ගෙන තිබේ. නවසිය තිහ දශකයේ හෙයා ඩයි උලා පැයක් බලා සිටියාට දැන් ඔය කටයුත්තට යන්නේ විනාඩි පහකි. එදා පවුඩර් වශයෙන් වෙළෙඳපළට ආ හෙයා ඩයි අද ජනප්‍රියව ඇත්තේ ‘බ්ලැක් ෂැම්පු’ ලෙසය. එදා හෙයා ඩයි කුඩු ගෙන පීරිසියකට දමා උණු වතුර හෝ ඇල්වතුර දමා කොණ්ඩයේ උලා බලා සිටීම දැන් ‘මැන්ටල් යුගයට’ සින්න වී හමාරය. එදා රුපියල් දහස් ගණනක් දී මිලදී ගත යුතුව තිබූ හෙයාඩයි බෝතලය අද බ්ලැක් ෂැම්පු ලෙස එක වේලකට ප්‍රමාණවත් ලෙස ආර්ථික විද්‍යාවේ ‘ඇසුරුම් න්‍යායට’ හසුව ඇත. කොරෝනාවට පෙර එක් වරකට ප්‍රමාණවත් මෙය ‘හෙයා බ්ලැක් ෂැම්පු’ පැකට්ටුවක මිල රුපියල් 60/=ක් විය. මිලි ලීටර් විස්සට අඩු සැෂේ පැකට් තහනමත් සමඟ අද එය මිලිලීටර් 21 දක්වා වැඩිවී ඇත. අද එය ඒ නිසා පැකට්ටුවක් රුපියල් 200/=ටත් වැඩිවී ඇත.

හෙයාඩයි අලෙවියේ වත්මන් වෙළෙඳපළ තත්ත්වය නිරීක්ෂණයට අපි මුලින්ම තෝරා ගත්තේ පිටකොටුවේ ‘underground cosmetic supermarket’ එකය. මාරකැට්ටුවේ නම වගේම එම වෙළෙඳපළ පිහිටියේ පොළව යටය. ලංකාවේ හෙයා ඩයි මාකට් එකට මුල්කාලීනව පිවිසි ජර්මන්, එංගලන්ත ඇමෙරිකන් නිෂ්පාදන පරදවා ඉන්පසු ලංකාවේ හෙයා ඩයි වෙළෙඳපළ ජය ගත්තේ ජපන් හෙයා ඩයි නිෂ්පාදකයන්ය. ඊටපසු ඒ වෙළෙඳපළ ජය ගත්තේ ඉන්දියන් හෙයා ඩයි නිෂ්පාදකයන්ය. ලංකාවට චීන නිෂ්පාදන ආක්‍රමණයත් සමඟම ඉන්දියන් හෙයා ඩයි වෙළෙඳපළ ඩැහැ ගන්නා ලද්දේ චීන නිෂ්පාදකයන් විසින්ය. චීනාගේ ප්‍රධාන හෙයා ඩයි නිෂ්පාදනය වූයේ ඩයි කුඩු වෙනුවට ‘බ්ලැක් ෂැම්පු’ ය. එයට විනාඩි 5කටත් අඩු වේලාවකදී කෙස්ස කළු කර ගැනීමට හැකියාවක් තිබුණි. ඉන්දියන් හෙයාඩයිවලට වඩා චීන බ්ලැක් ෂැම්පු ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව වූයේ සමේ තැවරුණු කොටස් හෝදා හැරිය පසු කළු පුල්ලි දක්නට නොමැති වීමය.

පිටකොටුවේ පොළොව යට කොස්මැටික් රූපලාවණ්‍ය කඩ සාප්පු සංකීර්ණය මුළුමනින්ම වායු සමනය කර ඇත්තකි. එදා එහි ගොඩගසා තිබුණේ විදේශීය හෙයා ඩයි වර්ගයන්ය. ඩප්පි, කුප්පි, සැෂේ පැකට්, ටියුබ් මෙන්ම තඩි බෝතල් ලෙස ද ඒවා දැකගත හැකි විය. තඩිබෝතල් ලෙස ඇති ඩයි බෝතල්වල ගැණුම්කරුවන් වන්නෙත් රූපලාවණ්‍ය ආයතන නොහොත් සැලුන්ය. අන්ඩ ග්‍රවුන්ඩ් කොස්මෙටික් මාකට් එකේ හෙයාඩයි අලෙවියේ අංක එකට හෙයා ඩයි නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයකු පැමිණ තිබීම අපට අදහාගත නොහැකි තත්ත්වයක් විය. අප මේ ගැන එහි සිටි අත්දැකීම් බහුල කොස්මෙටික් ව්‍යාපාරිකයකු වූ ‘යුසුප්’ ගෙන් විමසා සිටියෙමු.

“පිටරටින් ගේන හෙයා ඩයි ඉම්පෝටර්ස්ලාගෙන් එක දිගට එකම හෙයා ඩයි ගේන ඒජන්සි දෙක තුනයි තියෙන්නේ. ඩොලර් හිඟයත් එක්ක ඉම්පෝට් කරලා ස්ටොක් කරන්න කෝටි ගාණක් ඕන. සාමාන්‍යයෙන් හෙයා ඩයි බ්‍රෑන්ඩඩ් (නමක් ඇති විදේශීය හෙයාඩයි වර්ග) ස්ටොක් එකකට ලක්ෂ 10ක් විතර යට කරන්න වෙනවා. දැන් මේක තනිකරම සල්ලිවලට කෙරෙන බිස්නස් එකක්. ක්‍රෙඩිට් දැන් නෑ. මේකෙන් වුණේ ප්‍රමිතියක් තියෙන ලෝකල් හෙයා ඩයි නිෂ්පාදන මාකට් වෙච්ච එක.”

මේ අන්ඩ ග්‍රවුන්ඩ් මාකට් එක පුරාත් ඒ අසල ඇති කොස්මෙටික් කඩවලත්, රතු පල්ලිය ළඟ කොස්මෙටික් කඩවලත්, රැජින වීදියේ කොස්මෙටික් කඩවලත් අපට දැකගත හැකි වූයේ එම වෙළෙඳපළ ජයග්‍රහණය කොට ඇත්තේ දේශීය නිෂ්පාදනයක් බවය. ඒ රාවන් බ්ලැක් හෙනා බ්ලැක් ඩයි නිෂ්පාදනයයි.

ඊළඟට අපේ නිර්ණයට ලක්වූයේ වේල්ල වීදියේ, හෙට්ටි වීදියේ, කදිරේෂන් වීදියේ කොස්මෙටික් අලෙවිහල්ය. ඒ අතරින් හෙට්ටි වීදියේ හා කදිරේෂන් වීදියේ එදා ප්‍රධාන වශයෙන් දැකගත හැකි වූයේ ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් බැගේජ් දමා ගෙන එන ලද ඉන්දියන් රූපලාවණ්‍ය ආලේපන සහ හෙයා ඩයි වර්ගය. හෙට්ටිවීදියේ රාම්ගුණා ආයතනය මුළුමනින්ම සැලුන් සඳහා රූපලාවණ්‍ය ආලේපන අලෙවි කරන ආයතනයකි. එහි භාණ්ඩ අලෙවියේ නියුතුව සිටි හැරිකාන්ත් අපට හෙයා ඩයි වර්ග 7ක් රාක්කවලින් ගෙන සෝකේස් එක උඩ තැබුවේයය.

“මේ හෙයාඩයිවලින් මාකට් ලීඩර් තමයි රාවන් බ්ලැක් හෙනා. මේ තියෙන අනික් ඉම්පෝට් හෙයාඩයි ගොඩක්. ඒවවල ඒජන්ට් කවුද කියලත් නැහැ.”

ඉන්පසු අපි පිවිසි වේල්ල වීදියේ තොග අලෙවිකරුවකු වූ චන්දූර්ගේ ආයතනය පෙටා ගූගල් නම් විය.

“ප්‍රඩක්ට් එකක් මාකට් වෙන්න හදන කොම්පැනියේ බ්‍රෑන්ඩ් නේම් එක බලපානවා.” දැන් ගොඩක් හෙයා ඩයි ඉන්දියන්, ජපන් යනවා අඩුයි. ලංකාවේ රාවන් බ්ලැක් ෂැම්පු එක මාකට් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒක බ්ලැක් ෂැම්පු එකක් විදියට මාකට් එකට ආපු එක. චීන බ්ලැක් ෂැම්පු වුණත් මාකට් එකට එන්නේ දියර දෙකක් එකම පැකට් එකකට. රයිගම් රාවන් බ්ලැක් ඩයි ෂැම්පු එන්නේ පැකට් 2ක. බ්ලැක් ෂැම්පු එක වෙනම. කලවම් කරන සුදු දියරය වෙනම. පාවිච්චි කරල ඉතුරු ටික අරන් තියන්න පුළුවන්. මාකට් එක අල්ලන්න ඒකත් හේතුවක්.

පිටකොටුවේ ඇති තවත් හෙයා ඩයි විකුණන තොග කඩ ප්‍රධාන ඒවා වන්නේ වේල්ල වීදියේ එස්. ටී. එම්. පෙටා එසන්ස් හා සරස්වතී ස්ටෝස්ය. මේ හැම තොග කඩයකින්ම අපට කිව්වේ මෙරට හෙයා ඩයි අධිරාජ්‍ය ඩැහැගෙන සිටි චීන සහ ඉන්දියන් අධිරාජ්‍ය සුනුවිසුනු කර දමා දේශීය නිෂ්පාදකයකු වූ රාවන් බ්ලැක් ෂැම්පු මෙරට වෙළෙඳපළ තුළ ඒකාධිකාරයක් ගොඩනඟා ගෙන ඇති බවය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division