Home » කතකගේ පා ඇඟිලි හෙළිකරන ඇගේ ජීවිත කතාව

කතකගේ පා ඇඟිලි හෙළිකරන ඇගේ ජීවිත කතාව

by thanushika
December 16, 2023 12:30 am 0 comment

කෙනකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැකි පැවසීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ. අතීතයේ විසූ ඍෂිවරු විසින් ස්ත්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප්‍රමාණය ආදිය පරීක්ෂාකොට ඔවුන්ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළිකරනු ලැබිණි. මෙම ලිපියෙන් විස්තර කරනුයේ එවන් ලක්ෂණ පිහිටීමෙන් හෙළිවන ඔවුන්ගේ ජීවිත තොරතුරු පිළිබඳවය.

යම් ස්ත්‍රියකගේ පාදය සිනිඳුවද, වටවූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. පාපිට නිර්මලද නෙළුම් පෙති පියන් සේ මොළොක්වද වූයේ නම් ඇය ද ඉතා වාසනාවන්ත බව පැවසේ. පාදයේ දෙවැනි ඇඟිල්ල මැදඟිල්ලට වඩා මඳක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබන්නීය.

යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුවෙයි ද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේ ද, නියපොතු කුලුවල පිට වැනි ආකාරයෙන් ද පිහිටා ඇත්නම් එම ස්ත්‍රීහුද වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළම දුක් විඳින්නීය. උගතුන් යුක්ත පවුලක උපත ලැබූවත් ඇය කම්කරු ස්ත්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයන්ගේ ඇසුර පතයි. යහපත් පිරිමින්ට ප්‍රියමනාප අයුරින් සිටීමට හෝ ක්‍රමානුකූලව ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටීමට හෝ ප්‍රිය නොකරයි. කලඑළියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට ප්‍රිය කරන්නීය. සුළු ශාරීරික වේදනාවක් වුවත් විඳ දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතය ද සාර්ථක නොවේ.

දික් සහිත පාද හිමිවීම ද වාසනාවන්තය. කෙටි පාද කපටිකම හා වංචනික බව හෙළිකරයි. සුලඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නීය. පය සම්පූර්ණයෙන්ම බිම නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් යහපත්ය.

පය කකුළුවකුගේ මෙන් නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩි නම් බොහෝ දරුවන් ලබන්නීය. පාදයෙහි පතුල මැද නැමී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූ විට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේ නම් ඇය දිවි ඇති තෙක්ම දිළින්දියක් ලෙස දිවි ගෙවන්නීය.

ගමන් කරන විට එක් පාදයක් ඇලකර තබමින්, පය බිම අද්දමින්, එම දෙයාකාරයෙන්ම හෝ ගමන් කරන ස්ත්‍රිය මවගෙන් හෝ පියාගෙන් ප්‍රසාදයක් නොලබයි. තරුණ වියේදීම ඇය අනාචාරයට පෙලඹෙයි. විවාහපේක්ෂාවෙන් ඇසුරු කළ පිරිමි ද ඇය අතහැර යති. කොතරම් ඉගෙනීම ලැබුවත් ඉන් ඇය ප්‍රතිඵලයක් නොලබයි. විවාහයට පත්වූවත් ජීවිතය සාර්ථක නොවේ.

යම් ස්ත්‍රියකගේ කොණ්ඩා යුගලය මනා සේ පරිපූර්ණව පැහැත් ඡවි වර්ණයෙන් යුක්ත වීම ලෝම රහිතව ලේ ශිරා මතුවී නොපෙනීම, දෙදන එක සමාන වීමද යහපත්ය. ඇගේ පය ඇඟිලි එක පිට එක ගැසුණා වූයේ නම් ඉතා අසුබය. ඕ තොමෝ සිය සැමියා වෙනත් හිමියන් සමඟ සතුටුවන බව කියැවේ. බොහෝ විට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිඳුව වටවූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලබන්නීය.

පාද නැමුණු ආකාරයෙන් වූයේ නම් ඇය සදාකල්හිම දිළිඳු බවින් කල්ගත කරන්නීය. පා ඇඟිලි ගනව මහපටැඟිල්ලේ සිට සුලඟිල්ල දක්වා ක්‍රමයෙන් කෙටිවී පිහිටීම ද ඉතාමත් සුබ ලක්ෂණයකි. යටි පතුල් රත් පැහැ වීමත් එහි රේඛා අතර මත්ස්‍ය රූප, වී ඇට, නගුල, කඩුව යනාදී රූපසටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතු වනු ඇත.

මහපටැඟිල්ල දික්ව, මහත්වී තද ගතියකින් යුක්ත නම් ඇය එඩිතරය. අහංකාරය. වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක් වේ. එහෙත් සැප සම්පත්වලට උරුමකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමි වේ.

අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවැනි ඇඟිල්ල මසින් පිරි මහපටැඟිල්ල දෙසට නැඹුරු වූයේ නම් දෙමවුපිය වැඩිහිටියන්ගේ නොමද ගෞරවයට ලක් වෙයි. චරිතය නොකැළැල්ය. කුල සිරිත් ආරක්ෂා කර ගනී. ස්වාමි පුරුෂයාගේ නොමඳ ආදරය ලබයි. සැපවත් යුගදිවියක් හිමිය. පතිභක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපටැඟිල්ල වඩා දික්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඩදබර කරන්නීය. ඔහුව පාලනය කරන්නී‍ය. අනාමික ඇඟිල්ල මැදඟිල්ලට වඩා මඳක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් දූ දරුවන් මෙන්ම සැපවත් ජීවිතයක් ද හිමි වෙයි. ගමනේදී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේ නම් ජීවිතයේ සැදෑ සමයේ දුක් විඳීමට සිදු වේ.

පිරිමියකුගේ පාදවල කෙටි වීම ශුභ නොවේ. ඒවා සම දිගින් පිහිටා තිබීම යහපත්ය. ඇඟිලි අතර ලොකු හිඩැස් ඇත්තේ නම් හෙතෙම ගෘහ සේවකයකු වන බවට සලකුණක් සේ සලකයි. කෙනකුගේ දෙවැනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දිග නම් ඔහුට තමාගේ භාර්යාවද අහිමි විය හැකිය. එය පළමු ඇඟිල්ල හා දිගින් සමාන වේ නම් යහපත්ය. තුන්වැනි ඇඟිල්ල දිග නම් ඉගෙනීමේ කටයුතුවලට හොඳය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division