Home » වසරේ අවසන් සතියේ ප්‍රබල ග්‍රහ මාරු තුනක්

වසරේ අවසන් සතියේ ප්‍රබල ග්‍රහ මාරු තුනක්

by thanushika
December 23, 2023 12:30 am 0 comment

මේ වසරේ අවසන් සතිය වන ඉදිරි දින කීපයේ ප්‍රබල ග්‍රහ මාරු තුනක් සිදුවීම විශේෂත්වයක් ලෙස ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. දැනට තුලා රාශියේ ගමන් ගන්නා සිකුරු ග්‍රහයා දෙසැම්බර් 25 වැනිදා පෙරවරු 6.45ට වෘශ්චික රාශියට පිවිසීමත් මේ වන විට ධනු රාශිය තුළ වක්‍ර ගමනක යෙදෙන බුධ ග්‍රහයා දෙසැම්බර් 28 වැනිදා පෙරවරු 11.22ට වෘශ්චික රාශියට පිවිසීම සිදුවන අතරේ දැනට තමාටම අයත් වෘශ්චික රාශිය තුළ ගමන් කරන කුජ ග්‍රහයා දෙසැම්බර් 28 වන දින 00.19ට ධනු රාශියට පිවිසීමත් එම ග්‍රහ මාරු තුන ලෙස දැක්වේ.

වෘශ්චික රාශිය අයත් වන්නේ කුජටය. කුජ යනු ගිනිකාරක ග්‍රහයෙකි. සිකුරු සුකුමාල ග්‍රහයෙකි. සුකුමාල සිකුරු කුජගේ රාශිය වන වෘශ්චික රාශියට පිවිසෙන දෙසැම්බර් 25 දා පෙරවරු 6.45 සිට එහි ගතකරන 2024 ජනවාරි 18 රාත්‍රී 8.56 දක්වා කාලය තුළ විශේෂයෙන් වැඩිහිටියන්, දරුවන් සහ තරුණ තරුණියන් ගැන අවධානයෙන් සිටිය යුතුය.

දැනට ධනු රාශිය තුළ වක්‍ර ගමනක යෙදෙන බුධ ග්‍රහයා මෙම 28 වනදා පෙරවරු 11.22ට වෘශ්චික රාශියට පිවිස ලබන ජනවාරි 07 වනදා රාත්‍රී 8.50 දක්වා වෘශ්චික රාශිය තුළ එම වක්‍ර ගමනේම යෙදේ. බුධ ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශියට පිවිසීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක අවස්ථාවක් නිර්මාණය කරනු ඇත.

ඉදිරි දින කීපයේ සිදුවන මෙම ග්‍රහ මාරු තුනම සමස්තයක් ලෙස ගත් කල මේෂ, සිංහ, තුලා, වෘශ්චික, මකර සහ කුම්භ ලග්න හිමියන්ට ඉතා සුබදායක අතර මිථුන, කටක, කන්‍යා සහ මීන ලග්න හිමියන්ට මිශ්‍රපලදායකය. එහෙත් වෘෂභ සහ ධනු ලග්න හිමියන් මෙකී කාලය තුළ බෙහෙවින් ප්‍රවේශම් විය යුතු අතර ආගමානුකූලව කටයුතු කිරීමෙන් එම අසුබතා මඟහරවා ගත හැකිය.

ඊට අමතරව තරුණ තරුණියන් තුළ ඉවසීම අඩුවන බැවින් ආවේගශීලී නොවී කටයුතු කිරීමට වග බලා ගත යුතුය. මෙම කාලය තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය ක්ෂේත්‍ර තුළ සුවිශේෂ වෙනස්කම් කීපයක් ඇති විය හැකිය. එමෙන්ම මෙම කාලය තුළ අනපේක්ෂිත කාලගුණ විපත්, ගිනි ගැනීම් සහ රිය අනතුරු ආදියට ද ඉඩ ඇත. සමස්ත ග්‍රහ මාරු තුන ඒ ඒ ලග්න හිමියන්ට බලපාන ආකාරය මෙලෙසිනි.

මේෂ – මේෂ ලග්න හිමියන්ට සුබදායකය. නිවසට අලුත් බඩු භාණ්ඩ මිලදී ගැනීමට හැකි වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. මිල මුදල් ලාභ ලැබේ. ස්ත්‍රී පුරුෂයන් අතර බැඳීම් වර්ධනය වේ. බලාපොරොත්තු ඉටු වේ. කරගෙන යන වැඩ කටයුතු දියුණු වේ. ඒවාට ඥාති මිත්‍රාදීන්ගේ උදවු උපකාර ලැබේ. ඉගෙනීමේ කටයුතුද සාර්ථක වේ.

වෘෂභ – වෘෂභ ලග්න හිමියන්ගේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටේ. විවාහකයන් අතරද ගැටලු ඇති වේ. උසස් අය සමඟ ආරවුල් ඇති විය හැකිය. බොරු චෝදනා නින්දා අපහාසවලට ලක් වෙයි. කායික පීඩා හා සිත් තැවුල් ඇති වේ. ධන හානි සිදු වේ. ඒ අතර ශරීරයට සැපයක්ද ලැබේ.

මිථුන – මිථුන ලග්න හිමි ඔබට මිශ්‍රපලදායකය. වස්තු ලාභ ලැබේ. කරගෙන ආ කටයුතු මෙන්ම මේ දිනවල අලුතින් ආරම්භ කරන කටයුතුද දියුණු වේ. රැකියා, වෙළෙඳාම් කටයුතුවලින් ලාභ හා දියුණුව සැලසේ. පවුලේ ආරවුල් හා සතුරු කරදර ඇති විය හැකිය.

කටක – කටක ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව මිශ්‍රපලදායකය.⁣ අන්‍යයන්ගෙන් හොඳ නම, ප්‍රශංසා හිමි වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා දියුණු වේ. ධන ලාභ ඇති වේ. බලාපොරොත්තු ඉටු වේ. අනුමානයට කරන වැඩවලින් අලාභ හා අඹු සැමියන් අතර ආරවුල් ඇති විය හැකිය.

සිංහ – විභාගවලින් ජය ලැබේ. ඉගෙනීමේ කටයුතුවලට ඉතාම හොඳ කාලයකි. මිල මුදල් ලාභ ලැබේ. පවුලේ සමගිය ඇති වේ. දියුණුව පිණිස කටයුතු කරගත හැකි වාසනාවන්ත කාලයකි. ගොවිතැන්වලින් ලාභ ලැබේ. සමාජයේ පිළිගැනීමට ලක් වේ.

කන්‍යා – මිතුරන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. සමාජය තුළ තම බලය පැතිරේ. නිවසේ දියුණුවකට ඉඩ සැලසේ. ලියකියවිලි වැඩවලින් ලාභ හිමි වේ. එහෙත් වියදම් අධික වේ. සමීපතමයෙකු අමනාප වීමක් හෝ විපතක් සිදු විය හැකිය.

තුලා – ගුරු සිකුරු මාරුව තුලා ලග්න හිමියන්ට ඉතා සුබදායකය. මෙම කාලයේ මිල මුදල් ලාභ හා දියුණුව ඇති වේ. ස්ත්‍රී පුරුෂයන්ගේ ආදර බැඳීම් සපල වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රාජ්‍ය අංශයේ උසස් අයගේ උදවු උපකාර ලැබේ. පවුලේ දියුණුවට කටයුතු සැලසේ.

වෘශ්චික – අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට මෙම ග්‍රහ මාරුව ඉතාම සුබදායකය. අලුත් අදහස් පහළ වේ. ලියකියවිලි වැඩ සාර්ථක වේ. ආදායම් ඉහළ යයි. අඹුසැමි සබඳතා වැඩි වේ. ප්‍රේම සම්බන්ධතා ස්ථිර වේ. සමාජයේ පිළිගැනීමට ලක් වේ. හොඳ ආහාරපාන, ඇඳුම් පැලඳුම් ආදිය ලැබී සැප සතුට ඇති වේ.

ධනු – ධනු ලග්න හිමියන් තුළ උනන්දුව, උත්සාහය හීන වේ. රැකී රක්ෂා කටයුතුවලට බාධා මතු වේ. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වේ. වියදම් අධික වේ. නින්දා අපහාස, සතුරු කරදර ඇති වේ. නිකරුණේ කරදර හිරිහැර ඇති වේ. සමිති සමාගම්, මිතුරු ඇසුර, රහස් ආදර බන්ධනද ඇති වේ.

මකර – මෙතෙක් පැවති අසනීප සුව වේ. රැකියා තනතුරු ලාභ හිමි වේ. වෙළෙඳ ව්‍යාපාර, ඉඩකඩම්, ගොවිතැන් ආදියෙන් වැඩි ලාබ ලැබේ. මේ ග්‍රහ මාරුව හැම අතින්ම ඔබට සුබදායකය. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට වඩාත් යහපත් කාලයකි. උනන්දුව වැඩි වේ. ඔබේ වචනයේ බලය ජය ගනී. කාන්තාවන් ඇසුරු කිරීමටද, විනෝද වීමටද අවස්ථාව හිමි වේ.

කුම්භ – මෙම ග්‍රහ මාරුව ඔබේ ආර්ථිකයට ශක්තියක් සපයයි. ධන ලාභ හිමි වේ. මෙතෙක් පැවති සතුරු කරදර ඉවත් වේ. අඹුසැමි සබඳතා වර්ධනය වේ. රැකී රක්ෂා දියුණු වේ. ප්‍රීති උත්සවවලට සහභාගී වීමට අවස්ථාව ලැබේ. ආගම දහමට නැඹුරු වේ. කාන්තාවන් ඇසුරු කිරීමේදී හා සම්බන්ධතා පැවැත්වීමේ දී ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය.

මීන – මීන ලග්න හිමියන්ට මිශ්‍රපලදායකය. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගොවිතැන් කටයුතු සාර්ථක වේ. ආගම දහමට නැඹුරු වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමිය. කම් සැප ලැබේ. රෝගාබාධ වැලඳීමට, නින්දා අපහාස ඇතිවීමට, ධන හානි සිදු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී

විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division