Home » මම බොහෝ දුරට ඒක භාර ගන්නේ නැති වෙයි

මම බොහෝ දුරට ඒක භාර ගන්නේ නැති වෙයි

by thanushika
December 16, 2023 12:31 am 0 comment

කලා ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා. අදත් මේ කතාබහ සිදු කරන්නේ රංගන ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු රංගන ක්ෂේත්‍රය තුළින් දිගු ගමනක් යන්නට බලාපොරොත්තු වන නවක රංගන ශිල්පිනියක් සමඟ. ඇය නමින් ඈන් මිනොෂි. ඈන්ව අපිට මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඒ ශ්‍රීලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ මේක පුදුම කතාවක් චිත්‍රපටය තුළින්.

මුලින්ම ඈන් ගැන විස්තර කළොත්?

මගේ නම ඈන් මිනොෂි. මගේ ගම පොල්ගහවෙල. අම්මයි තාත්තයි මමයි පවුලේ ඉන්නේ. මම එකම දරුවා. මම ඉගෙන ගත්තේ කුරුණෑගල හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙන්. දැන් මම කලා කටයුතුවලට පහසු නිසා රාජගිරියේ ඉන්නේ.

කොහොමද කලාවට සම්බන්ධ වුණේ

පාසල් යන කාලේ කිසිම අදහසක් තිබ්බේ නැහැ කලාවට එන්න. මට ඕනේ වුණේ පාසල් ගිහින් අවසන් වුණු ගමන් මොකක් හෝ කරන්න. ඒ හින්දා මම රත්නපුරේ ෂූටින් තිබ්බ යූ-ටියුබ් චැනල් එකකට සම්බන්ධ වුණා. එතැන මාස දෙක තුනක් ඉන්නකොට මම ආස කළා මොඩ්ලින් ගැන ඉගෙන ගන්න. මම පොල්ගහවෙල ඉඳන් කොළඹ ආවා ඉරිදා දවසට. ඔය අතරේ මට ෆොටෝ ෂූට් එකක් කළා. ඊට පස්සේ අවුරුදු උත්සවයකට මම ගියා. එතැනදී මට සුනිල් ටී ප්‍රනාන්දු සහ චන්දිමාල් ජයසිංහ වගේ බොහෝ කලාකරුවන් හමුවුණා. එදා මම සුනිල් සර් එක්ක ගත්ත ෆොටෝ එකක් මැසෙන්ජර් යවලා මාව මතකද අහලා ඔඩිෂන් තියෙනවා නම් කියන්න කිව්වා. මම කොළඹ එන හැම සැරේම වගේ මැසේජ් එකක් දාලා මතක් කළා. ටික කලයක් යද්දී එක දවසක් කිව්වා ලාල් ප්‍රියදේව සර් අලුත් ෆිල්ම් එකක් කරනවා කතා කරන්න කිව්වා. එහෙම තමයි “මේක පුදුම කතාවක්“ ෆිල්ම් එකට අවස්ථාව ලැබුණේ.

කොහොමද ඒ අත්දැකීම?

මට ලැබුණේ CID චරිතයක්. එතැනදී මට සටන් කරන්න වගේම ඩාන්ස් කරන්න තිබ්බා. ඒ නිසාම පළමු නිර්මාණය තුළින්ම යම්තාක් දුරට යමක් කරන්න පුළුවන් වුණා කියල හිතනවා.

ඊට පස්සේ ලැබුණු අවස්ථා මොනවද?

මගේ දෙවැනි චිත්‍රපටය නුහුරු වෑයම. ඒක අර්ජුන් කමලනාත් මහතාගේ. ඔය අතරේ මට ජාතික රූපවාහිනියේ විකාශය වුණු උඩුකුරිඤ්ඤං ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ මම ෆැෂන් ෂෝවලටත් සහභාගි වෙනවා.

මේ වෙද්දී කලාව පමණ ද ඔබේ වෘත්තිය?

ඔව්. කලාව වෙනුවෙන් පමණයි මම කැපවෙලා ඉන්නේ.

රංගනය ගැන හැදෑරීමක් කරනවද?

මම සුරේෂ් කුමාරසිංහ මහතා යටතේ රංගනය ගැන ඉගෙන ගත්තා. දැන් නම් ලැබෙන නිර්මාණ තුළින්ම රංගනය ගැන ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා.

කටකතා ගොසිප්වලට බයද?

නැහැ. පල ඇති රුකටනේ ගල් ගහන්නේ. කොච්චර ගොසිප් හැදුවත් මම දන්නවා, මගේ අම්මා දන්නවා, මගේ වටේ ඉන්න අය දන්නවා මම කවුද කියන්න. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මගේ ඉදිරි ගමන නවත්තන්න බැහැ. මම මගේ ගමන ඉස්සරහටම යනවා.

ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය?

මුලින් නම් අම්මා තාත්තා පොඩි පොඩි අවුල් දැම්මා. දැන් නම් අම්මා මගේ හැම ෂූටින් එකකටම එනවා. දැන් ලොකු සහයෝගයක් දෙනවා.

ආදරේ ගැන අත්දැකීම් ඇතිනේ, ආදරේ දකින්නේ කොහොමද?

ආදරය කියන්නේ කට වචනයෙන් ඇතිවෙන දෙයක් නෙවෙයි හදවතින්ම ඇති වෙන්න ඕනේ. බාහිර පෙනුමටවත් සල්ලිවලට වත් සීමා නොවෙන්න ඕනේ. කවදම හරි සල්ලි නැති වුණත්, රූපේ වෙනස් වුණත් ආදරේ අඩුවක් නැතුව කරන්න පුළුවන් වෙන්න ඕනේ. දුක සහ සතුට මේ කියන හැමදේකදිම ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ගේ ආදර යෝජනාවක් ආවොත්?

මම බොහෝ දුරට ඒක භාර ගන්නේ නැති වෙයි. මම ගොඩක්ම කැමති කලා ක්ෂේත්‍රයෙන් පරිබාහිර කෙනෙක් නම්.

අනාගත බලාපොරොත්තු මොනවද?

කවදා හරි ලංකාවේ සම්මානිත නිළියක් වෙන එක. ජනප්‍රිය නිළිය නෙවෙයි, දක්ෂතම සම්මානනීය නිළියක් වෙන එකයි එකම බලාපොරොත්තුව.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division