Home » තේරුම් ගත්තා කිවුවට හරියටම තේරුම් අරන් හිටියෙ නෑ…

තේරුම් ගත්තා කිවුවට හරියටම තේරුම් අරන් හිටියෙ නෑ…

by thanushika
December 16, 2023 12:30 am 0 comment

විශ්ව කොඩිකාර කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් චරිත කරන්න කැමති විශ්වට මේ දිනවල නම් වෙනස්ම චරිතයක් ලැබී තිබෙනවා. ඒ විශ්ව ලංකා අධ්‍යක්ෂණය කරන ලද සීසර්ලා හි. ඒ භූමිකාව ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැන කතා කළ සොඳුරු කතාබහක් මේ….

විශ්වට කාර්යබහුල කාලයක් ද?

මේ කාලය මට විතරක් නෙවෙයි ඕනෙම කලාකරුවෙක්ට කාර්යබහුල කාලයක්. ඒ වසරක අවසාන මාසය නිසා. අවුරුද්ද අවසානයේ විවිධ නාළිකා මඟින් කරන වැඩසටහන්වලට සහභාගී වෙන්න තියෙනවා. නත්තල් වැඩසටහන් තියෙනවා. ඒකත් එක්කම මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වන සීසර්ලා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගී වෙනවා. ඒ දේවල් එක්ක යම් කාර්යබහුලතාවයක් තියෙනවා. ඒ හැර නම් ලොකු කාර්යබහුලතාවක් නැහැ.

කොහොමද සීසර්ලා හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මෙතුවක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මට ලැබුණේ. ස්වාමි කෙනෙක්ගේ චරිතය. මේ චරිතයට මට මුලින්ම කතා කළේ විශ්ව ලංකා. ඔහු කතා කරලා කිවුවා විශ්ව මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා. මම එයත් එක්ක වැඩ කරන පළමු වතාව නිසා එක පයින් කැමති වුණා. ඊට පස්සේ මට චරිතය ගැන කිවුවේ, මම විස්තර ටිකක් කියන්න කියලා අහන් හිටියා. වෙනස්ම චරිතයක්. මෙහි තිර පිටපත ලියන්නේ බුද්ධික සේමසිංහ. මම ටික දවසක් මේ චරිතය ගැන කල්පනා කරලා මම විශ්ව ලංකාට කතා කරලා කිවුවා හදිසියේවත් මේ චරිතය ඔයාට ඕනේ විදිහට ආවේ නැත්නම් මාව අයින් කරන්න කියලා. මොකද ඒ චරිතය ගැන මටත් පොඩි ගැස්මක් තිබ්බා. පිස්සුද එහෙම වෙන්නේ නැහැ අපි කොහොම හරි කරමු කියලා මාවත් ධෛර්යවත් කරලා පළවෙනි ෂෙඩුල් එකේම මගේ පිටිපස්සෙන් ඉඳන් විශ්ව ලංකා මාව මේ චරිතයට යොමු කළා. ඒ එක්කම අපේ හදවතේ නළුවා ඉෂාන් මෙන්ඩිස්වත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහුත් මගේ වැරදි අඩුපාඩු පෙන්වා දුන්නා. අද පාරේ බැහැල යද්දී බොහෝ දෙනා මේ චරිතය ගැන කතා කරනවා. දෙතුන් දෙනෙක් කිවුවා ඔයාට මේ චරිතය ගැළපෙන්නේ නැහැ කියලා. ඒ අයට මම කිවුවේ මම අවුරුදු තුනක් මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හැදෑරුවා. ඒ නිසා එකිනෙකට වෙනස් මිනිසුන් වැලඳ ගන්න චරිත කරන්න මම ආසයි කියන එක පැහැදිලිවම කිවුවා. මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වෙන චරිත.

කලාවෙන් ඔය විදියට කටයුතු වෙද්දී පෞද්ගලික ජීවිතේටත් දෙසැම්බර් මාසය විශේෂයි නේද?

හදවතින්ම විශේෂයි, මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 5 වෙනිදට විවාහ වෙලා වසර 10ක් සම්පූර්ණ වුණා.

කොහොමද එරන්දි සහ දරුවෝ දෙන්නා එක්ක ගෙවුණු මේ අවුරුදු 10ක කාලය?

සුන්දරයිම කිවුවොත් ඒක බොරුවක්. මම හිතන්නේ කිසිම කෙනෙක්ට එහෙම නැහැ. අත්දැකීම් බහුල, සමහර තැන් අතිශය කටුක අවුරුදු 10ක්. ඒක පැහැදිලිව කියන්න ඕනේ. රණ්ඩුසරුවල් වුණා. ආයෙමත් කලින්ටත් වඩා ආදරේ කළා. මගේ අඩුපාඩු රැසක් තිබ්බා. ඒවා එරන්දි මට පෙන්වලා දීලා බොහොම අමාරුවෙන් හදාගත්තා. එරන්දිගේත් වැරදි තිබ්බා. ඒවත් මම කියලා හදාගෙන තියෙනවා. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ජීවිතේ බොහෝ බාධක මැද අවුරුදු දහයක් ඉස්සරහට ආවා. ඒ ගැන මටයි එරන්දිටයි හරි ආඩම්බරයි… සන්තෝෂයි. ජීවිතේ පවුලක් හැටියට මම බර කරට අරන් ඉන්නවා වගේම එරන්දිත් ඒ වගේම කොටසක් අරන් යනවා. තනියම කවදාවත් පවුල් ජීවිතයක් ගොඩ නඟන්න බැහැ. මම පැහැදිලිව කියන්න ඕනේ පවුලක් ගොඩ නඟන්න ස්වාමිපුරුෂයා සහ බිරිඳ කියන දෙන්නගෙම අත් දෙකේ හයිය අවශ්‍යයි. දෙන්නගේ මහන්සියෙන් දෙන්නම මේ ගමන ආව නිසා අද එරන්දිටත් මටත් සතුටුයි.

දරුවෝ දෙන්නා ගැන කිවුවොත්

දුව ඉපදෙන්නේ 2015 දී පුතා ඉපදෙන්නේ 2016දී. දුවට දැන් අවුරුදු 8යි පුතාට 7යි. දුව කවින්ද්‍යා ගංගාධාරී කොඩිකාර. පුතා ඔනෙත් දනල් කොඩිකාර.

දුව යන්නේ නුගේගොඩ සුජාතා විද්‍යාලයට. පුතා යන්නේ නුගේගොඩ ලයිසියම් විද්‍යාලයට. දරුවන්ගේ ඉගෙනීම් පැත්ත සීයට සීයක්ම බලන්නේ එරන්දි. හැබැයි සෙල්ලම් කරන්න පුතයි දුවයි එක්ක එරන්දියි මමයි දෙන්නම කාලය වෙන් කර ගන්නවා.

එරන්දි, විශ්වගේ කලා ජීවිතේ මුල ඉඳන්ම තේරුම් අරන් ද හිටියේ?

විවාහ වෙන්න කලින් මම තේරුම් අරන් ඉන්නේ කිවුවට, එරන්දි ඒක හරියටම තේරුම් අරන් හිටියේ නැහැ. ඒ නිසා විවාහ වුණාට පස්සේ රූගත කිරීම්වලට යද්දී මට ඒ වෙනස තේරුණා. මට ගෙදරට වෙලා ඉන්නකෝ කිවුව දවස් තිබ්බා. එතකොට මම ඇහුවේ මම මගේ වෘත්තීය කරන්නේ නැද්ද කියලා. ඕනෙම ගැහැනියකට එන ඊර්ෂ්‍යාව එයාටත් ඇවිත් තිබුණා. සමහර දේවල් නම් මෙයාගේ ඔළුව වෙනස් කරන්න කවුරු හරි මෙයාට කිව්වා කියලත් මට තේරුම් ගියා. පහුකාලීනව මම එයාට තේරුම් කරලා දුන්නා. මගේ පියා හැම තිස්සෙම තේරුම් කරලා දුන්නා ඕනෙම කලාකරුවෙක්ගේ පෞද්ගලික ජීවිතේ බොහොම කටුකයි, පවත්වාගන්න අමාරුයි තේරුම් ගැනීම ශක්තිය අඩුයි කියන එක. මේ කලා ක්ෂේත්‍රයට එන්න ලේසියි රැඳෙන්න අමාරුයි වගේම විවාහ වෙන්න ලේසියි ඒ විවාහය පවත්වාගෙන යන්න අමාරුයි කියන එක. ඒක ඇත්තටම හරි. කෙනෙක් එක්ක යාළුවෙන්න, කසාද බඳින්න වගේම කසාදය දික්කසාදයක් කර ගන්න ලේසියි. හැබැයි යාළුවෙලා කසාද බැඳලා ඒ ජීවිතේ දිගටම අරන් යන්න හරිම අමාරුයි. එහෙම අරන් යන්න පුළුවන් නම් හරි වටිනවා. කිසිම තැනක සුන්දර නැහැ. හොඳින් ජීවත් වෙද්දී මැදට ඇවිත් අවුල් කරන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒ සියල්ල පහුකාලීනව එරන්දිට තේරුම් ගියා. මම තනියම යන්නේ නැතුව යන්න පුළුවන් හැමතැනකටම එයත් එක්ක ගියා. ඒ දේවල් එක්ක එරන්දි සහ මම හොඳින් පවුල් ජීවිතේ අරන් යනවා. ගෙවුණු අවුරුදු දහය කටුකයි ලස්සන තැන් වගේම අමිහිරි තැන් තිබ්බා. මේ ගත කරපු අවුරුදු දහය ගැන මට බොහොම ආඩම්බරයි.

විශ්වට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති

ශ්‍රී ලාංකික සියලුදෙනාටම කියන්න තියෙන්නේ මම ජීවත් වෙන්නේ ප්‍රේක්ෂකයින් නිසා. ඒක තමා පැහැදිලි ඇත්ත කතාව. මගේ ප්‍රේක්ෂකයින් මාව වැලඳ ගන්නේ නැත්නම් හෝ බලන්නේ නැත්නම් මට නිර්මාණවලට යන්න බැරි වෙනවා. විශ්ව කොඩිකාර කියන චරිතය බිහිවෙලා තියෙන්නේ කලාව ඇතුළේ ප්‍රේක්ෂකයින් හරහා. ඒක හොඳින් තේරුම් අරන් ජීවත් වෙන චරිතයක් මම. ඒ නිසා හදවතින්ම මම හැමදාම මගේ ප්‍රේක්ෂකයින් එක්ක ඉන්නවා. එච්. ආර්. ජෝතිපාල මහතා වරෙක කියලා තිබුණා. රසිකයින් ඇතියි කියනකම් සින්දු කියනවා කියලා. අන්න ඒ වගේම මමත් ප්‍රේක්ෂකයින් කිවුවොත් කවදා හරි දැන් ඇති කියලා. එදාට මම නතර වෙනවා. මම කවදාවත් ඔටුන්නක් දාගෙන නැහැ. මම බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මට දැනෙනවා ප්‍රේක්ෂකයින්ගේ ආදරය.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division