Home » මේෂ ලග්න හිමියාගේ 3වැන්නාධිපති භාව 12දී ලබා දෙන පලාපල

මේෂ ලග්න හිමියාගේ 3වැන්නාධිපති භාව 12දී ලබා දෙන පලාපල

by thanushika
December 23, 2023 12:30 am 0 comment

ඔබගේ කේන්දර සටහනේ තුන්වැන්න අයත් වනුයේ මිථුන ලග්නයට වන අතර එහි අධිපතිත්වය දරනුයේ බුද්ධියට, ඥානයට, ගණිත මිනිත කටයුතු, ලෞකික පැවතුම්, ආලය මෙන්ම සංගීතය, ශෘංගාරය, කාව්‍යකරණය ආදී දේ මෙන්ම කථිකත්වය ද දක්වන බුධ ග්‍රහයාටය. ඉහත සියලු දේ එම ග්‍රහයාගේ බලපෑම මත මිථුනයේදී ඔබට අත්විඳීමට හැකි වුවද අනෙකුත් ග්‍රහයන් සහ ස්ථානයන්වල ඇතිවන ගෝචරය මත එය කෙසේ සිදුවන්නේ දැයි ඔබ දැනුවත් විය යුතුය.

බුධ ග්‍රහයා සත්‍යවාදී බව, වාග් ශක්තිය, ඉගෙනීම පොතපතට ඇති ළැදියාව, ශාස්ත්‍රීය කටයුතු මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ආදිය ද ගැන ප්‍රධානත්වය දැරුවද ජ්‍යොතිෂයේදී කරුණු දක්වන විට බුධ සංයෝග, දෘෂ්ටි වන අනෙකුත් ග්‍රහයන්ගේ ශක්තිය බලය මත බොහෝ විට ක්‍රියාකරන නිසා වැඩිහිටියන්ගේ දෙයට අවනත කුඩා දරුවකු ලෙසට මෙම බුධ හඳුන්වා දී ඇත.

මෙහිදී තුන්වැන්න අධිපති බුධගේ බලපෑම මෙම ස්ථානයට කුමන ආකාරයක ප්‍රතිඵල ලබා දෙන්නේ දැයි විමසමු. තුන්වැන්න අධිපති තුන්වැන්නේ සිටීම මේෂ ලග්න හිමියන් හට තමාගේ චින්තන ශක්තිය, එනම් කල්පනා කිරීමේ ශක්තිය යහපත් ලෙස පිහිටමින් සෑම දෙයක්ම හොඳින් හුරුපුරුදු කර ගනිමින් විද්‍යාවට ආශාවක් ඇති, ගණිත මිනිත ආදියට ද දක්ෂතා පෙන්වන එමෙන්ම අන් අයට ගුරුහරුකම් දීමට ද සමත්කම් ඇත.

මෙහිදී අනෙකුත් ග්‍රහයන් සමඟ සහයෝගයෙන් ඒ ඒ ස්ථානවලදී පල විපාක දෙන අයුරු බලන කල සිවුවැන්න අයත් වන කටකයට බුධ පැමිණීම හෝ එහි තැන්පත්ව ඇත්නම් බොහෝ විට තමාගේ වාසියට වැඩ කටයුතු කරයි. බොරුවෙන් හෝ තමාගේ වැඩ කටයුතු ඉෂ්ට කරගැනීමට සිතන්නා වූ උපාය සහගත නුවණ මෙහෙයවා වැරැද්ද වුවද නිවැරදි ලෙස පෙන්වීමට තර්කානුකූලව උපකල්පනයන් ගෙන එයි.

ඔබ කේන්දර සටහනේ පස්වැන්න අයත් වනුයේ රවි ග්‍රහයා අධිපතිත්වය දරන සිංහ රාශියට වන අතර එය විද්‍යාස්ථානය, පුත්‍ර ස්ථානය හැටියට ද සඳහන් කර ඇත. ස්ථිර ගතියෙන් යුත් බලවත්ම රජෝ ගුණයෙන් යුක්ත වන මෙම රාශියට, විද්‍යා, ඉගෙනීම, දරුවන්ගේ කටයුතු, ආලය ආදරය පිළිබඳ කටයුතු අයත් වනවා ඇත. මෙම ස්ථානයට තුන්වැන්න අධිපති බුධගේ පැමිණීම හෝ පිහිටීම අනුව දූරදර්ශී නුවණ, සියලු දේ ගැනම ගැඹුරින් දක්නට හැකිවීම වැනි දෙයට යහපත්ය.

ඔබගේ හයවැනි ස්ථානය අයත් වනුයේ කන්‍ය රාශියට වන අතර මෙහිදී තුන්වැන්න අධිපති බුධ උච්ඡ වන අතර මේ නිසාම මෙම ස්ථානය ද සියලු කටයුතු කාරණාවලට ද ඥානය පිළිබඳව කාරණා සිදු කරයි. එබැවින් බුධ ග්‍රහයාගේ එම විශාල බලය අධ්‍යාපන කටයුතු ක්‍රමානුකූලව ඥානවන්තව සිදුකිරීමට බලපායි. මෙම ස්ථානයේ ඇති දුර්වලතාව වනුයේ ශරීරයේ ඇති සියුම් ස්ථාන, යටිබඩ, ගර්භාෂය, බඩවැල් ආදිය ප්‍රධානත්වය ගන්න නිසා යම් අයුරකින් වෙනත් ග්‍රහ සංයෝගයක් නිසා බඩවැල් ආශ්‍රිත රෝග, ලේ අතීසාරය, වා, පිත්, සෙම් ආශ්‍රිත අසනීප වී ඇතිවිය හැකි වීමයි.

ඔබ කේන්දර සටහනේ හත්වැන්නට ඇත්තා වූ තුලාවට අයත් සිකුරු අධිපතිත්වය දරන මෙම ස්ථානය ගැන මෙයට පෙර සඳහන් කර ඇත. මෙම ස්ථානයට තුන්වැන්න අධිපතිගේ පැමිණීම හෝ පිහිටීම මත සියලු දේ ගැන අපක්ෂපාතී ලෙස කරුණු සොයා බලා ඉතා හොඳින් කල්පනාකර යුතුකම් ඉෂ්ට කරන පිරිසිදු නුවණක් ඔබට හිමි වනු ඇත.

මෙම කේන්දර සටහනේ අටවැන්න අයත් වනුයේ වෘශ්චික රාශියට වන අතර එය ද කුජ ග්‍රහයාගේ අධිපතිත්වය දරන ස්ථානයක් වන අතර මරණය, ආයු කාලය නොසිතූ ලෙස අපට මුහුණපෑමට සිදුවන වාසි අවාසි, දුක් දොම්නස මෙන්ම රහසිගත කටයුතු විවාහයෙන් පසු ලැබෙන වාසි අවාසි මෙම ස්ථානයෙන් පෙන්නුම් කරනවා ඇත.

නවවැන්න හෙවත් ගුරුට හිමි ධනු රාශිය ධනුවේ ඇති ද්විස්වභාව ගුණයත් දක්වන උභය රාශි ගුණයෙන් යුක්තව විශේෂ උද්‍යෝගී ගති විදහා දක්වමින් තම වාසනාව, භාග්‍ය, ආගම ධර්මය, විදෙස්ගත වීම්, අධ්‍යාපනය උසස් ලෙස කරගෙන යාම, ආත්ම ගරුත්වය, විවාහයේ පලප්‍රයෝජන මෙන්ම මතු ආත්මය, ගුරුවර පිය පාර්ශ්වයේ තත්ත්වයද පෙන්නුම් කරයි.

අපගේ ජීවිතයේ ක්‍රියාවන් හෙවත් කර්ම අනුරූපව ප්‍රතිඵල දක්වන දසවැන්න, උස් පහත් බව, ජීවිතය, කුමන කරුණක් සඳහා ඔබගේ දක්ෂතාව පිළිබිඹු වන්නේ ද යන විස්තර සහිතව ඇති මකරයට අයත් ශනි හෙවත් සෙනසුරු අධිපතිභාවය දරන මෙම ස්ථානයට තුන්වැන්න අධිපති පැමිණීම හෝ පිහිටා ඇත්නම් ඒ හේතුකොට ගෙන විවිධ දේ ගැන, අදහස් සිතා මතා ක්‍රියාත්මක කිරීමෙන් තම කාලය ඒ සඳහා කැප කරයි.

කේන්දර සටහනේ එකොළොස් වැන්න අයත් වනුයේ කුම්භයට වන අතර එහි අධිපතිත්වය ද දරුනුයේ ශනි හෙවත් සෙනසුරු වන අතර මෙම ස්ථානය අයස්ථානය වශයෙන් නම්කර අප හට කරනු ලබන කටයුතු කාරණාවලින් ලැබෙන පල ප්‍රයෝජන සමාජයෙන් ලැබෙන සම්බන්ධතාවන් මේ සියලු දෙයින් ලබන්නා වූ ආදායම, අධ්‍යාපන තත්ත්වය දක්වන අතර මෙම ස්ථානය කිසිම ග්‍රහයකුට නරකක් නොමැති බවද සඳහන්ය. තුන්වැන්න අධිපතියාගේ පැමිණීම හෝ සංයෝග වී ඇත්නම් පොතපත මෙන්ම ඥානය මෙහෙයවා කරන කටයුතු කාරණාවලින් ආදායම් ලබා දියුණු සමාජයක නිතර ගැවසීමට වාසනාව ඇත.

කේන්දර සටහනේ දොළොස්වැන්න හෙවත් මීන රාශිය ගුරු අධිපතිත්වය දරන මෙම ස්ථානයට එම බලපෑම නිසාත් එය භාග්‍ය ස්ථානයට අධිපතිත්වය දරන බැවින් වියදම, නීතිමය කටයුතු, අන් අයට පිහිටවීම මෙන්ම මෙහි සිටින අනෙකුත් ග්‍රහයන් මත පිරිහීම, වියදම, විනාශය මෙන්ම ඔබට විදේශ ගමන්, විදේශගතවීම් මෙම ස්ථානයේ ඇති බැවින් බුධගේ පැමිණීම හෝ එම ස්ථානයේ සිටීම හේතුකොට ගෙන කුඩා කාලයේදී අධ්‍යාපනයට කැමැත්තක් නොදැක්වුවද ජීවිතයේ අග භාගයේදී කිසියම් දෙයක් ගැන විශාල දැනීමක් අවබෝධයක් ඇති වීමට හැකියාව ඇත.

කේන්ද්‍රයේ ලග්නය හිමි ස්ථානය හෙවත් ලග්නාධිපති වන පළමු වැන්න හිමි මේෂය ගැන මීට පෙර කරුණු දක්වා ඇති බැවින් එම ස්ථානයට තුන්වැන්න අධිපති බුධගේ සංයෝගය හේතුකොට ගෙන තම උත්සාහයෙන් ශාස්ත්‍රීය කටයුතු, පොතපත පිළිබඳව උසස් දැනුමක් ලබා කීර්තිමත් නාමයක් ලබාගත හැකිවන අතර නිතරම තමාගේ ඥාන ශක්තිය දියුණුකර ගැනීමත් ඒ මගින් තියුණු උපකල්පනාත්ම ඥාන ශක්තිය මෙහෙයවා සැම දෙයක් ගැනම තීරණ ගන්නා අතර ඉතා අවංක ලෙස සේවය කරමින් කරන කටයුතුවලින් අන් අයට බාධාවක් ලෙසින් පෙනුණද ඔවුනට වඩා දක්ෂ ලෙස යුහුසුලුව කටයුතු කාරණා සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබාගන්නවා ඇත.

මේෂ ලග්න ක්ෂේත්‍රයේ දෙවැන්න අයත් වනුයේ වෘෂභ රාශියට වන අතර සිකුරු මෙහි අධිපතිත්වය දරයි. ස්වභාවය පෙර සඳහන් කර ඇති අතර මෙම ස්ථානයට බුධගේ සංයෝගය ගත් විට තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් වියපැහැදම් කිරීමට සිදු වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division