Home » ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ දැමූ දුම් බෝම්බ ප්‍රහාරය

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ දැමූ දුම් බෝම්බ ප්‍රහාරය

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

– පාර්ලිමේන්තුවේ ගැලරියට ඇතුළු වී ඇත්තේ මාධ්‍යවේදීන් ලෙස වෙස්වළාගෙන
– පාර්ලිමේන්තු ප්‍රහාරයක අනතුරු ඇඟවීම් නිසා මන්ත්‍රීවරු සිට ඇත්තේ බියෙන්
– 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය යෙදී තිබුණේ ද එදිනමය.

න්දීය පාර්ලිමේන්තුවේ පසුගියදා එකම ගාලගෝට්ටියකි. හිටිහැටියේම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභා ගර්භයට කඩා පැන මන්ත්‍රීවරුන්ගේ මේසවලින් පැන පැන හතර වටේ දිව ගිය නාඳුනන පුද්ගලයකුගේ යකා නැටීමත්, ඔහු අල්ලා ගැනීමට මන්ත්‍රීවරුන් ඒ පසුපස දිව යෑමත් බැලූ බැල්මට පෙනුණේ බරපතළකම ඉක්මවා ගිය හාස්‍යමුසු සිදුවීමක් ලෙසටය.

“අල්ලපල්ලා..අල්ලපල්ලා…! ඇතැම් මන්ත්‍රීවරුන් කෑගසන්නට වූ අතර, තවත් සමහරු ‘පොලිස්..! පොලිස්..! යනුවෙන් කෑමොර දෙමින් ආරක්ෂක නිලධාරින් කැඳවීමට උත්සාහ ගත්හ. ඒ අතරතුර තවත් පුද්ගලයකු පාර්ලිමේන්තු ගැලරියේ සිට ඔහුගේ අත තිබූ සැණකෙළිවලදී දල්වන දුම් බෝම්බ දැල්වූ අතර, ඒවායින් විසිරුණු කහ පැහැති දුම් වලා සභා ගර්භය පුරා විහිදී ගියේය. මන්ත්‍රීවරුන්ගේ මේස මතින් දිව ගිය පුද්ගලයා කථානායකවරයාගේ අසුනට සමීප වෙමින් සිටි අතර, මේ ‘හොරා පොලිස් සෙල්ලම‘ කෙළවර වූයේ ඔහු තරුණ හැඩිදැඩි මන්ත්‍රීවරුන්ගේ ග්‍රහණයට හසුවීමෙනි.

වෙනදාට රජයේ ප්‍රතිපත්ති අභියෝගයකට ලක් කරමින් තර්ක විතර්ක කරන රජයේ සහ ප්‍රතිවාදී මන්ත්‍රීවරුන් මේ කලබගෑනියේදී සිටියේ එකම පැත්තකය. දෙපාර්ශ්වයම එකට එක් වී අමුත්තාට හිතේ හැටියට සංග්‍රහ කළහ. ඒ අතරතුර ගැලරියේ සිට දුම් බෝම්බ දැල්වූ අනිත් පුද්ගලයාත් කොටු වී සිටියේය. දෙදෙනාම ආරක්ෂක නිලධාරින්ට භාර දුන්නේ ඉන් පසුවය. කලබලය මැද පාර්ලිමේන්තු සැසිය අත්හිටුවීමට ද කථානායක ඕම් බිර්ලාට සිදු විය. නැවත සභාවේ කටයුතු ආරම්භ වූයේ පැයකට පසුවය.

ඒ අල්ලපනල්ලේ පාර්ලිමේන්තුවෙන් පිටතදී උද්ඝෝෂණය කළ තවත් දෙදෙනකු අත්අඩංගුවට පත් වූහ. ඒ දෙදෙනා අත ද දුම් බෝම්බ තිබිණි. අත්අඩංගුවට පත්වෙද්දී ඒවායින් විසිරුණු කහ පැහැති දුම් අවට පැතිර යමින් තිබිණි. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4 දෙනෙකි. ඒ අතර කාන්තාවක් ද වූවාය.

එය බරපතළ සිදුවීමකි. පාර්ලිමේන්තු සභා ගර්භයට බාහිර පුද්ගලයන්ට අනවසරයෙන් ඇතුළු වීමට කිසිසේත්ම නොහැකිය. ඇරත් ආරක්ෂක විධිවිධාන තර කර ඇති ඉන්දීය පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර ආරක්ෂක අංශයේ ස්ථාන 5කදී පරීක්ෂාවට ලක් කෙරේ. මේ නාඳුනන පුද්ගලයන් දුම් බෝම්බ රැගෙන සභා ගර්භයට ඇතුළු වූයේ එවැනි දැඩි පරීක්ෂාවකට ලක් කරන ආරක්ෂක නිලධාරින්ගේ කනින් රිංගා යමිනි. එබැවින් එය අතිශය බරපතළතම කාරණාවකි.

පසුව වාර්තා වූ පරිදි මේ දෙදෙනා පාර්ලිමේන්තුවේ ගැලරියට ඇතුළු වී ඇත්තේ මාධ්‍යවේදීන් ලෙස වෙස්වළාගෙනය. විමතිය දනවනසුලු කාරණාව වන්නේ ඔවුන් සිය පාවහන් තුළ දුම් බෝම්බ සඟවා ගෙන පාර්ලිමේන්තු ගැලරියට පැමිණියේ කෙසේද යන්නය. එය ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ වැටීමේ සිදු වීමක් ලෙසටය.

මේ සිදු වීමෙන් කිසිදු මන්ත්‍රීවරයකුට කිසිදු අනතුරක් සිදු නොවූවද, ඔවුන් නොසෑහෙන ලෙස භීතියට පත් වූ බව සහතිකය. ඇරත් 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය යෙදී තිබුණේ එදාය. අනිත් අතට දෙසැම්බර් 13 හෝ ඊට පෙර පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරන බවට කලිස්තානි ත්‍රස්තවාදී නායක ගුර්පට්වාන්ට් සිං තර්ජනය කර තිබූ බැවින් මන්ත්‍රීවරු සිටියේ තරමක දෙගිඩියාවකින් බව ද වාර්තා විය.

සික් ජාතිකයන්ට ඉන්දීය භුමිය තුළ වෙනම රාජ්‍යයක් ඉල්ලා දිගු කාලයක සිට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින එම කණ්ඩායම කලිස්තාන ත්‍රස්තවාදීන් ලෙස ලේබල්ගත කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ 2001 වසරේ දෙසැම්බර් 13 වැනිදාය. පුද්ගලයන් 12 දෙනකුට වඩා ජීවිත අහිමි වූ එම ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ජීවිත අහිමිවූවන්ට උපහාර පිදුවේ එදින උදෑසනය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එදින දහවල් 1.00ට පමණය. එබැවින් නාඳුනන පුද්ගලයන් දෙදෙනාගේ සිදුවීම මන්ත්‍රීවරුන්ගේ භීතිය දෙගුණ තෙගුණ කළ සිදු වීමක් බවට ද පත් වී තිබිණි. එම ප්‍රහාරයේ චෝදනාව එල්ල වූයේ පාකිස්තානයේ ක්‍රියාත්මක වන ලක්ෂර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොම්මඩ් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලටය. එය ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද හා දේශපාලන උණුසුම තීව්‍ර කිරීමට සමත් වූ තවත් සිදු වීමක් බවට ද පත් වී තිබිණි.

එදින ත්‍රස්තවාදීන් ප්‍රහාරයට පැමිණ තිබුණේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේබලයක් අලවා ගත් මෝටර් රථයකිනි. පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ එම මෝටර් රථයේ සිටි ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ගේ ගණන 5කි. දුම් බෝම්බ සිදු වීමේදී මෙන්ම එවකට සිටි ආරක්ෂක නිලධාරින්ගේ උකුසු ඇසින් රිංගා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පස්දෙනා මෝටර් රථය නතර කර ඇත්තේ එවකට ඉන්දීය උපජනාධිපති ක්‍රිෂාන් කාන්ට්ගේ නිල මෝටර් රථය අසලමය. ඒ මොහොතේ උපජනාධිපතිවරයා ද පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේය. සභා ගර්භයේ තවත් මැති ඇමැතිවරුන් සියයකට වැඩිය සිටි බව ද වාර්තා විය.

ත්‍රස්තවාදීන් අත ඒ.කේ. 47 ස්වයංක්‍රීය මැෂින් තුවක්කු ද, අත්බෝම්බ ද, පිස්තෝලද තිබූ අතර, මෝටර් රථයෙන් බට විගසම වෙඩි ප්‍රහාරය අරඹා තිබිණි. පළමු වෙඩි ප්‍රහාරයෙන්ම උපජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින් ඝාතනයට ලක් වී තිබූ අතර, ඒ සමඟම පාර්ලිමේන්තු සංකීර්ණයේ දොරටු වැසීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. ත්‍රස්තවාදීන් මුලින්ම ඇස ගැටුණේ කමලේෂ් කුමාරි නමැති පොලිස් කොස්තාපල්වරියකටය. වහා අනතුරු ඇඟවීමේ සංඥාව නාද කළ ඇය ත්‍රස්ත ප්‍රහාරයේ පළමු ගොදුර බවට ද පත් වූවාය. ආරක්ෂක අංශයේ වෙඩි පහරකට ලක් වූ පුපුරන ද්‍රව්‍ය සවි කළ ජැකට්ටුවක් හැඳ සිටි එක් ත්‍රස්තවාදියකු එය පුපුරුවා ගත්තේය. ඉතිරි ත්‍රස්තවාදීන් සිවු දෙනා ද ආරක්ෂක අංශයේ වෙඩි පහරින් ඝාතනයට ලක් වූ අතර, සභා ගර්භයේ සිටි මැති ඇමැතිවරුන්ට කිසිදු හානියක් සිදු නොවීය. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි දිල්ලි පොලිසියේ නිලධාරින් 6 දෙනකු සහ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරින් දෙදෙනකු සමඟ උද්‍යාන සේවකයකු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පුද්ගලයන් 17දෙනකුට තුවාල සිදු වී තිබිණි. ඊයේ පෙරේදා දුම් ප්‍රහාරය එල්ල වූයේ එවැනි බරපතළ ප්‍රහාරයක සංවත්සර දිනයේදීය.

දුම් ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගෙන් ගැලරියේ සිට සභා ගර්භයට කඩා පැන කථානායකවරයාගේ අසුන වෙත යමින් සිටියදී මන්ත්‍රීවරුන් අල්ලා ගත් පුද්ගලයා සතුව තිබුණේ කර්ණාටක ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු අවසර පතක් බව ද වාර්තා විය. කර්ණාටක ප්‍රාන්තයේ මයිසූරු පළාත නියෝජනය කළ ප්‍රතාප් සිම්හා නමැති මේ මන්ත්‍රීවරයා හිටපු මාධ්‍යවේදියෙකි. ඔහු 2007 වසරේදී නරේන්ද්‍ර මෝදි ගැන පොතක් ද ලිවුවේය. ඔහු 2019 මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ පිට පිට දෙවැනි වතාවටය.

ඔහු පසුව කථානායකවරයා මුණ ගැසී කියා සිටියේ දුම් බෝම්බ සිදු වීමට පැමිණ අත්අඩංගුවට පත් වූ එක් පුද්ගලයකුගේ පියා තමා හොඳින් දන්නා හඳුනන බවය. පාර්ලිමේන්තු අවසර පත්‍රය ඔහුගේ ඉල්ලීමට ලබා දුන් බවත්, ඊට වඩා දෙයක් තමා නොදන්නා බවත් කථානායකවරයාට ප්‍රකාශ කර තිබිණි.

පොලිස් විමර්ශනවලට අනුව මේ සිදු වීමට පුද්ගලයන් 6 දෙනකු සම්බන්ධය. පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනා සාගර් ෂර්මා සහ මනෝරංජන් ඩී ලෙස හඳුනාගෙන තිබේ. පාර්ලිමේන්තුවෙන් පිටතදී දුම් බෝම්බ අතැතිව සිටියදී අත්අඩංගුවට පත් වූ දෙදෙනා අමුල් ෂින්දේ සහ නීලම් ලෙස හඳුනා ගෙන තිබේ. දිල්ලි පොලිසියේ ආරංචිවලට අනුව මේ සිදු වීමේ පස්වැනි සැකකරු ලලිත් ජා නමැත්තෙකි. ඔහු ඒ මොහොතේ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත සිටි බව ද අනාවරණය වී තිබේ. අමුල් ෂින්දේ සහ නීලම් පාර්ලිමේන්තුවෙන් පිටත අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු පලා ගිය බවද අනාවරණය වී ඇත. පොලිස් වාර්තාවට අනුව නීලම් නමැති කාන්තාව හර්යානා ප්‍රාන්තයේ පදිංචිකාරිනියක වන අතර, අමුල් මහාරෂ්ට ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට පත් වූ සියලු දෙනාම විරැකියාවෙන් පීඩාවට පත්ව සිටි බව ද මෙතෙක් සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත. නීලම්, මනෝරංජන්, සාගර් සහ අමුල් සිවු දෙනාටම ජංගම දුරකතන සපයා දී ඇත්තේ ද ලලිත් ජා බවත් හෙළි වී තිබේ. කලබලය ආරම්භ වීමත් සමඟ ලලිත් එම ස්ථානයෙන් පලා යද්දී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඔහු සතුව තිබූ බවත් වාර්තා වේ. එදින අතුරුදන් වූ ලලිත් ජා මේ සිදු වීමේ මහ මොළකරු බවට හඳුනාගෙන තිබූ අතර, ඔහු පසු දින පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කර්තව්‍යා පොලිස් ස්ථානයට පැමිණ බාර වී තිබේ. බිහාර් ප්‍රාන්තයේ පදිංචිකරුවකු වන ලලිත් ජා වෘත්තියෙන් ගුරුවරයකු බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත. හයවැනි සැකකරු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නැත.

පාර්ලිමේන්තුවේ දුම් බෝම්බ ප්‍රහාරය මාස 18ක සැලසුමක් බවත්, ඊට පෙර ඔවුන් අතර රැස්වීම් කිහිපයක් පවත්වා ඇති බවත් නවදිල්ලි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, එක් එක් ප්‍රාන්තවලින් පැමිණ සිටි මේ සියලු පුද්ගලයන් භගාත් සිං රසික සමාජය නමැති සමාජ මාධ්‍යජාලයේ පිටුවක සාමාජිකයන් බවත් හෙළි වී තිබේ. භගාත් සිං යනු එවකට ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව සටන් කළ නිදහස් අරගලයේ ජනප්‍රිය නායකයෙකි. 1931 වසරේදී එවකට ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු එල්ලා මරා දමනු ලැබුවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අභියෝග කිරීමේ චෝදනාවටය. පොලිසියට බාර වූ ලලිත් ජා දුම් බෝම්බ ප්‍රහාරයට පෙලඹී ඇත්තේ භගත් සිංගේ නිදහස් අරගලයේ සටන්කාමීත්වයෙන් ලද අභාසය සහ උත්තේජනය නිසා බව ද කියැවේ.

දිල්ලි පොලිස් විමර්ශනවලට අනුව අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගේ පළමු රැස්වීම පවත්වා ඇත්තේ මීට මාස 18කට පෙර මයිසූරු පළාතේදීය. උද්ධමනය සහ මනිපූර් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු බරපතළ කාරණා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු බවට විශ්වාස කළ හැකි කරුණු ඉස්මතු කිරීමට සිදු කළ යුතු විවිධ ක්‍රියාමාර්ග එම රැස්වීමේදී සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ. මීට මාස 9කට පෙර රැස්වීමක්ද, මේ වසරේ මාර්තු මාසයේදී තවත් රැස් වීමක් ද ඔවුන් පවත්වා ඇතැයි හෙළි වී තිබේ. දුම් බෝම්බ සැලසුම සකස් වී ඇත්තේ ඒ අනුවය. දුම් ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව පෙරහුරුවක් ද සිදු වී ඇතැයි නවදිල්ලි පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මීට කලකට පෙර මනෝරංජන් ගුවන් මඟින් නවදිල්ලි නුවරට පැමිණ අයවැය සැසියක් අතරතුර පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔත්තු බැලීමක් ද සිදු කර ඇති අතර, බාහිර පුද්ගලයන් කිහිප අවස්ථාවකදීම පරීක්ෂාවට ලක් කළද, ඔවුන්ගේ පාවහන් පරීක්ෂාවට ලක් නොකරන බව ඔහු දැක ඇත්තේ ඒ මොහොතේදීය. දුම් බෝම්බ පාවහන් තුළ සඟවාගෙන පැමිණීමේ සැලසුම සකස් වී ඇත්තේ ඒ අනුව බවත් වාර්තා වේ.

දුම් බෝම්බය 2001 පාර්ලිමේන්තු ප්‍රහාරයේ සංවත්සර දිනයේදී සිදු කිරීමට තීරණය කරමින් ෂර්මා, මනෝරංජන්, නීලම් සහ ෂින්දේ නවදිල්ලි නුවරට ළඟා වී ඇත්තේ පසුගිය 10 වැනිදාය. සිදුවීම වූ දිනයේ උදෑසන පාර්ලිමේන්තුව අසල මහදේව් පාරේ පිහිටි භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී ප්‍රතාප් සිම්හාගේ කාර්යාලයෙන් අමුත්තන්ගේ අවසර පත්‍රය ලබා ගෙන ඇති අතර, මූලික සැලැස්මට අනුව සියලු දෙනාම පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම සිදු විය යුතුව තිබුණද, ඒ සඳහා අවසර ලැබී ඇත්තේ ෂර්මාට සහ මනෝරංජන්ට පමණි.

කෙසේ වුවද 2001 ප්‍රහාරයේ සංවත්සරය යෙදී තිබූ දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරු රජයට දැඩි විරෝධතාවක් පළ කර ඇත. මේ දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර තිබූ අතර, එවැනි පසුබිමකදී බාහිර පුද්ගලයන් දෙදෙනකු සභාගර්භයට ඇතුළු වීම බරපතළ ක්‍රියාවක් බව විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාට ප්‍රකාශ කර තිබේ. දුම් ප්‍රහාරය එල්ල වූයේ කලිස්තාන ත්‍රස්ත නායකයාගේ අනතුරු ඇඟවීමෙන් භීතියට පත්ව සිටි මොහොතකදීය. කෙසේ වුවද කලිස්තාන ත්‍රස්ත නායකයාගේ තර්ජනය සහ දුම් බෝම්බ සිදුවීම අතර සම්බන්ධතාවක් නැති බවත් හෙළි වී ඇතැයි වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division