Home » නිවාස ව්‍යාපාරික ස්ථානවල භූමි දෝෂ දුරුකරන මහානුභාවසම්පන්න ඊශ්වර මහා දැහැන

නිවාස ව්‍යාපාරික ස්ථානවල භූමි දෝෂ දුරුකරන මහානුභාවසම්පන්න ඊශ්වර මහා දැහැන

by thanushika
December 23, 2023 12:30 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ඉසිවර පාඨක ඔබ වෙත මෙවර අප ඉදිරිපත් කරනු ලබන්නේ බොහෝ නිවාස ව්‍යාපාරික ස්ථාන ඇතුළු ආගමික ස්ථානවල සෞභාග්‍ය පිරිහී ඉදිකිරීම් ඇණහිට ණයතුරුස් ගොඩගැසී බොහෝ පීඩාවන් ගෙන දෙන භෛරව දෝෂ දුරු කරගැනීම සඳහා වූ මහානුභාවසම්පන්න පූජා විදියයි.

භෛරවවරු යනු ඊශ්වර දිව්‍යරාජයාණන්ගේ අණසක යටතේ කටයුතු කරන ඉතා බලසම්පන්න අමනුෂ්‍ය කොටසකි. ඊශ්වර දිව්‍යරාජයාණන්ට පමණක් අවනත සමහර අවස්ථාවලදී තෙරුවන් ගුණ පවා නොතකා වියරුවෙන් ක්‍රියා කරයි. සමහර ඇදුරන් ස්ථානවල සෞභාග්‍යය පතා විශාල වියදමක් දරා ඒ හා සමාන අය කිරීම්ද කර භෛරව පූජාවන් පවත්වති. පූජාව කැප කිරීම සඳහා භෛරව දිෂ්ටියෙන් දිෂ්ටි කර කැඳවන භෛරවයින් භූමියෙන් ඉවත් නොකර ගොඩනැඟිලි හා භූමිය වටා ආරක්ෂාවන් දමති. නොදන්නාකම නිසා සිදුකරන මෙම අකටයුතු තුළ කෝපයට පත්වන භෛරවයින් අතිමහත් පරිහානියක් සිදු කරයි. භූමියක භෛරවයින්ගේ බලපෑම දස දිශාවක පවතින බව පුරාණ ඇදුරු මතයයි. ඒ අනුව පූර්ව දිග, අග්නි දිග, දක්ෂිණ දිග, නිරිත දිග, වරුණ දිග, වයඹ දිග, උතුරු දිග, ඊසාන දිග සහ අහස පොළොව වෙනුවෙන් ආථාල සහා පාථාල දිග යනුවෙන් දස දිසාවෙන්ම භෛරව බල ක්‍රියාත්මකව පවතී.

මහා රෞද්‍ර, මහා භයංකර, මහා විනාශකාරී බලවේග ලෙස භෛරව බලය හඳුන්වා දී ඇත. පුද පූජා පැවැත්වීමේදී ඇදුරන් විසින් ඉතා ප්‍රවේශමෙන් හා මනා අවබෝධයකින් මේ පිළිබඳ කටයුතු කළ යුතු අතර ලිපිය දීර්ඝ වන බැවින් අනෙකුත් කරුණු පෞද්ගලිකව හමුවී ඔබට ලබාගත හැකි බව කරුණාවෙන් සිහිපත් කරමු.

ඊශ්වර දිව්‍යරාජයාණන් විශ්වයේ මහා දෙවියන් හැටියට හින්දු බැතිමතුන්ගේ පිළිගැනීමයි. අට කෝටියක් භෛරවයින් ඊශ්වර දිව්‍යරාජයාණන්ගේ අණසකට යටත්ව කටයුතු කරන බැවින් තම නිවසේ හෝ භූමියේ ඉතා පිරිසිදු තැනක ආසනයක් මත සුදු පිරුවට එළා ඒ මත පිරිසිදු කෙසෙල් කොළයක් එළා කහ වතුර ඉස පිරිසිදුකර පිරිසිදු පැන් බඳුනක් එය මත තබා තැඹිලි ගෙඩියක් කපා ඒ මත තබන්න. තවද රතු නෙළුම් මල් සහිත සුවඳ මල්, සුදු හඳුන් ස්වල්පයක් ගලගා බුලත් කොළයක තබා එයද යහනෙහි තැන්පත් කරන්න. ඊට අමතරව එළඟිතෙල්, උ‍ඳු මිශ්‍ර කිරිබතක් සකසා එයද බඳුනක තබා යහනෙහි තැන්පත්කර දැහැත් විටක්ද තබන්න. මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් ද යහනෙහි තබා සුවඳ දුම් පතුරවා යහන ඉදිරියෙහි පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර මෙම ඊශ්වර දිව්‍යරාජයාණන්ගේ මහා දැහැන තුන්වරක් ශබ්ද නඟා කියවන්න.

ඊශ්වර පූජාව

ඕං භූර්භූවඃ ස්වඃ ඕං වෘෂභවාහනාය,

ත්‍රිශූල ශක්ති හස්තාය, ත්‍රීනෙත්‍රාය,

එෂ සිද්ධි මාෂ භක්ත බලිර් නමඃ.

ඉන් අනතුරුව ස්ථානයට හා භූමියට ඇති භෛරව දෝෂ දුරු වී සෞභාග්‍යය උදාකර දෙන මෙන් ඊශ්වර දිව්‍යරාජයාණන්ගෙන් ඉල්ලා අවශ්‍ය ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් සිදු කරගන්න. ඉන් අනතුරුව ඊශ්වර දිව්‍යරාජයාණන් ප්‍රසාදයට පත් කරගැනීම සඳහා අතිෂය ආනුභාවසම්පන්න ඊශ්වර අෂ්ටකයන් තුන හැකි වාර ගණනක් මිහිරි හඬින් කියවන්න. මෙය නිතර භාවිත කිරීමද ඉතා සුදුසුය.

ඊශ්වර අෂ්ටක තුන

ගංගා තරංග – රමණීය ජටා කලාපං

ගෞරී-නිරන්තර-විභූෂිත – වාම -භාගමි

නාරායණී – ප්‍රිය – මනංග – මදාපහාරං

වාරාණසීපුරපතිං භජ විශ්වනාථම්

වාචාම-ගොචර-මනෙක – ගුණ ස්වරූපං

වාගීශ – විෂ්ණු – සුරසෙවිත – පාදා – පීඨම්

වාමෙණ – විග්‍රහවරෙණ – කලත්‍රවන්තං

වාරාණසීපුරපතිං භජ විශ්වනාථම්

ශීතාංශු – ශොහිත – කිරීට – විරාජමානං

හාලෙක්‍ෂණානල – විශොෂිත-පඤ්ච – බාණමි

නාගාධිපෛරවිත – භාස්වර – කර්ණ – පූරං

වාරාණසීපුරපතිං භජ විශ්වනාථම්

ඉන් අනතුරුව ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් සහ ඊශ්වර දිව්‍යරාජයාණන් ඇතුළු දෙවිවරුන්ට පින් දී පූජා යහනෙහි තැන්පත් කර ඇති මුඩ්ඩ සහිත පොල් ගෙඩිය මත ගිතෙල් පහනෙන් දල්වා ගත් කපුරු පෙත්තක් තබන්න. ඔබට අවශ්‍යයැයි සිතෙන නිවස හෝ වෙනත් ගොනැඟිලි හා භූමිය වටා ප්‍රදක්ෂිණා කොට පූජා යහනෙහි ඉදිරිපිට එම පොල් ගෙඩිය බිඳින්න. අඩුම තරමේ තුන් මසකට සැරයක්වත් ඔබට මෙම පූජාව සිදුකරගත හැකිනම් ඊශ්වර දෙවිරදුන් ප්‍රසාදයට පත්වී භෛරව දේවතාවෝද සතුටු වී අපමණ සෞභාග්‍යයක් උදා කර දෙයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division