Home » විවාහයෙන් පසු ලැබෙන නෑදෑයන් ගැන කියන කේන්දරේ ග්‍රහ පිහිටීම්

විවාහයෙන් පසු ලැබෙන නෑදෑයන් ගැන කියන කේන්දරේ ග්‍රහ පිහිටීම්

by thanushika
December 23, 2023 12:31 am 0 comment

පළමුවෙන්ම මේ දහවැනි ග්‍රහයා කවුද යන්න අපි හඳුනා ගනිමු. තරුණ වියට පත් වූ විට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම විවාහය ගැන අනාගත සිහින මවන බව අප කවුරුත් දන්නා කරුණකි. තමාට ලැබෙන බිරියත් තමාට ලැබෙන සැමියාත් එකිනෙකාට ලැබෙන්නේ දහවැනි ග්‍රහයාගේ පිහිටෙනි.

විවාහය සැම දෙනාගේම දෙවන උප්පත්තියයි. විවාහයෙන් පසු තමාගේ ජීවිතයට සහකාරියක් හෝ සහකාරයෙක් ලැබේ. මේ දෙදෙනාගේ පැවැත්ම මත අනාගතය තීරණය වන බැවින් විවාහය ‘දෙවැනි උප්පත්තිය’ ලෙස සැලකීම වරදක් නොවේ. එසේ ලැබෙන දහවැනි ග්‍රහයාගේ තොරතුරු ඔබ උපතින්ම රැගෙන එයි. මේ තොරතුරු දැනගත හැක්කේ කේන්දරය පරීක්ෂා කිරීමෙන් පමණි.

මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ දහවැනි ග්‍රහයාගේ ‘නෑ පරපුර’ පිළිබඳ විස්තරයයි. විවාහ වීමට ප්‍රථම ඔබගේ හඳහනෙන් මැනවින් එය පෙන්නුම් කෙරෙන ආකාරය දැනගත හැකිය. මේ නිසා ඔබේ කේන්දරයේ ‘දහවැනි ග්‍රහයාගේ නෑ පරපුර’ ගැන පෙන්නුම් කෙරෙන ආකාරය දැන් විමසා බලමු.

මවුපියන්ට කීකරුව ගුණ යහපත්කම ඇතිව හැදුණු වැඩුණු තරුණ කාන්තාවන් විවාහ ගැළපීම් හොඳින් පරීක්ෂා කර බලා සැමියෙකුට සරණ පාවා දුන් පසු ඇයට ඇසුරට ලැබෙන සැමියාගේ නෑ පරපුර නපුරු අදහස් ඇති දුෂ්ට අය නම් ඇයට විඳින්නට සිදුවන දුක් කරදර අනන්ත අප්‍රමාණය. මේ ගැන අත්දැකීම්ද සමාජයෙන් දැන නොමැති කෙනෙකු නැති තරම්ය.

පොරොන්දම් හොඳින් ගැළපෙන බැවින් සැමියාගේ ආදර කරුණාව හොඳින් ලැබුණද පතිකුලයට ගිය පසු හමුවන නෑදෑයන්ගේ නුරුස්නා ගති නිසා සමහර යුවතිපතින්ට අසහනයෙන් ජීවත්වීමට සිදුවන අවස්ථා බොහෝ ඇත. මේ නිසා පොරොන්දම් ගැළපීම ආදිය පරීක්ෂා කරන දෛවඥයන් විසින් කතුන්ට විවාහයෙන් ලැබෙන ඥාති පිරිස ගැනද විමසා බැලීම ඉතාම අවශ්‍ය කාරණයක් බව හැඟේ.

ස්ත්‍රී කේන්දරයක 7වැන්න ඇගේ ස්වාමීපුරුෂයා ගැන කියන ස්ථානයයි. 7වැන්නෙන් 3 වැන්න ඔහුගේ සහෝදර ස්ථානයයි. මේ අනුව ඇගේ කේන්දරයේ 9වැන්න පතිකුලයේදී ලැබෙන නෑනලා මස්සිනාලා ගැන කියැවේ. 9වැන්නේ කුජ/රාහු/කේතු /ශනි වැනි පාප ග්‍රහයන් සිටී නම් ඇයට කවදත් නෑනලා මස්සිනාලාගෙන් විරෝධය මතු වේ.

මාමා, නැන්දා – බාප්පා, කුඩම්මා ආදීන්ගේ ස්වභාවය පෙන්නුම් කෙරෙන්නේ 6වැන්නේය. මේ ස්ථානයේ පාප ග්‍රහයන් සිටියහොත් නැන්දලා මාමලාගේ නුරුස්නා ගති ඇති වේ. නැන්දා මාමා කෙරෙහි බලපාන්නේ බුධ ග්‍රහයාය. මේ නිසා බුධගෙන් 6වැන්න ගැනද බැලිය යුතුය. බුධ ග්‍රහයා කේන්දරයේ ස්වක්ෂේත්‍රව/ උච්ච රාශිගතව සිටී නම් මේ අයගේ ආදරය කරුණාව ලබා ගැනීමට හැකි වේ. කේන්දරයේ 6වැන්නේ කුජ/රාහු/ශනි/කේතු වැනි පාප ග්‍රහයෝ සිටී නම් විවාහයෙන් පසු දෙමාපියන් සමඟ නිතර අඬදබර ඇති කරගැනීමට හේතු වේ. නමුත් එම ග්‍රහයෝ එකී ස්ථානවල එම රාශිවල රාශිබල හෝ දෘෂ්ටිබල ඇතිව සිටිත්නම් එවැන්නක් සිදු නොවේ. ඔවුන්ගේ දයාවට කරුණාවට පාත්‍ර වේ. තවද 6වැන්නේ පාප ග්‍රහයන්ගේ බලය නිසා ඔවුන්ගේ විවාහයට ප්‍රථම සහකාරයාගේ දෙමාපිය දෙන්නාගේ එක් අයෙක්වත් නොමැති වීමට ඉඩ තිබේ. එමෙන්ම ගුරු ග්‍රහයා එම ස්ථානයේ සිටීමෙන් ඔවුන්ට ලැබෙන නැන්දා මාමා උසස් පන්තියේ අය බවත් ධනවත් බවත් සඳහන් කිරීමට පිළිවන.

සඳු/සිකුරු 6වැන්නේ සිටින අයට සෞම්‍ය ගති පැවතුම් ඇති සුරූපී තරබාරු නැන්දලා මාමලා ලැබේ. 6වැන්නේ රවි/බුධ සිටීමෙන් තේජවන්ත ගති පැවතුම් ඇති මෙන්ම මනා රූපයෙන්, මනා පෞරුෂයෙන් යුතු නැන්දලා මාමලා ලැබෙන බව කිව හැකිය. 6වැන්නේ සෙනසුරු සිටියේ නම් මහලු පෙනුමෙන් යුත් නැන්දලා මාමලාද රාහු නරකට සිටියහොත් කුහක අදහස් ඇති නැන්දලා මාමලා ලැබීම නොවැළැක්විය හැකිය. මෙම ස්ථානයේ කේතු ග්‍රහයා සිටියහොත් කුලයෙන් අඩු දුප්පත් නැන්දලා මාමලා ලැබේ. කුජ ග්‍රහයා සිටියේ නම් සටන්කාමී නෑදෑයන් ලැබෙන බවද සඳහන් කිරීමට පිළිවන.

කේන්දරයේ දසවැන්නේ සුබ ග්‍රහයන් සිටි විට නැන්දලා මාමලාගේ ආධාරයෙන් රැකියාවක් ලබා ගැනීමට හේතු වේ. නැතහොත් ඒ අයගේ ආධාරයෙන් රැකියාවේ උසස්වීමක් හෝ ලැබේ.

කේන්දරයේ 9වැන්නේ කේතු සිටියේ නම් ලැබෙන මස්සිනාලාගෙන් කිසිම පලක් නොලැබේ. මේ අය තමන්ගෙන් යැපෙන්නට බලාගෙන සිටින අය වේ. එසේම කේන්දරයේ 9වැන්නේ රවි/බුධ/සිකුරු/සඳු/ගුරු යන සුබ ග්‍රහයන් සිටියේ නම් උසස් රැකියාවල නිරතව සිටින සහෝදර සහෝදරියන් විවාහ සහකරුට ලැබෙන බවද සඳහන් කිරීමට පිළිවන.

විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඔවුන්ගේ විවාහයෙන් පසු ලැබෙන අලුත් නෑදෑ පරපුර අනාගත ජීවිතය සඳහා ඉතාම අවශ්‍ය පිරිසකි. ඔවුන්ගේ සහායද තම දරුමල්ලන් හදා වඩා ගැනීමට අවශ්‍ය වේ. මේ නිසා උගත් දෛවඥයන් ලවා කේන්දර පරීක්ෂාවකින් තොරව මේ අලුත් නෑ පරපුර ගැන දැන ගැනීමට මේ ලිපිය ඉවහල් වේ. ඔබ කළ යුත්තේ කේන්දරයේ රාශි වමට ගණනය කොට එම 3 – 6 – 9 – 9 – 10 ආදී රාශිවල සිටි ග්‍රහයන් තෝරා බේරා ගැනීමයි. ඉන්පසු මේ ලිපිය අනුව අනාගත නෑදෑයන් ගැන ඔබටම විස්තර දැන ගැනීමට හැකි වේ. ඒ අනුව තමාට දෛවය අනුව ලැබෙන නෑදෑ පරපුර ගැන සිතා එයට ඔරොත්තු දෙන පරිදි තම විවාහ ජීවිතය සකස්කර ගෙන ගැටලු අවම කරගනු ඇතැයි විශ්වාස කරමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division