Home » සිරුර ඇතුළෙ සැඟවුණු නිදන්ගත රෝග හොයන ඉලෙක්ට්‍රොනික් වෙද මහත්තයා

සිරුර ඇතුළෙ සැඟවුණු නිදන්ගත රෝග හොයන ඉලෙක්ට්‍රොනික් වෙද මහත්තයා

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment
කැලණිය පොල්හේන වෛද්‍ය විද්‍යාලයේදී ඉකුත් දා සුබසෙත පුවත්පතේ අනුග්‍රහයෙන් පැවැත්වූ ජ්‍යොතිෂායුර්වේද සායනයේදී සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න විසින් ජෛව අනුනාද යන්ත්‍රය ආධාරයෙන් දේශීය වෛද්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි පරීක්ෂා කළ අයුරු

– ජෛව අනුනාද යන්ත්‍රයේ පරීක්ෂාවට මුහුණ දීම යනු සරලව කිවහොත් එකවර “ෆුල් බොඩි චෙකප් එකක්” කරගත්තාක් වැනි පහසුවකි
– තියෙන රෝග වගේම අනාගතයේදී හැදෙන්න පුළුවන් රෝග ගැනත් කල්තියා දැනගන්න හැකිවීම විශේෂත්වයක්
– වෙනත් පරීක්ෂණ ක්‍රමවලදී මෙන් පැය කිහිපයක් නිරාහාරව සිටීමට හෝ රුධිරය ලබා ගැනීමක් අවශ්‍ය නොවේ
– ජෛව අනුනාද යන්ත්‍රයෙන් කරන පරීක්ෂණයේදී එකවර මුළු සිරුරත් අවයව වෙන වෙනමත් පරීක්ෂාවට ලක්කිරීම නිසා වැය වන්නේ එම පරීක්ෂණය සඳහා වැය වන සුළු පිරිවැය සහ කාලය පමණි

සිරුරට යම් අපහසුවක් දැනුණු විටෙක ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවකට ලක් වුණොත් හොඳයි කියා ඔබටත් සිතුණු අවස්ථා ඕනෑතරම් තිබිය හැකිය. එහෙත් අව්වේකී දින චර්යාව තුළ ඒ සඳහා වේලාවක් මිඩංගු කළ නොහැකිව දිනෙන් දින එය කල්ගත වූවා වන්නටත් පිළිවන. අප ඔබට කියන්නට යන්නේ අවිවේකී කා හට වුවත් ඉතා පහසුවෙන් ක්ෂණිකව සිදු කළ හැකි වෛද්‍ය පරීක්ෂණ ක්‍රමයක් පිළිබඳවය.   

මෙය හැඳින්විය හැක්කේ ජෛව අනුනාද යන්ත්‍රය මඟින් සිදු කරන ධ්වනි විනිශ්චය හා චිකිත්සා ක්‍රමයක් ලෙසටය. මෙහිදී ශබ්ද තරංගයක් පුද්ගලයකුගේ කන් දෙක හරහා යැවීම සිදු කරන අතර, එම තරංග සිරුරේ සියලුම ඉන්ද්‍රියන් හරහා සෛල දක්වාම ගමන් කරයි. එහිදී එම සෛලවල, ඉන්ද්‍රියන්හි ඇති අස්වාභාවික කම්පන පිළිබඳ යන්ත්‍රය විසින් හඳුනා ගන්නා අතර, ඒ අනුව එම පුද්ගලයා පෙළෙන රෝගාබාධ පිළිබඳ නිශ්චය කළ හැකිය. මෙහිදී වෙනත් පරීක්ෂණ ක්‍රමවලදී මෙන් පැය කිහිපයක් නිරාහාරව සිටීමට හෝ රුධිරය ලබා ගැනීමක් අවශ්‍ය නොවීම විශේෂත්වකි. එසේ ක්ෂණිකව ජෛව අනුනාද පරීක්ෂණයට මුහුණ දීමට හැකියාව ඇති නිසා කාලය ඉතිරි වෙයි. එමෙන්ම එක් එක් රෝග හඳුනා ගැනීම සඳහා වෙන වෙනම පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදු වුවත් මෙම ජෛව අනුනාද යන්ත්‍රයෙන් කරන පරීක්ෂණයේදී එකවර මුළු සිරුරත් අවයව වෙන වෙනමත් පරීක්ෂාවට ලක්කිරීම නිසා වැය වන්නේ එම පරීක්ෂණය සඳහා වැය වන සුළු පිරිවැය සහ කාලය පමණි. කාර්යබහුල ජීවිත ගෙවන බොහෝ දෙනාට මෙම ක්‍රමය ඉතා සුව පහසු වන්නේ ඒ නිසාය. ඒ අනුව ජෛව අනුනාද යන්ත්‍රයේ පරීක්ෂාවට මුහුණ දීම යනු සරලව කිවහොත් එකවර “ෆුල් බොඩි චෙකප් එකක්” කරගත්තාක් වැනි පහසුවකි. එමෙන්ම සිරුරට කිසිදු හානියක් සිදු නොවන අතර, අතුරු ආබාධ ද රහිතය.

“මෙම යන්ත්‍රයෙන් යම් පුද්ගලයකුට මේ වන වන විට තිබෙන රෝග වගේම ඔහුට ඉදිරියේදී වැලඳිය හැකි රෝග ගැනත් අදහසක් ලබාගත හැකියි. යන්ත්‍රය මඟින් සිරුර පරීක්ෂා කරන විට යම් ඉන්ද්‍රියයක ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් යන්ත්‍රය විසින් ස්වයංක්‍රියව එම ඉන්ද්‍රිය තවදුරටත් ගැඹුරටම ස්කෑන් කිරීමක් සිදු කර ගැටලුවට හේතුව සොයා ගනු ලබනවා. මේ ආකාරයට අනාගතයේදී වැලඳීමේ අවදානමක් ඇති බරපතළ රෝග පිළිබඳ පවා කලින් දැනගැනීමේ විස්මිත හැකියාවක් මෙම යන්ත්‍රය සතුව තිබෙනවා. ඒ ගැන තවත් පැහැදිලි කරනවා නම් අස්ථි සම්බන්ධ වේදනාවක් දැනුණම අපි හිතනවා, වෙහෙස හෝ වයස නිසා එසේ සිදු වනවා කියලා. ඒ නිසාම බොහෝ විට අස්ථි සම්බන්ධ ආබාධ රෝග බවට පත් වෙන්නෙ මතුපිටට ආවායින් පසුයි. එතෙක් තමන්ට රෝගයක් ඇති බව අපි නොදැන ඉන්න පුළුවන්. නමුත් මේ යන්ත්‍රයෙන් එවැනි රෝග කල්තියා හඳුනා ගන්න පුළුවන්. අපේ සිරුරේ අවයවවලට රුධිරය ගෙන යන, අවයවයෙන් හදවතට රුධිරය ගෙන යන සහ එම අවයවය සම්බන්ධ අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය සහ ඊට අදාළ අන්තරාසර්ග පද්ධතිය හෙවත් හෝර්මෝන පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන සියලු කරුණු පිළිබඳ මෙම යන්ත්‍රයෙන් දැනගත හැකියි. ඒ වගේම මේ වෙද්දි අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් නැති කෙනෙකුට වුණත් අනාගතයේදී හෘද රෝගයක් වැලඳීමේ අවදානමක් තිබෙනවද කියලා මේ යන්ත්‍රය මඟින් කරන පරීක්ෂණයෙන් හඳුනා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් හෘදය රෝගයක් කිව්ව ගමන් අපිට හිතෙන්නේ එය රුධිර නාළවල ප්‍රශ්නයක් කියලයි. නමුත් එය එසේ නොවී රුධිර නාළවලට බලපාන ස්නායු ප්‍රශ්නයක් විය හැකියි. මේ යන්ත්‍රයෙන් සිරුරේ හැම සෛලයක්ම, අවයවයක්ම, පද්ධතියක්ම වෙන වෙනම පරීක්ෂා කිරීමට හැකිවීමේ විශේෂ වාසිය එයයි.

ඒ විදිහට අනාගතයේදී ඇතිවිය හැකි රෝගයක් කල්තියා හඳුනා ගැනීම නිසා කල් ඇතිව එම තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු කරන්නත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා සූදානම් වෙන්නත් හැකියාව ලැබෙනවා. ඊට හේතුව මෙම යන්ත්‍රය මඟින් මිනිස් සිරුරේ වර්ණ දේහ, ජාන නැතහොත් ද්විත්ව සර්පිලය දක්වාම ස්කෑන් කිරීමේ විශේෂ හැකියාවක් තිබීමයි.”

ජෛව අනුනාද යන්ත්‍රය පිළිබඳ ඒ විවරණය කළේ සිවිල් ඉංජිනේරු සහ ප්‍රවීණ වාස්තු විශේෂඥ ප්‍රියන්ත දයාරත්න ය. භෞතික විද්‍යාව හා පාරම්පරික වෙදකම ගැන අවබෝධය සහ දීර්ඝකාලීන පළපුරුද්ද අනුව ශබ්ද තරංග පිළිබඳ ඇති අවබෝධය අනුව මෙම ජෛව අනුනාද යන්ත්‍රය පිළිබඳ අවබෝධ කරගත් හෙතෙම මෙම අපූරු යන්ත්‍රය ශ්‍රී ලාංකිකයන්ට හඳුනා දීමට කටයුතු කළේය. තමාට මුලින්ම මේ යන්ත්‍රය පිළිබඳ දැනගැනීමට ලැබුණේ එම්. ජී. හේමචන්ද්‍ර නමැති තවත් ඉංජිනේරුවරයෙක්ගෙන් බවත් ඔහු සඳහන් කළේ කෘතවේදීත්වයෙනි. ශ්‍රී ලාංකික අපට මෙම ජෛව අනුනාද යන්ත්‍රය ආගන්තුක වුව ද ප්‍රියන්ත දයාරත්න පවසන්නේ මෙම යන්ත්‍රයේ ඉතිහාසය බොහෝ ඈතට දිවෙන බවයි. මෙම යන්ත්‍රය සතු මුල් තාක්ෂණය ජර්මනිය, රුසියාව, ආදී රටවලට අයත් වුවද මේ වන විට මෙම යන්ත්‍රය සඳහා හොඳම වෙළෙඳපොළ ඇත්තේ චීනයේය.

” මෙම යන්ත්‍රයේ ජෛව ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ ඉකුත් දශක පහක් පමණ තිස්සේ සිදු වුණා. මේ කාලය තුළ මෙම යන්ත්‍රය අංශ දෙකකින් වේගයෙන් වර්ධනය වුණා. ඒ කාලයේ ශක්ති ශරීරය සහ භෞතික ශරීරය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු වුණේ එකටයි. නමුත් ඉකුත් දශකය තුළ විශේෂයෙන් වසර 2020න් පසුව මේ අංශ දෙක පිළිබඳ වෙන වෙනම විමර්ශනය කරන තරමට මෙම යන්ත්‍රය දියුණු වෙලා. ඒ වගේම මේ යන්ත්‍රයෙන් පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ජීවිතය, භාවමය තත්ත්වය, ශාරීරික තත්ත්වය සහ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ හැකි වීමත් විශේෂත්වයක්. එසේ පරීක්ෂා කිරීමෙන් නොනැවතී ඒ තත්ත්වයන් දියුණු කරගැනීමටත් හැකියාව තිබෙනවා. කායික සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළත් රෝග නිවාරණය සහ පරීක්ෂා කරන උපකරණයක් විදිහටත් මෙම යන්ත්‍රය හඳුන්වා දිය හැකියි. “ජෛව අනුනාද යන්ත්‍රය එවැනි සුවිශේෂී උපකරණයක් වුවද මෙරට තවමත් මෙය ආගන්තුකය. ඒ පිළිබඳ සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න මෙසේ කීවේය.

“තවම මෙම යන්ත්‍රය තිබෙන්නේ ආගන්තුක අවස්ථාවේ. ඒ නිසා වැඩි පිරිසක් මෙය භාවිත කරන්නේ නැහැ. අලුත් යමක් හඳුන්වා දුන් විට වෛද්‍යවරුන් වගේම රෝගීන් තුළත් ඒ පිළිබඳ යම් සැකයක්, අවිනිශ්චිතාවක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් එවැනි අයකුට තමන් විශ්වාස කරන ක්‍රමවේදයකට මෙම යන්ත්‍රයෙන් ලැබුණු ප්‍රතිඵලය නැවත පරීක්ෂා කර බැලිය හැකියි. ඒ කියන්නේ අපි හිතමු මෙම ජෛව අනුනාද යන්ත්‍රයෙන් පරීක්ෂා කරන විට හෘදයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කළා කියලා. එහෙනම් ඒ පුද්ගලයාට පුළුවන් ඔහු විශ්වාස කරන වෙනත් ක්‍රමවේදයකට අනුව හෘදය පමණක් පරීක්ෂා කර බැලීමෙන් මේ යන්ත්‍රය පෙන්වන තත්ත්වය පිළිබඳ සැකහැර දැන ගන්න.” ඔහු එසේ කීවද මෙම යන්ත්‍රය වටා රොද බැඳගත් විශාල පිරිසක් අපට ඉකුත් දිනෙක දැකගැනීමට ලැබිණි. ඒ, ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත්කරන වසර 54ක් පැරණි ජ්‍යොතිෂායුර්වේද පුවත්පත වන සුබසෙත පුවත්පතේ අනුග්‍රහයෙන් කැලණිය පොල්හේන වෛද්‍ය විද්‍යාලයේදී පැවැත්වූ ජ්‍යොතිෂායුර්වේද සායනයේදීය. එහිදී අති විශාල පිරිසක් මෙම ජෛව අනුනාද යන්ත්‍රයෙන් සිය රෝග හඳුනා ගැනීමට විශාල උනන්දුවක් දැක්වීය. ප්‍රියන්ත දයාරත්න පැවසුවේ මෙම යන්ත්‍රය හඳුන්වා දී ගතවූ දෙමසක කාලය තුළ රෝගීන් තුන් සියයක් පමණ පරීක්ෂා කළ බවය.

“මෙම යන්ත්‍රයෙන් තුන් ආකාරයකට පරීක්ෂණය සිදු කරනවා. ඒ, හදිසි පරීක්ෂණයක් විදිහට, සාමාන්‍ය විදිහට සහ විශාල දත්ත ප්‍රමාණයක් ලබා ගත හැකි සම්පූර්ණ පරීක්ෂණයක් ආකාරයටයි. එවැනි සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නවා නම් වඩාත් සුදුසුයි. නමුත් එය තමාගේ අවශ්‍යතාව අනුව කළ හැකියි.”

දැනට වැලඳී ඇති රෝග සහ අනාගතයේදී වැලඳිය හැකි රෝග හඳුනා ගැනීමට මෙන්ම රෝගයට ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා ප්‍රවේශය ලබා ගැනීමේ හැකියාව ද මෙම යන්ත්‍රය සතුය. එසේ යන්ත්‍රය මඟින් ඇතිකරන උත්තේජනය රෝගය සුව කිරීමට පෙලඹවීමක් ලබා දෙන අතර, ඒ නිසාම යම් රෝගයකට ආරම්භක ප්‍රතිකාරයක් විදිහටත් මෙම ජෛව අනුනාද යන්ත්‍රය භාවිත කළ හැකිය. එපමණක් නොව මෙම යන්ත්‍රයේ පරීක්ෂණයට ලක්වන පුද්ගලයාගේ රෝග තත්ත්වයන් අනුව ඔහුට සුදුසු සහ නුසුදුසු ආහාරපාන ගැන මාර්ගෝපදේශ ද ලබා ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි. ඒ පිළිබඳ ප්‍රියන්ත දයාරත්න වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.

“ආයුර්වේදයට අනුව ඖෂධ වන්නේ ආහාරයි, ආහාරය වන්නේ ඖෂධයි. ඖෂධ ගන්නවා වෙනුවට ආහාර ඖෂධ ලෙස භාවිත කිරීමෙන් බොහෝ රෝග සුව කරගත හැකියි. මේ යන්ත්‍රයෙන් එක් එක් පුද්ගලයාගේ රෝගයට අනුව ආහාර සම්බන්ධයෙන් නිකුත් කරන මාර්ගෝපදේශ පිළිපැදීමෙන් එම පුද්ගලයාට ඖෂධ නොගෙන ආහාරවලින් යම් සුවයක් ලබාගත හැකියි. මෙයට අමතරව ඇලොපති, හෝමියෝපති, කටු චිකිත්සා ආදී වෛද්‍ය ක්‍රමයන් පිළිබඳව ද මෙහි මාර්ගෝපදේශයන් ඇතුළත් වනවා.

ඒ වගේම අපි බොහෝ දෙනෙක් අපේ සිරුරේ ජීව රසායනික ක්‍රියාවලිය ගැන වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ. මේ යන්ත්‍රයෙන් ඒ ගැනත් දැනගත හැකියි. නමුත් ඒ පිළිබඳ අප වැඩිපුර කලබල විය යුතු නැහැ. ඊට හේතුව අද දවසේ ඔබ වැඩිපුර ගත් ආහාරයක් හෝ පානයක් නිසා ඔබේ සිරුරේ රසායනික ක්‍රියාවලිය වෙනස් විය හැකි නිසයි. නමුත් දිගින් දිගටම එම රසායනික ක්‍රියාවලියේ වෙනස්කම් පෙන්නුම් කරනවා නම් යම්කිසි ව්‍යාධියක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව සලකා වැඩිදුර පරීක්ෂණවලට යොමු විය යුතුයි.”

සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න පවසන්නේ මෙම යන්ත්‍රයේ ප්‍රස්ථාරගත ක්‍රමයක් ඇති බැවින් වෛද්‍යවරයකුට හෝ භෞතික විද්‍යා විශේෂඥයකුට මෙම ජෛව අනුනාද යන්ත්‍රයේ ශබ්ද තරංග පිළිබඳ වඩාත් ගැඹුරෙන් අධ්‍යයනය කළ හැකි බවය. එමඟින් ඉතා ගැඹුරු රෝග විශ්ලේෂණයක් සිදු කළ හැකිය. සාමාන්‍යෙයන් පැයක් වැනි කාලයක් තුළ එවැනි ගැඹුරු රෝග නිශ්චයක් මෙය යන්ත්‍රය මඟින් සිදු කළ හැකි බව ප්‍රියන්ත දයාරත්න විසින් සිදු කළ රෝගී පරීක්ෂාවේදී අපි ද අත් දුටුවෙමු. ඒ තුළින් බහුල ලෙස හඳුනාගත් රෝග මොනවා දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.

“මෑත කාලයේ පරීක්ෂා කළ රෝගීන් තුළ දක්නට ලැබුණු ඉතාම අවාසනාවන්ත තත්ත්වය මොළය, දෑත් සහ දෙපා වෙත රුධිරය සැපයීමේ බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව හඳුනා ගැනීමට ලැබීමයි. ඒ තත්ත්වය ශීඝ්‍රයෙන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඊට විවිධ සමකාලීන හේතු බලපෑ හැකියි. ඒ වගේම හෘදයාබාධ, පිත්තාශයේ සහ අක්මාවේ ගැටලු සහිත රෝගීන් පිළිකා සහ ඇතැම් ඉන්ද්‍රියයන් ඉවත් කළ පුද්ගලයන් සහ ඉදිරියේදී ඉවත් කිරීමට සිදුවන රෝගීන් බහුල ලෙස හමු වී තිබෙනවා. ඒ අතරෙන් පිත්තාශයේ සහ අක්මාවේ ගැටලු මෙම යන්ත්‍රයේ චිකිත්සාව තුළින් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි බවත් අවබෝධ වී තිබෙනවා.”

නීරෝගි බවට ඉවහල් වන සාධක අතර ජලයට ප්‍රමුඛස්ථානයක් හිමිවන බව කවුරුත් දන්නා කරුණකි. මෙම ජෛව අනුනාද යාන්ත්‍රික ප්‍රතිකර්ම සහ ජලය අතර ද විශාල සම්බන්ධයක් ඇති බව ප්‍රියන්ත දයාරත්න පැවසුවේය.

“ජල චිකිත්සාව සහ මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්ව ඉතා හොඳින් ගැළපිය හැකියි. ජලය සමඟ අපි කොයිතරම් නීරෝගි වෙනව ද කියන කාරණය මේ යන්ත්‍රය මඟින් හඳුනා ගත හැකියි. ඒ වගේම කෑම වේලකට පැයකට පමණ පෙර ජලය පානය නොකර සිටීම වගේම කෑම වේලෙන් පැය තුනක් පමණ ගතවන තුරු ජලය පානය කිරීමත් සුදුසු නැහැ. නිසි පරිදි ජලය පානය කරනවා නම් රෝග සුව වීම පහසු වෙනවා වගේම නීරෝගි වෙනවා. ආයුර්වේදයට අනුව ඌෂහ් පාන චිකිත්සාව අනුව ලබන සුවතාව මෙම යන්ත්‍රය මඟින් පහසුවෙන් කළ හැකියි. ආම්ලිකතාව අඩු ජලය, එසේත් නැත්නම් භාෂ්මතාව වැඩි ජලය පානය කිරීමට පටන් ගත් විට රෝග හොඳින් සුව වන බව මේ උපකරණය ආශ්‍රයෙන් පරීක්ෂා කළ හැකියි. අපේ සිරුරේ භාෂ්මික නැතහොත් ඍණ අයන සහිත මාධ්‍යයක් තිබේ නම් පිළිකා සෛලවල වැඩීමක් සිදු නොවන බව 1930 ගණන්වලදී පවා වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

දේශීය විකිත්සාව අනුව කුඩා වියේදී වැල‍දෙන රෝග බොහොමයක් සෙම් රෝග. තරුණ වියේදී වැලඳෙන රෝග බොහොමයක් පිත් රෝග. වියපත්වන විට වැළදෙන්නේ වාත රෝග. විශේෂයෙන් අස්ථි ගෙවී යෑම, ලිහිසි ගතිය අඩු වීම ආදී තත්ත්වයන් සහ අස්ථිවල වේදනා සහ ගැටලු තෛලඅභ්‍යංග ප්‍රතිකාරවලින් 90%ක් පමණ සුව කළ හැකියි. ඒ වගේම ආයුර්වේදයේ එන ශෝධන කර්ම ප්‍රතිකාරය රෝගීන්ට පමණක් නෙවෙයි නීරෝගි අයෙක් වුවත් පාවිච්චි කරනවා නම් ඔහු වඩාත් නීරෝගි වෙනවා. මා දන්නා අපේ රටේ අවුරුදු 83ක් වයසැති එක්තරා මහාචාර්යවරයෙක් දණහිසක සහ අග්න්‍යාසයේ සුළු රෝගයකින් පමණයි පෙළුණේ. මෙතරම් නීරෝගි වීමට ඔහු කළ එකම ප්‍රතිකාරය මසකට වරක් තෛලඅභ්‍යංග ප්‍රතිකාරය සහ මාස හයකට වරක් පංචකර්ම ප්‍රතිකාර පමණයි. නමුත් ඔහු තවමත් තරුණයෙක් වගේ නීරෝගියි, ජව සම්පන්නයි. මේ තත්ත්වය විග්‍රහ කර ගැනීමට මෙකී යන්ත්‍රය අතිශයින් ප්‍රයෝජනවත් වුණා. ” ප්‍රියන්ත දයාරත්න ඔහුගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ජෛව අනුනාද යන්ත්‍රයේ විස්මිත බලය පිළිබඳ තවත් බොහෝ දේ අපට හෙළි කළේය.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්, ඡායාරූප- ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division