Home » ඒරාෂ්ටකය අවම කරන්න සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකර පූජා කරන්න

ඒරාෂ්ටකය අවම කරන්න සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකර පූජා කරන්න

by thanushika
December 23, 2023 12:30 am 0 comment

ඒරාෂ්ටකය අවම කරන්න සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකර පූජා කරන්න

කේ. පේමචන්ද්‍ර – දැඩිගමුව

ප්‍රශ්නය – මා හට පවතින රෝගාබාධයන් සුව කළ හැකි ද? ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් මොනවා ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මෙකී කේන්දරය වර්තමානයේ ගෙවමින් තිබෙන්නෙ රවිගේ මහ දශාව. අතුරු දශාව පවතින්නේ රාහුගේ අන්තර් දශාවක් තුළයි. රාහු අදෘශ්‍යමාන ග්‍රහයෙක්. රවි ශරීරයේ උණුසුම සහ උෂ්ණත්වකාරක ග්‍රහයෙක්. එම නිසා ශරීරයේ පවතින උෂ්ණත්වය වෙනස් වීම සහ රුධිරයේ පවත්නා සංඝටක ශක්තිය ඊට අමතරව ජවය, ශක්තිය අවමභාවයට පත්කරන කාලයක් ලෙස සැලකිය හැකියි.

මේ තත්ත්වය 2013න් පසු ක්‍රමයෙන් තමන්ගේ ශරීරයේ නිධන්ගත රෝගකාරකභාවය මතු වන වේගයත්, රෝගවලට තිබෙන ප්‍රතිකර්මභාවයන් අඩු වන කාලයක් ලෙස ඉස්මතු වෙමින් පවතිනවා. ඒ 2013න් පසුව සිටයි. මේ තත්ත්වය 2025 අප්‍රේල් 28 දක්වා ගමන් කරනවා. එය අධි ඒරාෂ්ටක තත්ත්වයක් ලෙස සටහන්ව පවතිනවා. එම නිසා බොහෝ පරිස්සමින් බුද්ධිමත්ව මෙකී කාලය ගත කළ යුතුයි.

මේ කාලයේ සිත්තැවුල්, පීඩාවන් වරින්වර හටගත හැකියි. සෞඛ්‍ය තත්ත්වය ගැන දැඩිව සැලකිලිමත් විය යුතුයි. පවතින රෝගාබාධ තත්ත්වයන් පාලනය කිරීම පමණයි කළ හැකි වන්නේ. පවතින නිධන්ගත රෝග නිට්ටාවට සුව කළ හැකි තත්ත්වයක් පෙන්නුම් කරන්නෙ නැහැ. සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරගන්නා අතරේ ආහාර රටාවෙන්ද පරෙස්සම් සහගත විය යුතුයි.

පිෂ්ටය අධික, ඊස්ට් අඩංගු පාන්, බනිස්, පැස්ටා, නූඩ්ල්ස් වැනි ආහාර නොගත යුතුයි. රෝග තත්ත්වයන් පාලනය සඳහා පූජාවක් ලෙස කුරුලු ජෝඩුවක් බෝධින් වහන්සේනමක් අසල නිදහස් කරන්න. ඊට අමතරව යාචකයකුට වස්ත්‍රයක් සමඟ දාන වේලක් පිරිනමන්න. පවුලේ අයෙකුට හෝ හැකිනම් වසරකට වරක් බෝධි පූජා පින්කමක් පවත්වන්න.

ජී. ශ්‍රීමාලි – මීරිගම

ප්‍රශ්නය – ලබන වසරේ ශිෂ්‍යත්වයටද මුහුණ දීමට සිටින මාගේ පුතුගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ග්‍රහ අපල තත්ත්වයන් කෙලෙස ද? අපලවලට කළ යුත්තේ කුමක් ද?

ජ්‍යොතිෂ විග්‍රහය – වෘශ්චික ලග්නයේ ඉපදී ඇති දරුවාගේ කේන්දරය තුළින් පසුගිය වසර කීපයට සාපේක්ෂව ඉතාම හොඳ වේගවත් බවක් සහ ස්ථානගත වීමක් 2024/25 කාලයේදී පෙන්නුම් කරනවා. එහිදී අධ්‍යාපන තත්ත්වයේ වේගවත්ව සුබවාදීභාවයක් අනාගතයට එකතු වෙනවා. ඒත් එක්කම හොඳ තාර්කානුකූල හැකියාවක් තිබෙන දරුවෙක් බව සඳහන් වෙනවා. එසේම ගුප්තකාරක, ගැටලු, ප්‍රශ්නකාරි භාවයන් නොපෙන්වා සිටින දරුවෙක් වගේම උපක්‍රමශීලිභාවයක්ද පවතිනවා. ඒ වගේම තැන්පත්භාවයක්ද පෙන්නුම් කරනවා.

මේ දරුවාට විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලදී වැඩ කල් දාන්න දෙන්න එපා. නිසි ආකාරයෙන් අද වැඩය අදම කරවන්න. අධ්‍යාපන තත්ත්වය තුළින් පැහැදිලිවම අනාගතයේදී ‘ටෙක්’ සහ ‘අයිටී’ විෂය ධාරා වගේම විද්‍යාව විෂයෙන් අධ්‍යාපනය ඉහළට හැදෑරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කලාවටද දක්ෂතා පෙන්වනවා. ඒ සඳහා අවස්ථාව ලබා දිය යුත්තේ අධ්‍යාපනයට බාධාවක් නෙවන ලෙසින්. අධ්‍යාපනයේදී ක්ෂණික අමතක වීම් පැනනඟින නිසාම විශ්වයේ ගුප්ත කේන්ද්‍රය වන ඊශාන දිශාවට මුහුණලා පාඩම් කිරීමට දරුවා හුරු කරවන්න.

එස්. එච්. උබේපාල අමරවංශ – වාද්දුව

ප්‍රශ්නය – මාගේ අසනීප තත්ත්වයන් මේ වර්ෂය තුළ යථා තත්ත්වයට පත් වේද?

ජ්‍යොතිෂ විග්‍රහය – 76 වැනි වසර ගත කරන මෙතුමන්ට මීන ලග්නයෙන් ක්‍රම ක්‍රමයෙන් අනාගතයට ලග්න ඒරාෂ්ටකයක් එමින් පවතින නිසා නිරතුරුවම දැහැමි සහ ධර්මානුකූල පරිසරයකට මනස බද්ධ කරගන්න. ඒ වගේම සංයමයෙන් යුතු මනසක් පවත්වා ගන්න. පීඩනය, ආතතිය, කලකිරුණු ස්වභාවයන්ගෙන් ඉවත්ව සැහැල්ලු මනසකින් කටයුතු කරන්න. එවිට ඔබගේ අාධ්‍යාත්මයට සුවපත් බවක් ගෙන දෙනවා. කුජ රුධිර ධාතුවට, ලේ ධාතුවට, උෂ්ණ ධාතුවට අයත් වන ග්‍රහයා. මේ කේන්දරයේ කුජ මහ දශාව ගමන් කරන්නේ. අතුරු දශාවෙහි ගුරු ගමන් කරන්නේ. ඒ නිසා කුජගේ බලපෑම මත රුධිරයේ පවතින ලේ මට්ටම් ගැන සැලකිලිමත් විය යුතුයි. ලේවල තිබෙන ගුණාත්මකභාවය වෙනස් වීමට තිබෙන අවකාශය වැඩියි. පපුව, උරහිස, බාහු ආශ්‍රිත කැක්කුම, අමාශගත පුරවා දාන ස්වරූපයන්ට අවස්ථාව වැඩියි. ඒ නිසාම කෘත්‍රිම ආහාර නොගත යුතුයි.

මේ කාලයේ පවතින ප්‍රබල ඒරාෂ්ටක තත්ත්වය අවම වීම සඳහා බුද්ධිමත්ව, දැහැමි දිවියක් ගත කරන්න. නිවැසියන් හෝ පුද පූජා පින්කමක් ලෙස පිණ්ඩපාත වඩින ආරණ්‍ය සේනාසනගතව සිටින සිල්වන්ත භික්ෂුන් වහන්සේනමකට සිවුරු පිරිකර සමඟ ඖෂධ ගිලන්පස පූජා කරවන්න.

ඩබ්ලිව්. ඩී. සරත් පද්මසිරි – කටුගස්තොට

ප්‍රශ්නය – මෙම කේන්දරය හිමි මාගේ පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු කෙසේ වේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ කේන්දරය හිමි දරුවා වර්තමානයේ කුජට අයත් මහ දශාවේ ගමන් කරන්නෙ. සිකුරුගේ අතුරු දශාවක බලය පවතින්නෙ. දරුවාගේ අධ්‍යාපනය ගැන සඳහන් කළහොත් අනාගතයේදී විදෙස් ගමන් හිමි වන උසස් බලයක් තිබෙන කේන්දරයක්. විශේෂයෙන් උසස් අධ්‍යාපනය අවස්ථා සඳහා හොඳින් ගොඩනැඟෙන කාලයක්. පසුගිය කාලයේ එනම් 2021 සිට 23 වසරේ මුල් කාලයේ අධ්‍යාපනයේ යම් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළා. මේ වන විට ඒ අධ්‍යාපනික බාධකය ක්‍රමයෙන් මිදී උසස් අධ්‍යාපනයේ සීමාවන් උදා වෙනවා. ඒ 2024 වසර කේන්ද්‍ර කරගෙනයි සිදුවන්නෙ.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නම් දරුවා විශේෂයෙන් තාක්ෂණයට නැඹුරු බවක් තිබෙනවා. අයිටී නමැති විෂයට අවශ්‍ය පරිසරය ලබා දෙන්න. ඒ වගේම නිර්මාණශීලි සහ කලාත්මක දක්ෂතා පවතින කේන්දරයක්. ඉදිරියේදී අධ්‍යාපනයෙන් උසස් දක්ෂතා ලබා ගැනීම සඳහා ගණ දෙවියන් වහන්සේගේ දේවාලයකට කිරි කළයක් සහ රතු සහ කහ මිශ්‍ර මල්වලින් සමන්විත මල් මාලයක් පූජා කරන්න.

භද්‍රා වීරවර්ණ නිලවීර – මාතලේ

ප්‍රශ්නය – මා හට රැකියාවක් නොලැබීමට සහ විවාහ ප්‍රමාදයට හේතු කුමක් ද?

ජ්‍යොතිෂ විග්‍රහය – අසා ඇති පැනයන්ට පළමු හේතුව තමන්ගේ උත්පත්ති කේන්දරයට අදාළව පවතින ජන්ම ඒරාෂ්ටකය. ඒ වගේම තමයි ලග්න ඒරාෂ්ටක කියන ඒරාෂ්ටක දෙකම එකට යෙදුණු කාලයන් ලෙස අවස්ථා දෙකකදීම ජීවිතය ගත කිරීමට සිදු වෙනවා. එහි පළමු අවස්ථාව 2015/16/17 කාලයේදී ජන්ම ඒරාෂ්ටක කාලයක් ගත කළා. අනතුරුව ලග්න ඒරාෂ්ටකය පැමිණියා, 2019න් පසු 2020 සිට 23 දක්වා ක්‍රියාත්මක වුණා. ඒ නිසා තමන්ට ජීවිතයේ ප්‍රබල ලෙස ඒරාෂ්ටක දෙකකට මුහුණ දීමට සිදුවූ නිසා බොහෝ හීන මෙන්ම බොහෝ බලාපොරොත්තුවල යම් මන්දගාමී ස්වරූපයක් සිදුවුණා.

එහෙත් එම මන්දගාමී ස්වරූපය හකුළුවාගෙන නැවත නැඟිටිය හැකි කාලයක් උදා වෙනවා. ජීවිතයේ අවස්ථා දෙකකදී පරාජයට පත්වී තිබෙනවා. එහෙත් 2024 වසරේ අප්‍රේල් 23න් පසු තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ දොරටුව ක්‍රමයෙන් විවර වෙනවා. ඒ නිසා කලබල නොවන්න. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැනත් සැලකිලිමත් වන්න. ආහාර පිළිබඳව අවධානය යොමු කරන්න. ස්වාභාවික ආහාරම ලබා ගැනීමට කටයුතු කරන්න.

විවාහය ගැන සඳහන් කිරීමේදී වෘෂභ හෝ මිථුන වැනි ලග්න හිමියන් විවාහයට යෝජනා වුවහොත් ඔවුන් සමඟ සිදුවන විවාහයන් අසාර්ථක වීමට තිබෙන අවස්ථා වැඩියි.

සකස් කළේ – අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division