Home » ස්ටෙන්ට් තාක්ෂණය ලොවට දායාද කර ලක්ෂ ගණනකගේ හදවත් සුවපත් කළ අපේ විද්‍යඥයා

ස්ටෙන්ට් තාක්ෂණය ලොවට දායාද කර ලක්ෂ ගණනකගේ හදවත් සුවපත් කළ අපේ විද්‍යඥයා

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

හු උපන්නේ දකුණු ලක ගාල්ල බටදූවේ ය. උසස් පෙළ දක්වා උගත්තේ ලංකාවේය. සරසවි අධ්‍යාපනය ඉන්දියාවේදීය. ආචාර්ය සහ පශ්චාත් උපාධි ලැබුවේ‍ ඇමෙරිකාවෙනි. අඩ සියවසක් තිස්සේ ජීවත් වන්නේ ඇමෙරිකාවේය. ශ්‍රී ලංකාවේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන පිළිබඳ තානාපතිවරයකු වන ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඒ කරුණු සියල්ලට වඩා සුවිශේෂී වන්නේ හෘදය සැත්කම් සඳහා අවශ්‍ය විවිධාකාර නව නිපැයුම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 30ක් ඔහු සතු වීමය. නමින් ඔහු විද්‍යාජෝති මහාචාර්ය බන්දුල විජේරත්න වන්නේය.

ලංකා පුත්‍රයකු වුව ද ලංකාවට පමණක් අයිති නැති ලෝකයටම අයිති මේ අද්විතීය ශ්‍රී ලාංකික විද්‍යාඥයා ලක් මවට ගෙන දී ඇත්තේ විසල් කීර්තියකි. මහාචාර්ය බන්දුල විජේ ලෙස ඇමෙරිකාවේ සහ ගෝලීය විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රකට ඒ අද්විතීය මිනිසා දැන් අප හමුවේ සිටී.   

ඔහු විසින් නිර්මාණය කළ පේටන්ට් බලපත්‍ර හිමි නව නිපැයුම්වලින් සියයට 90ක්ම හෘද සැත්කම් හා සම්බන්ධ ඒවාය. ඒ අතරින් ඇන්ජියෝප්ලාස්ටි කැතීටරය සහ රුධිරවාහිනී අවරෝධ වීම වැළැක්වීමට යොදා ගන්නා ස්ටෙන්ට් විශේෂිතය. මහාචාර්ය බන්දුල විජේරත්න මෙවර මවුබිමට පැමිණියේ සිය දැනුම සහ අත්දැකීම් මෙරට විශ්වවිද්‍යාල සිසුන් සමඟ බෙදා ගැනීමේ අරමුණ ඇතිවය. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අභියෝග හමුවේ ඉදිරියට යෑම සඳහා අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මහාචාර්ය බන්දුල තුළ අදහස් බොහෝ වේ.

“අධ්‍යාපනය හරි විදිහට කෙරුණොත් අපිට විසඳගන්න බැරි ප්‍රශ්නයක් මේ රටේ නැහැ. බුද්ධිමතුන් එකතු වෙලා මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. පිටරටක ඉඳලා එනකොට අපිට දැනෙනවා අපේ රට මොනතරම් වාසනාවන්ත රටක් ද කියල. අවුරුදු පනහක් තිස්සේ ඇමරිකාවේ ජීවත් වුණත් මම හිතන්නේ මගේ රට තරම් වාසනාවන්ත රටක් තවත් නැහැ කියලයි. ඇමරිකාවේ ජීවත් වුණත් මගේ හදවතේ ලංකාව එක්ක, විශේෂයෙන් ගාල්ල එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ලංකාවට එන හැම වෙලාවකට මම ගාල්ලට එනවා.”ගාලු කොටු පවුර සිප ගනිමින් හමන මුදු සුළඟේ සුවය විඳිමින් මහාචාර්ය බන්දුල එසේ කීවේය.

වර්ෂ 1946දී ගාල්ල බටදූවේදී බන්දුල විජේරත්න උපත ලබන්නේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුට එකම බාල සහෝදරයා ලෙසිනි. ඔහුගේ පියා බී. විජේරත්න සහ මව කත්‍රිනා හේමලතා විදුහල්පතිවරුන්ය. බන්දුල පාසල් ගමන අරඹන්නේ ඇතිලියගොඩ මහා විද්‍යාලයෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ ඔහු තෙවැනි ශ්‍රේණියේදී ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබීය. උසස් පෙළ විභාගය සමත් වද්දීම ඉන්දියා රජයේ ශිෂ්‍යත්වයක් මත කල්කටා හි ජදව්පූර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බන්දුලට වාසනාව උදා විය.

“එතකොට මට වයස අවුරුදු 18යි. ඒ විශ්වවිද්‍යාලයේදී මම හැදෑරුවෙ රසායන ඉංජිනේරු තාක්ෂණ විෂයයයි. උපාධිය ලබාගෙන ලංකාවට ඇවිත් මම වසර දෙකක් පමණ පර්යේෂණ නිලධාරියකු විදිහට වැඩ කළා. ඒ කාලයේ මම පොල්වලින් ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන සහ පැඟිරි තෙල්, කුරුඳු තෙල් පිළිබඳ පර්යේෂණ කිහිපයක් කළා. 1974 දී මට දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා. එහිදී මම රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් පසුව යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. ඉන්පසු එම විශ්වවිද්‍යාලයෙන්ම රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තා.”

අප මුලින් කී විස්මිත නව නිපැයුම් සියල්ල බිහි වීමට මඟ සැලසෙන්නේ ඒ අනුවය. වර්ෂ 1984දී ඔහු තම ව්‍යවසායක ජීවිතය ආරම්භ කරන්නේ ලොව ප්‍රකට ඇමරිකාවේ ටෙක්සාස් හෘදය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය පාවුලෝ ඇන්ජලිනී සමඟ එක්වය.

“මම මුලින්ම හැදුවෙ රුධිර නාළයක් ඔස්සේ හෘදයේ අවහිර වීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් නමින්. කලවයේ ඇති රුධිර නාළයක් තුළින් එය හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පිම්බෙන නිසා එයින් අවහිරතාව මඟ හැරෙනවා. ඉන්පසුව මම ස්ටෙන්ට් එකක් නිර්මාණය කළා. ස්ටෙන්ට් එකක් නිර්මාණය කළ පළමු වැන්නා මම නොවෙයි. මම එක් අයෙක් පමණයි. වෙනත් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඊට පෙර නිර්මාණය කර තිබූ ස්ටෙන්ට් එකක දිග තිබුණේ මිලිමීටර් 8ක්. ඒ වගේම එය නම්‍යශීලී නැහැ. 1995දී මට මිලිමීටර් 25-30ක් දිග ඉතා නම්‍යශීලී ස්ටෙන්ට් එකක් නිපදවීමට හැකි වුණා.”

මහාචාර්ය බන්දුල විජේරත්න පැහැදිලි කළේය. ඔහු විසින් නිපදවූ වෛද්‍ය නිපැයුම් හෘදයටම සම්බන්ධ ඒවා වීමට විශේෂ හේතුවක් තිබෙනවා දැයි අපි ඔහු විමසිමු.

“ඒක බොහොම අහඹු සිදුවීමක්. මම ශිෂ්‍යයෙක් විදිහට ඉන්නකොට හමුවූ කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට මට හැකි වුණා. එයින් සති දෙකකට පමණ පසු ඔවුන් මට කතාකරලා සම්මුඛ පරීක්ෂණයකට එන්න කිව්වා. ඉන්පසු ඔවුන් සමඟ වැඩ කරන්න එන්න කියලා ආරාධනා කළා. එය ඇමෙරිකාවේ වෛද්‍ය අංශයේ ප්‍රධාන පෙළේ සමාගමක්. එහිදී තමයි මම හෘදය වස්තුව සම්බන්ධයෙන් පර්යේෂණවලට යොමු වුණේ. මේ වන විට මම හදවත සම්බන්ධයෙන් තවත් පර්යේෂණයක නියැළී සිටිනවා. තවත් වසර දෙකකින් පමණ එම පර්යේෂණ කටයුතු අවසන් වේවි. කුමන අලුත් සොයා ගැනීම් වුවත් ටික දවසක් ගතවෙද්දි පරණ වෙනවා. එතකොට තවත් අලුත් සොයා ගැනීම් අවශ්‍යයි. ඒ නිසා හැමදාම මගේ ජීවිතේ ගෙවෙන්නේ පර්යේෂණ එක්කයි.”

පර්යේෂකයකු, විද්‍යාඥයකු සහ ව්‍යවසායකයකු ලෙස කටයුතු කිරීමේදී ඇමෙරිකාවේදී ඔහුට එල්ල වූ අභියෝග මොනවා දැයි අපි ඔහුගෙන් විමසිමු.

“ඇමෙරිකාවේදි ඒ රටේ ඉපදුණ අය ද පිටරවලින් ආව අය ද කියලා වෙනස් විදිහෙ සැලකීමක් කොහෙත්ම නැහැ. වැදගත් වන්නේ පුද්ගලයන් සතු කුසලතා සහ හැකියාවන් පමණයි. ඒ නිසා ඇමෙරිකානුවෙක් නොවීම මට කවදාවත් අභියෝගයක්, ගැටලුවක් ඇති කළේ නැහැ. අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා නම් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් බව මගේ විශ්වාසයයි. සමහර වෙලාවට මම කරපු දේවල් හරි ගියේ නැහැ. වැරදුණු අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒ නිසා අතෑරලා දාන්න හිතුණු අවස්ථාත් තිබුණා. නමුත් එහෙම අතරමගදි අතෑරියා නම් අද මට මේ තත්ත්වයට එන්න බැහැ. ඒ නිසා අභියෝග ජයගන්න වැදගත්ම දේ අධිෂ්ඨානයයි. ඒ වගේම අපි මොන දේ කළත් තනිවම කරන්න බැහැ. ටීම් වර්ක් එකක් විදිහට කරන හැම දේම සාර්ථක වෙනවා. මම පර්යේෂණ කරද්දි, නව නිපැයුම් කරද්දි හෘදය රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟයි ඒ කටයුතු කළේ. ඒ වගේම ඒ පර්යේෂණවලට තවත් පාර්ශ්ව කිහිපයක සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ හැම කෙනෙක්ම මගේ මේ සාර්ථකත්වයට ඉවහල් වුණා.”

කීර්තිමත් විද්‍යාඥයකු, ව්‍යවසායකයකු ලෙස දෙස් විදෙස් පතළ මේ ශ්‍රී ලාංකිකයා අවස්ථා කිහිපයකදීම සම්මානිත විය. වසර 1995දී වසරේ ව්‍යවසායකයා ලෙසත් වසර 1998දී දකුණු ආසියානු වාණිජ මණ්ඩලයේ වසරේ ව්‍යාපාරික වෘත්තිකයා ලෙසත් 2018දී ටෙක්සාස්, හූස්ටන් හි එක්සත් ජාතීන්ගේ ගෝලීය පුරවැසි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 2012 -2017 කාලයේදී එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් ටෙක්සාස් හි ශ්‍රී ලංකාවේ ගෞරවනීය කොන්සල් ධුරයෙන් සහ 2017 වසරේ විද්‍යා ජ්‍යෝති සම්මානයෙන් පිදුම් ලැබීය. 2013 -2016 දක්වා හූස්ටන් විශ්වවිද්‍යාලයේ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ බාහිර උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය බන්දුල 2017 වසරේ සිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරවනීය මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන සඳහා වූ තානාපති ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු පත් කරනු ලැබුවේ වර්ෂ 2017දීය. මේ වන විට මහාචාර්ය බන්දුල විජේ රුහුණු විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු නිර්මාණ අංශය සඳහා ද ඔහුගේ අගනා සම්පත් දායකත්වය ලබා දෙයි.

කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටින මහාචාර්ය බන්දුල විජේරත්න මේ දිනවල කාලය ගත කරන්නේ මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පවත්වමින් තම දැනුම සහ අත්දැකීම් බෙදාදීමටය. ඒ අත්දැකීම් ගැන ඔහු කතා කළේ සතුටිනි.

“ලංකාවේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, ශිෂ්‍යයෝ හමුවුණාම හිතෙනවා අපේ රටේ මොනතරම් දක්ෂයො ඉන්නවද කියලා. නමුත් ඔවුන්ගේ දක්ෂකම්වලට මතු වෙන්න අවස්ථාව ලැබීමේ යම් පසුබෑමක් තිබෙන බව මම දකිනවා. කොයිතරම් වටින මැණිකක් වුණත් ඔප දැම්මෙ නැත්තන් ඒක දිලිසෙන්නෙ නැහැ. ඒ වගේ අපේ රටේ ඉන්න දක්ෂයො මතුකරලා ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනේ. ඒ සඳහා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අද බොහෝ මවුපියෝ තමන්ගෙ දරුවන්ට විභාග පාස් කරවන්න පමණක් උනන්දු වෙනවා. මම කියන්නේ බාලාංශ පන්තියේ ඉඳල හැම දරුවෙකුටම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව සහ භාෂා ඉගැන්විය යුතුයි. රටේ තත්ත්වය අමාරුයි කියලා දේශපාලඥයන්ටම බැණ බැණ හිටියට වැඩක් නැහැ. අධ්‍යාපනය හරියට දෙන්න පුළුවන් නම් කවුරු රට පාලනය කළත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ඒ වගේම අධ්‍යාපනය ප්‍රායෝගික විය යුතුයි. ඩොලර් උපයන්න නම් නව නිපැයුම් අත්‍යවශ්‍යයි. නමුත් එවැනි නව නිපැයුම් බිහි කිරීම සඳහා කැමැත්ත වගේම අවස්ථාවත් අධ්‍යාපන ක්‍රමයෙන් සලසා දිය යුතුයි. වාසනාවකට මෙන් මගේ මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මට ඒ අවස්ථාව ලැබුණා. ඒ නිසාම කුඩා කාලේ ඉඳලා උනන්දුවෙන් ඉගෙන ගත්තට අරයා මෙයා වෙනවා කියලා හීනයක් මගෙ හිතේ තිබුණේ නැහැ. කුඩා කාලේ ඉඳලම ප්‍රායෝගික දේවල්වලට තමයි මගෙ වැඩි කැමැත්ත තිබුණෙ. අවුරුදු 10 ඉඳන් 18 වෙනකම් විතර මම නානාප්‍රකාර දේවල් හැදුවා. ඉස්කෝලෙදි මට යාළුවො ගැජට් මෑන් කියලා නමක් දාලා තිබුණෙත් ඒකයි. අදටත් මට මුකුත් නොකර නිකම් ඉන්න බැහැ. අලුත් පර්යේෂණ ගැන මගෙ හිත නිරන්තරෙන්ම උනන්දුයි.”

මහාචාර්ය බන්දුල විජේරත්න පැවසුවේ අතීතය ද සිහි කරමිනි. පියාගේ පාපැදියේ නැඟී පාසල් ගිය සුන්දර අතීතය අද ද ඔහුට මිහිරකි. උපත ලැබූ හැදුණු වැඩුණු ගාල්ල බටදූව ගමේ දැන් ඔහුගේ ඥාති කිසිවකු වාසය නොකළද ඉඩක් ලැබුණු විට ගමට ගොස් පැරණි මිතුරන්, ගුරුවරුන් හමුවීමට ගොස් සතුටු සාමිචියේ යෙදීම මහාචාර්ය බන්දුලගේ සිතට සතුටකි.

ඇමරිකානු පුරවැසියකු ලෙස එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි සිය බිරිය සහ පුතුන් දෙදෙනා සමඟ ජීවත් වන මහාචාර්ය බන්දුලගේ වැඩිමහල් පුතු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකි. බාල පුතු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙතෙක් ගෙවුණු ජීවිතය දෙස ආපස්සට හැරී බලද්දී සිතට දැනෙන්නේ විසල් අස්වැසුමක් බව මහාචාර්ය බන්දුල විජේරත්න කීවේය.

“මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක් කරන්න පුළුවන් වෛද්‍ය උපාංග නිර්මාණය කිරීමෙන් මම විශාල සතුටක් ලබනවා. විශේෂයෙන් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු වෙද්දි ජනතාව නීරෝගී වෙනවා. නීරෝගී ජනතාවක් ඉන්න රටක් දියුණු කරන්න පහසුයි. ලෝකයේම ජනතාව වෙනුවෙන් වෛද්‍ය උපාංග නිර්මාණය කිරීමෙන් ජීවිත කාලයේම සතුටු වෙන්න පුළුවන් දෙයක් කළා කියන විශාල සතුට මම අද විඳිනවා.”

සිය දැනුමින් කුසලතාවෙන් ලොවම දිනූ මේ විසල් මිනිසා පැවසුවේ හැඟීම්බරවය.

“ගමේ ගොඩේ ඉපදිලා ගමේ පාසලකින් ඉගෙන ගත්ත මට මේ දේවල් කරන්න පුළුවන් වුණා නම් තවත් කෙනෙකුට බැරි ඇයි? මට ඕන මම මෙතෙක් කරපු දේවල් ගැන කතා කරමින් ඉන්න නෙවෙයි, මගේ දේශනයක් අහන ළමයි සීයකගෙන් දෙතුන් දෙනෙක් හරි මහාචාර්ය බන්දුලට පුළුවන් නම් මට බැරි ඇයි කියලා හිතල යමක් කරන්න පටන් ගන්නවා නම් ඒක තමයි මම ලබන විශාලම ජයග්‍රහණය. මට ඕනේ ලෝකෙටම පෙන්වලා දෙන්න මම කළා නම් ඔබටත් පුළුවන් කියලා. කවුරුහරි හිතනවා නම් ගොඩ ඉඳලා පීනන්න, ඒක හරියන්නෙ නැහැ. වතුරට බැහැලා පීනන්න…”

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්, ඡායාරූප දුෂ්මන්ත මායාදුන්නෙ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division