Home » උසස් පෙළ ජය ගෙනෙන බලසම්පන්න සෙත් කවිය

උසස් පෙළ ජය ගෙනෙන බලසම්පන්න සෙත් කවිය

by thanushika
December 23, 2023 12:30 am 0 comment

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරී මස 04 වන ගුරු දින ආරම්භ වන බව සඳහන් වේ. ඒ අනුව මෙවර විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමට, සිය මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩි දියුණු වීමට, නීරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාව, රැකවරණය ලැබිය යුතුය. එහෙයින් අති සාර්ථකව මෙම තරග විභාගය ජය ගැනීම සඳහා පහත සඳහන් ග්‍රහ ශාන්තිකර්ම සහ මහා බලගතු සෙත්කවිය ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩඉම ජය ගත හැකිය.

උසස් පෙළ විභාගයේ ආරම්භක දිනය වන ලබන ජනවාරි 04 වන ගුරු දිනය සුබ බලයක පවතී. දින 22කට ආසන්නව පවතින මේ විභාගයේ ආරම්භය ඉතා සුබදායී වේ. අප ඔබට ඉතා බලසම්පන්න සෙත් කවි රත්නයක් ද ඉදිරිපත් කරන අතර එය නිවැරැදිව භාවිතය තුළින් මහඟු ප්‍රතිඵල උදාකර ගත හැකිය.

මෙම විභාගයට පෙනී සිටින සියලු දුවාදරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බලසම්පන්නව හා සරලව විෂ්ණු, කතරගම සහ ගණ දෙවියන් යන දෙවියන් වහන්සේ උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත් කවිය පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය.

විභාගයට පෙර දිනවල ස්නානය කර පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද, මල් අසුන පිරිසිදු කරගන්න. ඉන් පසු සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා තෙරුවන් නැමද ආගමික වතාවත් සිදු කරන්න. අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු, කතරගම සහ සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න.

පසුව පහත සඳහන් මහාබලසම්පන්න සෙත්කවිරත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00ත් රාත්‍රී 10.48ත් කාලය තුළ නිවැරැදිව 7 වරක් ගායනා කොට විභාග නිමා වන තුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගීභාවය හා යන එන ගමනේ බිමනේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත් කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා විසින් සිදු කිරීම ඉතා හොඳය.

මහා බලසම්පන්න සෙත් කවි රත්නය

හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින

පිනැති සිරිවස් ‐ දෙව් සෙනෙවි ‐ ගණ දෙවිද නිති ගැති වඳිමි බැතියෙන

දුරුතු මස තුළ සියලු දිනවල මුහුණ දෙන තරගයට කුලුනින

දුරැර දොස නැණ බලය දෙවනු මැන විභාගයෙ ජය සතිරවන මෙන

අදාළ විභාග දිනයේ විභාගයට පිටත් වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද, දෙමාපියන් නැමද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකත හා දිශාව අනුව පිටත්ව යන්න.

“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝ හි

උද්ඝෝසයුං දේව ගනා පසන්නා

ඒතේන සච්චේන ජයස්තු මය්හං”

සුදු මලක් දමන ලද පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමඟට හමුවන ලෙස පිටත්ව යන්න.

මහා බලසම්පන්න ගණ දෙවි පූජාව

එසේම උසස් පෙළ දරුවන්ගේ තීරණාත්මක කඩඉම ජය ගැනීම සඳහා පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම තුළින් අතිසාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකිය.

ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම

ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරාගන්න. එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න. පහත සඳහන් දෑ සකස් කරගන්න.

. මල් වට්ටියක් නෙළුම් මල් සමඟ

. පලතුරු වට්ටියක් (පලතුරු 5ක් පමණ)

. කැවිලි වට්ටියක් (කැවිලි 5ක් පමණ)

. හඳුන්කූරු

. පහනක්

. සම්බ්‍රානි සුවඳ දුම් සූදානම් කරගන්න

නෙළුම් මල් හා වෙනත් මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ / කෙසෙල්/ කොමඩු / දෙළුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටිය සාදාගන්න. ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක් පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක් හබල පෙති / උක් හකුරු / මී පැණි / කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරුපෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය 7 වරක් ගායනා කරන්න.

බදාදා සහ සෙනසුරාදා දිනයන්හි දින තුනක් සවස 6ත් 8ත් අතර කාලය තුළදී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරුවී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යවත් කාලයක් උදා වෙයි.

ගණ දෙවි ස්තෝත්‍ර

ගණපතිපරිවාරං ‐ චාරුකේයුර භාරං

ගිරිධරවරසාරං ‐ යෝගිනිචක්‍ර වාරං

භවහයපරිහාරං ‐ දුකකදාරිදා දුරං

ගණපතිමහිවන්දෝ ‐ චක්‍ර තුණ්ඩවතාරම්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division