Home » මේ ජයග්‍රහණය මට විතරක් අයිති නැහැ

මේ ජයග්‍රහණය මට විතරක් අයිති නැහැ

Mrs. Asia International 2023 තරගයේ Mrs. Elegance සංජීවනී ඇඹුල්දෙණිය

by thanushika
December 16, 2023 12:30 am 0 comment

පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 04 දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැති Mrs. Asia International – 2023 තරගයේ Mrs. Elegance ටයිට්ල් එක ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නාමය නැවතත් ඉහළින් ඔසවා තබන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගි වූ සංජීවනී ඇඹුල්දෙණිය සමත් වූවාය. 21 වැනි වරට පවත්වනු ලැබූ මෙම තරගය සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් තරගකාරිනියන් 24 දෙනකු ඉදිරිපත් වී සිටි අතර තියුණු තරගයකින් පසුව ඇයට මෙම ජයග්‍රහණය හිමිවිය. පිය උරුමයෙන් ලද හැකියාව ඔපමට්ටම් කරගත් සංජීවනී තම වෘත්තිය වශයෙන් තෝරගනු ලැබුවේ ද වේශ නිරූපණ සහ කේශාලංකරණයි. ඇය වේශ නිරූපණයෙන් දායකත්වය ලබා දුන් ටීවී වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය අතිමහත්ය. දේශීය සිනමාවටත් වඩා වැඩි ප්‍රවණතාවක් දකුණු ඉන්දියානු සිනමාවට ඇගේ දායකත්වය ලබා ගෙන තිබීම ද විශේෂත්වයකි.

ඇය ලද මේ ජයග්‍රහණය රෝස මල් මාවතක් මතින් පැමිණි ගමනක් නොවන බව පැවසූ සංජීවනී තම ජයග්‍රහණය ගැන පැවසුවේ මෙසේය.

“මං වෘත්තියෙන් වේශ නිරූපණ සහ කේශාලංකරණ ශිල්පිනියක්. මං දායකත්වය ලබාදුන් ටීවී වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය විශාලයි. ඊට අමතරව සිනමාවේ වේශ නිරූපණ කටයුතු කරනවා. විශේෂයෙන්ම දකුණු ඉන්දියානු චිත්‍රපටවලට තමයි වැඩිම දායකත්වයක් ලබාදී තියෙන්නේ. ලංකාවෙ සමහර චිත්‍රපටවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. මං වේශ නිරූපණය පැත්තට යොමු වෙන්නෙ මගේ තාත්තා නිසා. ඔහු වේශ නිරූපණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයතිලක ඇඹුල්දෙණිය. හැමෝම දන්න විදිහට ඇඹුල් අයියා. තාත්තට වගේම ඒ හුරුව මටත් පිහිටල තිබීම ලොකු සතුටක්.

මං පැජන්ට් පැත්තට යොමු වුණේ පහුගිය අප්‍රේල් මාසෙ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වුණු Queen of the world -2023 තරගයට සහභාගි වීමත් එක්ක. ඒක තමයි මගේ පළමු අත්දැකීම. ලංකාවෙ ජාතික සංවිධායක විදිහට කටයුතු කළ නදීකා සෙනෙවිරත්න තමයි මාව ඒ පැජන්ට් එකට යොමු කළේ. ඒ වගේම රුක්මල් සේනානායක සර් මට කැට් වෝක් එකේ සිට, පර්සනල්ටි එක පවත්ව ගන්නෙ කොහොමද කියන එකත් මුල ඉඳන්ම පුහුණු කළා. එතැන තමයි මගේ මේ ගමනෙ ආරම්භය. ඔවුන් දෙපළට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

ඊට පස්සෙ Mrs. Asia Sri Lanka තරගයට ඉදිරිපත් වෙලා එහි ජයග්‍රහණය හිමිකර ගත්තා. ඒ ජයග්‍රහණයත් එක්ක තමයි Mrs. Asia International -2023 සඳහා සුදුසුකම් ලැබුවේ. මෙහිදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන Mrs. Asia International සහ Mrs. Universe ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර් මලිත් රණසිංහට. ඔහු තමයි මට මේ සඳහා උපදෙස් ලබා දීල මාව මේ තරගය සඳහා යොමු කළේ. ඒ වගේම මේ හැම පැජන්ට් එකකම ඇඳුම් නිර්මාණය කළේ ආකාශ් පරණවිතාන. නර්තන උපදේශනය ලබා දුන්නේ CJs Indian Dancing Academy හි CJ ෂාන්. ඔවුන් දෙදෙනාවත් ආදරයෙන් සිහිපත් කරනවා. මේ ජයග්‍රහණය ඔවුන් හැමදෙනාගෙන්ම ලැබුණු සහයෝගයේ ප්‍රතිඵලයක්.”

මහනුවර, අලුත් නුවර ග්‍රාමයේ උපන් සංජීවනී තම මව, පියා සහ එකම සොහොයුරාගෙන් ලැබුණු සහයෝගය ද සිහිකරන්නේ ආදරයෙනි. හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද සංජීවනී කොට්ටාව ආනන්ද බාලිකාවට ඇතුළත් වී තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. වේශ නිරූපණ වෘත්තියට අමතරව කාය වර්ධන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන ඇය හසිනි ගුණසේකර යටතේ රූපලාවණ්‍ය ඩිප්ලෝමාව හදාරා තිබීම මේ ගමනට අත්වැලක් වූ බව ද පැවසුවාය.

Mrs. Universe සඳහා සූදානම් වීම ඊළඟ ඉලක්කය බව පැවසූ ඇය මේ ලද ජයග්‍රහණය හරහා ලංකාවේ ළමා පරපුරට සේවයක් කිරීමට ද බලාපොරොත්තු වන්නීය. තවමත් මෙරටට ආගන්තුක ළමා මොළය වර්ධන ක්‍රියාකාරකම් මෙරටට හඳුන්වා දීමත් ඇගේ අරමුණු අතර තිබෙන බව ද පැවසුවාය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division